වර්ෂ 2017 ක්වූ අගෝස්තු 22 වැනිදා අඟහරුවාදා




තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

සමාජ කතිකාවක් උදෙසා නාට්‍ය මෙහෙය වූ ඩග්ලස් සිරිවර්ධන

ඩග්ලස් සිරිවර්ධන ද ඔහුගේ සමකාලීනයන් වන ධර්මසිරි බණ්ඩාරනායක, තරංග රුක්මල්වල, ලාල් කුලරත්න මෙන්ම හොරණ විද්‍යාරත්නයෙන් බිහි වූ නාට්‍යකරුවෙකි. හැටේ දශකයේදී පේරාදෙණි විශවවිද්‍යාලයේ සිට ගුරු වෘත්තිය සඳහා විද්‍යාරත්නයට පැමිණි චන්ද්‍රසේන දසනායක විද්‍යාරත්නයේදී කිසියම් නාට්‍ය ප්‍රබෝධයක් ඇති කරන්ට උපස්තම්භක වූයේය. ඉනික්බිතිව එහි ශිෂ්‍යයකු වූ හේමසිරි ලියනගේ සරසවිය අධ්‍යාපනය ලැබ විද්‍යාරත්නයට පැමිණියේ ගුරුවරයකු සේය. ඔහු ද නාට්‍ය නිෂ්පාදනය කරමින් සිසුන් තුළ නාට්‍ය උද්යෝගයක් දල්වා ලු බව කිව යුතුය. ඩග්ලස් මුල්වරට සම්බන්ධ වූයේ හේමසිරිගේ නාට්‍යවලටය. ඒ සුළු සුළු ආවතේව කටයුතු වෙනුවෙනි.

ඩග්ලස් 1972 දී සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කළ නාට්‍ය අත් පිටපත් තරගයකට ‘අන්තෝ ජටා’ නමින් නාට්‍යයක් ඉදිරිපත් කළ අතර එය පළමු ස්ථානය දිනා ගත්තේය. එසේම රයිගම් කෝරල සංස්කෘතික සංවිධානය මෙහෙය වූ නාට්‍ය අත්පිටපත් තරගයෙන් ද ප්‍රථම ස්ථානය දිනාගන්ට හෙතෙම සමත් වූයේය. එම පිටපතේ නම වූයේ ‘ජීවිතයක් පැතුම් බිඳක්’ය.

‘අඹු සැමියෝ’ (1976) ඩග්ලස් රචනා කර නිෂ්පාදනය කළ ප්‍රථම නාට්‍යය වෙයි. එය ඉහත සඳහන් ‘අන්තෝ ජටා’ නාට්‍යයේම පෙළ දිගුවකි. විවාහ සංසථාවේ එක්තරා පැතිකඩක් මෙම නාට්‍යයෙන් නිරූපණය කළේය. සම්පත් තෙන්නකෝන්, මර්සි එදිරිසිංහ, ගාමිණී සමරකෝන්, ජයශ්‍රී චන්ද්‍රජිත්, ලාල් කුලරත්න මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. සංගීතය රෝහණ බැද්දගේගෙනි. ‘අඹු සැමියෝ’ ප්‍රේක්ෂක විචාරක ආකර්ෂණය දිනූ නාට්‍යයකි. එය දර්ශන වාර සියය ඉක්මවා වේදිකාගත කෙරිණි.

‘අඹු සැමියෝ’ විචාරයට ලක් කරමින් දයාසේන ගුණසිංහ මෙසේ ලියා ඇත.

“සිත කම්පා කරවන සුලුවූත්, සිතට කා වදින සුලුවූත් මෙකී පුවත ඉදිරිපත් කිිරීමේදී ප්‍රේක්ෂකයාගේ පමණක් නොව සහභාගි වූ පාත්‍ර වර්ගයා ද මවිතයට පත් කරමින් ඉතාමත් සාර්ථක නාට්‍යයක ඇති බලය කවරේදැයි මවා පෙන්වයි. ‘අඹු සැමියෝ’ හි ඉතාමත් වැදගත් ලක්ෂණය වූයේ විවිධ ප්‍රකාර වූවත් ඒකාග්‍රතාවයකින් යුතු ලීලාවකින් සම්බන්ධිකරණය කරන ලද තාත්වික හා ශෛලිගත නාට්‍ය ශිල්ප ක්‍රම අභිනය මුද්‍රා නාට්‍ය හා ගීතමය නාට්‍යවල සංකලෂණ ඉතාමත් උචිත අන්දමින් සම්මිශ්‍රණය කර පැහැදිලි වූ වෙනසක් නොපෙනෙන අයුරින් ඉදිරිපත් කිරීමය.”

‘අඹු සැමියෝ’ මුලින්ම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් තහනම් කරන ලදී. ඊට හේතු ලෙස අනාවරණය වූයේ කාන්තාවකගේ අසාර්ථක විවාහ ජීවිතය මෙම නාට්‍යයට පාදක වී ඇති නිසා එයින් රටේ එක්තරා ප්‍රභූ කාන්තාවකට පහරක් එල්ල වන නිසාත් යන කාරණයයි. ඒ අනුව මෙය මොනතරම් මුග්ධ තීන්දුවක්දැයි විමසනු වටී.

‘අඹු සැමියෝ’ 1976 ජාතික නාට්‍ය උළෙලින් (එහි අවසාන වටයෙන්) ඉවත්කර ගැනුණු නාට්‍යයකි. ඊට හේතුව ලෙස ඩග්ලස් දක්වා ඇත්තේ උළෙලේ ප්‍රමුඛත්වය දේශපාලන නාට්‍යවලට යොමුවීම නිසා තම නාට්‍යයට අසාධාරණයක් වූ බවය.

‘සුබ සැන්දෑවක්’ (1982) ඩග්ලස්ගේ ඊගාව නාට්‍යයි. ඔහු මෙය නිෂ්පාදනය කළේ 1980 මහා වැඩ වර්ජනයට සහභාගි වී රැකියා අහිමි කරගත්තකු ලෙසිනි. ‘සුබ සැන්දෑවක්’ ප්‍රංශ ලේඛක, දාර්ශනික ශොන් පෝල් සාත්‍රගේ ‘රෙස්පෙක්ටර්බල් ප්‍රොස්ටිටියුටි’ නමැති නාට්‍යය පාදක වූවකි. මෙම මුල් කෘතියෙන් වර්ණභේදවාදය සමාජ කතිකාවකට ගෙන ආ අතර සිංහල නිෂ්පාදනයේදී එය වාර්ගික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කෙරිණි. එක්තරා නගරාධිපතිවරයෙක් තම ඡන්දය ජයග්‍රහණය කරගන්ට නගරය තුළ ජාතිවාදය අවුස්සන ආකාරය ද එමඟින් විරුද්ධ ඡන්දය විනාශ කර දැමීමට ඉදිරිපත් වන ආකාරය ද මෙම නාට්‍යයෙන් දැක්විණි.

1983 ජාතිවාදී අරගලය ඇති වී එය තිස් වසරක යුද්ධයක් දක්වා දිග්ගැස්සුණේ මෙම නාට්‍යය රංග ගත වී අවුරුද්දක් ගතවන්ට ප්‍රථමය.

සම්පත් තෙන්නකෝන්, දේවිකා මිහිරාණි, ජනක් ප්‍රේමලාල්, කිංස්ලි ලෝස්, වසන්ත විට්ටච්චි ප්‍රධාන චරිත රඟපෑ අතර සංගීතය එච්. ඒ. පෙරේරාගෙනි.

‘සුබ සැන්දෑවක්’ අළලා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අගනා විචාරයක් ලියා ඇත.

“සිරිවර්ධන තුළ කුසලතාවයක් තිිබෙන බව ‘සුබ සැන්දෑවකින්’ පෙනී යයි. ඔහු මනා සේ නළු නිළියන් පුහුණු කර රංග භූමියෙහි හසුරුවයි. නාට්‍යයේ සංවාද ද රංගමය ස්වභාවයකින් යුක්තය. ඔහුගේ බස මටසිලුටියි. රංග ශාලාවේදී රසවත් හැන්දෑවක් ගත කිරීමටත් මනුෂ්‍යයාගේ ඉරණම ගැනත් ජීවිතයේ සැටි ගැනත් ප්‍රේක්ෂකයන්ගේ සිත් යොමුකර වීමටත් ‘සුබ සැන්දෑවක්’ සමත් වන්නේ මෙහෙයිනි.”

‘හිට්ලර්’ (1986) ඩග්ලස්ගේ නාට්‍ය රචනයක් හා දැවැන්ත නිෂ්පාදනයකි. ආඥාදායක හිට්ලර්ගේ ම්ලේච්ඡ මානසිකත්වයෙන් යුද්ධය නිර්මිත වූ ආකාරය මේ නාට්‍යයෙන් විවරණය වෙයි.

මෙම නාට්‍යය රචනා කිරීම සඳහා ඩග්ලස්ට කිසියම් බලපෑමක් කර ඇත්තේ පාසල් වියේදී ඔහු දුටු ‘පොතක සටහන්’ නමැති විනාඩි 45 කින් යුතු පාසල් නාට්‍යය යැයි සිතමි. හොරණ විද්‍යාරත්නයේ ආචාර්ය චන්ද්‍රසේන දසනායක මෙම නාට්‍යය නිෂ්පාදනය කළේ ‘ ඩයරි ඔෆ් ඈන් ෆ‍්‍රෑන්ක්’ නම් වූ සුප්‍රකට කෘතිය ඇසුරෙනි. ෆ්‍රෑන්ක් පවුලේ පියා හැරුණු කොට පවුලේ සියලු දෙනාම නාසිවාදීන්ගේ ගොදුරු බවට පත් වෙති.

ඩග්ලස් කියා ඇති පරිදි ‘හිට්ලර්’ 83 කළු ජූලියෙන් උපත ලද නාට්‍යයකි. හිට්ලර් ද අන්ත ජාතිවාදියෙක් වූයේය. ජාතිවාදය දරුණු යුද්ධයක් දක්වා දිග්ගැස්සෙන බව හිට්ලර්ගේ සංසිද්ධියෙනුත් 83 ජූලි සිදුවීම්වලිනුත් මනාව ප්‍රත්‍යක්ෂ වන්නේය.

එච්. ඒ. පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, සම්පත් තෙන්නකෝන්, වසන්ත විට්ටච්චි, අනුලා හඳුවල, ජනක් ප්‍රේමලාල්, රත්නා ලාලිනි ඇතුළු නළු නිළි පිරිසක් හිට්ලර් හි රඟපෑහ. පෝලන්ත නාට්‍යකරුවකුගේ චරිතයක් රඟපෑ එච්. ඒ. පෙරේරා එම නාට්‍යකරුවා නිපදවන නාට්‍යයේ හිට්ලර්ගේ චරිතය ද රඟපෑවේය.

ආකෘතිය සම්බන්ධයෙන් ගත් කල’හිට්ලර්’ අත්හදා බැලීම් සහිත නාට්‍යයකි. මෙම නාට්‍යය සඳහා හිට්ලර් ගැන කියැවෙන චිත්‍රපට රාමු ස්ටීරියෝ ශබ්දපට යොදා ගැනිණි. එමඟින් නාට්‍යයේ අරුත් ප්‍රබලව කුළුගැන්වුණු ආකාරය පෙනිණි.

‘හිට්ලර්’ මුල් නිෂ්පාදනය පැය 4 ක ධාවන කාලයකින් යුතු විය. එහි පූර්ව රංගනයම පමණක් විනාඩි 45 ක් පමණ වෙයි. පූර්ව රංගයට අනුව නාට්‍යය ඇරඹෙන්නේ වේදිකාවට කඩා වදින හමුදා භට පිරිසක් නගරයේ බෝම්බයක් පිපිරී ඇති බවත් මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති බවත් කියමින් නාට්‍යය අතරමඟ නවතා හැකි විගස නිවෙස් කරා යන ලෙස ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින අවස්ථාවකිනි. මෙය සැබෑවක් ලෙස වටහා ගත් ඇතැම් ප්‍රේක්ෂකයෝ රඟහලින් නික්ම යන්නට පවා සූදානම් වූහ. පසුව මෙය නාට්‍යයේම කොටසක් යැයි පවසන ලදී.

‘හිට්ලර්’ නොමඳ ප්‍රේක්ෂක, විචාරක ප්‍රශංසාව ලද නාට්‍යයකි. ප්‍රකට මාක්ස්වාදී කලා විචාරිකාවක වූ මහාචාර්ය පියසීලී විජේ ගුණසිංහ ‘බැරෑරුම් යැයි හැඳින්විය හැකි ඌනතා වෙතත් මෙය නැරඹූවකුට උද්දාමයෙන් සිහිපත් කළ හැකි නාට්‍යයක් ලෙස හැඳින්වූවාය.

‘බොරු කකුල්’ (1991) ඩග්ලස්ගේ තවත් නාට්‍යයකි. ඔහු මෙය මුලින්ම ඉදිරිපත් කළේ ‘නීති රංග 90’ කලා ප්‍රසංගයේ කෙටි නාට්‍යයක් වශයෙනි. තමා මෙම නාට්‍යයෙන් කියන්ට උත්සුක වූයේ බොරුව මත පදනම් වූ ජීවිත ගැනය. නාට්‍යයේ එක් චරිතයක් මෙසේ කියයි.

‘ඇත්තම කියනවා නම් මං ජීවිතේටම ඇත්තක් කියලා නැහැ’

‘සිහල වංශලා’ (1996) ඩග්ලස්ගේ ඊළඟ නාට්‍යයි. මෙරට උගතුන්ගේ ඛේදවාචකය ඉන් නිරූපිතය. මෙය 1997 ජාතික නාට්‍ය උලෙළේ දෙවැනි වටය නියෝජනය කළත් අවසාන වටයට නොතේරිණි.

2007 දී ඩග්ලස්ගේ මූලිකත්වයෙන් ටවර් නාට්‍ය රංග කලා පාසල ඇරඹිණි. ‘ගොදුරු’ නම් වූ නාට්‍යය එහි සිසුන් දායක කරගෙන පළමු හය මස තුළ නාට්‍ය ක්‍රියාකාරකමක් ලෙස නිෂ්පාදනය කළ නාට්‍යයකි. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා විවේචනයට ලක් කළ මෙම නාට්‍යයේ මංගල දැක්ම ඊජිප්තුවේ කයිරෝ නුවර අල් අයිරාස් රඟහලේදී පැවැත්වීම විශේෂත්වයකි. මෙහි දර්ශනයක් මෙරටදී පවත්වා නැත.

‘අන්තිම රාත්‍රිය’, ‘විධුර නූර්තිය’, ‘පුලතිසි පුවත’ විවිධ කාලීන අවශ්‍යතා පරිදි මෙමඟින් නිපද වූ තවත් නාට්‍ය කීපයකි.

මහාචාර්ය එම්. එච්. ගුණතිලක කලකට ඉහතදී පිටපත ලියා නිෂ්පාදනය කළ ‘සක්කාය දිට්ඨි’ නාට්‍යය ඩග්ලස් 2011 දී (එනම්, ටවර්හෝල් රඟහලේ සියවස් සමරුව පවත්වන පසුබිමක) ඊට සමගාමීව නිපදවන්ට යෙදුණි.

නාට්‍ය හා රංග කලා අධ්‍යාපනවේදී උපාධි පරීක්ෂණයෙන් පළමු දෙවසර සාර්ථකව නිම කළ ඩිප්ලෝමාධාරීන් රංගකලා පාසලෙන් ඉවත්ව යන අවස්ථාවේ ඔවුන්ගේ කලඑළි දැක්මක් ලෙස ‘සක්කාය දිට්ඨි’ හඳුන්වා දෙත හැකිය. මේ සඳහා ඉහත සිසුහු වෘත්තියාභිමුඛ නාට්‍ය සංසදයක (TOWER REPERTORY THEATRE (T&T) පිහිටුවා ගත්හ. මෙය එහි මුල්ම නිපැයුම ලෙස සැලකිය හැකිය.

ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධනගේ දසවැනි ගුණ සමරුව නිමිත්තෙන් ඩග්ලස් ‘බෙරහඬ’ නාට්‍යයේ නව නිෂ්පාදනයක් (2013) ඉදිරිපත් කළේය. මෙයට පාදක වූයේ ග්‍රීක නාට්‍ය රචක සොෆොක්ලිස්ගේ ‘ඉක්නෙවුටායි’ නමැති සැටර් නාට්‍යයයි. ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ ටවර් වෘත්තියාභිමුඛ නාට්‍ය සංසදය මෙය ඉදිරිපත් කළේය. රඟපෑවේ ද සිසු සිසුවියන්ය.

නාට්‍ය වැඩමුළු පැවැත්වීමෙන් ද, නාට්‍ය විනිශ්චය මණ්ඩලවලට දායක වීමෙන් ද ඩග්ලස් සිරිවර්ධන එතෙක් මෙතෙක් ඉටු කර ඇති මෙහෙවර ප්‍රශස්තතරය.