වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
සිංහයාගෙන් සමුගන්නා ජයනාත්

සිංහයාගෙන් සමුගන්නා ජයනාත්

“ප්‍රේමයෙන් වැඩුයේ මෙ පුතා නොවේ දෝ
ආන්තරායෙන් රැක ගෙන වනයේ
මා මරණට දැන් එන්නේ මෙලෙසා
ඔද වැඩි හින්දා දෝ යෞවනයෙන්
මානය බිඳ හැර ලන්නෙමි මෙවරා
දෙන්නෙමි දඬුවම් ඔළමොළ කමටා”

තරුණවියේ උන් සිංහබාහු පුතුගේ සිතුවිලි නොදැන සිය හදවතේ නැඟි පිතෲ ප්‍රේමයෙන් ඔහුට දඬුවම් දෙන්නට සැරසෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහයාගේ මේ සින්දුව මගේ මතකයට පිවිසුණේ ඔහු දුටු විටම ය. එලෙස වරෙක ඔහු සිංහයා වුවද තවත් වරෙක ඔහු ‘මනමේ’ නාටකයේ ගොරහැඩි වැදි රජු ය. ප්‍රවීණයන් කිහිපදෙනෙකු ම මෙතෙක් මේ චරිතවලට පණ පොවා තිබුණද ඔවුන්ගේ ඇවෑමෙන් ඒ චරිතවලට පණ පොවන්නට ඔහුට වාසනාව ලැබිණි. ඒ වාසනාවන්තයා අන් කවුරුත් නොව ජයනාත් බණ්ඩාර ය.

“ඒ වාසනාව මට ලැබුණේ මීට වසර දාසයකට පමණ පෙරාඅතුවයි. ඒ ජූඩ් ශ්‍රීමාල්ගේ මාර්ගයෙන් හඳුනා ගැනීමට ලැබෙන ලලිතා සරච්චන්ද්‍රයන්ගේ මුණ ගැසීම මතයි මට ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහයාගේ චරිතය හිමිවන්නේ. මේ වනවිට මා සිංහයාගේ චරිතය රඟපා වසර දහසයක්. ඒ වගේ ම අපේ නාට්‍ය කලාවේ කඩඉම් වන ‘සිංහබාහු’, ‘මනමේ’ වැනි නිර්මාණවලට රංගනයෙන් දායක වීමට ලැබීම මගේ ජීවිතයේ මා ලැබූ භාග්‍යයක්. එහිදිත් ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහයා ලෙසත්, ‘මනමේ’ නාට්‍යයේ වැදිරජු හා දිසාපාමොක් චරිත රඟපෑමට ලැබීමට තරම් මා වාසනාවන්ත වුණා.”

‘මනමේ’, ‘සිංහබාහු’ නාටකවල රඟපෑමට නම් ඒ රංගන ශිල්පියා නැටුම්, ගැයුම් හා රැඟුම් යන ත්‍රිත්වයේ ම දක්ෂයකු විය යුතුය. අප එසේ පවසන්නේ ඒ සියලු ශිල්පයක් ම මේ නිර්මාණවලදී භාවිත වන බැවිනි. පාසල් යන කාලයේ ම නර්තනය තෝරා ගන්න ජයනාත්ට කාලයක් යත්ම ඔය කියන කිසිවක් අමුතු දේ නොවීය. ඒ නිසාම ය ඔහුට 2001 වසරේදී මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමට සහභාගි වීමට ලැබෙන්නේ. එහි පිවිස සොළොස් වසරක කාලයක් ගතවීම යන්න දිගු කාලයකි.

“මේ තරම් කාලයක් මේ චරිත රඟපාන විට මගේ සිතට යම් දෙයක් හැඟුණා. ඒ ඒ රඟපෑම් යම් තැනකදි නැවැත් විය යුතු බවයි. එනම් ඊට පසුව පැමිණෙන පිරිසකට පැමිණීමට තිබෙන ඉඩකඩ අවහිර කරගෙන ‍ඵෙතිහාසික චරිතයක් කරන්නේ ඇයි යන ප්‍රශ්නයයි මගේ සිතේ පැන නැඟුණේ. ඒ නිසා එවැනි චරිතයකට යම් තැනකදි සමුදීමයි නියම රංගන ශිල්පියකුගේ වෘත්තිමය වැදගත්කම ලෙස මා සැලකුවේ. එය මා ක්‍රියාවට නැඟුවා. මා ගිය වසරේ පටන් සිංහයාගේ චරිතයෙන් හා වැදිරජ, දිසාපාමොක් චරිතවල රඟපෑමෙන් ඉවත් වුණා. අලුත් පරපුරට ඒ තැන භාර දුන්නා.”

එහෙත් සිංහයාගේ හා වැදිරජ, දිසාපාමොක් චරිත වඩාත් සාර්ථක ලෙස රඟපෑ හැක්කේ එහි තිබෙන අත්දැකීම් හා වයසින් පරිණත වීමත් සමඟ ය. ඒ පරිණත බව ලැබෙන සමයේ ජයනාත් බණ්ඩාර ‘සිංහබාහු’ හා ‘මනමේ’ නාටකය හැර යෑම සාධරණීකරණය කළ නොහැකිය. මන්ද චරිතයකට රංගන ශිල්පියකු අවශ්‍ය මොහොතක ම ඔහු ඒ චරිත හැර යන බැවිනි.

“එවැනි චරිතයකට පරිණත බව අත්‍යවශ්‍ය සාධකයක් බව සත්‍යයක්. ආරම්භයේදී ඒ චරිතවල රඟපෑමට වඩා මෑත කාලයේදී මා සිංහයාගේ චරිතය රඟපෑවේ බොහොම දැනුවත් බවකින්. ලෝක නාට්‍ය වටපිටාව ගත්තත් හැම්ලට්, මැක්බත් වගේ චරිතවල සාර්ථකත්වය පැමිණෙන්නේ වැඩිහිටි බවත් සමඟයි. ඒ වැඩිහිටි බවත් සමඟ සමාජයෙන් හා පෞද්ගලිකව ලැබෙන අත්දැකීම් මඟිනුයි නිර්මාණයකට අමුද්‍රව්‍ය සපයන්නේ. මා මේ රඟපෑම් ආරම්භ කරන්නේ මට වයස තිස්එකේදියි. එවිට මගේ දුවට වයස අවුරුද්දයි. එහෙම නම් තවත් නළුවකුට වයස තිස්එකේදි දියණියක් ඉන්නවා නම් ඔහුටත් යමක් පටන් ගැන්මට ඉඩක් තිබිය යුතුයි. ඒ ඉඩයි මා මේ ලබා දුන්නේ. සරච්චන්ද්‍ර මැතිනියගෙත් අප අගය කළ යුතු ගුණාංගයක් තිබෙනවා. ඈ අලුත් දක්ෂ අයට තැන ලබාදෙමින් සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායම තව වසර දහයක්, පහළොවක් ඉදිරියට පවත්වා ගැනීම සඳහා යොදන සැලසුම් බොහොම වැදගත්. ඒ සැලසුමට ගෞරව කිරීමක් වශයෙන් හා මා මට කරන ගෞරවයක් වශයෙනුත් එය ක්‍රියාවට නැඟීමට සිතුවා. පළමු වතාවටයි මේ කාරණය ගැන මා මාධ්‍යයට හෙළි කරන්නේ.”

ඕනෑ ම ක්ෂේත්‍රයක අයකුට එහි හක්කලං කළ හැකි යම් සීමාවක් තිබේ. ඒ සීමාව කුමක්දැයි හඳුනා ගැනීම අතිශය වැදගත් කාරණයකි. තවමත් තරුණයකු ලෙස පෙනෙන ජයනාත් ඒ කාරණය නියම කාලයේදී අවබෝධ කරගෙන තිබීම අගය කළ යුතු කාරණයකි.

“ඕනෑම නළුවකු යම් චරිතයකින් ඉවත් විය යුත්තේ එය රඟපෑමට නොහැකි වූ විට නොවෙයි. එසේත් නොමැති නම් ඒ චරිතය රඟපෑමට නොහැකිව, කිසිවක් කර ගත නොහැකි වූ විට නොවයි. හොඳ ඉදිරිපත් කිරීමක් කළාට පසුවයි ඔහු ඉන් ඉවත් විය යුත්තේ. එවිට ඔහුව ප්‍රේක්ෂකයාගේ මතකයෙන් කිසි දිනෙක ඉවත්ව යන්නේ නැහැ.”

ජයනාත් බණ්ඩාර ‘මනමේ’ හා ‘සිංහබාහු’ නාටකවල චරිතවලින් සමුගත්තද ඔහුගේ රංගනය දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘මධුර ජවනිකා’, ‘නරිබෑණා’, ‘බක්මහ අකුණු’, ලූෂන් බුලත්සිංහලගේ‘රතුහැට්ටකාරී’, බුද්ධික දමයන්තගේ ‘හැම්ලට්’, පුණ්‍යසේන ගුණසිංහගේ ‘දික්තලා කාලගෝල’ ටනුජ් අනවර්තනගේ ‘හඳ එළියට වෙඩි තියන්න’ආදී නිර්මාණ රැසක ම ප්‍රධාන චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාට දැකිය හැකිවෙයි.

“මා වේදිකාවේදි වාසනාවන්ත නළුවකු වූ බවයි හැඟෙන්නේ. ඒ නාට්‍ය ලෝකයේ යුග පුරුෂයන් කිහිපදෙනෙකුගේ ම නාට්‍ය නිර්මාණ කිහිපයක ම ප්‍රධාන චරිත නිරූපණය කිරීමට අවස්ථාව ලැබීමයි. වේදිකාව කියන්නේ බොරු කළ හැකි මාධ්‍යයක් නොවෙයි. එහි රැඳී සිටීමට නම් ජවය, පුහුණුව හා කැපවීම අවශ්‍යයයි. මට වයස අවුරුදු හතළිස් අටක්. ඒ අතීතය දෙස ආපසු හැරී බලද්දී සිතට දැනෙන්නේ සතුටක්. ඒ මොකද ශ්‍රී ලාංකේය වේදිකාවට මා කළ දේවල් බොහොම නිසයි.”

පසුගිය කාලයේ ජයනාත්ගේ රංගනය පුංචි තිරය හරහා විකාශය වන යම් යම් නිර්මාණ ඔස්සේ ද අපි දුටුවෙමු. වේදකාවේ ප්‍රධාන චරිත ද්විත්වයකින් සමු ගනිද්දී ඔහු මේ සූදානම් වන්නේ පුංචි තිරයට පිවිසීමට දැයි අපේ සිතේ උපදින්නේ පැනයකි.

“මා ටෙලි නාට්‍ය රංගනයට පිවිසෙන්නේ 2005 වසරේදි පමණ කාලයේදියි. ඒත් ඒ රංගනය නිර්මාණ කිහිපයකට පමණක් සීමා වුණා. ඊට පස්සේ පැන නැඟුණ ගැටලුවක් වුණේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ යම් වෘත්තිමය භාවයක් නොමැති වීමයි.

අනෙක් කාරණය නම් ඒ හැදෙන නිර්මාණ නිර්මාණද කියන ප්‍රශ්නය අපට තිබුණා. මා මෙලෙස පවසන්නේ සෑම නිර්මාණයක් ගැන ම නොවෙයි. ඒ අතර හොඳ නිර්මාණ කිහිපයකුත් බිහිවුණා. කොහොම වුණත් හොඳ නිර්මාණවලට මට දායකත්වයක් ලබාදීමට නොහැකි වූයේ වේදිකා නළුවකු විදියට මා මාර්කට් වී නොතිබීම විය හැකියි. ඒ විදියට මොන හේතු නිසා හෝ ඒ කාලයේ මා ටෙලි නාට්‍යවලින් ඈත් වුවත් මේ වනවිට ටිකිරි රත්නායකගේ ‘මුතුකුඩ’ හා නාලන් මෙන්ඩිස් මහත්තයාගේ ‘සල් සපු නා’ ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිත දෙකක් රඟපානවා.

මා බොහොම කැමැත්තෙනුයි ඒ ටෙලි නාට්‍ය දෙකේ රඟපාන්නේ. ඒ ටෙලි නාට්‍ය දෙකේ ම අධ්‍යක්ෂවරුන් බොහොම වෘත්තියමයි. ඒ වගේ අධ්‍යක්ෂවරුන් සමඟ අපි වගේ අයට සම්බන්ධ වී වැඩ කිරීමට පහසුයි.

ඒ මෙහෙය වීම අපට බොහොම වැදගත්. වේදිකාවෙන් බිහිවන පරිචයක් තිබෙන රංගන ශිල්පියෙක් හා ශිල්පිනියක කියන්නේ සිනමාව, ගුවන්විදුලිය, පුංචිතිරය යන ඕනෑ ම මාධ්‍යයක ඕනෑ ම කරණමක් ගහන්න පුළුවන් අයයි. මේ කාරණය ලෝක සිනමාව ගත්තත් පෙළ ගැසෙන්නේ ඒ ආකාරයෙන්මයි.”

මේ දවස්වල විකාශය වන ‘මුතුකුඩ’ හා ‘සල් සපු නා’ ටෙලි නාට්‍යවල ජයනාත් බණ්ඩා පණ පොවන්නේ එකිනෙකට වෙනස් ම චරිත ද්විත්වයක් සඳහායි.

“මා ‘සල් සපු නා’ ටෙලිනාට්‍යයේදී රඟපාන්නේ කපටි තාත්තා කෙනෙකුගේ චරිතයක්. ඔහු ළඟ හොඳ ගතිගුණත් නැතිවා ම නොවෙයි. ඒත් ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යයේදී රඟපාන්නේ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ චරිතයයි. වෙනස් ම චරිත දෙකක් නිසා වෙනස් ම විදියේ රංගනයක නියැළීමයි මා මෙහිදි සිදුකරන්නේ. මේ වනවිට ඒ චරිත සඳහා මට ලැබෙන ප්‍රතිචාර වඩාත් හොඳයි.”

ජයනාත් මේ සියලු දේ කරන්නේ වෘත්තිමය වශයෙන් පෞද්ගලික පාසලක ඉංග්‍රීසි කථීකාචාර්යවරයකු විදියටත්, ධ්ඛ්ඕඊ කියන විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු විදියටත්, ටවර් හෝල් රඟහල පදනමේ බාහිර කථිකාචාර්යවරයකු විදියටත් කටයුතු කරන ගමන්ම ය. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය සිහිපත් කරන අතර ම බිරිය විද්‍යා අරන්කහත්, දියණිය ඕමන්ති හා පුතා විහඟගෙනුත් ලැබෙන සහයෝගයත් ඔහු සිහිපත් කරන්නේ ගෞරවයෙනි. එසේ නොවන්නට රංගනය සඳහා නිදහස් මානසිකත්වයක් ඔහුට නොලැබෙයි. එමෙන්ම ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන රංගභූමි මෙහෙය වන්නේ ද ඔහුම ය.