වර්ෂ 2017 ක්වූ ජුනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
සෙක්කුවට 40යි ඉතිං...

සෙක්කුවට 40යි ඉතිං...

පරාක්‍රම නිරිඇල්ල

පරාක්‍රම නිරිඇල්ලගේ ‘සෙක්කුව’ වේදිකා නාට්‍යයට වසර හතළිහකි. ඒ කාරණය මූලික කර ගනිමින් ජනකරළිය නාට්‍ය කණ්ඩායම, ‘සෙක්කුව’ නාට්‍යය ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයට අත්පත් කර දුන් ජයග්‍රහණය සැමරීමේ උලෙළක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය මේ මස 13 වැනිදා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය පණීභාරත ශාලාවේදී සවස 4.00ට ආරම්භ කිරීමට නියමිත ය. මේ ඒ පිළිබඳත්, ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලට පසුගියදා ඉන්දියාවේදී පුදන ලද අභිනන්දනය පිළිබඳත් ඔහු සමඟ කළ සාකච්ඡාවකි.

අද වනවිට ‘සෙක්කුව’ වේදිකා නාට්‍යයට වසර හතළිහක් කියන්නේ දිගු කාලයක්. ඒ අතීතය ගැන මතකයට නැඟුවොත්?

සෙක්කුව කියන්නේ මගේ පළමු වේදිකා නාට්‍යය. ඒ කාලයේ මා වීදි නාට්‍යය කණ්ඩායමේ පුරෝගාමී ශිල්පියකු විදියටයි සිටියේ. එහි සංවිධායක ලෙස කටයුතු කළේත් මමයි. වීදි නාට්‍යයක් වුණත් සෞන්දර්යාත්මක ගුණයක් තිබිය යුතුය යන්න එහිදි මට සිතුණ සිතුවිල්ලක්. නැටුම්, ගැයුම්, වැයුම්වලින් සපිරුණු සොකරි, කෝලම් සම්ප්‍රදායන් අනුව යමින් නාට්‍යයක් නිර්මාණය කිරීමට මඟ පෑදෙන්නේ ඒ ආකාරයෙන්. ඒ විදියටයි ‘සෙක්කුව’ නිර්මාණය වන්නේ.

එහෙම නම් ‘සෙක්කුව’ පින්තූර රාමු වේදිකාවේ වේදිකා ගත වන්නේ කොහොම ද?

‘සෙක්කුව’ නාට්‍යය පිටපත මගේ අතින් ලියැවෙන්නේ වීදි නාට්‍යයක් විදියට රඟ දැක්වීමටයි. එළිමහන් වේදිකාවට උචිත ආකාරයෙන් සැකසුණු ‘සෙක්කුව’ විවිධ රංගභූමිවල රංග ගත කිරීමයි මගේ අදහස වුණේ. ඒ කියන්නේ ප්‍රොසීනියම් වේදිකාවකත්, කමතකත්, පන්සලක මිදුලකත්, සමහර විට ආයතනයක වුණත් එය කළ හැකි යැයි මා සිතුවා. ඒත් ඒ අදහස ක්‍රියාත්මක කිරීමට මට හැකියාව ලැබුණේ නැහැ. ඊට බලපෑවේ ‘සෙක්කුව’ නාට්‍යය සඳහා ගිය වියදමයි. මෙහි සිටින ශිල්පීන්ට ගෙවන්න මුදල් මගේ අතේ තිබුණේ නැහැ. මේ සියල්ල නඩත්තු කළ යුත්තෙත් මම නේ. ඒ නිසා ‘සෙක්කුව’ වේදිකා නාට්‍යය වැඩිපුර ම වේදිකා ගතවෙන්නේ සම්මත වේදිකාවෙයි.

ඔබ කළ පළමු නිර්මාණය ම සම්මාන රැසකුත් හිමිකර ගන්නවා නේද?

මේ නිර්මාණයට ඒ සම්මාන ලැබෙන්නේ 1976 වසර වෙනුවෙන් පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේදී. එහිදි සම්මාන හතක් ලැබෙනවා. හොඳම රචනයට මටත්, හොඳම සංගීතයට සැම්සන් සිල්වාටත්, හොඳම අංගරචනය හා ඇඳුම් නිර්මාණයට හිනටිගල ප්‍රේමදාසටත්. ගාමිණී හෙට්ටිආරච්චි, ලින්ටන් සේමගේ, සෙනට් දික්කුඹුර කියන තුන්දෙනාට ලැබෙන්නේ විශිෂ්ට රංග කුසලතා සම්මාන තුනක්. ඉන් පස්සෙයි ‘සෙක්කුව’ රට වටා සංචාරය කරන්නේ.

‘සෙක්කුව වේදිකා නාට්‍යය පිටපතක් ලෙස ලියැවෙන්නේ එක්තරා උපමා කතා පොතකින්?

ඔව්. එස්. ජී. පුංචිහේවාගේ ‘අහේතුවට හේතුව’ නම් උපමා කතා පොතේ ‘සෙක්කුව’ කියන උපමා කතාව ඇසුරෙනුයි ‘සෙක්කුව’ වේදිකා නාට්‍යය මා නිර්මාණය කරන්නේ.

‘සෙක්කුව’එළිමහන් වේදිකාවේ රඟ දැක්විය යුතුයි කියන ඔබගේ අදහස මේ වනවිටවත් ඉටු වී තිබේ ද?

මගේ සිතේ එදා තිබුණු අදහස ඉටු වෙන්නේ ජන කරළියෙන්. ජනකරළියේදී වටේ සිටින ප්‍රේක්ෂකයන්ට නැරැඹිය හැකි ආකාරයෙනුයි ‘සෙක්කුව’ රඟ දැක්වෙන්නේ. එනම් ප්‍රේක්ෂකයන් වටකොට සිටින මැද වේදිකාවකයි ‘සෙක්කුව’ රංග ගත කරන්නේ. එළිමහනේ පවා එය මේ වනවිට රඟ දැක්වෙනවා. 76 වසරේ මගේ සිතේ තිබුණු අදහස ඉටු වෙන්නේ දැනුයි.

‘සෙක්කුව’ නාට්‍යයේ ශිල්පීන්ට අබිමන් පිදීමට සිතුවේ ඇයි?

එදා ‘සෙක්කුව’ නාට්‍යයෙන් ආරම්භ කළ වෙනස සඳහා නාට්‍ය කලාව භාවිත කිරීමේ කාර්යය මේ වනවිට පුළුල් විදියට කෙරෙන්නේ ජනකරළිය හරහායි. එදා සෙක්කුවෙන් ආරම්භ කළ ගමනට අද වනවිට වසර හතළිහක් ගතවෙලා. ඒ නිසා මා කල්පනා කළේ ‘සෙක්කුව’ට ආරම්භයේ පටන් ම සම්බන්ධ ශිල්පීන්ට ගෞරව දැක්වීමක් කිරීමටයි. ඒ සඳහායි කෘතගුණ සැලකීමක් විදියට මේ මස 13 වැනිදාට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය පණීභාරත ශාලාවේදී සවස 4.00ට අභිනන්දනයක් හා ‘සෙක්කුව’ රඟ දැක්වෙන්නේ. එහිදි නාට්‍ය විචාරක සුගත් වටගෙදර සහ ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා යන මහත්වරු දේශන පවත්වනවා.

ඒත් මේ වනවිට ‘සෙක්කුව’ වේදිකා නාට්‍යයේ සිටි අය අප අතරත් නැහැ?

එහි සිටි එච්. ඒ. පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, නිමල් චන්ද්‍රසිරි, ලින්ටන් සේමගේ, සරත් අමරවංශ, අතුල වේරගොඩ, සැනට් දික්කුඹුර, දයා දහනායක කියන ශිල්පීන්ගෙන් සමහර අය කලා ලෝකයේ ඇත්තේත් නැහැ. අප අතරෙන් එච්. ඒ. පෙරේරා, සරත් අමරවංශත් සමු අරගෙන ගිහින්. ලින්ටන් සේමගේ ඉන්නේ විදේශ ගතවෙලා. ඒත් සමහර ශිල්පීන් තවමත් අප අතර සිටිනවා. ඒ වගේ ම පස්සේ කාලයේ ‘සෙක්කුව’ට රංගනයෙන් මෙන්ම අනෙක් අංශවලින් ද සහභාගි වුණු ශිල්පීන් අද ජන කරළියේ නොමැති වුවත්, ඔවුන් ද අබිමනට ලක්වෙනවා. මේ සියලු ශිල්පීන්ට මා 13 වැනිදාට පැමිණෙන්න කියලා ආරාධනා කරලයි තිබෙන්නේ.

පසුගිය ජනවාරි මාසයේ ඔබ ඇතුළු පිරිස ඉන්දියාවේ පැවැත්වූ ‘බහුරූපී අන්තර්ජාතික නාට්‍ය උලෙළ’ ට සහභාගි වෙනවා. ඒක සිදු වන්නේ කෙසේ ද?

පසුගිය දිනවලදී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මයිසූර් නගරයේ ‘රංගායන’ නාට්‍ය ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘බහුරූපී අන්තර්ජාතික නාට්‍ය උලෙළ’ ට වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කිරීමට අපට ආරාධනාවක් ලැබුණා. මේ ආරාධනාවේදී එහි ඉදිරිපත් වෙන නාට්‍යයේ සාමාජිකයන් සියලු දෙනාට ම ගුවන් ටිකට්පත් ලැබීමත් විශේෂත්වයක්. ඒ සඳහා මා මුලින්ම ඉදිරිපත් කළේ හුණු වටය දමිළ නිෂ්පාදනයක් වුණු ‘වෙන්කට්ටි වට්ටම්’ වේදිකා නාට්‍යයි. එහි ශිල්පීන් තිහකට අධික සංඛ්‍යාවක් වීම නිසා, වෙනත් නාට්‍යයකට යෑමට අපට සිදු වුණා. ඉන්පසුව මා ඉදිරිපත් කළේ ‘සෙක්කුව’ වේදිකා නාට්‍යයයි. ඒ නිර්මාණය සඳහා ඔවුන් කැමැත්ත පළ කර තිබුණා.

මේ අන්තර්ජාතික නාට්‍ය උලෙළ උදෙසා ‘සෙක්කුව’ වේදිකා නාට්‍යය ම තෝරා ගැනීමට හේතු වූ කාරණා මොනවාද?

‘සෙක්කුව’ වේදිකා නාට්‍යය ඔවුන් තෝරා ගැනීමට එක් හේතුවක් වන්නේ අපේ රටේ දේශපාලන කතාවක් ජන සම්ප්‍රදායක් උපයෝගී කරගෙන නිර්මාණය කිරීමයි. ඒ වගේ ම මේ මඟින් ශ්‍රී ලංකාවේ ජන නාට්‍ය සම්ප්‍රදායන් පිළිබඳ නාට්‍ය උලෙළේ ප්‍රේක්ෂකයන්ට නරඹන්නට අවස්ථාව ලබාදීමටත් ඔවුන්ට උවමනා වී තිබුණු තවත් අවශ්‍යතාවක්. අනෙක් කාරණය නම් ජනකරළිය නාට්‍ය කණ්ඩායම දකුණු ආසියාවේ ලබා ඇති ජනප්‍රියත්වයයි. මෙසේ ජනකරළිය නාට්‍ය කණ්ඩායම දකුණු ආසියාවේ ජනප්‍රියත්වයට පත්වන්නේ එහි වැඩපිළිවෙළ පිළිබඳ හා නාට්‍ය උලෙළවලට සහභාගි වීමත් සමඟ බවත් කිය යුතුයි.

ඔබට පසුගිය ජනවාරි 13 වැනිදා ඉන්දියාවේදී කළ අභිනන්දනය කුමක් ද?

මේ බහුරූපී අන්තර්ජාතික නාට්‍ය උලෙළේ සමාරම්භක මොහොතට සහභාගි වුණේ කර්ණාටක රජයේ සංස්කෘතික කටයුතු ඇමැතිනි ශ්‍රීමතී උමා ශ්‍රී මැතිනිය හා මහජන කටයුතු සහ යටිතල පහසුකම් ඇමැති මහාදේවප්පා යන අමාත්‍යවරුන්. ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ කටයුත්ත සිදු වීමත් විශේෂත්වයක්. එහිදි ඔවුන්ගේ ක්‍රමයට පුටුවක වාඩිකර විවිධ දේ පලඳා, සාම්ප්‍රදායික ලෙස මට අභිනන්දනය පුද කළා. මෙහිදි මාව පුදුමයට පත්කළ කාරණයක් තිබුණා. ඒ මට අභිනන්දනය කිරීමට පෙර ඔවුන් මා පිළිබඳ හා ජනකරළිය නාට්‍ය කණ්ඩායම පිළිබඳ සියලු දෙයක් ම සොයා බලා තිබීමයි. හේතු පාඨවලින් ප්‍රකාශ වුණු දේවල් පිළිබඳ කල්පනා කර බලන විටයි එය අපට වැටහුණේ. මේ වනවිට මා ජනකරළිය ආරම්භ කර වසර දාහතරක් පමණ වෙනවා. ඒ කාලය ඇතුළත අපේ රටේ ලොකු වැඩ කොටසක් කිරීමට අපට හැකි වුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් තිබෙන පිළිගැනීම පිළිබඳ මට ප්‍රශ්නයක් තිබෙනවා.

ඔබ ඔය පවසන්නේ ශ්‍රී ලංකාව වගේ රටක වැඩක් කරන අයට කිසිම ගෞරවයක් දැක්වීමක් නොමැති බව ද?

මා මේ පවසන්නේ අපට ගෞරව දැක්විය යුතු බව නොවෙයි. අඩුම ගණනේ අපේ රටේ වගකිව යුතු කිසිවකුවත් ජනකරළියෙන් වන සේවාවවත් අධ්‍යයනය කරලා නැහැ. ඒ අධ්‍යයනයක් මඟින් මේ වගේ තවත් කුමන හෝ දෙයක් කළ යුතුය කියන නැඹුරුව වත් අපේ රටේ අයට ඇත්තේ නැහැ. එය කනගාටුවට කාරණයක්. එහෙත් අපව අධ්‍යයනය කළ ඉන්දියාව අපේ ජංගම රඟහල වැනි රඟහලක් ඉදි කිරීමට අවශ්‍ය සියලු තොරතුරු එවන ලෙස මගෙන් ඉල්ලා සිටියා. මේ සියලු කටයුතුවලට මූලික වී සිටින්නේ ඒ කර්ණාට ප්‍රාන්තයේ සංස්කෘතික කටයුතු ඇමතිනිය ඇතුළු රජයේ නිලධාරීන් වීමත් මා පුදුමයට පත් කළ කාරණයක්. ඈ ඒ ඉල්ලීම මට කළේ පෞද්ගලිකවයි. නාට්‍ය කලාව වෙනුවෙන් වෙහෙසන එවැනි නිලධාරීන් සිටීම සතුටට කරුණක්.

අභිනන්දනයට පෙර ඒ නාට්‍ය උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේත් ඔබ නේද?

මේ නාට්‍ය උලෙළ විවෘත කිරීමට මට පෙර සහභාගි වීමට සිටියේ ඉන්දියාවේ ප්‍රසිද්ධ නළුවකු වන ඕම් පූරියි. එහෙත් ඔහු හදිසියේ ම අභාවප්‍රාප්ත වීම නිසා ඒ අවස්ථාවට ඔවුන් තෝරාගෙන තිබුණේ මාවයි. ඊට පෙර කිරිෂ්කර්ණාඩ්, රතම් තිහාන් වැනි ඉන්දියාවේ නම ගිය නාට්‍යකරුවන් විසිනුයි ඒ උලෙළ විවෘත කිරීමට ආරාධනා ලැබ තිබුණේ. ඒ ස්ථානයයි ඔවුන් මට ලබාදුන්නේ. ඒ අනුව අන්තර්ජාතික නාට්‍ය උලෙළ ආරම්භ කළ දිනයේ මා ප්‍රධාන ආරාධිත අමුත්තා වූවා සේම සම්ප්‍රදායානුකූල ලෙස කොඩිය ඔසවා උත්සවය ආරම්භ කිරීමත්, ආරම්භක දේශනය පැවැත්වීමත් සිදු කරන ලද්දේ මා විසින්. ඊට පසුදා නාට්‍ය උලෙළේ නාට්‍යය වේදිකා ගත කිරීම ආරම්භ කළේත් ‘සෙක්කුව’ වේදිකා නාට්‍යයෙන්. එවැනි විශාල ගෞරවයක් ඔවුන් මට ලබා දුන්නා.