සිංහල නෘත්‍ය මණ්ඩලයේ මුල්ම සිංහල කන්‍යාව කවුද මේ

ආනා පෙරේරා හෙවත් ආනා කන්නන්ගර
දෙසැම්බර් 20, 2018

ආනා පෙරේරා හෙවත් ආනා කන්නන්ගර යනු කවරෙක්දැයි වර්තමානයේ ජීවත් වන රංගනය සිය ජීවිතය කොට ගත් කිසිවකු හෝ දන්නේදැයි විශ්වාස කිරීම උගහටය. එහෙත් මෙරට රූපණ වේදය හදාරන්නන් පමණක් නොව එහි විෂය දැන නියැළෙන්නන් ද ඇය පිළිබඳ සොයා බැලීම ඉතා වැදගත්ය. ඒ ඇය මෙරට ප්‍රථම රංගන ශිල්පිනිය බැවින්ය. ආනා පෙරේරා ලාංකික වේදිකාවට ගොඩ වනුයේ 1885 වසරේ ය. ඒ රොම්ලිනා නාටකයේ රොම්ලින් කුමරියගේ චරිතය සඳහාය. චරිත නිරූපණය තබා ස්ත්‍රින්ට නාට්‍යයක් නැරඹීමට පවා අවස්ථාවක් නොලද සමයක ආනා පෙරේරා විසින් ප්‍රසිද්ධ වේදිකාවේ චරිතාංග රංගනයක යෙදෙනු ලැබීම විප්ලවයක් සේ සැලකිය යුතුය. 1889 වසරේ විවාහ වන ආනා එයින් පසු හැදින්වනුයේ ආනා කන්නන්ගර නමිනි.

1885 වසරේ සැප්තැම්බර් 8 වැනි දින සරසවි සඳරැස පුවත්තේ පළවන දැන්වීමකට අනුව ‘පරණ සිරිත් වූ පුරුෂයෝ ස්ත්‍රින් මෙන් පෙණීම වෙනස් කර ස්ත්‍රියක්ම පෙනී සිටීම, සිංහල නෘත්‍ය මණ්ඩලයක පළමුවැනි වරට සිංහල කන්‍යාවක් නෘත්‍ය දැක්වීම“ සිදුවෙයි. මේ ආනා පෙරේරා ගේ වේදිකා සම්ප්‍රාප්තියයි. ඇයගේ පුත්‍රයා වූ ඩී.ඇම්.කන්නන්ගර සමඟ කළ සංවාදයක් 1966 මාර්තු 29 වැනි දින වනිතා විත්ති පුවත්පතේ පළ විය. ආනා පෙරේරා හෙවත් ආනා කන්නන්ගර ගේ පවුලේ සාමාජිකයෙකු හෝ ඒ පිළිබඳ දන්නා තවත් තොරතුරු ඉදිරිපත් කළ හැකි සරසවිය පාඨකයකු වෙතොත් වහා අප වෙත දන්වන්නැයි ඉල්ලා සිටින්නෙමි. පසුකලක බිහි වන අග්‍රගණ්‍ය රංගවේදී පරම්පරාවට මුල සපයන මෙම ආනා පෙරේරා ට මෙරට සියලු රංග ශිල්පීන් හා ශිල්පිනියන්ගේ ගෞරවය හිමි විය යුතුය.

හින්දුස්තාන් ඩ්‍රැමටික් කම්පනි මගින් ඉන්ද්‍රසභා නාටකය හරහා මෙරට පැළ කළ බීජය ඔස්සේ ගොඩනැගුණ තවත් කතිකාවක් වූයේ විදෙස් නාට්‍ය කණ්ඩායම් මගින් මෙරට ධනය උදුරා ගැනීම පිළිබඳ අවධානය යොමුවීමය. මෙහි කාසිය පිටරට ඇදීමට එරෙහිව ගොඩනැඟුන මෙම කතිකාව බොහෝ පුවත්පත් වලට වස්තු විෂයක් විය. විශේෂයෙන් මෙරට වේදිකා නාට්‍යය නිර්මාණය කිරීම සඳහා එම මතවාදය හොඳ උත්තේජකයක් විය. 1877 මැයි 26 වැනි දින හින්දුස්තාන් ඩ්‍රැමටික් කම්පනි යේ ඉන්ද්‍ර සභා වේදිකා ගත වී සත් මසක් ඇතුළත එනම් දෙසැම්බර් 27 වැනි දින සී.දොන් බැස්ටියන්ගේ රොලිනා වේදිකා ගත වන අතර එය 1878 වසරේ ජනවාරි 04 වැනි දින දක්වා (ජනවාරි පළමු වැනි දින හැර) වේදිකා ගතවිය. රොලිනා අතිශය ජනප්‍රියවූයේ යැයි නිගමනය කළ හැක්කේ එම දර්ශන වාර සළකා බැලීමෙනි. මුල්ම සිංහල කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වන්නේ එයින් වසර හැටකට පසුවය. එනම් 1947 වසෙර්ය. 1877 සිට 1920 පමණ වන තෙක් නුර්තියේ අභිමානවත් යුගය ගොඩ නැඟෙන්නේය. නූර්තිය වෙනුවෙන් ගොඩ නැඟෙන රංග ශාලාවන් දශක තුනක් ඇතුළත යුරෝපය හරහා එන සිනමාව මඟින් ගිල ගනු ලබනු පෙනී යන කරුණකි.

බැස්ටියන් විසින් ආරම්භ කරනු ලබන මෙරට මුල්ම නුර්තිය වූ රොලිනා සඳහා පාර්සි නාටකයන්ගේ මෙන්ම එයට පෙර මෙරට වේදිකා ගත වූ වෙනත් විදෙස් නාට්‍ය කණ්ඩායම්වල සහ පැරණි නාඩගම්වලින් ද අනුබලය ලැබිණ. එහෙත් පාර්සි නාට්‍යයන්ගේ බලපෑම සෙසු විදෙස් නාට්‍යයන්ගේ බලපෑම අබිබවා ඉක්මනින් පැතිර ගියේය. එයට හේතුව පාර්සි නාටක ගීතයෙන් නර්තනයෙන් පිරි හුදු විනෝදය සපිරි නිර්මාණ වීමය. එමෙන්ම පාර්සි නාටක සමාගම් ඒවා නිපදවූයේ ඔවුන්ගේ සෙසු ව්‍යාපාර මෙන් ලාභය පෙරදැරි කොට ගෙනය. අලුතින් නාගරීකරණය වන රළු ජීවිතයට පුරුදු වන මිනිසුන්ගේ එදිනෙදා විනෝදාස්වාදයට එය කදිම උත්තේජකයක් විය. බැස්ටියන් හා සමකාලීනව බිහිවුණ සෙසු නූර්ති කණ්ඩායම් මෙන්ම ඔවුනගේ නිර්මාණ විමසීමේ දී ඒ බව ප්‍රත්‍යක්ෂ වේ. බැස්ටියන් විසින් බිහි කරන ලද නූර්තියේ දෙවැනි නිෂ්පාදනය වන රොම්ලිනා වේදිකා ගත කරන්නට තවත් අවුරුදු හතක් ගත විය. ඒ වෙනුවෙන් 1882 වසරේ දී කොළඹ කුමාර වීදියේ අංක 39 දරන ලිපිනයැතිව සීමාසහිත සිංහල නෘත්‍ය සමාගම(SINGHALESE DRAMATIC CLUB)  යනුවෙන් ආයතනයක් ගොඩ නැංවිණි. මේ නූර්තිය ව්‍යාපාරික මට්ටමින් ගොඩනැඟීමේ ලකුණු පළ කරන සාධකයකි. එහි කොටස් කරුවන් වූයේ කොටුවේ හා පිටකොටුවේ සිටි සිංහල ව්‍යාපාරිකයන්ය.

මේ අවදියේ පිටකොටුවේ සිටි ව්‍යාපාරිකයන් බහුතරය ඉන්දියානුවන්ය. අනිත් බහුතරය මුස්ලිම් ව්‍යාපාරිකයන්ය. සිංහල ව්‍යාපාරිකයන් සිටියේ අතළොස්සකි. බැස්ටියන් සිය මුල්ම නිෂ්පාදනය සඳහා වැය කරන ලද්දේ තමාගේම ධනයයි. සීමාසහිත සිංහල නෘත්‍ය සමාගම බිහි වද්දී ඩී.බර්තොලමියුස් නාට්‍ය සමාගමේ කළමනාකරු නැතහොත් ලේකම් ධුරයට පත්ව සිටියේය. ඔහු මෙන්ම එහි භාණ්ඩාගාරික ධුරය දැරූ ඩබ්ලිව්.ජෝන් පෙරේරා ද බැස්ටියන්ගේ පුණ්‍ය සංවරී පාසලේ උගත් එහි තෑගි ලද සිසුහු වූහ. සිංහල නෘත්‍ය සමාගම ලාබ ලබන සමාගමක් ලෙස හුවාදැක්විය හැකි නමුත් ඒ සමග එය සංගමයක් ද නැතහොත් සමාජයක් ලෙස පැවැතියේ ද යන ගැටලුව පැනනඟී. මේ වන විට නාට්‍ය ව්‍යපාරයක් ලෙස ගොඩ නැගීමට ඇති ඉඩ කඩ වැඩිය. ඒ ඔවුන් අනුගමනය කරනුයේ පාර්සි නාටක සම්ප්‍රදායන් බව පැහැදිලිව පෙනෙන හෙයින්ය. බර්තොලමියුස් නාට්‍ය කළමනාකරණයෙහි මතුනොව නළුවකු ලෙස ද අතිශය ජනප්‍රිය ව සිටියේය. වසර කිහිපයකට පසු බැස්ටියන් සහ බර්තොලමියුස් අතර ඇති ගුරු ගෝල සම්බන්ධතාවය දෙදරා ගියේය. ඇතැම් තැනක සිංහල නෘත්‍ය සමාගම ලෝකේක නෘත්‍ය සමාගම ලෙස ද හඳුන්වා දී ඇත. එයට පර රොලිනා නිපද වන විට බැස්ටියන් එයට නම තබනුයේ තාරුණික නාට්‍ය සභාව යනුවෙන්ය. මෙහිදී විදෙස් රට රාජ්‍යයන් හරහා යාවත් කාලින අත්දැකීම් ලද පාර්සි හා වෙනත් විදෙස් නාටක සමාගම් සමග තරග වදින ලාංකික නෘත්‍ය සමාගම් එකී කාලය ඇතුළත කවර අරගලයක යෙදෙන්නට ඇතිද යන්න විමසා බලනු වටින්නකි. සිංහල නෘත්‍ය සමාගම පිහිටුවා වැඩි දිනක් යන්නට පෙරාතුව කොල්ලුපිටිය නෘත්‍ය සමාගම ද පූර්ණ චන්ද්‍රාලෝක නෘත්‍ය සමාගම ද ,දහර තාණ්ඩව නෘත්‍ය සමාගම ද ,කොළඹ 

නෘත්‍ය සමාගම ද ආදි වශයෙන් සමාගම් රාශියක් කොළඹ මෙන්ම සෙසු ප්‍රදේශවල ද ගොඩ නැඟිණ . මේ සියලු නෘත්‍ය සමාගම් හරහා ලංකික විනෝදාස්වාදය ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් වනු පෙන්වයි. මෙරට නෘත්‍ය සමාගම් රාශියක් මේ අවදියේ ගොඩ නැගුණ ද මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය යුතු තවත් සමාගමක් වන 1885 වසරේ ඇරඹෙන පූර්වදිග නෘත්‍ය සමාගම අරඹන ලද්දේ ජෝන් ද සිල්වා විසිනි. බැස්ටියන්ගේ සිංහල නාට්‍ය සමාගම සිය දෙවැනි නිෂ්පාදනය කරළියට නංවන විට මෙරට අතිශය ජනප්‍රියව පැවැතියේ එල්ෆින්ස්ටන් ඩ්‍රැමටික් කම්පනි නම් පාර්සි නාටක සමාගමේ නාට්‍යයන්ය. එල්ෆින්ස්ටන් නාමය ලාංකික සිනමාවේ මෙන්ම ඉන්දියානු සිනමා කර්මාන්තයේ ද වැදගත් නාමයකි.

සිංහල නෘත්‍ය සමාගම අවශ්‍ය බඩු භාහිරාදිය එංගලන්තයෙන් ගෙන්වා ගත්තේයැයි ඔවුන් විසින් දැන්වීම් පළ කරන නමුදු සරසවි සඳරැස පුවත්පත 1884 සැප්තැම්බර් 19 වැනි දින පළ කරන කතුවැකියෙහි සඳහන් වනුයේ සමාගම පටන් ගත් දවසේ සිට මෙරට වෙළෙන්දන්ට, මැහුම්කාරකාදින්ට, හා තවත් බොහෝ කුලීකාරයන්ටත් කිසි කලෙක බලාපොරොත්තු නොවූ මුදලකින් ප්‍රයෝජන ලැබුණු වගය. එමෙන්ම ඒ සඳහා දායක වූ සෙසු ශිල්පින් ද එවකට මෙරට සිටි ඉහලම කලාකරුවෝ වූහ. චිත්‍ර නිර්මාණය කරන ලද ජෝර්ජ් හෙන්රිකස් එබන්දෙකි. එමෙන්ම සිංහල නෘත්‍ය සමාගම තවත් කාරණයක් නිසා වැදගත් වනුයේ මුල්වරට ස්වකීය නාට්‍යය උදෙසා රංග ශාලාවක් කොළඹ මල්වත්ත පාරේ ම ඉදි කළ හෙයිනි. මෙම නෘත්‍ය ශාලා ස්ථිර ගොඩනැගිලි නොවු පොල් අතු මඩුවක් විය. මෙම ශාලාව ගෑස් පහන් වලින් ආලෝකමත් ව තිබිණ. මේ වන විට කොළඹ නගරය ගෑස් පහන් මගින් ආලෝකමත් කිරීම ආරම්භ කර තිබිණ. එමෙන්ම එහි ආසන පළමුවැනි දෙවැනි හා තුන්වැනි පන්ති සහ අන්තිම ආසන ලෙස වෙන් කොට තිබුන අතර ඒවාට පිළිවෙලින් රුපියල් 2, 1.50, රුපියල හා සත පනහ යනුවෙන් අය කරන ලදී. දස හැවිරිදි විය නොඉක්ම වූ දරුවන්ගෙන් අය කරන ලද්දේ නියමිත මුදලින් හරි අඩකි. මේ වන විටත් මල්වත්තේ පුෂ්ප ශාලාව හෙවත් ෆ්ලෝරල් ශාලාව ඉදිව තිබුණත් එය වෙන්ව තිබුණේ ඉංග්‍රිසි නාට්‍ය සඳහාය. එමෙන්ම මුල් දර්ශන වාරය අගෝස්තු මාසයේ 2 වැනි දින සිට සැප්තැම්බර් 6 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත වූ රොම්ලින් නාටකය තවත් සතියක් පුරා රඟ දක්වන්නට සංවිධායකයෝ තිරණය කළහ.

එමෙන්ම මෙම නාට්‍යය සංවිධානයේ පෙන්වූ කුසලතාව හේතුවෙන්ම සමාජයේ විවිධ තරාතිරමේ පිරිස ඒ නැරඹිමට පැමිණි වග සමකාලින වාර්තා හෙළි කරයි. ලක්මිණි පහන පළකරන අන්දමට විනිශ්චයකාරවරු, නිතිඥවරු, මහමුදලි තුමා පමණක් නොව එවකට ආණ්ඩුකාරධුරය දැරූ ශ්‍රීමත් ආතර් ගෝඩ්න් හා ආර්යාව ද නාට්‍ය නැරඹීමට පැමිණි වග වාර්තා වෙයි. එමෙන්ම මේ සමග මුල් වරට කාන්තාවෝ ද නාට්‍ය නැරඹීමට පැමිණියහ. දින දෙකක්ම තම සැමියා සමග නාට්‍ය නැරඹිමට ගිය මේරි මැටිල්ඩා නම් කාන්තාවක් සරසවි සඳරැස 1884 අගෝස්ත 8 වැනි දින පුවත්පතට “නෘතයන් බැලීමට අප රටේ ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම සුදුසු බව“ පවසා සිටියාය. එමෙන්ම සිංහල දත් ප්‍රේක්ෂකයන්ට සිංහලෙන් මෙන්ම සිංහල නොදත් ප්‍රේක්ෂකයන්ට ඉංග්‍රිසි බසින් ද නාට්‍යයන පත්‍ර නමින් හඳුන්වන රංග පත්‍රිකා ද බෙදා දෙන ලදී. මෙහිදී ජවනිකාවෙන් ජවනිකාවට නාට්‍ය අවබෝධ කර ගැන්මට රසිකයාට හැකිවන්නේය. මෙම සිරිත ද මුල් සිනමා කෘති ප්‍රදර්ශනයේ දී අනුදත් සිරිතක් බව සඳහන් කළ යුතුය. එමෙන්ම මෙම නාට්‍ය සියල්ලටම ගීතය අනිවාර්ය අංගයක් විය. නූර්තිය බිහි වන්නට ප්‍රථම පවත්වන ලද සංගීත ප්‍රසංග නිසාම හින්දුස්තානි සංගීතය මෙරට ජනප්‍රිය ව තිබිණ. එබැවින් නූර්තියේ පැමිණි බොහෝ ගීත හින්දුස්තානි තාල අනුව ලියැවුණු බව පැහිදිලිය. මේ වන විට මෙරට සාමාන්‍ය ජනයා පමණක් නොව ප්‍රභූ පැලැන්තියේ නිවාසයන්ගේ පවා ඉඳහිට සංගීත සන්ධ්‍යාවන් පැවැති වග වාර්තා වෙයි. පසුකලෙක අතිශය මිහිර ගී තනු නූර්ති ඔස්සේ මෙරට රසිකයන්ට අසන්නට සැලැසූ විශ්වනාත් ලව්ජි ජෝන් ද සිල්වාට මුල් වරට මුණ ගැසෙන්නේ මහමුදලි ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක ගේ (අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ පියාණන්) නිවහනේ පැවැති සාදයක දී බැව් පැවසෙයි.

රොම්ලිනා නාටකය සමග තවත් නාට්‍ය හතරක් එවර දැක්මේ දී වේදිකා ගත විය. එනම් රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම, ෆ්‍රෑන්ක්ලි සහ ඉංගර්ලි, රොලිනා සහ රෝමියෝ ජුලියට් සහ ප්‍රොටියස් සහ වැලන්ටයින්ය. එමෙන්ම නාට්‍ය රඟ දැක්විමට පෙර පුවත්පත් කතුවරුන්ට විශේෂ ආරාධනා කරන්නට ද රොම්ලිනා සමග සිංහල නෘත්‍ය සමාගම වග බලා ගත්හ.මේ වර්තමානයේ පුවත්පත් කලාවේදින් වෙනුවෙන් පවත්වනු ලබන මාධ්‍ය දර්ශන හෙවත් ‘ප්‍රෙෂ් ෂෝ‘ ආරම්භය ලෙස සැළකිය හැක.

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.