වර්ෂ 2017 ක්වූ අගෝස්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 26
මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා

පරාක්‍රම නිරිඇල්ල

කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙන් දොරට වැඩිියේ හුදෙක් දක්ෂ නළු නිළියන් පමණක් නොවේ. ප්‍රතිභාසම්පන්න නාට්‍ය රචකයෝ ද, නාට්‍ය නිෂ්පාදකවරු එයින් ක්ෂේත්‍රයට පිවිසියාහ. සමන් සුසිරි ලොකුමාරඹගේ, තිලක් ගුණවර්ධන මෙන්ම පරාක්‍රම නිරිඇල්ල ද එවන් නාට්‍යකරුවෙකි.

පරාක්‍රම ප්‍රථම වතාවට නාට්‍යයකට දායක වී ඇත්තේ ඔහුගේම සමකාලීන සිසුවකු වූ සමන් සුසිරිගේ 'තක්සලා නාඩගමට'ය. ඔහු එහි සහාය නිෂ්පාදකවරයා විය.

මෙරට වීිදි නාට්‍ය කලාව ඇත්ත වශයෙන්ම රංග ශිල්ප ශාලිකා සිසුන්ගේ අදහසක ප්‍රතිඵලයකි. ශිෂ්‍ය හේමසිරි අබේවර්ධනගේ සංකල්පයකට අනුව පරාක්‍රම, එච්. ඒ. පෙරේරා, ලින්ටන් සේමගේ, රුපසිංහ කංකානම්ගේ ඇතුළු කීප දෙනෙක් ගාමිණී හත්තොටුවේගම ඇදුරාණන් පුරෝගාමිත්වය් තබාගෙන 1974 දී අනුරාධපුරයේ ප්‍රථම වීදි නාට්‍ය දැක්ම පවත්වන ලදී. (මෙහි ආරම්භය පිළිබඳ පළල් විස්තරයක් ගාමිණී හත්තොටුවේගම ලිපියේ එයි).

හත්තොටුවේගම වීදි නාට්‍ය කෙරෙහි කොයි තරම් ආසක්ත වීද කිවහොත් ඉනික්බිතිව ඔහු සම්මත ප්‍රොසිනියම් (ආරුක්කු) වේදිකා නාට්‍ය තරයේ ප්‍රතික්ෂ්ප කළේය. එහෙත් පරාක්‍රම ඔහු මෙන් අන්තගාමි නොවූයේය. 'රඟමඬල' යන සංකල්පය ගමේ කමතෙත් නගරයේ මාළු මාකට්ටුවත් ප්‍රොසිතියම් වේදිකාවේත් එක සේ වලංගුය යන ආස්ථානයේ හෙතෙම පිහිටා සිටියේය. පසු කලෙක මේ මතවාදී අර්බුදය උග්‍රවීමත් සමඟම පරාක්‍රම, එච්. ඒ. යන දෙදෙනා විවෘත වීදි නාට්‍ය කණ්ඩායමෙන් කැඩී 'විවෘත කලා කවය' නමින් නව වීදි නාට්‍ය සංවිධානයක් පිහටුවා ගන්නා ලදී.

ශිල්ප ශාලිකාවේ සිටියදී දිනක් එහි අධ්‍යක්ෂ ධම්ම ජගොඩ පරාක්‍රමට මුද්‍රිත වේදිකා නාට්‍ය පෙළක් කියවන්ට දුන්නේය. එය ඇල්බා කැමුගේ 'ද ජස්ට්' නමැති නාට්‍යයයි. පරාක්‍රම මෙයින් රළු රංග පිටපතක් සකස් කළේය. ඒ අතරේම ඔහුට එස්. ජී. පුංචිහේවාගේ 'අහේතුවට හේතුව' නම් වූ කෙටි කතාව ද කියවන්ට ලැබිණි. එයින් අපූර්ව නාට්‍ය පෙළක් ගොඩනැංවිය හැකි බව ඔහු තේරුම් ගත්තේය. 'සෙක්කුව' ලෙස 1976 දී එළි දුටුවේ මේ කෙටි කතාවයි.

'සෙක්කුව' ජන නාට්‍ය සම්ප්‍රදාය ඇසුරු කර ගනී. ශෛලිගත නාට්‍ය බිඳ වැටී අමු තාත්වික නාට්‍ය ප්‍රවණතාවයක් සිංහල වේදිකාව මත ඇති වුව ද ජන රංග ලක්ෂණ සහිත නාට්‍ය රීතිය මුළුමනින්ම අහෝසි වීයේ යැයි කිව නොහැකිය. 'රතු හැට්ටකාරී', 'නරියා සහ කේජු' මෙන්ම 'සෙක්කුව' වැනි නාට්‍යයන් විද්‍යාමාන කරන්නේ ද මෙකී යථාර්ථයයි. 'සෙක්කුව' උඩරට ප්‍රකට සොකරි ජනනාට්‍ය සම්ප්‍රදාය උපයෝගි කරගෙන නිෂ්පාදනයව ඇත.

'සෙක්කුව' සම්මත ප්‍රොසීනියම් වේදිකාව මත මෙන්ම එළිමහනේ ද පෙන්විය හැකි විවෘත නාට්‍යයකි. එය ඉබ්බාගමුව දේව සරණ සමූහ ගොවිපළේ එළිමහන් රංගයක් ලෙස ද ඉදිරිත් කර ඇත.

රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධව සිටි බොහෝ නළු නිළියෝ 'සෙක්කුවේ' රඟපෑහ. ලින්ටන් සේමගේ,ගාමිණී හෙට්ටිආරච්චි, රූපසිංහ කංකානම්ගේ මෙන්ම ගායනයෙන් එක් වූ ග්‍රැන්විල් රොඩ්රිගෝ ද ඊට නිදසුන්ය.

'සූරාකෑම' සෙක්කුවේ ආ තේමාවයි.

'සෙක්කුව' විචාරක ප්‍රශංසාව දිනූ නාටකයක් වූයේය.

'සෙක්කුව' නියෝජනය වූ 1976 ජාතික නාට්‍ය උලෙළ මහත් විවාදාත්මක උලෙළක් වූයේය. එම උලෙළට ඇතුළත් ඇතැම් නාට්‍ය 'පපඩම්' නාට්‍ය කියා ගුණදාස අමරසේකර වැනි විද්වතුන්ගේ උග්‍ර විවේචනයට ලක් වූ අතර 'මාවත' සඟරාව එම නාට්‍ය වෙනුවෙන් පෙනී සිටිමින් ජන හතුරන් හා ජනතාවාදී නාට්‍ය යනුවෙන් අතිරේකයක් එළි දැක්වූයේය.

1976 ජාතික නාට්‍ය උලෙළේදී 'සෙක්කුව' හොඳම ස්වතන්ත්‍ර රචනය, හොඳම සංගීතය (සැම්සන් සිල්වා) හොඳම අංග රචනය හා ඇඳුම් නිර්මාණය (හීනටිගල ප්‍රේමදාස) යන සම්මාන දිනාගත් අතර ගාමිණී හෙට්ටිආරච්චි, සැනට් දික්කුඹුර හා ලින්ටන් සේමගේ යන නළුවන් තිදෙනාට රංග කුසලතා සහතික පිරිනැමිණි.

කලකට ඉහත ධම්ම ජාගොඩ කියවන්ට දුන් ඇල්බා කැමූ 'ද ජස්ට්' නාට්‍ය පෙළ ඇසුරෙන් පරාක්‍රම තමාගේ ඊළඟ නාට්‍යය පරිවර්තනය කර නිෂ්පාදනය කළේය. ඒ 'විනිශ්චය'යි (1979).

මෙයට පසුබිම් වන්නේ 1905 රුසියානු අසාර්ථක කැරැල්ලයි. එහි එක්තරා සිදුවීමක් වටා මෙහි කතාව ගෙතෙයි. ධනවත් වංශාධිපතියකුවට බෝම්බ ගසා ඔහු ඝාතනය කිරීම විප්ලවවාදි තරුණයන් දෙදෙනකුට පැවරෙයි. වංශාධිපතියා ගමන් ගන්නා අශ්ව රියේ කුඩා දරුවන් සිටි බැවින් විප්ලවවාදියාට බෝම්බ ගසන්ට සිත එකඟ කරවා ගත නොහැකිය. අනෙකා ඉන් කිපෙයි. විප්ලවය හා මනුෂ්‍යත්වය අතර ගැටුම මෙයින් නිරූපිතය.

'ද විස්ට්' කැමුගේ නාට්‍යයක් සිංහලෙන් රඟ දැක්වුණු දෙවැනි අවස්ථාව වෙයි. එයට පෙර ඔහුගේ 'ක්‍රොස් පර්පර්ස්' නමැති නාට්‍යය ජයසුමන දිසානායක විසින් 'සාක්කිකාරයෝ' නමින් රංගගත කරන ලදී. (පසුව එය දයා ද අල්විස් ද නිෂ්පාදනය කළේය). ඉන්පසු කැමුගේ 'කලිගියුලා' නාට්‍යය එස්. කරුණාරත්න (එනමින්) රොජර් සෙනෙවිරත්න ද ('පස්වැන්නා' නමින්) වේදිකාවට ගෙන ආහ.

එච්. ඒ. පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, කිංස්ලි ලෝස්, චාන්දනි කුමාරි හේරත්, වික්‍රම සෙනෙවිරත්න 'විනිශ්චයේ' ප්‍රධාන චරිත රඟපෑ අතර මෙහි සුවිශේෂත්වයක් වූයේ එච්. ඒ. පෙරේරා නාට්‍යයට පසුබිම් සංගීතය සැපයීමයි.

ගැලිලියෝ යනු (1983) බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'ද ලයිෆ් ඔෆ් ගැලිලියෝ' නමින් යුතු නාට්‍යයයි. ඉතාලියේ විසූ සුප්‍රකට විද්‍යාඥ ගැලිලියෝ ගැලිලිගේ ජීවිතය මෙයට පාදක වෙයි. 'ගැලිලියෝ' පරාක්‍රම හා එච්. ඒ. ගේ සම නිෂ්පාදනයක් වන අතර මෙහි 'ගැලිලියෝ' ගේ චරිතය එච්. ඒ. ම රඟපෑවේය. පරිවර්තනය නීල් ශ්‍රී විජේසිංහගෙනි. සංගීතය හේග් කරුණාරත්නගෙනි. ශ්‍රී ලංකාවේ ජර්මන් සංස්කෘතික ආයතනය මඟින් මෙම නාටකය ඉදිරිපත් කරන ලදී.

පරාක්‍රම 'ගැලිලියෝ' නිෂ්පාදනය කරන්ට වසරකට පෙර නැගෙනහිර ජර්මනියට ගිය අවස්ථාවකදී එහි බර්ලිනා ඔන්සොම්බල් නෘත්‍යගාරයේ 'ගැලිලියෝ' නැරඹුවේය. විචාරකයන් පිළිගන්නා ආකාරයට 'ගැලිලියෝ' බ්‍රෙෂ්ට්ගේ අන් නාට්‍ය මෙන් එපික් රංග රීතිය ඉතා දරදඬු ලෙස භාවිත කරන නාට්‍යයක් නොවීය. එහෙයින් එය ප්‍රේක්ෂකයන්ට අතිශය සමීප වූයේය.

1984 ජාතික නාට්‍ය උලෙළට 'ගැලිලියෝ' ඉදිරිපත් කළේ නැත.

ෆෙඩ්රිච් ඩෲනමාට්ගේ 'ද විසිට් ඔෆ් දි ඕල්ඩ් ලේඩි' නාට්‍යය ආශ්‍රීතව සැකසූ 'උත්තමාවි' (1989) පරාක්‍රමගේ ඊළඟ නාට්‍යය නිෂ්පාදනය විය. මෙම ජර්මානු නාට්‍ය රචකයාගේ කෘතියක් පළමු වතාවට වේදිකාවට ආවේ ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ 'සක්විති නික්මන' නාට්‍යයත් සමඟය. එය 'කිංග් රෙමියුලස් ද ග්‍රේට්' නාට්‍යයේ පරිවර්තනයකි. 'උත්තමාවි' නීල් ශ්‍රී විජේසිංහගේ පරිවර්තනයකි. මෙම නාට්‍යය අළලා පරාක්‍රම මෙසේ කියා ඇත.

'ගිනි කඳු, භූමිකම්පා, බිහිසුණු මහෝඝ, වසංගත හා මහා යුද්ධ නමැති ඛේදවාචක යැයි අප විසින් කියනු ලබන බිහිසුණු දෑ අබිබවන කෲරතම ඛේදවාචකයක් මෙලොව පවතී. ඒ දුප්පත්කමයි. දුප්පත්කම නමැති ඛේදවාචකය විසින් මිනිස් සංහතියම අසාර වූ අන්තයක සිට අන්ධකාර අනාගතයකට ගෙන යනු ලබයි'.

දූෂිතභාවය, පළිගැනීම හා වරදකාරි හැඟීම යන මිනිස් ස්වභාව පිළිබඳ ධාරණා රැසක් 'උත්තමාවි' නාට්‍යයෙන් ගෙන එයි.

එච්. ඒ. පෙරේරා, සුනේත්‍රා සරච්චන්ද්‍ර, ගාමිණී හෙට්ටිආරච්චි, මාලි ජයවීරගේ, වසන්ත විට්ටච්චි, ජයලාල් රෝහණ ප්‍රධාන චරිත රඟපෑ මේ නාට්‍යයේ සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙනි.

'වරෙන්තුව' (1995) ඉතාලි ජාතික නාට්‍ය රචක ඩාරියෝ ෆෝගේ 'ද ඩෙත් ඔෆ් ඇක්සිඩන්ට් ඔෆ් ඇන් ඇතාකිස්ට්' නාට්‍යයේ පරිවර්තනයකි. මෙම නාට්‍යම ඊට ඉහත (1987 දී) විජිත ගුණරත්න විසින් 'සාක්කි' නමින් වේදිකාවට ගෙන එන ලදී. 'වරෙන්තුව' පරිවර්තනය එච්. ඒ. පෙරේරාගේ වන අතර සම නිෂ්පාදනය එච්. ඒ. හා පරාක්‍රමගෙනි.

1969 දී ඉතාලියේ මිලානෝ නුවර පොලීසියේ වූ සත්‍ය සිදුවීමක් මෙම නාට්‍යයට වස්තු වෙයි.

වේදිකා නාට්‍යයෙන් මඳකට ඈත් වූ පරාක්‍රම ඒ කාලයේදී චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළේය. 'සිරිමැදුර', 'අයෝමා' එම චිත්‍රපට දෙකය.

'ජනකරලිය' පරාක්‍රමගේ අලුත්ම නාට්‍ය ව්‍යාපෘතිය විය. ඇරිනා රංග භූමි ආකෘතිය පාදක කරගත් මෙය ඕනෑම ස්ථානයකට ගොස් නාට්‍ය වේදිකා ගත කළ හැකි මාර්ගයක් වූයේය. 'ජනකරළිය' යටතේ සිංහල මෙන්ම දෙමළ නාට්‍යය ද නිපදවීම විශේෂ කාරණාවකි.

ඉන්දීය නාට්‍යකරු හබිබ් තන්වීර්ගේ 'චාරාන්දාස් වෝර්' නාට්‍යය ඇසුරෙන් පරාක්‍රම නිර්මාණය කළ 'චරන්දාස්' ජන කරළියේ මෙන්ම සම්මත වේදිකාවේ ද රඟ දැක්වූයේය. 2006 ජාතික නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය ලෙස සම්මාන දිනාගත්තේ මෙයය. ඔහු සම්මාන මිසක් මුදල් පිළිගත්තේ නැත.

ඉතාම කෙටියෙන් සඳහන් කරන්නේ නම් ජන කරළිය යටතේ පරාක්‍රම බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක් ඇසුරෙන් 'වට ඔළුවෝ සහ උල් ඔළුවෝ' යන නාට්‍යයත් 'මැටි කරත්තය' නම් වූ සංස්කෘත නාට්‍යයේ දෙමළ නිෂ්පාදනය 'ඕරිච්චක ටී හම්' යන නාට්‍යයත් 'අන්දර මල්', 'සීතාම්බර පට සහ දෙව්ලොව ගමන' යන නාට්‍යයත් නිෂ්පාදනය කර ඇත.