වර්ෂ 2017 ක්වූ ජුනි 25 වැනිදා ඉරිදා




විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු

ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ 03 දා

එම්.සෆීර් සමඟ කතාබහක්

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ අප්‍රේල් මාසයේ 03 වැනිදා ආරම්භ වීමට නියමිත ය. ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානී එම්. සෆීර්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ දේශීය විදේශීය නාට්‍යකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් දින පහක් මුළුල්ලේ කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ වේදිකා ගතවෙයි. එහිදි නාට්‍ය උලෙළට සමගාමීව වැඩමුළු කිහිපයක් ද පැවැත්වෙයි. එලෙස පැවැත්වෙන නාට්‍ය උලෙළ පිළිබඳත්, මෙතෙක් පවත්වාගෙන පැමිණීමේදී මුහුණ දීමට සිදුවුණු විවිධ ගැටලු පිළිබඳත් එහි සංවිධායක එම්. සෆීර් සමඟ ‘සරසවිය’ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

2017 කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ මෙවර පැවැත්වෙන්නේ හයවැනි වරට ය. වසර හයක් යනු දිගු කාලයකි. මේ වසර හය දෙස නැවත හැරී බලද්දී විවිධ කරුණු කාරණා රාශියක් පෙළ ගැසෙන්නේ ඉබේම ය. ඒ අතරින් මේ උලෙළට ඉදිරිපත් වන රටවල් අසූව පිළිබඳ සිතීමේදී අපට හැඟෙන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර නාට්‍ය උලෙළ ගැන ඒ රටවල ඇති වී තිබෙන උනන්දුව ය.

* “ඒ පැමිණි ගමන්මග ඔබට දැනෙන්නේ කුමන ආකාරයෙන් ද? ”

“වසර ගණනක් මේ නාට්‍ය උලෙළ තනියෙන් සංවිධානය කරන මනුෂ්‍යා විදියට රටවල් අසූවක් පමණ ප්‍රමාණයක් අපේ රටට අයැදුම් පත් එවනවා කියන්නේ සැලකිය යුතු කාරණයක්. එවිට මේ තරම් සුළු කාලයක් ඇතුළේ එවැනි රටවල් ප්‍රමාණයක් කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ දෙස බලනවා කියන සතුට මට තිබෙනවා. මෙහි පැමිණි අයැදුම් පත් ප්‍රමාණය දෙස විමසිල්ලෙන් බලද්දී අපට පෙනෙන්නේ දෙසිය පණහක්, තුන්සියයක පමණ ප්‍රමාණයක අයැදුම් පත් පැමිණ තිබෙන බවයි.”

මෙවර කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ පැවැත් වෙන්නේ කොටස් පහකින් යුක්තව ය. එය ආරම්භ වන්නේ සමාරම්භක උලෙළෙනි. ඒ 03 වෙනිදා රාත්‍රී 7.00ට ගල්කිස්ස හෝටලයේ දී ය. සුපුරුදු ලෙස සමාරම්භක දිනයේ සිදුවන අභිනන්දන උලෙළ මෙවර නම් කර තිබෙන්නේ ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ නමිනි. ආරාධිත විදේශීය නාට්‍යකරුවා වන්නේ ජපන් ජාතික කෙන්ජිරෝ ඔටානි ය.

* “මෙවර ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලයන් අභිනන්දනය සඳහා නම් කිරීමට විශේෂ හේතුව කුමක් ද?”

“කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ පළමුවෙන්ම නම් කිරීම ආරම්භ කරන ලද්දේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමටයි. ඉන් පස්සේ කේ. බී. හේරත්, පරාක්‍රම නිරිඇල්ල යන නාට්‍යකරුවන්ගේ නමින් නාට්‍ය උලෙළ නම් කරනු ලැබුවා. නාට්‍ය උලෙළ නාට්‍යකරුවකුගේ නමින් නම් කිරීමේදී පළමුවෙන්ම අප සලකා බලන්නේ නාට්‍යකරුවන්ගේ ජ්‍යෙෂ්ඨත්වයයි. ඒ වගේම එහිදි නාට්‍ය කලාවට නාට්‍යකරුවාගේ දායකත්වය හා කාලය පිළිබඳත් සලකා බැලෙනවා. මේ කාරණය අනුව මෙවර අභිනන්දනයට පත් විය යුතු නාට්‍යකරුවා වන්නේ ලූෂන් බුලත්සිංහලයන් යැයි අප තීරණය කළා. ඒ තීරණය නිවැරැදි යැයි අප සිතනවා. 4 වැනිදා ඔහුගේ නිර්මාණයක් වුණු ‘තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යය රඟ දැක්වීමෙනුයි නාට්‍ය උලෙළ ආරම්භ වන්නේ. ”

එලෙස ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේදී විදේශීය මෙන්ම දේශීය නාට්‍ය රැසකට ද මෙවර ආරම්භය සනිටුහන් වී තිබීමත් මෙහි විශේෂත්වයකි.

* “ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ දී වේදිකා නාට්‍ය වේදිකා ගතවන්නේ කොපමණ ප්‍රමාණයක් ද?”

“ඔවුන් දෙදෙනා අභිනන්දනය කරමින් ආරම්භ වන නාට්‍ය උලෙළ හතර වැනිදා සිට නව වැනිදා දක්වා බ්‍රිතාන්‍ය පාසලේ රඟහලේ වේදිකා ගත වෙනවා. එහිදි ජර්මනිය, ඉන්දියාව, ප්‍රංශය සහ ස්වීඩනය, බෙලරූසියාව වැනි රටවල් පහක නාට්‍ය නිර්මාණ හයක් වේදිකා ගත වීමට නියමිතයි. සම්පූර්ණයෙන් ම අපේ රටෙන් නාට්‍ය නිර්මාණ හයක් සහ විදේශ රටවලින් නාට්‍ය නිර්මාණ හයක් විදියටයි වේදිකා ගතවීම සිදුවන්නේ. මේ උලෙළට තෝරාගෙන තිබෙන අපේ රටේ නාට්‍යවලින් නාට්‍ය තුනක් ම පසුගිය වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ සම්මාන දිනූ නාට්‍යයි. ‘ඇයි අවුල් ද?’ කියන නාට්‍යය ගිය වසරේ යෞවන සම්මාන උලෙළේ හොඳ ම නාට්‍යයයි. සම්මාන උලෙළෙවලින් එලෙස නිර්මාණ තෝරා ගැනෙද්දී අනෙක් පැත්තෙන් සචිත්‍ර රාහුබද්ධගේ ‘පියුබර්ටි’ හා හර්ෂිකා රත්නායකගේ ‘1,2,3,4’ කියන නාට්‍ය තෝරා ගැනෙනවා. ඒ නිර්මාණ මේ නාට්‍ය උලෙළ වෙනුවෙන් ම නිර්මාණය වුණු පර්යේෂණ මට්ටමේ නාට්‍ය කිහිපයක්. මෙලෙස නිර්මාණ තෝරා ගැනීමෙන් විවිධත්වයකින් යුක්ත වූ නාට්‍ය උලෙළක් පවත්වා ගැනීමටයි අප නිතරම වෙහෙසෙන්නේ.”

කොටස් පහකින් යුක්ත නාට්‍ය උලෙළේ තුන්වැනි කොටස නිර්මාණ වී ඇත්තේ නාට්‍ය උලෙළට සමගාමීව විදේශ නාට්‍යකරුවන් මෙහෙය වන නාට්‍ය වැඩමුළු මාලාව සඳහායි.

* “මේ වැඩමුළු පැවැත්වෙන්නේ කුමන අයුරින් ද?”

“එය පැවැත්වෙන්නේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේයි. නාට්‍ය උලෙළට සමගාමීව ජාත්‍යන්තර නාට්‍ය සම්මේලනයක් පැවැත් වෙනවා. එය නම් කර ඇත්තේ කලම්බු තියටර් ෆෝරම් නමින්. මේ සම්මේලනය පැවැත්වෙන්නේ 5 වෙනිදා සහ 7 වෙනිදා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීයි. ඊට ලංකාවේ නාට්‍යකරුවන් 20 දෙනෙකුත් විදේශීය නාට්‍යකරුවන් 15 දෙනෙකුත් සහභාගි වීමට නියමිතයි. එහිදි වර්තමාන නාට්‍ය කලාවේ ගැටලු, රට රටවල නාට්‍ය කලාවට ආවේණික ලක්ෂණ සහ දේශපාලනික ගැටලු කතාබහ කිරීම සිදුවේවි.”

ඒ අයුරින් වැඩමුළු මාලාව ශාලා කිහිපයක පැවැත් වෙද්දී ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ නාට්‍ය වේදිකා ගතවීම ආරම්භ කර අවසන් ය. මෙලෙස නාට්‍ය වේදිකා ගතවීමට අවශ්‍ය නිර්මාණ තෝරා ගැනීම සිදුවන්නේ වෙනස් ම ක්‍රමවේදයකට අනුව ය.

* “කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේදී ඉන්දියානු වේදිකා නාට්‍යවල වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇති බව පෙනෙනවා?”

“සංවිධායක කමිටුව විදියට අප නිතර ම උත්සාහ ගන්නේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළකට නාට්‍ය තෝරා ගැනීමේදී අලුත් අලුත් රටවල් ඊට එකතු කර ගැනීමටයි. අලුත් රටක් උලෙළට එකතු වෙනවා කියලා කියන්නේ අලුත් ආරම්භයක් ලැබීමයි. එහෙත් කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළට ඉන්දියාවෙන් සෑම වර්ෂයක ම වගේ ලැබෙන නාට්‍ය ප්‍රමාණය එන්න එන්න ම වැඩියි. මෙවරත් ඔවුන්ගෙන් නාට්‍ය දාහතක අයැදුම්පත් එවා තිබුණා. ඒ නිසා ඔවුන්ට ප්‍රමුඛ ඉඩක් වෙන් කිරීමට සිදුවෙනවා. මේ නිසයි ඔවුන්ට සෑම වසරකදි ම නාට්‍ය දෙකක් සඳහා අවස්ථාව ලබා දෙන්නේ. ජර්මන් නාට්‍ය කණ්ඩායමක් පසුගිය වසර කිහිපයේ ම මේ උලෙළට ඇතුළත් වුණා. ඒ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය අපේ නිත්‍ය කොටස්කරුවකු නිසයි. ඊට අමතරව මෙහිදි අප නිතරම උත්සාහ ගන්නේ වෙනදා අපට දකින්නට නොලැබෙන රටවල්වල නාට්‍ය ගෙන්වා ගැනීමටයි. ඒ අනුව බෙලරූසියාව, ආමේනියාව වැනි රටක් උලෙළට ඇතුළත් වෙනවා.”

එලෙස මෙවර නාට්‍ය උලෙළට අලුතෙන් ම එකතු වූ රටවල් කිහිපයකි.

“සාමාන්‍යයෙන් බෙලරූසියාව වගේ රටකින් නාට්‍යයක් අපේ රටට පැමිණෙන්නේ පළමු වතාවටයි. ආමේනියාවේ නාට්‍ය කණ්ඩායමක් පැමිණීමට නියමිතව තිබුණත් ඒ රටේ ඇති වී තිබෙන වාතාවරණයත් සමඟ එන්නට නොහැකි තත්ත්වයකුයි උදා වී තිබෙන්නේ. ඒ අයත් පැමිණියා නම් පළමු වතාවටයි ඔවුනුත් අපේ රටට පිවිසෙන්නේ.”

පැමිණෙන අයැදුම් පත් අතරින් වඩාත් හොඳ වේදිකා නාට්‍ය තෝරා ගැනීමේදී එය සිදුවන්නේ විනිශ්චය මණ්ඩලයකට අනුව ය. ඒ සඳහා දක්ෂතාවලින් සපිරුණු විනිශ්චයකරුවෝ රැසක් ඊට සහභාගි කරගෙන සිටිති. එහෙත් නිර්මාණයක්

* “ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ නාට්‍ය තෝරා ගැනීම සඳහා සැදුම්ලත් මණ්ඩලය කවුරුන්ද?”

“නාට්‍ය උලෙළට නාට්‍ය තෝරා ගැනෙන්නේ මගේ පෞද්ගලිකත්වය මත නොවෙයි. ඒ සඳහා යම්කිසි තේරීම් මණ්ඩලයක් ඉන්නවා. මෙවර ඒ තේරීම් මණ්ඩලය නියෝජනය කළේ පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, සෞම්‍ය ලියනගේ, වරුණ අලහකෝන්, ඊ.එම්.ඩී. උපාලි, ජයලත් එස්. ගෝමස්, මා ඇතුළු නවදෙනෙකුන්ගෙත් යුත් කණ්ඩායමකුයි. මේ සියලු දෙනාම නව තාක්ෂණය ඔස්සේ නාට්‍යකරුවන් එවූ වීඩියෝස් නැරැඹුවා. අවසන් වටයට තේරීම් කමිටුවට යොමුවුණේ වීඩියෝ විසි හතක්. ඒ අතරිනුත් නාට්‍ය හතකුයි නාට්‍ය උලෙළට තෝරා ගැනෙන්නේ.”

* “මේ නිර්මාණවලින් සමහර නාට්‍ය අපේ රටට ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයකුත් උද්ගත වී තිබෙනවා ද?”

“අපට අනුමැතිය ලබාදීමට හැකියාව ඇත්තේ හත්දෙනෙකු හෝ අටදෙනෙකු වැනි කණ්ඩායමකට පමණයි. එලෙස සිදුවන්නේ පහසුකම් ලබාදීම කියන ගැටලුව මූලික කරගෙනයි. අති දැවැන්ත නිෂ්පාදන අපගේ නාට්‍ය උලෙළට අහිමි වන අනෙක් කාරණය නම් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමට නොහැකි වීමයි.

සමහර වෘත්තිය නාට්‍යකරුවන්, ඔවුන් තමන්ගේ අතින් වියදම් කරගෙන නාට්‍ය උලෙළවල් සඳහා සහභාගි වන්නේ නැහැ. මෙවර ජර්මනියෙන් පැමිණෙන කණ්ඩයම ඊට හොඳම උදාහරණයක්. ඔවුන් මේ උලෙළට පැමිණියාට ඔවුන්ගේ සියලු ම ගෙවීම් කරන්නේ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙන්.

ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ලොකු වියදමක් කරලයි ඒ අයගේ වේදිකා පසුතල හදලා දෙන්නේ. එවැනි විශාල කැප කිරීමක් ඔවුන් කරනවා. ඔවුන් එහෙම නොකළා නම් ඒ නාට්‍ය කණ්ඩායම ගෙන්වා ගැනීමට අපට කිසිම දිනෙක හැකියාව ලැබෙන්නේ නැහැ.”

ජාත්‍යන්තර නාට්‍ය උලෙළ වැඩමුළු රැසකින් ද යුක්ත වන නිසා, ඒ ඔස්සේ විදේශීය නාට්‍යකරුවන් හා දේශීය නාට්‍යකරුවන් අතර ගොඩනැඟෙන සබඳතා ද රැසකි.

* “නාට්‍ය උලෙළෙ ඔස්සේ අපේ නාට්‍යකරුවන්ට ලැබුණු අවස්ථා මොනවා ද?”

“සරලම උදාහරණය නම් ගිය වසරේ සචිත්‍ර රාහුබද්ධගේ ‘ලාපින් රීන්’ කියන නාට්‍ය අපි මේ වසරේ කත්මන්ඩු නාට්‍ය උලෙළට යෝජනා කරනවා. ගිය වසරේ මාතර ප්‍රාදේශීය නාට්‍ය කණ්ඩායමක් අපගේ නාට්‍ය උලෙළට සහභාගි වුණා. එහි සිටි කැලුමි ගුණතිලක කළ ‘සුදු හදවත්’ නාට්‍යයයි ඔවුන් අපේ උලෙළට ඉදිරිපත් කළේ.

ඉන්පසුව ඔවුන්ට පූනේවල තිබුණු අයිෆා ජාත්‍යන්තර නාට්‍ය උලෙළට සහභාගි වීමට අවස්ථාව ලබා දුන්නේ අපේ උලෙළ හරහායි. එවැනි යම් යම් ප්‍රතිලාභ සෘජුව ම අපේ නාට්‍යකරුවන්ට ලැබෙනවා. 2015 වසරේදී අපේ නාට්‍ය උලෙළට පැමිණියේ කැතරින් බ්ලෝස්.

කැතරින් බ්ලෝස් කියලා කියන්නේ යුරෝපා නාට්‍ය උලෙළේ අධ්‍යක්ෂයි. ජාත්‍යන්තර නාට්‍යකරුවන්ගේ සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරියයි. කැතරින් ලංකාව ආවට පස්සේ අපේ නාට්‍යකරුවන් ගැන යම් අදහසක් ඇති වෙනවා.

අපේ නාට්‍යකරුවකු ඒ උලෙළකට අයැදුම් කළාට පස්සේ ලංකාවේ නාට්‍යකරුවන් ඔහුට ආධුනික අය නොවෙයි. 2012 අපේ උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුල්ෆ්ගාන් ස්නයිඩර්. යුරෝපා පාර්ලිමේන්තුවේ සංස්කෘතික අංශයේ ලේකම් ඔහුයි.

ජාත්‍යන්තර නාට්‍ය උලෙළ හරහා අප ආමන්ත්‍රණය කරන්න වුවමනා සෑම තැනකට ම ආමන්ත්‍රණය කරලයි තිබෙන්නේ. ඒ මිනිස්සු ලංකාවට ඇවිත් ලංකාව හඳුනා ගන්නවා. ලංකාවේ නාට්‍යකරුවන්ව හඳුනා ගන්නවා. ජාත්‍යන්තර නාට්‍ය උලෙළ හරහා අප කරලා තිබෙන්නේ ලෝකයට යන පාලමක් නිර්මාණය කිරීමයි. මේ පාලමෙන් එහේ ඉඳගෙන අය මෙහේ එනවා. මෙහේ ඉඳගෙන එහේ යනවා. ”

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු නාට්‍ය එකමුතුව සඳහා ලංකාව ද සහභාගි වී සිටියි. ආසියාවේ රටවල් දාහතක තරුණ නාට්‍යකරුවන් රැසකගේ එකතුවකින් සැදුම්ලත් මේ එකමුතුව සඳහා උතුරු කොරියාව, දකුණු කොරියාව, සිගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, බංකොක්, චීනය, ජපානය, ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල් රැසක නාට්‍යකරුවෝ රැසක් ඒකරාශි වී සිටිති.

* “ඔවුන්ගේ එකමුතුවෙන් කුමක් ද සිදුවන්නේ?”

“සෑම වසරකම දෙසැම්බර් මාසයේ මාසයක් පුරා එකමුතු වන රට රටවල නාට්‍යකරුවන් තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමකුයි මෙහිදි සිදු වන්නේ. මගේ ඉලක්කය වන්නේ ලබන වසරේ ඒ සියල්ලන් ම අපේ රටට ගෙන්වීමටයි. ඒ නිසා අපේ ලබන වසරේ නාට්‍ය උලෙළේ තේමාව වන්නේ තරුණ නාට්‍යකරුවනුයි.

ඔවුන් සම්බන්ධ කරගනිමින් තරුණ එකමුතුවක් නිර්මාණයටයි මා මේ සූදානම් වන්නේ. තවත් වසරක් යද්දි ඒ ගොඩනඟා ගන්නා ගෝලීය සම්බන්ධතා මත අපේ නාට්‍යකරුවන් හඳුනා ගනීවි. එවැනි වෙනසක් සිදුවේවි. මේ වනවිට විදේශීය නාට්‍යකරුවන් රැසක් උලෙළ නැරැඹීමට පැමිණ තිබෙනවා. ඒ සියල්ල සිදුවී තිබෙන්නේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ හරහායි. ”

ජාත්‍යන්තර නාට්‍ය උලෙළ සඳහා ඉදිරියේදී තවත් යම් යම් දේ හඳුන්වා දීමටත් නියමිත ය.

* “නාට්‍ය උලෙළට අලුතෙන් එකතු කිරීමට නියමිත දේ මොනවා ද?”

“වසරේ තරුණ නාට්‍යකරුවාව නම් කිරීමේ අදහසක් ඒ අතරට පැමිණීමට නියමිතයි. ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවකු තෝරා ගැනීම පහසුයි. තරුණ නාට්‍යකරුවකු තෝරා ගැනීමයි අපහසු කාර්යයක් වන්නේ. ඒත් මේ නිසා කී දෙනෙක් තරහා වේවිද කියලා කියන්න බැහැ. එහෙත් ඒ සඳහා යම් නිර්නායක නිර්මාණය කළ යුතු වෙනවා. ලබන වසරේ අපේ නාට්‍ය උලෙළේ ඉලක්කය වෙනස් එකක්.

ආසියානු නාට්‍ය කලාව හා ආසියානු තරුණ නාට්‍ය කලාව ගැන යම් අදහසක් අප සතුයි. එය ඉලක්ක වීමේදී කලින් යෝජනාවේ ම දිගුවක් විදියට ලෝකයේ වසරේ යොවුන් නාට්‍යකරුවා නමින් ජාත්‍යන්තර සම්මානයක් කරා යන්නට හැකිවේවි ද කියන අදහසකුත් මා සතුයි. එවිට නිර්ණායකවලට යන්න පහසුයි. ඒ තේරීම ජාත්‍යන්තර මණ්ඩලයකින් සිදුවීමටත් පුළුවන්.

තවමත් අප යම් යම් පදනම්වලයි සිටින්නේ. සමහර විට මේවා අපේ සිතේ මැවෙන සුරංගනා කතා පමණක් වේවි ද කියලා දන්නේ නැහැ. ඒවා කරන්නට හැකිවේවිද කියලා දන්නේ නැහැ. මොකද මේ රටේ තිබෙන මූල්‍යම කාරණා සහ පහසුකම් සමඟයි ඒ සියල්ල තීරණය වන්නේ.”

* “වර්තමානය වනවිට ආර්ථිකය සියලු ම කාරණා තීරණය කරන සාධකය බවට පත්වෙලා?”

“කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ වඩාත් ඉහළින් ම කිරීමට නම් මුදල් අවශ්‍යයයි. තවමත් ප්‍රමාණාත්මකව අනුග්‍රහාකත්වය දක්වන අනුග්‍රාහකයන්ගේ යම් අඩුවක් තිබෙනවා. ජාත්‍යන්තර උලෙළවල් කරන අය දන්නවා ඒ සඳහා කොපමණ මුදලක් වැය වෙනවා ද කියලා.

මුදල් තිබේ නම් මෙහි පිවිසෙන අය සඳහා ඇති කළ හැකි පහසුකම් ප්‍රමාණයත් වැඩියි. මුදල් අවම නම් ඇති කළ හැකි පහසුකම් ප්‍රමාණයත් අවමයි. මේ ඔස්සේ කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ යම් මට්ටමකට රැගෙන පැමිණීමට බලාපොරොත්තුවක් අප සතුයි. ඒ සඳහා තිබෙන ප්‍රමුඛ බාධාව නම් ආර්ථික බාධාවයි.”