සිනමා සක්විති

ජනවාරි 3, 2019

අදින් අවුරුදු 144කට එපිට කොල්ලුපිටිය කොළඹ කොටුවට තදාසන්න වුව ද ග්‍රාමීය වටපිටාවෙන් බැහැරව නොගිය බැව් පැරණි පොත පත පවසා සිටියි. එයට වඩා බ්‍රිතාන්‍යයන්ගේ සුවපහසුව තැනුණු ගල්කිස්ස වඩා දියුණු ස්වරූපයක් ඉසිලුවේය. එහෙව් කොල්ලුපිටියේ අතීත ස්වරූපය විග්‍රහ කර යෑමේ දී එහි වෘත්තිය නැතහොත් ව්‍යාපාරික නාඩගම් කණ්ඩායමක් ගැන කියාපාන සටහනක් 1874 වසරේ ජූනි මස 6 වැනි දින ලක් රිවි කිරණ පුවත්පත හෙළිදරව් කරයි. ඒ එම දහ තුන් වැනිදින වේදිකා ගත කරන්නට යොදා ගෙන සිටි සිසිලියා නාඩගම විසි වැනි දිනට කල් දමන ලද ප්‍රවෘත්තියයි. එයටත් හත් වසරකට පසු එනම් 1881 ජූනි මස 11 වැනි දින වේදිකා ගත වන පෝර්සියා නාඩගම පිළිබඳව ලක් රිවි කිරණ පුවත්පතේ දැන්වීමක් පළ කරන කොල්ලුපිටිය නාඩගම් සංවිධායකයන්ගේ කළමනාකරු මෙලෙස සඳහන් කරයි.

‘මෙම ක්‍රිඩාව බැලීමට පැමිණෙන මහතුන්ගේ සනීපාරක්ෂාව සහ පහසුව සදහා මඩුකූඩාරම් තනා ආසන තිබෙනවාය. එහි වාඩිවීමට කැමැත්තෝ ඒවා භාරව එම ිටින ස්ථානවල සිටින අයවලුන්ට ශත විසි පහ බැගින් ගෙවා ඇතුල්වෙන්නට පුළුවන් බව කරුණාවෙන් දන්වමි. අවසේස උදවියට (ගෙවිල්ල නැතුව) කැමැති ලෙස ක්‍රිඩාව බැලීමට ඉඩ තිබෙන බවත් දන්වමි. “

1874 වසරේ දැන්වීම පළ කරනුයේ එස්.ඩී.ජී ෆොන්සේකා නමැත්තෙකි. මේ අවදියේ කොල්ලුපිටියේ ජීවත්වන්නේ එහි ගැමියන්ය. එස්.ඩී.ජී. ෆොන්සේකා නාමය පිළිබඳ දම්මිත් ෆොන්සේකා ගෙන් විමසා සිටි කළ ඔහුගේ මතය නම් නොඅනුමානවම මේ තම පරපුරේ වැඩිහිටියෙකු බවය. කොල්ලුපිටියේ නියම පදිංචිකරුවන් වන ෆොන්සේකාවරුන්ගේ වාසගමට අයත් එස් අකුරින් හඳුන්වනුයේ සෙම්බුගේ නාමයයි . එම සියවසේ අග කොල්ලුපිටියේ ෆොන්සේකා තරුණයෙකු වන චාල්ස් ෆොන්සේකා දෙහිවලින් කරකාර බැඳ එගම බින්න බැස ගත්තේය. ඔහුගේ මුණුබුරු සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා දෙහිවල සිය උපන් ගම ලෙස සඳහන් කරනුයේ එහෙයිනි. ගාමිණි පුත් දම්මිත් පවසන අන්දමට කොල්ලුපිටිය හන්දිය සමීපයෙහිම තම පරපුරේ ආදිතමයෝ ජීවත්වූහ. එය ඔවුන්ගේ පාරම්පාරික නිජබිමයි. එබැවින් 1874 වසරේ කොල්ලුපිටියේ වේදිකා නාට්‍ය කළමනාකරු වන ඇස්.ඩී.ජී.ෆොන්සේකා සිනමා සක්විති පරම්පරාවේ වැඩිහිටියකු ලෙස සැලකීම කිසිසේත් වැරැද්දක් නොවේ.

කෙසේ වෙතත් මෙරට සිනමාව ව්‍යාප්ත වන්නට පටන් ගත් සමය වන විට බොහෝ නෘත්‍ය ශාලා සිනමා ශාලා බවට පරිවර්තනය විය. සිනමාවේ නැගුන අසීමිත ජනප්‍රියත්වය ඉතා ඉක්මනින් බොහෝ රංග ශාලා සිනමා ශාලා බවට අනුවර්තනය කරන්නට සමත්වීම මුළු ලෝකයේම දැකිය හැකි ප්‍රවණතාවක් විය. මෙරට කවර රංග ශාලාවක් පැවැතිය ද ටවර් ශාලාව යනු නාට්‍ය ඉතිහාසයේ එක් සලකුණකි. එහෙත් ටවර් ශාලාව පවා පසු කලෙක සිනමා ශාලාවක් බවට පරිවර්තනය වනුයේ එහි ආවේණික වේදිකා නාට්‍ය නිර්මාණයන් දෙවැනි තැනට පත් කරමිනි. වර්තමානයේ මෙරට ඇති පැරණි සිනමා ශාලා සිනමා සංස්කෘතියේ දෙදරා යෑමත් සමඟ එකින් එක කාටත් නොකියා හොර රහසේම අතුරුදන් වෙමින් පවතියි.

මෙරට ඉතිහාසය සැලකීමේ දී දැනට ඇති පැරණිතම රංග ශාලා ගොඩනැගිල්ල ලෙස හඳුනා ගත හැක්කේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් භූමියේ පිහිටි පැරණි සමුද්‍රා ගොඩනැගිල්ල ය. පැරණි ගාලු මුවදොර ඡායාරූපවල පවා පැහැදිලිව හඳුනා ගත හැකි මෙම ගොඩනැගිල්ල නොවන්නට ඉන්දියාවේ සුප්‍රකට ටාජ් හෝටල් සමූහයේ කොළඹ හෝටලය නිකම්ම ටාජ් හෝ ටාජ් කලම්බු වන්නට ඉඩ තිබිණ. එය ටාජ් සමුද්‍රා වනුයේ ගාලු මුවදොර සමීපයෙහි ඉන්දියානු සයුරට මුහුණලා පිහිටීම නිසා නොව පැරණි සමුද්‍ර කලාගාරය හේතුවෙන්ය. 1983 වසරේ හෝටලය ඉදි වීමේ දී එකී පැරණි ගොඩනැගිල්ල නව ටාජ් හෝටල් බිමට ඇතුළත් වූවා පමණක් නොව සමුද්‍රා නාමය ද ඉතිරි කර ගත්තේය. මෙම ගොඩනැගිල්ල ඉදි කොට ඇත්තේ 1821 වසෙර්ය. ගොඩනැගිල්ලේ එක් පසෙක එය ඉදි කළ වර්ෂය පැහැදිලිව සඳහන් කොට ඇත. ඒ කලම්බු ක්ලබ් නම් ආයතනයක් මගින්ය. පසුව එය කලම්බු ඇසැම්බ්ලි රූම්ස් කම්පනි මගින් බද්දට ගනු ලැබිණ. ඒ 1869 වසෙර්ය. එම සමාගම පිහිටුවන ලන ලද්දේ ද එවකට කොළඹ වාසින්ට සිය ප්‍රසංග කලා කටයුතු ආදිය පවත්වා ගැන්ම උදෙසාය. සමාගම නිසාම ඇසැම්බ්ලි රූම්ස් නමින් හඳුන්වන ලද මෙම ශාලාවේ එවකට මෙරටට පැමිණි බොහෝ යුරෝපිය නාට්‍ය රංග ගත කරන ලදී. ඇසැම්බිලි රූම්ස් බොහෝ දුරට වෙන් කර ගත්තේ ඉංග්‍රිසි කතා කළ පන්තියට බැව් පෙනී යන කරුණකි. එය සමුද්‍රා කලාගාරය ලෙස නම්වනුයේ පනහ දශකයේ පමණය. එය හෝටලයට අයත් වන තුරුම මෙරට විවිධ චිත්‍ර ප්‍රදර්ශන වැනි බොහෝ කලා කටයුතු වලට නම් දැරූවේය. මෙම ශාලාවට ස්ථිර වේදිකාවක් නොවිණ. අද විවිධ මංගල හා වෙනත් ප්‍රියසාද පැවැත්වෙන ටාජ් සමුද්‍ර හෝවලයේ ක්‍රිස්ටල් බෝල්රූම් නමින් හැඳීන්වෙන ගොඩනැගිල්ල දැනට ඉතිරිව ඇති පැරණිතම රංග ශාලාවක්යැයි එහි යන විට සිහියේ තබා ගැනීම වැදගත්ය.

යුද හමුදාවට අයත් ගැරිසන් තියටර් ද මෙලෙස පැරණි නාට්‍ය ශාලාවක් විය. පිහිටීම අනුව ඇසැම්බ්ලි රූම්ස් හා ගැරිසන් තියටර් තරමක් සමීපයේ තිබිය යුතුය. ද ග්‍රෑන්ඩ් ඔරියන්ටල් තියටර් නම් ශාලාව පිහිටියේ කොළඹ කොටුවේය. ඒ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට යාබද ගොඩනැගිල්ලක උඩුමහලේය. මෙම ශාලාවට ඒ නම ලැබුණේ අසල පිහිටි ඒ වන විටත් ආසියාවේ කීර්තිමත් හෝටලයක් වන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය නිසා විය යුතුය. කොල්ලුපිටියේ ස්ටුවට් පෙදෙසේ පිහිටි බෑන්ක් හවුස් ගොඩනැගිල්ලේ පැවැති බිෂූ තියටර් ද මේ ආකාරයෙන් එකල පැවැති නාට්‍ය සහ වෙනත් ප්‍රසංග සඳහා ගොඩ නඟන ලද ශාලාවක් විය . කොළඹ කොටුවේ ද බිෂු නමින් රංග ශාලාවක් විසි වන සියවස මුල දැකිය හැකි අතර එය වඩා පහසුකම් සහිත ශාලාවක් බව හඳුනා ගත හැක්කේය. මෙම ශාලාව කොළඹ මධ්‍යම පාන්තිකයන්ගේ වැඩි අවධානය දිනා ගත් රංග ශාලාවක් විය. එහෙත් මේ කිසිදු ශාලාවක් සිනමා ප්‍රදර්ශනය සදහා යොදා ගත් වගක් පළ නොවේ.

මෙයට පෙර ද මෙම ලිපි මාලාවේ සඳහන් කළ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මල්වත්ත පාරේ පිහිටි පුෂ්ප ශාලාව සෙසු රංග ශලාවන්ට වඩා ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නට ඇතැයි අනුමාන කළ හැක්කේ එහි පිහිටීම සලකා බැලීමෙනි. සූරිය ගස් නිසා සූරිය උයන ලෙස ද පසු කලෙක අලංකාරය උදෙසා මල් වැවීම නිසා මල්වත්ත ලෙස ද හඳුන්වනු ලබන මෙම භූමි භාගයේ ටෙනිස් පිටියක් ලෙස ද භාවිතයට ගැනීම නිසා රැකට් කෝට් ලෙස ද හඳුන්වා දී ඇති වග පැරණි කොළඹ පිළිබඳ සොයා බැලීමේ දී පැහැදිලිව පෙනෙන්නකි. කොටුවේ දුම්රිය පොළ ද වරාය ද මැදින් පිහිටි මේ භූමි භාගය එදා පවා මෙරට වටිනාම බිම්කඩක් වීම පුදුමයක් නොවේ. මෙම භූමිය කොළඹ පැවැති විවිධ ප්‍රදර්ශන සැණකෙළි යනාදියට පහසුම තැනක් ලෙස සැල කුනු වග 19 වන සියවසේ මැද භාගය වන විට පෙනී යන කරුණකි.මෙම භූමි භාගය පළමුව යුද හමුදාවේ පාලනය යටතේ පැවැතියත් පසුව එය කොළඹ නගර සභාව පිහිටුවා ලූ පසු එහි බාරයට පත් විය. 1869 වසරේ කොළඹ නගරයේ අලුත් ශාලාවක් ඉදි කරන්නට යෝජනා වුව ද පළමුව ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ කොල්ලුපිටියේ පිට්ටනියයි. එම ගොඩනැගිල්ල ඉදිවුයේ නැත. මේ වන විට පාර්සි නාට්‍ය කණ්ඩායම් මල්වත්තේ සිය නාට්‍ය රඟ දැක්වුව ද ඒ සදහා ස්ථිර ගොඩනැගිල්ලක් නොවිය. 1883 වසරේ අගෝස්තු මාසයේ සූරියකොටුවේ පවත්වන ලද ප්‍රදර්ශනය සහ සල්පිල සඳහා ගොඩනැගිලි කිහිපයක්ම ඉදිවුණු අතර මල් ප්‍රදර්ශනයක් සඳහා හෝටිකල්චරල් හෝල් නම් ගොඩනැගිල්ලක් ඉදිවිණ. ප්‍රදර්ශනයෙන් අනතුරුව සෙසු ගොඩනැගිලි කඩා දැමුන ද මෙම ගොඩනැගිල්ල කොළඹ නගරයට අඩුපාඩුවක් පැවැති විවිධ ප්‍රසංග සදහා සුදුස පරිද්දෙන් ගෑස් පහන් ආලෝකයෙන් එළිය කොට සකස් කරන්නට බලධාරිහු කටයුතු කළහ. අඩි 96 ක් දිගින් හා පළලින් අඩි 35 ක් වූ එහි ශාලාව වටේ අඩි 10 පළල ඉස්තෝප්පුව ක් ද වූ වග පැවැසෙයි. එහි කෙලවරක වේදිකාවකි. ඒ ලක්ෂණ අනුව අනුව බලන විට එය තරමක විශාල ශාලාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. මල් ප්‍රදර්ශනය පැවැත්වූ හෙයින් එය පුෂ්ප ශාලාව කුසුම ශාලාව මෙන්ම ෆ්ලෝරල් හෝල් යන විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලැබිණ. එහි අවම වශයෙන් එකවර පන්සියකට වුව පහසුවෙන් නාට්‍ය නැරඹිය හැකි විය. පොල් අතු වහලයකින් යුක්ත වුව ශාලාවේ එයට යටින් සිවිලිමක් සකසා තිබුණ අතර බිම තේක්ක වලින් ආවරණය ව තිබිණ. හමුදා නියමය පරිදි ශාලාව ආවරණය නොකොට විවෘතව තිබුණු අතර ඉදි කෙරුණේ ද පැය විසි හතරක් ඇතුළත කඩා දැමිය හැකි පරිද්දෙන්ය.

නිශ්ශංක විජේරත්න

 

 

 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.