කළු වත හැඳි මිනිසුන් සමඟ වැසුණු එම්පයර්

ජනවාරි 24, 2019

1915 වසරේ ඇති වූ සිංහල මුස්ලිම් කෝලාහලය ඉතිහාසයේ රැඳී පවත්නේ අඳුරු වකවානුවක් හැටියටය. කෝලාහලය මැඩලීමේ මුවාවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් යුද නීතිය රට පුරා පනවන ලදී. දින සියයක් පුරා පැවැති යුද නීතිය සමයේ සිංහලයන් පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයෝ සියලු මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළහ. පළමුවැනි ලෝක මහා සංග්‍රාමයට බ්‍රිතාන්‍යය පැටළුණ එදවස ඇරඹුණු සිංහල මුස්ලිම් කෝලාහලය ජර්මානු කුමන්ත්‍රණයකැයි සැක කළ පාලකයෝ එය හරහා සිංහල නායකයන් මෙල්ල කිරීමට කළ කෲර ක්‍රියාවලිය පිළිබඳ එවකට මෙරට විසූ ද මෝනිං ලීඩර් පුවත්පතේ කතුවරයා වන ආමන්ඩ් ද සූසා විසින් ඩ්භදඤපඥඤ ඤචරඵ ඪද ජඥරතධද භදඤඥප ථචපබඪචත තචඹ 1915 ග්‍රන්ථයේ මනාව විග්‍රහ කොට ඇත්තේය. (පරිවර්තනය යසපාල වනසිංහ-1915 සිංහල මරක්කල කෝලාහලය).

එම සිදුවීම් මෙම ලිපියට එක් කර ගැනෙනුයේ පබ්ලික් හෝල් නැතහොත් එම්පයර් සිනමාහල ද එම ඉතිහාසයේ වැදගත් ස්ථානයක් බවට පත්වීම නිසාය. ඒ සමයේ කොළඹ පබ්ලික් හෝල් ශාලාවේ ඓතිහාසික රැස්වීමක් පැවැත්විණ. ඒ සිංහල මහා සභාව මඟින් පවත්වන ලද මහා සභා රුස්වීමකි. ඒ කෝලාහලය අතරතුර සැප්තැම්බර් මස 25 වැනි දිනදිය. පබ්ලික් හෝල් ශාලාවේ එබඳු රැස්වීමක් පවත්වන්නට එහි පාලනාධිකාරිය ඉඩදීම සැලකිය යුතු කරුණක් වනුයේ ඒ සමය සැසඳීමේදී එය අභියෝගාත්මක එමෙන්ම නිර්භීත තීන්දුවක් බැවින්ය. බ්‍රිතාන්‍යයන් ගේ අරමුණ වූයේ හිතලුවක් වන ජර්මානු කුමන්ත්‍රණය පෙන්වන අතරතුර මෙරට පිබිදෙමින් ආ නිදහස පිළිබද අරගලය මෙල්ල කිරීමය. මේ කුමන්ත්‍රණයට හසුව මෙරට ව්‍යාපාර කරමින් සිටි ජර්මානු සමාගම් පළවා හැරීයේ ද ඇතැමුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාවන් මතය.

එමෙන්ම බ්‍රිතාන්‍යයන් එයට පෙර 1818 හා 1848 වෙල්ලස්සේ හා මාතලේ දී උගත් පාඩම් නිසා වඩා මර්දනකාරී සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සැරසුණා විය හැකිය. මේ වන විට ඉන්දියානු නිදහස් සටනේ ඇතැම් ක්‍රියාකාරකම් ද ඔවුන්ට හිසරදයක් ව තිබිණ. ඔවුන් එය මැඩලන්නට වෙර දැරුවේ ද සියලු මානව ධර්මයන් නොසළකා හරිමින්ය. එබැවින් වඩා කෘර අන්දමින් මර්දනය දියත් කිරීම බ්‍රිතාන්‍යයන්ගේ අරමුණ විය. එහෙත් එය සාමකාමි බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ පවා දෝෂ දර්ශනයට ලක් වීමට හේතු විය. ආණ්ඩුකාර චාර්මස්ට සිය රස්සාව අහිමි විය. යුද නීතිය යොදා ගනිමින් මෙරට පාලනය කළ අන්දම පිළිබඳ පරික්ෂා කිරීමට කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා ජේම්ස් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිංහල මහා සභාව මගින් රැස්වීමක් පැවැත්වූයේ ද පබ්ලික් හෝල් ශාලාවේය. ඒ වන විට පබ්ලික් හෝල් සමාගම එහි අයිතිය නව හිමිකරුවෙකුට එනම් අධිනීතිඥ ඊ.ටී. ද සිල්වා මහතාට විකුණා තිබිණ.

සිල්වා මහතා ද සිංහල මහා සභාවේ සාමාජිකයකු විය. 1919 නොවැම්බර් මස පළමු වැනි දින පබ්ලික් හෝල් ශාලාවේ පැවැත්වූ එම රැස්වීමට සිංහල මහ සභාවේ සියලු නායකයන් මෙන්ම අති විශාල ජනකායක් සහභාගිවූ වග නොවැම්බර් මස තුන් වැනි දින දිනමිණ වාර්තා කළේය. වාර්තාවට අනුව එදින ශාලාව අතුරු සිදුරු නැතුව පිරී තිබිණ. පබ්ලික් හෝල් ආයතනයේ නීති කටයුතු වෙනුවෙන් ක්‍රියා කළ ජේ.ඩබ්ලිව්.වැන්ඩ්‍රස්ට්‍රාටන් එස්.එෆ් ද සේරම් වැනි නීතිඥයන් එවකට බලසම්පන්න වතුහිමියෝ වූහ.

බහුකාර්ය ශාලාවක් වුව පබ්ලික් හෝල් ශාලාව ඒ වකවානුවේ පැවැති ඉතාම සුඛෝපභෝගි ශාලාව විය. එහි අවට වාසය කළ බහුතරය ඉංග්‍රිසි උගත් එමෙන්ම ඉහළ සමාජයට අයත් වූවන් ය. ඔවුහු බහුතරය මෙරට ගොඩනැගුණ ලාංකික නුර්ති සදහා ආශක්ත වූවෝ නොවූහ. එබැවින්ම දෝ පබ්ලික් හෝල් සිංහල වේදිකාවේ වැදගත් ලකුණක් නොවූයේය. එමෙන්ම එය චිත්‍රපට ප්‍රදර්ශනයට එළැඹිය ද සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයේ දී ද වැදගත් කාර්යභාරයක් ඉටු කළේ නැත. එනමුදු එම්පයර් කොළඹ ඉතා ඉහල මට්ටමේ සිනමාහලක් විය. එහි ප්‍රදර්ශනය කෙරුණේ ද බහුතරය ඉංග්‍රිසි චිත්‍රපටය.

පබ්ලික් හෝල් ශාලාවේ මංගල දර්ශනය පැවැත්වුව ද ජෝන් ද සිල්වා ආදින්ගේ නාට්‍ය දැක්ම සඳහා වඩා විපුල හා ඓතිහාසික කාර්ය භාරයක් සිදුකරනුයේ ද වඩා ජනතාවක් අතරට යොමු වන්නේ ද මරදානේ ටවර් රඟහල ඇතුළු රංග ශාලාවන්ගෙනි. මෙරට නාට්‍යය හා සිනමාවේ කේන්ද්‍ර ස්ථානය මරදාන බවට අනුක්‍රමයන් පරිවර්තනය වූයේය. එමෙන්ම සිංහල සිනමාව වඩා ජනප්‍රිය කරවනුයේ ද මරදානේ පිහිටි එල්ෆින්ස්ටන් හා ගාමිණි සිනමාහලය. එම්පයර් සිනමාහලට යාබද ව එම භූමියේම කුඩා සිනමාහලක් ද 1930 ගණන්වල දී තිබුණ වග ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වරක් පැවසීය. එම සිනමාහල වෙන්ව තිබුණේ සම්භාවනීය චිත්‍රපට සදහා පමණි.

මුල්ම චිත්‍රපට දැක්ම පැවැත් වූ සිනමාහල ලෙස ගෞරවය දිනා ගත යුතු පබ්ලික් හෝල් ශාලාව විසි වැනි සියවසේ දෙවන දශකය වන විට පබ්ලික් හෝල් නම සදහටම අතහැර සම්පූර්ණ සිනමා ශාලාවක් ලෙස ස්ථාවර වන්නට පටන් ගත්තේය. ඒ මදාන් සමාගම මඟින් එය මිළයට ගත් පසුවය. මදාන් සමාගම එම්පයර් සිනමාහලට අමතරව මෙරට සිනමා ශාලා ඉදිකිරිමට ද උත්සුක විය. (මදාන් ලංකාවේ කාර්යභාරය පසුව ලියමි) 1939 වසර වන විට මදාන් සමාගම වස්තු භංගත්වයට පත්විය. ඒ වන විට නැගී එමින් පැවැති දේශිය සිනමා සමාගම වූ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම මඟින් මදාන් සතු ලංකාවේ දේපළ මිළයට ගන්නා ලදී.

ඔවුහු එම්පයර් සිනමාහල පසුකලක නවීකරණය කොට වඩා දියුණු සිනමාහලක් බවට පත් කළහ. කලක් එය කොළඹ ඉතා අංග සම්පූර්ණ හා සුඛෝපභොගී සිනමාහලක් ලෙස වැජඹිණ. එහි මුහුණුවර සහමුලින්ම වෙනස් වන්නට පටන් ගත්තේ එයින් පසුවය. එහි පැරණි දොරටුව කොතැනක වෙත්දැයි සියල්ලටම අමතකව ගියේය. ( 1995 වසරේ පැරණි සිනමා රසිකයකු මේ දොරටුව මට චිත්‍රපටයක් නරඹන්නට ගිය අවස්ථාවක දී අහම්බෙන් පෙන්වා දුන්නේය. ඔහුගේ ඔත්තුව අනුව මා සමඟ ගිය දැන් අමෙරිකාවේ වෙසෙන ඡායාරූප ශිල්පී ශ්‍රියන්ත වල්පොල එහි පැරණි අංග සියල්ල සිය කැමරාවට නඟා ගත්තේය. එවකට සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රචාරක නිලධාරි තුසිත ද අල්විස් අපට උපකාර කළේය.)

එම්පයර් සිනමාහල ඒ වන විටත් එහි ස්වර්ණමය යුගය හමාර කොට විශ්‍රාම ලබන්නට නියමිතව සිටියේය. මෙරට සිනමා රසිකයන්ගේ පරිවර්තනය වටහා ගන්නට වඩාත් සුදුසු සිනමාහල වනුයේ ද එම්පයර් සිනමාහලය. ඒ එතරම් සුඛෝපභොගී සිනමාහල වැසුණු අන්දම කල්පනා කරන විට එය පැහැදිලිය. එම්පයර් සිනමාහල පිහිටි ස්ථානය නිතර ජනී ජනයා නොගැවසෙන ප්‍රධාන බස් රථ මාර්ග වලින් බැහැර වූවකි. චිත්‍රපට නැරඹීමට නම් සිනමාහලටම යා යුතුව තිබුණු කලක එය ගැටලුවක් නොවිණ. එහි ප්‍රක්ෂේපණය ඉතා ඉහළ මට්ටමක තිබිණ. එහි අවසන් සමය වන තෙක් තිරගත වූ බොහෝ ඉංග්‍රිසි චිත්‍රපට ඉහළ මට්ටමේ විය. මෙරට සිනමා ඉතිහාසයේ දැවැන්ත ප්‍රදර්ශන වාර්තාවක් තැබූ අභිමාන් චිත්‍රපටය තිර ගත කරන ලද්දේ එම්පයර් සිනමාහලේය. අභිමාන් 1977 සැප්තැම්බර් මස 01 වැනි දින තිර ගතවීම අවසන්වූයේ අති සාර්ථක දින 530කින් පසුවය.

එහෙත් සිනමාව ගෙදරට එන කල සිනමාශාලා සොයා යායුතු නැත. මෙරට සිනමාවට රාජ්‍ය මැදිහත්වීම සමඟ එයට ව්‍යාපාරික දැක්මක් නොමැති වීමේ ශාපය බොහෝ සිනමා ශාලාවලට මෙන්ම එම්පයර් සිනමාහලට වැදී තිබිණ. සිනමාහලට එන කවර මට්ටමේ හොඳ චිත්‍රපටයක් වුව දින කිහිපයකින් ගැලවීම ස්වාභාවික කරුණක් විය. චිත්‍රපට ප්‍රදර්ශනයේ ඇති වන සියලු අර්බුදවලට ද එම්පයර් එයට ගොදුරු විය. එය තවදුරටත් නඩත්තු කර ගත නොහැකි දැවැන්ත හස්ති රාජයකු විය. එමෙන්ම එම බිම්කඩෙහි සිනමාහලක් පවත්වනවාට වඩා ඉහල ආයෝජනයක් කළ හැකි බැව් එහි හිමිකරුවෝ වටහා ගත්හ. එම්පයර් සිනමාහල ස්වභාවික මරණයකට ළංවූයේය.

2003 වසරේ ඔක්තෝබර් 31 වැනි දින සවස 6.30 ට ප්‍රදර්ශනය වූ “මෙන් ඉන් බ්ලැක්“ චිත්‍රපටයේ නිමාවත් සමග සිනමාහලේ සියලු දොරවල් සදාකාලයටම වසා දැමිණ. චිත්‍රපට සියයකට වඩා නරඹා එහි නිත්‍ය ප්‍රේක්ෂකයකුව සිටි මා අවසන් දර්ශනය නරඹා ආපසු ආවේ මගේ මිහිරි සිනමා සිහින රැසක් පිළිබඳ දුකක් ද සහිතවය. එහි එයට පෙර තිර ගත වූ සිංහල චිත්‍රපටය වූයේ ශ්‍රී ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ නොම්මර එකේ චණ්ඩියාය.

එයින් වසර ගණනාවකට පසු බේබෲක් පෙදෙසේ අංක 51 දරණ තැන අහස සිඹින නිවාස සංකීර්ණයක් ඉදිවිණ. එය එම්පයර් නම අරගත්තේ සිනමාහල පිළිබද මතකය රසිකයන්ට ඉතිරි කරමිනි. එහෙත් එම්පයර් සිනමා ශාලාව සමග 19 වැනි සියවසේ හා විසි වැනි සියවසේ ඓතිහාසික සටහනක් ද අහිමි වූ වග අමතක කළ යුතු නැත. ඒ ඉතා හොඳ සිනමාහලක් පිළිබඳ ආදරණීය සටහනකි.

නුර්තියේ සිට සිනමා ශාලා බවට පත් වූ තවත් සිනමා ශාලා ගැන ලබන සතියේ

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.