වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 20 වැනිදා සඳුදා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න

රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න

රාජිත දිසානායක නිර්මාණය කළ ‘මට වෙඩි තියන්නැද්ද’, ‘ආදර වස්තුව’ සහ ‘නැතුව බැරි මිනිහෙක්’ නාට්‍ය තුනක් රැගත් නාට්‍ය උලෙළ මේ මස 25, 26, 27 දින තුනේ සවස 7.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගතවෙයි. ඒ පිළිබඳත්, නාට්‍යවල අතීතය පිළිබඳත් විමසමින් රාජිත දිසානායක සමඟ සරසවියට කළ සාකච්ඡාවකි.

* ඔබ මේ නාට්‍ය උලෙළ පැවැත්වීමට යම් හේතුවක් තිබෙනවාද?

මේ නාට්‍ය උලෙළ පැවැත් වෙන්නේ ‘මට වෙඩි තියන්නැද්ද’ නාට්‍යයේ 18 වැනි වර්ෂ පූර්ණයත්, ‘ආදර වස්තුව’ නාට්‍යයේ සිව්වන වර්ෂ පූර්ණයත්, ‘නැතුව බැරි මිනිහෙක්’ නාට්‍යයේ වර්ෂ පූර්ණයත් නිමිති කර ගනිමින්. අප කොහොමත් මේ විදියට නාට්‍ය කිහිපයක් එකතු කර නාට්‍ය උලෙළක් පැවැත්වීම සාමන්‍යයෙන් කරගෙන එන දෙයක්.

ඒ විදියට මා මේ නාට්‍ය උලෙළක් පවත්වන හත්වැනි වතාවයි. අප අලුතින් වේදිකා ගත කරන නාට්‍යයක් සමඟ ම ඊට පෙර වේදිකා ගත කළ නාට්‍ය දෙකක් හෝ තුනක් එක පෙළකට නැරැඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදාකර දීමයි මේ මඟින් මා බලාපොරොත්තු වන්නේ. ඒ කාරණය වගේ ම අපගේ නාට්‍ය ශිල්පීන්ටත්, නිර්මාණ ශීල්පීන්ටත් මේ උලෙළ වැදගත් අවස්ථාවක්. ඒ ඒ නාට්‍ය පරිපූර්ණ කිරීමට අවශ්‍ය නැවත පුහුණුවීම්වල යෙදීමටත්, නැවත ඒ නාට්‍යවල ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීමටත් අවස්ථාවත් මේ හරහා ඔවුන්ට ලැබෙනවා.

* ‘මට වෙඩි තියන්නැද්ද’ නාට්‍යයේ සැමරෙන්නේ 18 වැනි වර්ෂ පූර්ණයයි. වේදිකා නාට්‍යයකට එය දිගු කාලයක් නේද?

අප මුල්වරට ‘මට වෙඩි තියන්නැද්ද’ නාට්‍යය නිෂ්පාදනය කරන්නේ 99 වසරේදියි. ඊට පස්සේ 2006 හා 2009 වසරේදිත් යළිත් ඒ නාට්‍යය රඟදැක්වූවා. වසර 18කට පසුවයි අප යළිත් එහි නව නිෂ්පාදනයක් කරන්නේ. මීට වසර 18කට කලින් ඒ කළ නාට්‍යය මේ වනවිට නැරැඹූ නැති බොහෝ ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා.

ඔවුන් සමඟත් ඒ නාට්‍යය අත්දැකීම බෙදා ගැනීමටයි මා සිතුවේ. මීට දශක දෙකකට පෙර අපේ තරුණ ජීවිතවල අත්විඳී අත්දැකීම් ඇසුරෙනුයි මේ නාට්‍යය නිර්මාණය වුණේ. මා සිතන්නේ ඒ අත්දැකීම වර්තමාන ප්‍රේක්ෂකයාටත් සමීප අත්දැකීමක් වේ යැයි යන්නයි. වසර 18කට පස්සේ ඒ නාට්‍යය වර්තමාන ප්‍රේක්ෂකයන් භාර ගන්නේ කෙසේදැයි යන්න දැන ගැනීමේ උනන්දුවෙනුයි මා බලාගෙන සිටින්නේ.

* මේ නව නිෂ්පාදනයට දායක වන්නේ අලුත් නළු නිළි පිරිසක්ද?

‘මට වෙඩි තියන්නැද්ද’ නාට්‍යයේ කලින් සෞම්‍ය රඟපෑ චරිතය මෙවර රඟපාන්නේ සජිත අනුත්තරයි. ගිහාන් චිගේරාගේ චරිත රඟපාන්නේ ඉෂාර වික්‍රමසිංහයි. ගිහාන් ප්‍රනාන්දුගේ චරිතය ශ්‍යාම් ප්‍රනාන්දුත්, ප්‍රියංකර රත්නායකගේ චරිතය නලින් ලුසේනාත්, චමිලා පීරිස්ගේ චරිතය කසුනි ප්‍රනාන්දු සහ සමදරා මාබුලගේත්, දේවින්ද වික්‍රමසිංහත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

* සෞම්‍ය ලියනගේ වැනි ප්‍රවීණ රංගන ශිල්පියකුගේ චරිතයට පණ පොවන්නේ සජිත අනුත්තරයි. ‍ඔහුගෙන් ඒ චරිතයට යම් සාධාරණයක් ඉටු වී තිබේ යැයි ඔබ සිතනවාද?

මේ නාට්‍යය සෞම්‍ය විශිෂ්ට විදියට රංගනයේ නියැළුණු නාට්‍යය නිර්මාණයක්. සජිත අනුත්තර සෞම්‍ය රඟපාන ආකාරයෙන් රඟපානවාට වඩා සිදුවන්නේ සජිතත් යම් වර්ණයක් ඒ චරිතයට එකතු කිරීමයි. නළුවකු තවත් නළුවකුට සමාන වන්නේ නැහැ.

සජිතත් දිගටම නාට්‍ය සමඟ අභ්‍යාසවල යෙදුණොත් ඉතා දක්ෂ බලාපොරොත්තු සහගත නළුවකු ලෙස අපට මුණ ගැසීමට ඉඩ තිබේවි. ඔහු දැන් පෙන්වන කැප කිරීම, විනය තවදුරටත් පවත්වා ගත්තොත්, ඉදිරියේදී සෞම්‍ය වගේ දක්ෂ නළුවකු බිහිවීමට ඉඩ කඩ නිර්මාණය වේවි.

* ‘මට වෙඩි තියන්නැද්ද’ වේදිකා නාට්‍යය මඟිනුත් ඔබ කතා කරන්නේ දේශපාලනමය කාරණයක්ද?

තරුණයන් දෙදෙනෙකු බෝඩිං කාමරයක ගත කරන දින කිහිපයකුයි මේ කතාවට පාදක වන්නේ. එක් තරුණයකු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අවසන් වසරේ ශිෂ්‍යයෙක්. ඔහු සමඟ සිටින අනෙක් තරුණයා විශ්වවිද්‍යාලයට නොගිය, ජීවත්වීමට විවිධ දේවල් කරන තරුණයකුයි.

මේ දින කිහිපයේ ඔවුන් දෙදෙනා අත්විඳීන කාරණා සමුදායකුයි දිග හැරෙන්නේ. මේ නාට්‍යය මීට පෙර නැරැඹූ සමහර විචාරකයන් යම් දේශපාලන කියැවීමකට පැමිණ තිබෙනවා. ඔවුන් එය සිදුකර තිබෙන්නේ බොහොම සියුම් හා ප්‍රබල විදියකටයි. වර්තමානයේදී වුණත් ප්‍රේක්ෂකයන්ට එවැනි දේශපාලන කියැවීමකට ඉඩ නිර්මාණය කර ගත හැකියි.

* ‘ආදර වස්තුව’ නාට්‍යයට උදා වී තිබෙන්නේ සිව්වන වර්ෂ පූර්ණයයි?

‘ආදර වස්තුව’ වේදිකා නාට්‍යය මුල්වරට අප රඟ දක්වන්නේ 2013 වසරේ. ඒ නාට්‍යය වසරක වගේ කාලයක් දිගින් දිගටම වේදිකා ගතවුණත් ඊට පසුව විරාමයක් ගනු ලැබුවා. ඊට පසුවයි යළිත් මේ නාට්‍යය රඟ දැක්වීම ආරම්භ කරන්නේ.

ඒ නිසා වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට මේ නාට්‍යය රැගෙන යෑමට අවස්ථාවක් අපට ලැබුණේ නැහැ. මේ නිසා මෙවර පෙරටත් වඩා සාර්ථකව වේදිකා ගත කිරීමටත් වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට නාට්‍යය රැගෙන යෑමටත් ලැබේවිය කියන විශ්වාසයේ අප ඉන්නවා.

මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ ශ්‍යාම් හා නදීශා. එහි රඟපෑ ගිහාන් චිගේරා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවීමත් සමඟ එය රඟපාන්නේ තුමිඳු දොඩන්තැන්නයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ චරිතය රඟපාන්නේ කසුන් චතුරංග නම් නවක දක්ෂ නළුවායි.

* ‘නැතුව බැරි මිනිහෙක්’ නාට්‍යය වේදිකා ගත වන්නේ බොහොම මෑතකයි?

‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යය වේදිකා ගතවන්නේ ගිය වසරේ සැප්තැම්බර් 02 වැනිදායි. ඒ නිසා ඒ නාට්‍යයටත් වර්ෂයක් සම්පූර්ණ වෙනවා. ඒ වගේ ම පැවසිය යුත්තේ මේ නාට්‍යයේ දර්ශන වාර පනහ සම්පූර්ණ වන්නේ ලබන මාසයේ 16 වැනිදාට බවයි.

වසරක කාලයක් ඇතුළේ දර්ශන වාර පනහක් සම්පූර්ණ කිරීමට ලැබීමත් විශේෂයි. එපමණක් පමණක් නොවෙයි ඒ නාට්‍යය මේ වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍යය විදියට සම්මාන රැසක් ම දිනා ගන්නවා.

සෑම මාසයක ම මෙන් දර්ශන වාර තුනක් වේදිකා ගත කිරීම සිදු වන ‘නැතුව බැරි මිනිහෙක්’ සඳහා ඒ සෑම රංග වාරයකදිම ඉහළ ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බවත් සඳහන් කළ යුතුයි. මෑතක වේදිකා ගතවුණු නිර්මාණ අතරින් වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවුණු නාට්‍යයක් විදියටත් ‘නැතුව බැරි මිනිහෙක්’ හැඳීන්විය හැකියි.

* මේ නාට්‍ය ත්‍රිත්වයේ ම සංගීතය නිර්මාණය කර ඇත්තේ කපිල පූගලආරච්චියි. ඔබගේ නාට්‍යවලට සංගීතය සඳහා ඔහුව සහභාගි කර ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

මා ප්‍රසිද්ධ වේදිකාවට කළ නිර්මාණ නාට්‍ය දහයෙන්ම නවයකම සංගීතය නිර්මාණය කර තිබෙන්නේ කපිල පූගල ආරච්චියි. කපිල සහ මා අතර තිබෙන මිත්‍ර සම්බන්ධය ඇති වන්නේ 90 වසරේදියි. ඒ මිත්‍රත්වයට වසර තිහකට ආසන්න කාලයක් වෙනවා.

කපිල ප්‍රසිද්ධ වේදිකාවට ‘සක්වා දහවල’ කරන්නට පෙර කළ පාසල් නාට්‍යවලදිත්, විශ්වවිද්‍යාලයේ සිටින කාලයේ කළ නාට්‍යවලදිත් සංගීතයෙන් දායක වුණා. ඊට හේතුවුණේ මට ඔහුත් සමඟ කටයුතු කිරීමට තිබෙන පහසුවයි. කපිලට හා මා අතර මා නිර්මාණකරුවකු ලෙසත්, මිත්‍රයකු ලෙසත් එකිනෙකාට තිබෙන අවබෝධය සහ බැඳීම කියන කාරණාත් සමඟ වැඩකිරීමට පහසුයි.

මා සංගීතය ඉගෙන ගෙන නොතිබුණත් එය පිළිබඳ මට තිබෙන සමහර හැඟීම් හා ඉව කපිල තේරුම් ගන්නේ ඉතා පහසුවෙන්. ඒ සඳහා ඔහුට යම් අවබෝධයක් තිබෙනවා. ඒ කටයුතුත් එක්ක දිගුකාලීන මිත්‍රයෝ හා පවුල්වල තිබෙන සමීප සම්බන්ධයත් එක්කයි අපි බැඳීලා සිටින්නේ.

* බොහෝදෙනා වේදිකාව අතැර යන කාලයක ඔබ වේදිකාවට පමණක් ආදරය කරන්නේ ඇයි?

ඒ සඳහා වන එකම විශේෂ හේතුව නම් වේදිකාවට දී තිබෙන අවධානය, කැපවීම හා මීට වඩා තවත් හොඳ නාට්‍යයක් කිරීමට තිබෙන වුවමනාවයි. ඒ කාරණය ඉටුකර ගැනීමට මගේ සම්පූර්ණ අවධානය මේ මාධ්‍යයත් එක්ක යොමු කිරීමයි සිදුවුණේ. පාසල් යන කාලයේ පටන්, විශ්වවිද්‍යාල යන කාලයේත් සිනමාව සම්බන්ධයෙන් මගේ සිතේ විශේෂ ආකර්ෂණයක් තිබුණා.

තවමත් රසිකයකු විදියට සිනමාවට මා බොහොම කැමැති කෙනෙක්. ප්‍රකාශන මාධ්‍යයක් විදියට සිනමාව යොදා ගන්න, ඒ වෙනුවෙන් අධ්‍යයනයක නිර වෙන්න, ඒ වෙනුවෙන් සිත යොමු කිරීමට සිදු වුණොත් මේ කරමින් සිටින නාට්‍ය කලාවත් සමඟ අභ්‍යාසය එක්කෝ අඩු වේවි. නැතිනම් අත්හැරේවි. එවිට මීට වඩා හොඳ නාට්‍යයක් කිරීමේ උත්සාහය ප්‍රමාද විය හැකියි.

නැතිනම් මඟ හැරිය හැකියි. මා තවමත් විශ්වාස කරන්නේ මගේ ජීවිතයේ හොඳම නාට්‍යය කිරීමට නොලැබුණු බවයි. ඒත් මා ඒ සඳහායි උත්සාහ ගන්නේ. සිනමාව ගත්තොත් එහි තිබෙන විවිධ ගැටලුත් සමඟ ප්‍රකාශන මාධ්‍යයක් විදියට නාට්‍ය කලාවේ නිරත වීම මට නම් ආස්වාදනීයයි.