වර්ෂ 2018 ක්වූ මැයි 26 වැනිදා සෙනසුරාදා




එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න
හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද
සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද

හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද

පරාක්‍රම නිරිඇල්ල

ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සමඟ ජනකරළිය රංගන ශිල්පීන්ගේ එකමුතුවෙන් ඉදිරිපත් කරන ‘තිත්ත කහට’ සහ ‘හිරු නැඟෙනතුරු’ වේදිකා නාට්‍ය ද්විත්වය අද සහ හෙට (10-11) දිනවල බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී පස්වරු 6.30ට රඟ දැක්වෙයි. මේ පෙළ ගැසෙන්නේ ඔවුන්ගේ අලුත් වෑයම පිළිබඳත්, නාට්‍ය කලාවේ විවිධ පැතිකඩ පිළිබඳත් ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සමඟ ‘සරසවිය’ට කළ සාකච්ඡාවකි.

‘තිත්ත කහට’ සහ ‘හිරු නැඟෙනතුරු’ දිගු වේදිකා නාට්‍ය දෙකක්. ඒ වේදිකා නාට්‍යවලින් කතාබහට ලක්කිරීමට සිතුවේ කුමන කාරණාද?

අපේ රටේ කඳුකරයේ වතු වැඩ කිරීම සඳහා කම්කරුවන් රැගෙන පැමිණියා. ඒ සම්බන්ධ ඉතිහාසය විමසීමේදී අප නොදන්නා බොහෝ කරුණු රැසක් හෙළිවන බවයි පෙනෙන්නේ. අප පානය කරන තේවල යථාර්ථය බොහොම කටුකයි. ඒ බව කිසිවකුත් දන්නේ නැහැ. ඒ කරුණු අනුසාරයෙනුයි ‘තිත්ත කහට’ වේදිකා නාට්‍යය නිර්මාණය වන්නේ.

කුලී කම්කරුවන්ගේ පැමිණීම සිදුවන්නේ එකල පැවැතුණු වහල් වෙළෙඳාමේ එක් පැතිකඩක් සිහිපත් කරමින්ද?

ඉස්සර වහල්ලු යන නාමයෙන් හඳුන්වනු ලැබු‍වේ අප්‍රිකාවෙන් එන පිරිසයි. යුරෝපයේ රටවල වතු වැවීම ආරම්භ කිරීමත් සමඟ එහි වැඩ කිරීමටත්, නිවෙස්වල වැඩ කිරීමත් සඳහායි ඔවුන් ව රැගෙන ආවේ. පසුකාලයේදී වහල් මෙහෙය අහෝසි කෙරෙනවා. ඉන්පසුව විශේෂයෙන් ම බ්‍රිතාන්‍යයන් ඇතුළු බොහෝ අය පෙරදිග රටවල වතුවගා කරන විට ඒ කටයුතු කිරීම සඳහා කුලියට මිනිස්සු සෙව්වා. ඔවුන්ට ලංකාව වගේ රටක කෝපි, තේ වගා කරන විට අප්‍රිකාවෙන් මිනිස්සු අරගෙන එන්න බැහැ. ඒ වනවිටත් තමන් වහල් සේවයෙන් නිදහස් කර තිබෙන බව අප්‍රිකානුවන් දැනගෙන සිටි කාරණයක්. මේ කාරණාත් එක්ක මේ අය සිය වතුවල වැඩ කිරිම සඳහා කම්කරුවන් රැගෙන ආවේ චීනයෙන් එහෙමත් නැත්නම් ඉන්දියාවෙන්. ඒ අය වහල්ලු යන නාමයෙන් නොවෙයි හැඳීන්වූයේ. ඔවුන් ව හඳුන්වන ලද්දේ ‘කුලීකාරයෝ’ යන නාමයෙන්.

‘තිත්ත කහට’ වේදිකා නාට්‍යය නිර්මාණය කරන්නේ ඒ කුලීකාරයෝ මූලික කරගෙනද?

ඔවුන් මෙලෙස කුලීකාරයන් ලෙස රැගෙන ආවේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටි පහත් ම පහත් කුලවල සිටි මිනිසුන්ව යි. ඔවුන් රැගෙන එන්නට සිදුවුණේ බොහෝ දුක්ගැහට මාධ්‍යයේ යි. තැරැව්කරුවන් ඔවුන් ව රැගෙන එනවිට සමහර බෝට්ටු ඒ කුලීකරුවන් සමඟ ගිලුණා. එහෙම වුණේ හැත්තෑපහක් පමණ මිනිස්සු දැමිය හැකි බෝට්ටුවක එකසිය පණහක් පමණ තරම් මිනිස්සු ප්‍රමාණයක් දමාගෙන පැමිණීම නිසයි. මෙලෙස සිදුවුණු මෙවැනි සිදුවීම් අතහැර දමමින් ඔවුන් මන්නාරමට ගොඩ බැස්සා. මන්නාරමේ සිට මාතලේට ඔවුන් පැමිණියේ පා ගමනින්. ඒ ගමනේදී සමහර මිනිස්සු මැරුණා. එලෙස විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් පැමිණි ඔවුන් ඒ ඒ වැඩ කරන විවිධ ස්ථානවල ආසන්නයේම නතර වුණා. එදා ආරම්භ වුණු ඔවුන්ගේ ජීවිතවල කටුකත්වය තවමත් එලෙසම යි. ඒ වග ඔවුන් දන්නේවත් නැහැ. අපේ අනෙක් ජනතාවට තිබෙන අයිතිවත් ඔවුන්ට නැහැ. ඒක ඛේදවාචයක්. අද වනවිට ඔවුන් දේශපාලකයන්ට හසුවෙලා. කලකට ඉහත එහි පැවැතුණු වෘත්තිය සමිති නැතුව ගිහින් මේ වනවිට පක්ෂ දෙකකුයි එහි පාලනය ගෙනියන්නේ. පක්ෂවලට ඔවුන්ගේ මාසික පඩියෙන් රුපියල් 150ක් කැපෙනවා. ඒ ආකාරයෙන් ඔවුන් අතර දේශපාලකයන් සිය බලය තබාගෙන ඉන්නවා. මෙන්න මේ පසුබිමයි අපි ‘තිත්ත කහට’ නමින් නාට්‍යයකට ගෙනාවේ.

‘හිරු නැඟෙනතුරු’ වේදිකා නාට්‍යය පරිවර්තනයක්ද?

ආචාර්ය කුලන්දෙයි එම්.ෂන්මුගලිංගම් කියන්නේ යාපනයේ ජීවත්වන ප්‍රවීණ නාට්‍යකරුවෙක්. පාඨමාලාවල ඔහුගේ නම සඳහන් වුණත් බොහෝදෙනා ඔහු ව දන්නේ නැහැ. ඔහු කළ නිර්මාණ ගැන සිංහල පොතපත නැහැ. එවැනි පසුබිමකයි ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ අය එකතු වී ඔහුගේ ‘එන්තයුම් තායුම්’ නමැති නාට්‍යය සිංහලට පරිවර්තනය කරන්නේ. අප මේ වේදිකා නාට්‍යය මුලින් ම නිර්මාණය කරන්නේ 2009 වසරේදීයි. මේ වේදිකා නාට්‍යය සිංහල හා දමිළ භාෂා දෙකෙන් ම අප එකල රඟ දැක්වූවා. යළිත් මේ වේදිකා නාට්‍යය අප නිෂ්පාදනය කිරීමට සිතුවේ ජාතිවාදී ප්‍රශ්න නැවත ඇති නොවීම සඳහා මතක අවදි කිරීමට යි. ඒ වගේ ම මේ වේදිකා නාට්‍යය මෙරට සහ විදේශයේත් වරින්වර රඟ දක්වන ලද දමිළ ජනතාව අතර විශේෂ ප්‍රසාදයට පත් වූ නාට්‍යයක්.

එහෙමනම් ‘හිරු නැඟෙනතුරු’ නිර්මාණය සඳහා පාදක වන්නේ ‘තිත්ත කහට’ වේදිකා නාට්‍යයට වඩා වෙනස් වූ කාරණාවක්ද?

යුද්ධය පැවැති කාලයේ එහි සිටි මව්පියන් සිය දරුවන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් බේරා ගැනීම සඳහා හා යුද්ධයෙන් බේරාගැනීම සඳහා විදේශ ගත කරනවා. ඔවුන් විදේශ ගත වූ පසුව ඒ මවුපියන් හුදෙකලාව වෙසෙමින් ජීවත් වන විදියයි මේ නිර්මාණයෙන් කතාබහට ලක්කරන්නේ. විදේශ ගතවූ ඒ සිය දරුවන් ගැන බලාපොරොත්තු තබා ගනිමින්, ඔවුන් සමඟ සිය සම්බන්ධතා සන්නිවේදනය කර ගැනීමට නොහැකිව හුදකලාව දිවිගෙවන වයෝවෘද්ධ මව්පියන් පිළිබඳයි මේ වේදිකා නාට්‍යයෙන් කියැවෙන්නේ.

‘හිරු නැඟෙනතුරු’ වේදිකා නාට්‍යය වේදිකා ගත වන දිනයේ තවත් වැදගත් කටයුත්තක් සිදුවෙනවා නේද?

ආචාර්ය කුලන්දෙයි එම්.ෂන්මුගලිංගම් පිළිබඳ ලියැවුණු ලිපිවල පරිවර්තනයක් සහ ‘හිරු නැඟෙනතුරු’ යනුවෙන් පරිවර්තනය කරන ලද ඔහුගේ ‘එන්තයුම් තායුම්’ පිටපත ඇතුළත් සිංහල භාෂාවෙන් මුද්‍රණය කරන ලද පොත නාට්‍ය දර්ශනයට පෙර එළිදැක්වීමයි සිදුවන්නේ. ඒ සඳහා මේ ප්‍රවීණ නාට්‍යකරුවා සහභාගි වන්නේ නැහැ. මොකද මේ වනවිට ඔහු සිටින්නේ වයස්ගතව හා ඔහුගේ බිරිය නිසා ඔහු කොහේවත් ගමනක යෙදෙන්නේ නැහැ. එහෙත් ඔහු වෙනුවෙන් එදිනට පොත භාර ගන්නේ ඔහුගේ ශිෂ්‍යයකුයි. ඔහු යාපනයේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු විදියට කටයුතු කරන ආචාර්ය කදිරේසු ....

මේ වනවිට සිටින දමිළ නාට්‍යකරුවන් අතරින් ආචාර්ය කුලන්දෙයි එම්.ෂන්මුගලිංගම් නාට්‍යකරුවාගේ ම නිර්මාණය වේදිකා නාට්‍යයක් ලෙස වේදිකාවට රැගෙන ඒමට විශේෂ වූ අනෙක් කාරණා මොනවාද?

ඔහු යුද්ධ කාලයේදී වුණත් සිය නාට්‍ය කිරීම නැවැත්වූයේ නැහැ. අනෙක් දමිළ නාට්‍යකරුවන් ඒ කාලයේ විදේශ ගතවුණත් ඔහු එලෙස විදේශ ගතවූ අයකු නොවෙයි. ඔහු සම්බන්ධයෙන් තිබෙන අනෙක් විශේෂත්වය නම් ඔහු හැදී වැඩී තිබුණේ මීගමුවේ බෝලවත්ත කියන ප්‍රදේශයේයි. ඔහු පාසල් ගොස් තිබෙන්නේ සිංහල පාසලකටයි. නැවතත් යාපනයට ගිහින් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගත් ඔහු ගුරුවරයකු විදියටයි කටයුතු කළේ. ඊට පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ තිබුණු නාට්‍ය හා රංග කලා පශ්චාද් උපාධි ඩිප්ලෝමාව ඉගෙන ගන්නවා. ඒ එකල පළමු නාට්‍ය හා රංග කලාව ගුරුවරු පුහුණු කළ ඩිප්ලෝමාව යි. එය ඉගෙන ගත් ඔහු අමරදේවයන්ගෙන් සංගීතය පවා ඉගෙන ගෙන තිබෙනවා. සෝමලතා සුබසිංහත්, චන්ද්‍රසේන දසනායක ඉගෙන ගත්තෙත් ඔහුගේ ම කණ්ඩායමේ. චන්ද්‍රසේන දසනායකගේ ‘සත්තුන්ගේ පුංචි ගෙදර’ නැරැඹූ ඔහු ළමා නාට්‍ය නැරැඹීමට වගේ ම ළමා නාට්‍ය කිරීමට යොමු වෙනවා. ළමා නාට්‍යකරුවකු විදියට ළමයින් වෙනුවෙන් ඔහු වැඩිපුර වැඩකරන්නේ ඉන්පසුවයි. යාපනයේ මුලින් ම නාට්‍ය පාසල ආරම්භ කරන්නේත් ඔහු යි. නූතන නාට්‍ය කලාව ගැන යම් පරිවර්තනයක් ඇතිවෙන්න හේතුවක් වුණේ ඔහු යි. ඔහු පිළිබඳ මතකය හා ඔවුන් පෙළන හුදකලා බව, අතීතයේ වූ වැරැදි යළි නොවෙන්නට කටයුතු කිරීම යන සමාජ කතිකාව සමාජ ගත කිරිමේ අරමුණු ඇතිවයි ඔහුගේ ම නිර්මාණයක් අප තෝරා ගත්තේ.

මේ නිර්මාණ ද්විත්වයේ රංගන කටයුතු ඇතුළු අනෙක් කටයුතු සඳහා දායකත්වය දක්වන්නේ කවුරුන්ද?

මගේ මූලිකත්වයෙන් යුතුව ජනකරළිය නාට්‍ය කණ්ඩායම විසින් සාමූහිකත්වයෙන් යුතුව කරන ලද නිර්මාණයි මෙලෙස වේදිකා ගත කරන්නේ. එහි රංගයෙන් වගේ ම නිෂ්පාදනයෙන් රාසයියා ලෝහානන්දන්, සුමුදු මල්ලවආරච්චි, සෙල්වරාජ් ලීලාවතී, අජන්ත ශාන්ත කුමාර්, සරත් බානගල, අරෝෂා තරංගනී, දෙව්රාන් ශ්‍රී ලිවේරා, ඉනෝකා ලංකාපුර, රුවිනි ඩිලන්ති, ප්‍රනීත් ජීවන්ත, විජිත් හෙට්ටිගේ, පාලිත අබේලාල් සහ අමිල දනේෂ් කුමාර යන ශිල්පීන් හා ශිල්පිනියනුයි දායක වන්නේ.

යුද්ධය තිබුණු යුගය පිළිබඳ කරන ලද නිර්මාණ සෑම ක්ෂේත්‍රයකම තැනෙන්නේ බොහොම මඳ වශයෙන්. එවැනි අවධියකයි ඔබ ‘හිරු නැඟෙනතුරු’ වැනි නිර්මාණයක් වේදිකාවට රැගෙන එන්නේ

මූලික හේතුව විදියට මා දකින්නේ අත්දැකීම් හුවමාරු වීමේ ප්‍රශ්නය යි. මොකද නිදහසෙන් පස්සේ සියලු ම ජාති එක්ව ගමන් කරන්නට පෙළ ගැසී සිටියත් එය කඩාකප්පල් වීම ඇරැඹෙන්නේ සෙමින් සෙමින්. ඒ වගේ ම ඒ කාලයේ වරින්වර ඇතිවන ජාතිවාදී කලකෝලාහල නිසා මේ තත්ත්වය තවත් උග්‍රවීමයි සිදුවන්නේ. එකල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා දමිළ අය පෑ විරෝධයක් ලෙස සිංහල ඉගෙනීම නවත්වනවා. මේ හරහා ඇතිවන දෙකඩ වීම ඇතුළේ ඇතිවන තත්ත්වය නම් මේ ජාති දෙක අතරේ විශාල හිඩැසක් නිර්මාණය වීමයි. ඒ කාලයේ යාපනයේ පාසල්වල සිංහල ඉගැන්වූ බව මට මතකයි. ඒ වගේ ම මේ සිදුවුණු විවිධ දේ නිසා සිංහල අය දෙමළ භාෂාව ඉගෙන ගැනීමත්, දමිළ අය සිංහල භාෂාව ඉගෙන ගැනීමත් නැවැත්වූවා. ඒ නිසා සිදුවුණේ එක් අයකුගේ සුඛ - දුක්ඛ වේදනාවන් අනෙකා දැන හඳුනා නොගැනීමයි. දකුණේ ඉන්න නාට්‍යකරුවන් කවුද? මොනවගේ නිර්මාණද එහි හැදෙන්නේ, උතුරේ මොනවගේ දේවල්ද කෙරෙන්නේ යන්න දැන ගැනීමට දෙපිරිසට ම හැකියාව ලැබුණේ නැහැ. මේ දෙපිරිසේ ම නිර්මාණකරුවන් ඔවුන්ගේ ජාතිවල අත්දැකීම් වෙන වෙනමයි ලියන්නේ. මේ නිර්මාණවල සංකලනයක් නැහැ. එහි තරම වඩාත් දැනෙන්නට පටන් ගත්තේ ජනකරළියට දමිළ තරුණයන් සොයා ගැනීමට ගත් මහන්සියෙන්. එසේ දැන හඳුනා ගැනීමට නම් භාෂාව දැන ගත යුතුයි. උතුරේ ම තියෙන ප්‍රශ්න දකුණේත් තිබෙන බව වටහා ගැනීමට නම් භාෂාව දැන ගත යුතුයි. ඒ සියල්ල වෙනස් කිරීමටයි අපට වුවමනා වී ඇත්තේ. ඒ අදහස ඇතිවයි අප ජනකරළිය ආරම්භ කළේ. මේ වනවිට අප උතුරට ගිහින් නිර්මාණ රැසක් ම වේදිකා ගත කරලා තිබෙනවා.

එහෙමනම් සිංහල වේදිකා නාට්‍ය දමිළ බසට නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි

අප මෙතෙක් නිර්මාණය කළ නාට්‍ය බොහොමයක් එලෙස දමිළ භාෂාවෙන් වේදිකා ගත කළා. ‘හුණුවටය’, ‘චරන්දාස්’ ඒ වගේ නිර්මාණවලට උදාහරණ යි. අප මෙන් අනෙක් නාට්‍යකරුවන්ටත් එලෙස භාෂා දෙකක් භාවිත කළ හැකි නම් එය බොහොම හොඳ සාධනීය ලක්ෂණයක් වේවි.

තිලානි ශානිකා විතානාච්චි