මිසදිටු පිටියේ මුරුගන්

ජනවාරි 31, 2019

විසි වැනි සියවස ආරම්භ වන විට කොළඹ පමණක් නොව බොහෝ ප්‍රධාන නගරයන්ගේ පවා තාවකාලික හෝ ස්ථිර මට්ටමින් රංග ශාලා ගොඩ නැගුණේ එය සාර්ථක ව්‍යාපාරයක් ලෙස පෙනුණ බැවිනි. ගනේගොඩ අප්පුහාමිලාගේ දොන් හෙන්ද්‍රික් සෙනෙවිරත්න විසින් මරදාන පංචිකාවත්තේ අංක 43 දරණ තැන පිහිටි මෙරෙඤ්ඤ්ගේ වත්ත මිලයට ගනු ලද්දේ රුපියල් විසි දහසක් වැනි ඉහළ අගයකටය. ඒ 1907 වසරේ සැප්තැම්බර් 27 වැනි දිනය. 1911 වසරේ දෙසැම්බර් 16 වැනි දින විවෘත වූ ටවර් රඟහල බිහිවූයේ එහිය.

කොළඹින් පිට බොහෝ නගරයන්ගේ ද රංග ශාලා ඉදි කෙරිණ. මහනුවර,ගම්පොළ, මිගමුව, මොරටුව, බදුල්ල, මාතලේ, කළුතර, දිඹුල, නුවරඑළිය මෙලෙස රංග ශාලා ඉදිවුණ නගර තරින් කිහිපයකි. ඒ බොහෝ ශාලා තාවකාලික මට්ටමෙන් ගොඩ නැගුණ ඒවාය. මේ ඇතැම් ශාලාවක් විසි වැනි සියවසේ දෙවැනි දශකය වන විට සිනමා ශාලාවක් බවට ඉබේම අනුවර්තන විය යුතු විය. නොඑසේනම් එය වසා දැමිය යුතුව තිබිණ. එයට හොදම උදාහරණය මහත් බලාපොරොත්තු සහිතව ගොඩ නැගුණ ටවර් රඟහල දශක දෙකක් ගත වන්නට මත්තෙන් සිනමා ශාලාවක් ලෙස අනුවර්තනය වීමය. මෙරට වේදිකාවේ ඉතිහාසය වෙනස් කරනු ලබන ටවර් රඟහල පවා අනතුරුව නාට්‍යයක් වේදිකා ගත කරන ලද්දේ සිකුරාදා රාත්‍රියේ පමණය. එලෙස සිනමාහල් බවට පරිවර්තනය වූ රංග ශාලා අතරින් දිගු ඉතිහාසයක් පැවැති තවත් රංග ශාලාවක් සිනමාහලක් වී පසුව එම්පයර් සිනමා ශාලාව සමගම වාගේ අභාවයට ගියේය.ඒ කොළඹ ජින්තුපිටියේ පිහිටි මුරුගන් සිනමා ශාලාවයි.

ජින්තු යන වචනය පෘතුගිසි භාෂාවෙන් මිථ්‍යා දෘෂ්ටිකයන් හැදින්වීම සඳහා භාවිතා කරන ලද ජෙන්තියෝ යන වචනයෙන් බිඳී ආ වග සැලකෙයි. පෘතුගිසින් ජෙන්තියෝ යන වචනය භාවිත කරන ලද්දේ ඉන්දියාවේ වෙසෙන හින්දුවරු හැඳීන්වීමටය. ජින්තුපිටිය ආශ්‍රිතව ජීවත් වූ බොහෝ දෙනා හින්දුවරු වූහ.

මුරුගන් සිනමා ශාලාව මුලින් හැදින්වූයේ ජින්තුපිටිය රංග ශාලාව යනුවෙනි. පබ්ලික් හෝල් ශාලාවේ වේදිකා ගත කොට ජනතාව අතරට යනවාට වඩා වැඩි සංඛ්‍යාවක් අතරට යන්නට ජින්තුපිටිය ශාලාවේ දී ජෝන් ද සිල්වාගේ නාට්‍යයන්ට හැකිවිය. නාට්‍ය වේදිකා ගත වන යුගයේ එහි ආසන පන්ති පහක් තිබුණ වගත් ගැලරියට ශත පනහක් අය කළ බවත් සඳහන්ය. විශේෂ ආසන රුපියල් තුනකි. පළමු පන්තිය සඳහා රුපියල් දෙකක් ද දෙවැනි පන්තියට එකයි පනහක් ද තුන් වන පන්තිය සඳහා රුපියලක් ද අය කෙරිණ. 1928 තරම් ඈතක පවා මෙම ශාලාවේ මාසික කුළිය රුපියල් 1280 ක් වැනි ඉහළ මට්ටමක පැවැතියේ එය ඉහළ ආදායම් ලත් ශාලාවක් නිසා විය යුතුය.

පසුකලෙක මුරුගන් සිනමා ශාලාව ලෙස හැඳීන්වූ ජින්තුපිටිය නාට්‍ය ශාලාව පිහිටි භූමිය එකල තිබුණේ ශ්‍රී මුත්තු විනයාගසාමි දෙවොල සතුවය. 1904 වසරේ ඔක්තෝබර් මස 27 වැනි දින එහි වේදිකා ගත කරන ලද අරිචන්ද්‍ර නාටකය (චපඪජඩචදඤපච - බඩඥ ථචපබරප ධට බපභබඩ) නිර්මාණය කරන ලද්දේ ඒ.පත්මනාභ විසිනි. මෙරට දෙමළ නාට්‍ය ඉතිහාසයේ ලියන්නෙකුට පත්මනාභගේ පවුල් පසුබිම ඉතා සැලකිල්ලට ගත යුතුය. අරිචන්ද්‍ර සඳහා පත්මනාහ පාදක කර ගනුයේ ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමි විසින් එයට වසර ගණනාවකට ඉහත ඉංග්‍රිසියට පරිවර්තනය කරන ලද්දකි. ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමි පත්මනාභගේ මීමුත්තනුවන්ය. මෙම දෙවොල නිර්මාණය සඳහා මුල්වූයේ ද ඔහුය. මුල්ම නයිට් පදවිය ලත් ශ්‍රී ලාංකිකයා වන මුත්තු කුමාරස්වාමි ලේඛකයකු දේශපාලකයකු පමණක් නොව මෙරට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වය දැරූ මුල්ම දෙමළ ජාතිකයා ද විය. 19 වන සියවසේ මෙරට බිහි වූ මහා කලාකරුවකු ලෙස දෙස් විදෙස් පුද ලද ආනන්ද කුමාරස්වාමි මුත්තු කුමාරස්වාමි ගේ එකම පුතනුවන්ය.

මුත්තු කුමාරස්වාමිගේ එකම සොහොයුරිය සෙල්ලාවි අම්මායි විවාහවූයේ ව්‍යාපාරිකයකු හා මුදලිවරයකු වූ අරුණාචලම් පොන්නම්බලම් සමගය. මේ යුවළගේ දරුවන් තිදෙනාම මෙරට දේශපාලනයේ ජාතික නායකයන් සේ කැපී පෙනිණ. ඔවුන් නම් පොන්නම්බලම් කුමාරස්වාමි, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් හා වඩා රැඩිකල් මතධාරියකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් ය. පද්මනාභ ශ්‍රීමත් අරුණාචලම් ගේ වැඩිමහල් පුතනුවන්ය. පද්මනාභගේ බාල සොහොයුරු එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක නායකයකු වූ ශ්‍රීමත් අරුණාචලම් මහාදේව විය. ඔවුන්ගේ පවුලේ ආරම්භකයා වූ ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමි පේදුරුතුඩුවට නුදුරු ගරුඬාවිල් නිජබිම කොට ගත්තෙකි. ආරුමුගම්පිල්ලේ පසුකලක මුදලි තනතුරින් ද පුදනු ලැබ කොළඹ මෝදර පදිංචියට ආවේය. කොළඹ ඇකඩමි යේ හෙවත් පසුකලෙක රෝයල් කොලිජියේ ඉගෙනුම ලද කුමාරස්වාමි පවුලේ ඊළඟ පරපුර මෙරට දේශපාලනයේ පමණක් නොව කලාවේ කැපී පෙනන චරිත බවට පත් විය. පද්මනාභ අරිචන්ද්‍ර නිර්මාණය කරනුයේ මහා මදුර අම්බිකා නන්දන සභා මගින්ය. පසුකලක ඩී.ආර්.විජයවර්ධන මහතාණන්ගේ ආරාධනයෙන් ලේක් හවුස් ආයතනයේ ඩේලි නිව්ස් පුවත්පතට එක්වුණ ඔහු එහි ප්‍රධාන කර්තෘ ධුරයට ද පත්විය.

මුරුගන් සිනමා ශාලාව ඉවත් කරන තුරුම එහි පැරණි නාට්‍ය ශාලාවේ ගති ලක්ෂණ ඉවත්ව ගොස් තිබුණේ නැත. එමෙන්ම සිනමා ශාලාවේ තිරයට යාබදව පැරණි නේපථ්‍යාගාරය පැවතිණ. සිනමා ශාලාව නිසා එහි බිත්ති අලුතෙන් බැඳුණ ද නාට්‍ය පෙන්වන යුගයේ එහි තිබුණේ තහඩු ආවරණයක් පමණකැයි කියනු ලැබේ. සිනමා ශාලාවක් වුවද එයට බැල්කනියක් නොවිණ. පසුපෙළ අසුන් ලී මතින් ඔසවා තිබිණ. එය නාට්‍යාගාර සමයේ සිට පැවැති ලකුණකි. ජින්තු පිටියේ නාට්‍ය ශාලාවේ ස්වරූපය මෙරට සියලු නාට්‍ය ශාලාවන්ට වඩා වෙනස්ය. එහි පසෙක නළු නිළියන්ට නවාතැන් ගැනීමට කාමර වූ වග ද සදහන්ය. ඒ බොහෝ විට මෙරටට පැමිණි ඉන්දියානු නාට්‍ය නළු නිළියන්ට නවාතැන් ගැනීමට විය යුතුය. එය වෙනත් කිසිම රංග ශාලාවක නොවුණ කරුණකි. කිසියම් අඳුරු ගුප්ත බවක් මේ ශාලාවේ තිබුණ වග මගේ මතකයයි. එමෙන්ම එය බැලූ බැල්මට සුන්දර ගොඩනැගිල්ලක් ද නොවිණ. විශේෂත්වය වූයේ ප්‍රවේශපත්‍ර කවුළු හා එතැන් සිට ශාලාවට ඉතා දිගු කොරිඩෝවක් තිබීමය. එම දිගු කොරිඩෝව දිගේ පඩි කිහිපයකින් වරින්වර නැග ශාලාවට යායුතුවිය. එය පාළු රෝහලක සිහියට ඒම වැළැක්විය හැකිවූයේ නැත. මා එහි නැරඹූ අති සාර්ථක දෙමළ චිත්‍රපට වූ විඩුතල, ඉදයාතේ තිරුඩාතේ,සූර සම්හාරම් වැනි විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගි වන අවස්ථාවක පවා එහි කිසියම් මූසල ස්වරූපයක් පැවතිණ.

 එහි දෙපස පාළු ස්වරූපයක් ඉසිලුවේය. එහි තිර ගත වූ සියලු චිත්‍රපට දෙමළ චිත්‍රපට විය. මුල් යුගයේ සිංහල චිත්‍රපටයක් දෙකක් තිරගත වුව ද වඩා ජනප්‍රිය වූයේ දෙමළ චිත්‍රපටයන්ය. එයට හේතුව ඒ වටා සිටි බහුතරය දෙමළ ජාතිකයන්වීමය. අසූව දශකයේ පමණ සිනමා හල් අවට හෙට්ටි විදිය, ජම්පටා වීදිය, කදිරේශන් වීදිය ඇතුළු ප්‍රදේශයන්ගේ අලුතින් බිහිවුන වීඩියෝ සිනමාහල් ප්‍රචලිත විය. කදිරේශන් වීදියේ පමණක් වීඩියෝ ශාලා විසි දෙකක් පැවතිණ. මේ අවදියේ චිත්‍රපට ආනයනයේ බලධාරියා වූයේ චිත්‍රපට සංස්ථාවයි. එක් රැයකින් දකුණු ඉන්දියාවේ තැනෙන චිත්‍රපට වීඩියෝ ශාලාවල පෙන්වද්දී සිනමාශාලාවලට ඒවා පැමිණියේ ඉන්දියාවේ තිර ගත කොට මාස ගණනක් ගත වූ පසුවය. එබැවින් මුරුගන් සිනමා ශාලාවේ එවකට හිමිකරුට එහි ගමන අවසාන කිරීමට සාධාරණ හේතු තිබිණ. සිනමාහල කිසිකලක නවීකරණය වූයේ ද නැත. මුරුගන් සිනමා ශාලාව සමග ඒ ආශ්‍රයේම පැවැති සිනමාශාලා රාශියක් අභාවයට පත්විය. ඒ අතර වූ ගෙයිටි,මයිලන්,සෙල්ලමහල් යනු කිසිකලක නාට්‍යාගාර නොව සිනමා ශාලා පමණකි. මුරුගන් සිනමා ශාලාවේ ඡායාරූපයක් හෝ ඉතුරුව නැත. එසේ තිබිණි නම් මෙරට පැරණි නාට්‍යාගාර පිළිබඳ වටිනා ඉතිහාසයක සිහිවටන එහි රැස් වන්නට ඉඩ තිබිණ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.