වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 20 වැනිදා සඳුදා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට

බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට

කපිල කුමාර කාලිංග

ලේඛකයකු, නාට්‍ය රචකයකු, අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු යන භූමිකා රැසකට පණ පොවමින් වරින්වර අප හමුවට පිවිසෙන ඔහු පුවත්පත් කලාවේදියෙකි. මේ වනවිට වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ඔස්සේ ‘බැංකු වීරයා’ ප්‍රේක්ෂකයන් වෙත රැගෙන එන ඔහු කපිල කුමාර කාලිංගයි. මේ දිග හැරෙන්නේ ‘බැංකු වීරයා’ බිහිවීම පසුපස ඇති කතාවත්, දිගු කලකින් වේදිකා නාට්‍යයක් වේදිකාවට රැගෙන පැමිණීම පිළිබඳත් ඔහු සමඟ ‘සරසවිය’ට කළ කතාබහකි.

* දිගු නාට්‍යයක් රැගෙන ඔබ වේදිකාවට පිවිසෙන්නේ දිගු කලකට පසුවයි?

පසුගිය කාලයේ ලෝක නාට්‍ය දිනය නිමිති කර ගනිමින් කෙටි නාට්‍ය දෙකක් කළා. ‘මාතෘකාවක් නැත’ හා ‘එක්තරා සිද්ධියක් 2020’ නමින් නම් කළ මේ කෙටි නාට්‍ය දෙක පර්යේෂණාත්මක නිර්මාණයි. මෙවර වසර පහළොවකට පසුවයි මා දිගු වේදිකා නාට්‍යයක් වේදිකාවට රැගෙන එන්නේ.

* පර්යේෂණාත්මකව කෙරෙන කෙටි නාට්‍ය දෙකේ තිබෙන වෙනස කුමක්ද?

කෙටි නාට්‍ය පර්යේෂණයේදී එක් නාට්‍යයක් වේදිකා ගතවුණේ නාන තටාකයකයි. මෙය අප නම් කළේ ෆූල් තියටර් නමින්. ලෝක අවසානයේ ජීවත් වන මාලුවෝ ටිකක් මූලික කර ගනිමිනුයි ඒ කෙටි නාට්‍යය නිර්මාණය වුණේ. විවෘත අවකාශය භාවිත කරමින් නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ කෙලෙසද යන කාරණයයි එහිදි මගේ පර්යේෂණයට ලක්වුණේ. අනෙක් කෙටි නාට්‍යයේදී ප්‍රේක්ෂාගාරය ඇතුළෙදියි නාට්‍යය වේදිකා ගත වන්නේ. වේදිකාවේ යමක් සිදු වන්නේ නැහැ. නාට්‍යය වේදිකා ගතවේවි යැයි සියල්ලන් ම බලාගෙන සිටියත් එහෙම වන්නේ නැහැ. ප්‍රේක්ෂාගාරය ඇතුළේ සිදුවන කතිකාවත මඟිනුයි නාට්‍යය වේදිකා ගත වන්නේ. මෙය මගේ අනෙක් පර්යේෂණයයි.

* ‘බැංකු වීරයා’ වේදිකාවට රැගෙන පැමිණීමට පෙර ඔබ අවසන් වරට අධ්‍යක්ෂවරයකු විදියට වේදිකාවේ රඟ දක්වන්නේ පරිවර්තන නාට්‍යයක්ද?

අන්තිමට මා අධ්‍යක්ෂණය කළේ ඉතාලි ජාතික නාට්‍යකරුවකු වන ඩාරියෝ ෆෝගේ වේදිකා නාට්‍යයක පරිවර්තනයක්. එය නම් කරලා තිබුණේ ‘අපි ගෙවන්නේ නෑ’ නමින්. ඒ අතරතුර කාලයේ මා වඩාත් කැමැත්තක් දක්වන ඉයුජින් අයනෙස්කෝ කියන ප්‍රංශ ජාතික නාට්‍යකරුවාගේ නාට්‍යයක් පරිවර්තනය කළා. අසම්මත නාට්‍යයක් වන එය ඔහුගේ අමෙඩියෝ හව් ටු ගෙට් අ රීඩ් ඔෆ් ඉට් කියන නාට්‍යයේ පරිවර්තනයක්. ඒ නාට්‍යය අමෙඩි කියන නමිනුයි වඩාත් ප්‍රසිද්ධ වූයේ. මෙය සුදත් මහදිවුල් වැව අධ්‍යක්ෂණය කළේ ‘සහතික නොකළ මරණයක්’ නමින්. එය අනුවර්තනයක් යැයි පැවසුවොත් වඩාත් නිවැරැදි බවයි මා සිතන්නේ.

* ඔබ වේදිකාවෙන් ඈත් වුණු කාලයේ නිරත වූයේ කුමන කාර්යයකද?

මා අධ්‍යක්ෂවරයකු විදියට වේදිකාව අතහැර දැමුවත්, හැදෑරීම් කටයුතුවලින් ඈත් වූයේ නැහැ. ඒ අනුව මා කියෙව්වා. අධ්‍යයනය කළා. ලිව්වා. ඒ වගේ ම ළමයින්ට ඉගැන්වීමටත් සිදුකළා. අද වනවිටත් මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු විදියට ලලිත කලා අංශයේ නාට්‍ය හා රංග කලාව උගන්වනවා. ඊට අමතරව නිර්මාණශීලී රචනය පිළිබඳ වසර දහයක් මාධ්‍ය හා කළමනාකරණ විද්‍යාලයේ ආචාර්යවරයකු විදියටත් කටයුතු කළා. ඒ නිසා මට නිතරම යාවත්කාලීන වීමට සිදුවුණා. මේ කාරණා නිසා අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු විදියට මා කරළියට නොපිවිසුණත් නාට්‍ය ක්ෂේත්‍රයේ දිගු කලක් නියැළුණු කෙනෙක්. මේ යෙදුණු කාර්යයවල ප්‍රතිඵලයක්මතයි මට යළිත් වේදිකාවට නාට්‍යයක් කිරීමට සිතෙන්නේ.

* ‘බැංකු වීරයා’ බිහිවීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ කෙසේද?

පුවත්පත්වල වැඩ කරන කාලයේදී මට නිතරම අසන්නට, කියවන්නට ලැබුණු දෙයක් වන්නේ එක දිගට ම අපේ රටේ සිදුවෙමින් ගිය බැංකු කොල්ලයක් පිළිබඳයි. බැංකුවක් කොල්ල කනවා කියන්නේ පුදුම අවදානම් කාර්යයක්. විශාල මුදලක් එක්වර පැය කිහිපයකින් ඩැහැ ගැනීමට හැකි කාර්යයක්. මිනිස්සු තැන්පත් කළ මුදල් ගන්න සිතනවා කියන ෆැන්ටසිය සහ සමාජ, දේශපාලන ඛේදවාචකයයි මා මේ කාරණය හරහා දුටුවේ. ඒ නිසා ඇතිවුණු පෙලඹවීම ඔස්සේයි බැංකු වීරයා බිහිවන්නේ.

* සිනමා මාධ්‍යයේදී බැංකු කොල්ලය යන්න සුලබ කතා තේමාවක් බවට පත්වෙනවා. එවැනි අදහස් මේ නිර්මාණයට යම් බලපෑමක් කළාද?

වාණිජ සිනමාවක් විදියට හෝ ඒ නිර්මාණ නිර්මාණය කරන්නේ සංත්‍රාසමය චිත්‍රපට විදියටයි. චිත්‍රපට දෙක, තුනක මේ තේමාව භාවිත කර තිබෙන විදිය, ආකෘතිය, දේශපාලන, සමාජ වශයෙන් බද්ධ කරන විදිය පිළිබඳ මට යම් නිර්මාණ අභාසයක් ලැබුණා. නිර්මාණ උත්වේජනයක් ලැබුණා. ඒ අත්දැකීම මොන වගේ දෙයකට යොදා ගන්නවා දැයි සිත සිතා සිටිනවිටදියි එය වේදිකාවට යොදා ගැනීම වඩාත් අර්ථවත් බව දැනුණේ. බැංකුවක් කොල්ල කන යන තරුණයකුගේ ඛේදවාචකය, ඔහුගේ ඛේදවාචකය පසුපස තිබෙන්නා වූ සමාජ, දේශපාලන ඛේදවාචකය පිළිබඳයි මා ‘බැංකු වීරයා’ නාට්‍යයේ ලිවීමට පෙලඹෙන්නේ.

* අවසානයේ බැංකු හොරායි වීරයා බවට පත්වන්නේ?

බොහෝ විට මාධ්‍ය ඇතුළේදී අප දකින්නේ හොරු, ස්ත්‍රී දූෂකයන් හෝ මිනීමරුවන් වැනි සමාජ ගත කරන චරිත ප්‍රසිද්ධ චරිත බවට පත්වන්නේ එක් රැයකිනුයි. ඔවුන් සිටින ප්‍රදේශය, සමාජයේ නැතිනම් ඔවුන් සිටින බන්ධනාගාරයේ ඔවුන් වීරයන් බවට පත්වෙනවා. එතැනින් එහාට සමාජයේ හිතකර ජීවිත ගත කරන අයට එවැනි ප්‍රසිද්ධියක් ඔවුන් ලබා දෙන්නේ නැහැ. මේ කාරණය මා දකින්නේ ජනමාධ්‍යයේ තිබෙන දුර්ගුණයක් විදියටයි. යම් වෙළෙඳ අළෙවි කරන අරමුණකදි වෙළෙඳමය අරමුණු සඳහා මේ චරිත ඉස්මතු කිරීමටයි ඔවුන් උත්සාහ ගන්නේ. බැංකු හොරා වීරයකු බවට පත්වන්නේ එතැනදියි.

* ‘බැංකු වීරයා’ යන නම මේ වේදිකා නාට්‍යයට යෙදෙන්නේත් යම් අර්ථ රැසක් සහිතව බවයි පෙනෙන්නේ?

ඔහු මේ බැංකු කොල්ලයෙන් ලබන මුදල් ජනතාවත් සමඟ බෙදා ගන්නවා. ජනතාව ඔහුව වීරයකු බවට පත් කරනවා. රුපියල් සතවලින් අසම්පූර්ණ ජීවිත සම්පූර්ණ කර ගැනීමට තනන සමාජයක එක් චරිතයකුයි මා වෙන්කර ගත්තේ. එවිට එය ප්‍රේක්ෂකයන් විවිධ කෝණවලින් නරඹන බවකුයි අපට පෙනෙන්නේ. බලාපොරොත්තු ඇති කරගෙන ජීවත් වීමට දරන සෝචනීය උත්සාහය ඇතුළු කාරණා සියල්ල වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ තිබෙන ඛේදවාචකයක හරස්කඩකුයි මේ බැංකු වීරයාගේ වීරත්වයෙන් බලාපොරොත්තු වන්නේ. ඔහු එක වෙලාවක කියනවා මේ සියල්ල අහම්බයක්. මෙවැනි දෙයක් කිරීමට මම කිසිම වෙලාවක සැලසුමක් කළේ නැති බවයි ඔහු පවසන්නේ. එහෙම නම් ඔහු අහම්බවේදියෙක්. ඔහුව වීරත්වයට පත්කරන්නේ ඔහු දෙස බලා සිටින සමාජය සහ ඔහු පසුපස ලුහුබඳීන මාධ්‍යයයි. ජීවත් වීම සඳහා මුදල් ටිකක් ලබා ගැනීම හැරැණු විට වීරයකු වීම ඔහුගේ සිතකවත් තිබුණේ නැහැ. ඒ නම ම උත්ප්‍රාසාත්මකයි.

* වර්තමානයේ පවතින දේශපාලන කාරණාත් ඔබට ‘බැංකු වීරයා’ බිහිවීමට යම් පසුබිමක් නිර්මාණය කළාද?

එය සිදුවුණු අහම්බයක්. බොහෝදෙනා පැමිණෙන්නේත් ඒ කාරණා මේ නිර්මාණයේ තිබෙනවාද යන්න නරඹන්නයි. එවැනි ප්‍රශ්න පැන නැඟීමට පෙරයි මේ නාට්‍යය පිටපත මගේ අතින් ලියැවෙන්නේ. අනෙක් කාරණය නම් ඒතරම් ආසන්නයේ ම සිදු වූ කාලීන සිදුවීම් නිර්මාණයකට යොදා ගැනීම සුදුසු බවක් මා සිතන්නේ නැහැ.

* ‘බැංකු වීරයා’ නාට්‍යයේදී රංගනය සඳහා යොදා ගන්නේ සිව් යුගයක ශිල්පීන්. ඔවුන්ව ම යොදාගෙන නිර්මාණයක් කිරීමට විශේෂ හේතුවක් තිබුණාද?

ඔවුන් මට රැගෙන ආවේ අපූරු අත්දැකීමක්. ජයලත් මනෝරත්නයන් මගේ මුල් ම නාට්‍යයේ හැර අනෙක් සියලු ම නිර්මාණවලට දායකත්වය දැක්වූ රංගන ශිල්පියෙක්. එතැන් සිට වර්තමාන පරම්පරාවේ ධර්මප්‍රිය ඩයස්, කැලුම් ගම්ලත් සහ සුනෙත් ශාන්තප්‍රිය වැනි අද වේදිකාවේ හැසිරෙන නව පරපුරේ රංගන ශිල්පීන්වත් මා මේ නිර්මාණයට දායක කර ගත්තා. ඒ හැරැණු විට මාත් සමඟ දිගටම වැඩ කළ අජිත් ලොකුගේ, නිමල් යටිවැල්ල, වසන්ත විට්ටච්චි, ප්‍රසාද් සූරියආරච්චි වැනි ප්‍රවීණ ශිල්පීන්ද මේ නාට්‍යයේ රඟපානවා. ඕනෑම නාට්‍යකරුවකු නිර්මාණයක් කිරීමේදී ඔහු වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිසෙන් කිහිපදෙනෙකුත් මේ නාට්‍යයේ ඉන්නවා. අද වේදිකා නාට්‍යයේ කැලුම් ගම්ලත් වැනි රංගන ශීල්පිනියක්ව තෝරා ගැනීමට හේතුවුණේ මේ චරිතයට යම් ජවයක් ඉල්ලනවා. එය අවබෝධ කරගෙන අලංකාර කිරීමේ හැකියාව තිබුණේ ඇයටයි.

* මෙහි සංගීතය නිර්මාණය කිරීමට ඔබ භාර දෙන්නේ නවරත්න ගමගේටයි.

වේදිකා සංගීතය නිර්මාණය කිරීමේ විශිෂ්ටයකු විදියටයි මා නවරත්න ගමගේව දකින්නේ. එහි තේමා ගීතය ගයන්නේ නිපුන් කාලිංගයි. වේෂ නිරූපණයෙන් වසන්ත විට්ටච්චිත්, රංගාලෝකයෙන් රංග සමරකෝන්, වේදිකා නිර්මාණ සැලසුෙ මන් ධර්මප්‍රිය ඩයස්ද මට සහයෝගය දක්වනවා.

* වේදිකා නාට්‍යයක් කිරීම හරහා යම් ආර්ථික වාසියක් සැලසෙන බවක් ඔබ සිතනවාද?

කෙසේ වෙතත් ‘බැංකු වීරයා’ අද යන රැල්ලේ නාට්‍යයක් නොවන නිසා වාණිජ වශයෙන් අවදානම් තලයකට වුණත් ගමන් කළ හැකියි. මා එසේ පවසන්නේ පසුගිය කාලයේ සරල, සුලබ ප්‍රේක්ෂකයාට නිවෙසට ගෙන යන්නට දෙයක් නොදෙන නාට්‍යය වර්ගයක් බිහිවුණු නිසයි. මා ඒවා හඳුන්වන්නේ කානිවල් නාට්‍ය නමින්. සාමාන්‍යයෙන් සැණකෙළිවල, විනෝද මේලාවල පෙන්වන්න යන දෙබස් ටිකක් කියවලා සිනහ ගන්වන වේදිකා නාට්‍ය රැසක් බිහිවුණේ නාට්‍යවල නාමයෙනුයි. ඒ නොමඟ ගිය ප්‍රේක්ෂාගාරයටයි අපට යන්න සිදු වී තිබෙන්නේ. සමහර විට ඔවුන්ට ඒක දරා ගැනීමට නොහැකි වූ බවකුත් පෙනෙනවා. ඒ වගේ ම දිගින් දිගටම මෙවැනි නාට්‍ය වේදිකා ගතවීමේදී ඔවුන් ඒවාට හුරුවන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඒත් නිෂ්පාදකවරයකු නැතිව මෙවැනි නිර්මාණයක් කිරීමට මට නොහැකියි. ඒ ප්‍රියංකර ද සිල්වා නොමැති නම්. ඔහුවත් මේ අවස්ථාවේදී සිහිපත් කිරීමට මා කැමැතියි.