සෝබන මාළිගාවෙන් ඇරඹුණු සිනමා ප්‍රකාශනය

නොවැම්බර් 22, 2018

මෙරට චිත්‍රපට ඉතිහාසයේ සැබෑ කතාව ලිවීමේ දී අප විසින් පසුගිය සතියේ උපයෝගි කොට ගන්නා ලද්දේ දික්වැල්ල ලේක් හවුස් වාර්තාකරු ජී.සිරිසේන මහතානන් මගින් වැවුරුකන්නල පන්සලේ මැජික් ලන්තෑරුම පිළිබඳ ලියා එවන ලිපියකි.ඒ අපගේ ආරාධනයෙනි. එම පන්සලට මැජික් ලන්තෑරුම ලැබුණේ කොහින්දැයි සොයා ගන්නට විධියක් නැත.එමෙන්ම එය නිෂ්පාදිත රට හෝ සොයා ගත නොහැකිය.කෙසේ වෙතත් මෙරට චිත්‍රපට ඉතිහාසයේ නොලියවුන යුගයකට මෙම මැජික් ලන්තෑරුම ඇතුළත් විය යුතුය. වැවුරුකන්නල පන්සල මැජික් ලන්තෑරුම මගින් ඵල ප්‍රෙයෝජන ලබන සමය වන විට ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශකයන් මෙරට දී චිත්‍රපට ප්‍රදර්ශණයේ මුල් පියවර තබා අවසන්ය.1914 වසර වන විට ඉන්දියානු සංචාරක සිනමා ප්‍රදර්ශකයෝ ලංකාවේ ද ගම් දනව් සැරිසරමින් චිත්‍රපට ප්‍රදර්ශණය කළ බව ඉන්දියානු සිනමා ඉතිහාසය අපට සාක්ෂි සපයයි.එසේ නම් ලුමියෙර් ගේ සිනමා ප්‍රක්ෂේපන යන්ත්‍රයට පෙරාතුව සිනමාවේ ප්‍රාග් යුගයේ අත්දැකීම් ලංකික සිනමා රසිකයන් අත් විඳ නොතිබිණ ද යන ගැටළුව අප අභියස පවතියි.පිළිතුර එසේ දැක ගත් බවයි.

 

චලන චිත්‍රය ආරම්භ කළ පසු එමගින් සිය දේශපාලන මති මතාන්තර රට පුරා ව්‍යාප්ත කිරීමෙහි වටිනාකම අවබෝධ කොට එයට අගයක් දුන් රාජ්‍ය නායකයන් පෙළ ක් අපට ලෝක ඉතිහාසයේ හමුවෙයි.ඒ අතර වී.අයි.ලෙනින්,මහත්මා ගාන්ධි,ඇඩොල්ෆ් හිට්ලර් ද වෙයි. රූපයෙන් උදාහරණ කොට දක්වා සිය අභිමතාර්ථය මුදුන් පත් කර ගත් තැනැත්තෙකු අපට හමුවන්නේ ඔවුන්ට පෙරාතුවය.එය දේශපාලන අවශ්‍යතාවක් පමණක් සඳහා නොව ආගමික ශ්‍රද්ධා භක්තිය උදෙසා කළ කාර්යයක් වීමෙන් එහි අගය තවත් වැඩිවන්නේය. ඒ වන විට චලන චිත්‍රය පැවැතියේ විළි රුදා ලන අවධියේය.එනම් 1894 වසරේ පමණය. ඒ අනගාරික ධර්මපාලතුමන් ය.

1883 වසරේ අමෙරිකාවේ චිකාගෝ නුවර පැවැති සර්ව ආගමික සම්මේලනයට සහභාගි වන ධර්මපාල තුමන් ඒ වනවිට අත්හදා බැලීමේ පසුවන චලන චිත්‍ර යන්ත්‍රයේ වටිනාකම අවබෝධ කරගනියි.එයින් පසුව ලංකාව පුරා සිය දේශන සඳහා එතුමන් මැජික් ලන්තෑරුම උපයෝගි කර ගත් බව ධර්මපාල චරිතය විමසද්දී පෙනී යන්නකි.උන් වහන්සේ සිය සෝබන මාළිගාව නම් ගමන් කරත්තය මගින් ගම් දනව් පුරා සැරි සරමින් බෞද්ධ පුනරුදයක් ගොඩ නැංවූයේය. ලුම්බිණිය,බුද්ධගයාව,කුසිනාරාව ඇතුළු දඹදිව බෞද්ධ සිද්ධස්ථානයන් ගේ එදා ඡායාරූප මැජික් ලන්තෑරුම මගින් උන් වහන්සේ මෙරට ජනතාව ඉදිරියේ ඔප්පු කර සිටියේය.

ඒ වන විට එම සිද්ධස්ථාන පැවැතියේ අන්‍ය ආගමිකයන් යටතේය.එහි බෞද්ධ උරුමය රැක ගැනීම ධර්මපාල තුමන්ගේ අභිලාෂ අතර විය.එහි පැවැති තත්වය ඡායාරූප ගත කොට මැජික් ලන්තෑරුම ආධාරයෙන් ජ නතාව හමුවේ සැබෑ තත්වය විදහා පාන්නට උන් වහන්සේට ගේ අභිප්‍රාය විය.මේ අදහස කෙතරම් සඵල වීද යත් දඹදිව සිද්ධස්ථාන ප්‍රදර්ශනයෙන් කළුතර,ගාල්ල,මාතර සහ මහනුවර යන ප්‍රෙද්ශවලින් පමණක් උන් වහන්සේගේ අරමුදලට රුපියල් දහසක් පමණ එක් කර ගැනීමට හැකි විය.

දඹදිව බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට යළි උරුම වූයේ එකී රැස් කර ගත් මුදලිනි. ආචාර්ය ධම්මික දිසානායක මෙරට චලන චිත්‍ර ඉතිහාසය පිළිබඳ කළ ගවේශනයේ දී ධර්මපාල තුමන් විසින් කරන ලද එම මෙහෙවර හරහා මෙරට සිනමාවේ පුරෝගාමි මෙහෙවරක් උන් වහන්සේ අතින් නොදැනුවත්ව හෝ සිදුව ඇති වග අනාවරණය යි.

පසු කලෙක මෙරට චිත්‍රපට නිෂ්පාදනය සඳහා සංධිස්ථානයක් වනුයේ ද ධර්මපාලතුමන් වීම විශේෂයකි.ඒ 1922 වසරේ දී කල්කටාවේ ධර්මරාජික විහාරස්ථානයට ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ වාර්තා චිත්‍රපටයක් මෙරට නගර පුරා සාර්ථකව ප්‍රදර්ශනය වීමය.මේ වන විට වරින් වර කායික ගිලන් වෙමින් සිටි උන් වහන්සේ ගේ අප්‍රතිහත ධෛර්යය නිසා එවකට කල්කටාවේ සිටි බ්‍රිතාන්‍ය ආණඩුකාර රෝලන්ඩ්හායි සාමිවරයාගේ මැදිමහත්වීම මත මෙම ධාතුන් වහන්සේලා ලබා ගන්නට ධර්මපාල තුමන්ට ඉඩ ලැබිණ.

ධර්මපාල තුමන්ගේ ප්‍රධාන අනුගාමිකාවික වූ ෆොස්ටර් මැතිණිය ද මේ අවස්ථාවට සහභාගි විය.මේ අවස්ථාව රූප ගත කොට මෙරට සිනමාහල් වල ප්‍රදර්ශණය විය.එය විශාල ජනකායක් නැරඹූහ.මෙම ලිපි මාලාවේ ඉදිරියේ ඒ පිළිබඳ විස්තර පළ වනු ඇත.

සම්ප්‍රදායික ගැමි නැටුම් ඉක්මවා පසුකාලිනව මෙරට සිනමාවේ හැඩ රුව සඳහා දකුණු ඉන්දියානු සිනමාව පමණක් බලපාන්නට ඇත්තේ කවර කරුණක් ද යන්න මීළඟට විමසා බැලිය යුතු කරුණකි.දකුණු ඉන්දියානු ලකුණ හුදු ඉන්දියානු සිනමාකරුවන් ගේ සිංහල චිත්‍රපට සඳහා පමණක් නොව එයින් ආභාෂය ලද බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න වැන්නෙකු ගේ හා ස්වදේශිය සිනමාවක් අභිලාෂයෙන් කතා කළ සිරිසේන විමලවීරයන්ගේ සිනමාවේ ද කැපී පෙනෙන්නකි.එබඳු ඉන්දියානු ලක්ෂණ පමණක් පහල වීමේ දෝෂය හා ඉන්දියාවේ උපත ලබන මෙරට සිනමා කර්මාන්තයේ ව්‍යාපාරික ව්‍යූහය ලාංකික සිනමාවේ ව්‍යාපාරික ව්‍යූහයට වඩා හාත්පසින් වෙනස් වනුයේ කවර කරුණක් නිසාවෙන් ද යන්න විමසා බැලිය යුතුය.එබැවින් ඒ සඳහා අපේ සිනමාවත අවධානය යොමු කරවනුයේ මෙරට ව්‍යාපාරික මට්ටමින් ගොඩ නැගුණ නාට්‍ය ව්‍යාපාරය වෙතටය.

පහළොස් වන සියවසේ දි මෙරටට පැමිනි කතෝලික සභාවේ පූජකවරු 1602 සහ 1604 වසර යන්ගේ නාට්‍ය දර්ශන පැවැත් වූ බව සිංහල නාට්‍ය ඉතිහාසය ලියන ඩී.වී.හපුආරච්චි විසින් පෙන්වාදෙනු ලබන්නකි.මෙම නාට්‍ය කොළඹ පමණක් නොව හලාවත,යාපනය,මාතර වැනි ප්‍රෙද්ශ වල පවා රඟ දුක්වූ බව වාර්තා වෙයි.මේ අවධියේ පෘතුගාලයේ ගිල් විසෙන්ති සහ ස්පාඤඥ ජාතික ලෝපේ ද වේගා පෘතුගාලයේ නව නාට්‍ය පුබෝධයක් ඇති කළ සමයකි.ඔවුන්ගේ නාට්‍ය සදහා බයිබලය හා සාන්තුවරයන් පිළිබඳ කතා දැඩිව උපයෝගි කර ගෙන තිබිණ.මේ යුගය ස්පාඤ්ඥ සාහිත්‍යයේ කැපී පෙනෙන යුගයක් සේ ගැනෙති.

ලංකාවේ මෙලෙස රඟ දැක්වූ නාට්‍ය අතරින් පෘතුගිසි බසින් නාට්‍ය කොළඹ දී ද සෙසු ප්‍රෙද්ශ වල නාට්‍ය දෙමළ හෝ සිංහල බසින් ද රචනා වන්නනට ඇතැයි සදහන්ය.මාතර ධර්ම ප්‍රචාරයෙහි යෙදුණු කතෝලික පියතුමෙක් වන ඇන්ටෝනියෝ පෙයිශෝතු පියතුමන් ඉතා හොඳීන් සිංහල භාෂාව උගතෙක් බව සඳහන්ය.එමෙන්ම යාපනයේ තෙලිප්පාලෙයි ගම්මානයේ රඟ දක්වන ලද නාට්‍ය දෙමළ බසින් රචනා වූ බව සඳහන්ය.එමෙන්ම ධර්මය ප්‍රචාරය අභිලාෂයෙන් පවත්වන ලද මෙම නාට්‍ය උදෙසා බොහෝ පල්ලි ආශ්‍රිතව රංග භූමි සකසා තිබුණ වග සඳහන්ය.

ලන්දේසින් විසින් අත්පත් කර ගත් දේවස්ථාන අසල ස්ථාවර රංගභූමි පැවැති බවට පැරණි වාර්තා සාක්ෂි සපයයි.1871 වසරේ හෝ එයට පෙර පමුණුගම ශ්‍රද්ධ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානය අසල පාස්කු මඩුවක් ගලෙන්ම බැදි පැවතිනැයි ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතින් කරුණු දක්වන සිංහල නාට්‍ය ඉතිහාසයේ කතුවරයා පෙන්වා දෙනු ලබයි.මේ පිළිබද මහාචාර්ය එදිඑරිවීර සරච්චන්ද්‍රයන් ද සිංහල ගැමි නාටකය ග්‍රන්ථයෙහි කරුණු දක්වා ඇත.

1880 වන විට කොළඹ ගාල්ල මාතර වැනි නගර වල දිනපතා නාඩගම් රඟ දක්වනු ලැබිය.මේ යුගය මෙරට නව ධනවතුන් බිහි වන යුගයයි.ඔවුන් ධනය ඉපැයීමට සමත්වීමත් සමග බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නම්බු නාම මෙන්ම මුදලි මුහන්දිරම් පදවි ද පිරි නමන ලදී.ඔවුන් සිය කීර්තිය පැතිරවීමෙහිලා උපයෝගි කොට ගත් එක් ක්‍රමවේදයක් වූයේ නාඩගම් සදහා අනුග්‍රහය ලබා දීමය. නාඩගමක් යනු ආදායම් මාර්ගයක් නොවීය.එයට විශාල වියදමක් දැරිය යුතු විය.

පළ පුරුදු පුද්ගලයෙකු ලවා නාඩගම් පුරුදු කොට රඟදැක්වීමත් එයින් පසු විවිධ ප්‍රභූවරුන්ට ආරාධනා කිරීම කළ යුතුවිය.එබැවින් නව නම්බු සොයන ධනවත්තු එබඳු කාර්යයෙහි පෙරමුණ ගත්හ.නාඩගමක් සූදානම් කොට එයට ඉංග්‍රිසි ජාතිකයන් ඇතුළු ප්‍රභූවරුන්ට ආරාධනා කිරීමටත් එමගින් සිය පැරණි අතීතය වළලා දැමීමටත් ඔවුන් උත්සාහ කළහ.මහාචාර්ය කුමාරි ජයවර්ධන විසින් රචනා කරන ලද සොක්කන් ලොක්කන් වූ වගයි ග්‍රන්ථය 19 වන සියවසේ ධනවතුන් වූ ලොක්කන්ගේ පැටිකිරිය හෙළි දරව් කරන්නකි.එකල ඇතැම් නාඩගම් සඳහා අනුග්‍රහය සැපයූවෝ ඔවුහුය.

1870 වසරේ දී බ්‍රිතාන්‍ය එඩින්බරෝ ආදිපාද ඇල්ෆ්‍රඩ් කුමරුගේ ශ්‍රි ලංකා සංචාරයේ දී අති විශාල ධනස්කන්ධයක් වැය කොට ඇල්ෆ්‍රඩ් හවුස් මන්දිරය සාදා සංග්‍රහ කිරිමෙන් නොනැවතී ඒ වෙනුවෙන්ම ඇහැලේපොල නාඩගම නටවන චාල්ස් ද සොයිසා ගේ පියා මෙන්ම බාප්පා වූ සුසෙව් සොයිසා ද දශක කිහිපයකට පෙර සිය ව්‍යාපාරික කටයුතු අරඹනුයේ රේන්ද කොන්ත්‍රාත්තුවේ යෙදෙමිනි.මෙම සංග්‍රහයන් අවසානයේ බ්‍රිතාන්‍ය වාර්තාව රාජ කුමාරයන් වහන්සේට සංග්‍රහ කළ උත්කර්ශවත් ලීලාව ගැන සොයිසා පවුලට ප්‍රශංසා කරති.එහෙත් ඇහැලේපොල නාඩගම යනු කුමක්ද? එය බ්‍රිතාන්‍යයන් විසින් උඩරට යටපත් කරවීම සාධාරණීකරණය කළ පුවතකි. 1904 වසරේ එළි දකින සොයිසාවරුන්ගේ චරිතාපදානයේ ඔවුන්ගේ රේන්ද ව්‍යාපාරය හෙළිදරව් නොකරයි.මෙම ග්‍රන්ථයේ කතුවරයා වනුයේ මෙරට නූර්තියේ පියා ලෙස සැළකෙන සී.දොන් බැස්ටියන්වීම විශේෂයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.