වර්ෂ 2017 ක්වූ ජුනි 27 වැනිදා අඟහරුවාදා




විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 18

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 18

ශේක්ස්පියර්ගේ නාට්‍ය ලංකාවේදී ජනප්‍රිය කළ බන්දුල විතානගේ

බන්දුල විතානගේ වේදිකා නාට්‍ය පරිවර්තකයකු, නිෂ්පාදකවරයකු හා නළුවකු ලෙස කීර්තියක් දැරුවේය. ඔහු ස්වකීය නාට්‍ය ජීවිතය ආරම්භ කළේ පාසල් අවදියේ සිටමය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේදී ඉදිරිපත් කෙරුණු එක්තරා නාට්‍යයක ඔහු ගැහැනු චරිතයක් රඟපෑවේය. ඒ පාසල් මිතුරු ලැම්බට් පෙම්මාවඩු (හඳ මාමා) විසින් නිපදවන ලද්දා වූ නාට්‍යයකය. එසේම බන්දුල එකල ජේ එම්. මෝර්ටන්ගේ 'බොක්ස් ඇන්ඩ් කොක්ස්' නාට්‍යය සිංහලට අනුවර්තනය කළේය. 'ගිල්බට්, විල්බට් සහ ඇනට්' නමින් බන්දුල මෙම නාට්‍යය පසුකලෙක පොතක් වශයෙන් පළ කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයට එක් වු බන්දුල එහිදී වේදිකා නාට්‍ය කීපයකට රංගනයෙන් දායකවූයේය. 'ශංඛනාද', 'රත්නාවලී' ඔහු සරසවි සමයේ රඟපෑ නාට්‍ය දෙකකි. ඉනික්බිතිව 'අපේ කට්ටිය' සමග සබඳතා ගොඩනඟා ගත් බන්දුල එහි නිෂ්පාදන වූ 'දුන්න දුනු ගමුවේ', 'හරිම බඩු හයක්' නව නිෂ්පාදනවල හා 'දෑවැද්දෝ'', 'තුරඟ සන්නිය' වැනි නාට්‍යවල රඟපෑවේය.

'මේඝ ගර්ජනා' (1969) බන්දුලගේ මුල්ම නාට්‍ය නිර්මාණයයි. එය හැරල්ඩ් පින්ටර්ගේ 'ද කලෙක්ෂන්' නමැති නාට්‍යයේ පරිවර්තනයක් විය. බන්දුල රඟපෑ තිලක් ජයරත්නගේ 'ශංඛනාද' නාට්‍යය ද පින්ටර්ගේ සමකාලීනයකු වූ ජෝන් ඔස්බෝන්ගේ නාට්‍යයකි.

සයිමන් නවගත්තේගම පිටපත ලියූ 'ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක්' (1971) බන්දුලගේ ඊළඟ නාට්‍ය නිර්මාණයයි. මෙහි පිටපත මුලින්ම යොමු වූයේ ආචාර්ය ධර්මසේන පතිරාජ වෙතය. එහෙත් කිසියම් හේතුවක් මත ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත. මෙය විකාරරූපී ශෛලියේ නාට්‍යයක් ලෙස හඳුන්වා දෙත හැකිය. නාට්‍යයේ සිටියේ චරිත හතරකි. ඒ මිනිසා, ගැහැනිය, පුතා සහ දුවය.

මෙම නාට්‍යය පිළිබඳ කෙරුණු අර්ථකථනය මෙසේය.

ඉතා ගැඹුරු හා නොගැඹුරු ආර්ථික, සංස්කෘතික හා ආධ්‍යාත්මික ගැටලු බදාගෙන විසඳීමක් සොයා යන ගැහැනුන්, මිනිසුන් බිලිගන්නා ගංගාවක් මෙහි පසුබිම සේ ගෙන ඇත. ගංගාව ජීවිතය පිළිබඳ පැරණි දේශීය සංකේතයකි. මෙහි පිරිමියා පැලඳ සිටින කබල් සපත්තු දෙක ජීවිතයේ ගැඹුර යටින් දිවෙන සිනහව හා විසුළු බවට මුසු ශෝකය පැහැදිලි කරයි.

මේ නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක එකම ගැහැනියකගේ හා එකම මිනිසකුගේ චරිත නොවේ. ඔවුහු මොහොතින් මොහොත එකම ජවනිකාවේදී වෙනස් වෙනස් චරිත බවට පත්වෙති. ඔහු ඇතැම් මොහොතක ඇයට ගංතෙරදී හමු වූ ආගන්තුක මිනිසෙකි. ඊළඟ මොහොතේ ඇගේම සැමියා බවට පත් වෙයි. ඇය ද විටෙක ඔහුගේ මියගිය බිරිඳයි. තවත් විටෙක එම ජවනිකාවේම ඈ ඔහුගේ අනියම් භාර්යාවයි. දරුවෝ ද විටෙක දෙදෙනාගේම වෙති. ඊළඟට ඔහුගේ පැරණි විවාහයේ දරුවන් බවට පත්වෙති.

බොහෝ මිනිස්සු හා ගැහැනු එකම මිනිසා සහ ගැහැනිය තුළ ජීවත් වෙති.

ගංගාවක් නාට්‍යයට හොඳම විචාරය ලීවේ බන්දුලගේම සමකාලීන නාට්‍යකරුවකු වූ සුමන ආලෝක බණ්ඩාරය.

'ජීවිතය, දර්ශනය, තර්කය හා තවත් දහසක් දේ ගැන රචකයා තුළ ඇති අවබෝධය කියාපෑමට ගත් උත්සාහයක් ලෙස මේ නාට්‍යය හැඳින්විය හැකිය. නාට්‍ය අවසානයේදී මට හැඟී ගියේ කෘෂ්ණමූර්තිගේ දර්ශනාත්මක නිබන්ධනයක් කිය වූ කලෙක ඇතිවන හැඟීම බඳු හැඟීමකි. එහි හැම දෙයක්ම විය. නාට්‍යය නොවීය.'

1973 ජාතික නාට්‍ය උලෙළේ වේදිකා ගත කිරීම සඳහා බන්දුල, සරත් කැල්ලපත සමඟ එක්ව අභිරූපණ රංග ඉදිරිපත් කළේය. මෙහි රඟපෑවේ බන්දුල විතානගේ හා විමල් කුමාර ද කොස්තාය. 'ඉණිමඟ', 'මගියෙක්', 'ආදරේ වේදනා', 'ඡායාරූප ශිල්පියා' යන අභිරූපණ රංග මෙයට ඇතුළත් වූයේය.

'බෙකට්' (1974) බන්දුලගේ හොඳම නාට්‍ය කෘතිය යැයි මම සිතමි. එය ප්‍රංශ නාට්‍ය රචක ශොන් අනුයිගේ කෘතියක පරිවර්තනයකි. මීට ඉහත වේදිකාගත නාමෙල් වීරමුනිගේ 'නැට්ටුක්කාරී' හා 'වංසක්කාරයෝ' වැනි නාට්‍ය ද අනුයිගේ රචනා විය.

තෝමස් බෙකට්, දෙවැනි හෙන්රි රජුගේ දයාන්විත මිත්‍රයා හා දේශපාලන සහකරුවාය. කැන්ටබරි බිෂොප්වරයාගේ මරණයෙන් පසු එම තනතුර භාර ගන්නා ලෙස හෙන්රි රජු බෙකට්ට පවසයි. 'මම බිෂොප් වුණොත් මට තවදුරටත් ඔබතුමාගේ මිත්‍රයා වෙන්න බෑ' බෙකට් කියයි. රාජධානියේ යහපත උදෙසා හෙන්රි සමඟ එක්ව සටන් කළ ඔහු දැන් දෙවියන්ගේ කීර්තිය ආරක්ෂා කිරීමට බැඳී සිටින බව කල්පනා කරයි. මෙහි ප්‍රතිඵලය රජු හා බෙකට් අතර ද්වන්දාත්මක අරගලයක ඇරඹුමයි.

1974 ජාතික නාට්‍ය උලෙළේදී 'බෙකට්' නාට්‍යයේ නිෂ්පාදකට හා හෙන්රි රජුගේ චරිතය රඟපෑ ලූෂන් බුලත්සිංහට සම්මාන පිරිනොනැමීම දැඩි ආන්දෝලනයට තුඩු දුන්නේය. ඒ අරභයා සුගතපාල ද සිල්වා මෙසේ කියා ඇත.

'තවමත් දහවැනි සියවසේ ජීවත්වන ගතානුගතික නාට්‍ය විනිශ්චය මණ්ඩලයකට දිරවා ගත නොහැකි වූයේ ද මේ බෙකට්. ඉංග්‍රීසි ඉතිහාසයේ මෙතෙක් දක්නා අසික්කිතම අපරාධය සිදු වූයේ 1170 දෙසැම්බරයේ එක්තරා දවසක කැන්ටබරියේ අගරදගුරු බෙකට් මරා දැමූ මොහොතේ. සිංහල නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් දක්නා අසික්කිතම අපරාධය සිදු වූයේ 1974 දෙසැම්බරයේ එක්තරා දවසක ඊනියා නාට්‍ය විනිශ්චය මණ්ඩලය 'බෙකට්' නාට්‍යයේ නිෂ්පාදකයා සහ නළුවන් මරා දැමූ දවසේ.'

ලූෂන් බුලත්සිංහලට පෞද්ගලික ලිපියක් එවූ මහාචාර්ය විමල් දිසානායක මෙසේ කියා සිටියේය.

'මෙවර නාට්‍ය උත්සවයේ හොඳම නළුවාට පිරිනැමෙන ත්‍යාගය ඔබට නොදීම ගැන මම පුදුමයෙන් පුදුමයට පත්වීමි. එදා ඔබගේ රඟපෑම සිංහල රංග භූමියේ කලාතුරකින් දක්නට ලැබෙන අන්දමේ විශිෂ්ට එකක් විය.'

'වැනිසියේ වෙළෙන්දා' (1980) බන්දුල ශෙක්ෂ්පියර් නාට්‍ය වෙත යොමු වූ පළමු අවස්ථාවයි. මෙහි ෂයිලොක්ගේ චරිතය රඟපාමින් ප්‍රවීණ නළු ටෝනි රණසිංහ අවුරුදු ගණනාවකට පසු යළි වේදිකාවට පිවිසියේය.

'වැනිසියේ වෙළෙන්දා' විචාරක ප්‍රශංසාව දිනූ නාට්‍යයක් වූයේය. ශේක්ස්පියර් නාට්‍ය පිළිබඳ ප්‍රාමාණික දැනුමකින් හෙබියා වූ ජී. එස්. බී. සේනානායක මෙහි පරිවර්තනය මෙසේ අගය කර සිටියේය.

'මෙය සිංහල වේදිකාවට ගැළපෙන පරිද්දෙන් අනුවර්තනය කිරීමෙන් බන්දුල කර තිබෙන්නේ යෝධ කර්තව්‍යයකි. ශේක්ෂ්පියර් වැනි අවධානයක් යොදන්නේ ඔහු පාත්‍රයන්ගේ කටට දෙන භාෂා විලාසය කෙරෙහිය. එය හසුරුවා තිබෙන රිද්මය හා අලංකාරෝත්තිය එයින් බැහැර වුවහොත් එය ශේක්ස්පියර්ගේ නාට්‍යයක් නොවිය හැකිය. බන්දුල මේ කාර්යය මැනවින් වටහාගෙන දෙබස් රචනා කර තිබෙන අයුරු ප්‍රශංසනීයයි.'

'වැනිසියේ වෙළෙන්දා' ලද සාර්ථකත්වයත් සමඟම බන්දුල, ටෝනි රණසිංහ සමඟ සම නිෂ්පාදනය කරමින් 'දොළොස් වැනි රාත්‍රිය' (1984) වේදිකාවට ගෙන ආවේය. ඔහු 'හැම්ලට්', 'මැක්බත්' යන ශේක්ෂ්පියර්ගේ නාට්‍ය පරිවර්තනය කර මුද්‍රිත කෘති ලෙස පළ කළත් නිෂ්පාදනය නොවූයේය.

'සෙනෙහෙබර ඩොලී' (1986) ක්‍රෙන්ටන් වයිල්ඩර්ගේ 'ද මැච් මේකර්' නාට්‍යයේ පරිවර්තනයකි. බන්දුල ඉනික්බිතිව වයිල්ඩර්ගේ තවත් නාට්‍යයක් (අවර් ටවුන්) 1990 'හිරු දහස' නමින් පරිවර්තනය කළේය. මෙම නාට්‍යයේ එන ජෝර්ජ් සහ එමිලි චරිත අමෙරිකානුවන් සලකන්නේ රෝමියෝ - ජුලියට් ලෙසය. විදෙස් නාට්‍යයක් වුවත් 'හිරු දහස' බෞද්ධ දාර්ශනික හරයක් ඇති නාට්‍යයක් ලෙස බන්දුල හඳුන්වයි.

1989 දී බන්දුල ශිෂ්‍යත්වයක් ලැබ අමෙරිකාවට ගොස් නාට්‍ය කලාව හැදෑරුවේය. මීට ඉහත ධම්ම ජාගොඩ, හෙන්රි ජයසේන, සෝමලතා සුබසිංහ යන නාට්‍යකරුවන්ට ද මේ ශිෂ්‍යත්වය ලැබී තිබුණේය. බන්දුල මෙම සංචාරය හඳුන් වන්නේ අධ්‍යයන අත්දැකීමක් (ලර්නිං එක්ස්පීරියන්ස්) ලෙසිනි. එම ගමනේදීම ඔහු එංගලන්තයට ගොස් ශේක්ස්පියර් නාට්‍ය රඟදැක් වූ ග්ලෝබ් නාට්‍යාගාරය බැලීමටත්, ශේක්ෂ්පියර් කෞතුකාගාරය බැලීමටත් ගියේය.

1991 දී තමා සේවය කළ රූපවාහිනි සංස්ථාව විසින් නෙරපන ලදුව බන්දුල එංගලන්තයට පලා ගියේය. ඔහු එරට සිටියදී වේදිකා නාට්‍ය දෙසීයක් පමණ නරඹා ඇත. මෙය ඔහුට වෙස්වලාගෙන ආ ආශිර්වාදයක් වූවා සේය.

වසර 9 ක් නොකඩවා එංගලන්තයේ වේදිකා ගත කළ රේ කුනිගේ 'රන් ෆෝ යුවර් වයිෆ්' නාට්‍යය බන්දුල 'රෝමය ගිනි ගනී' යනුවෙන් සිංහල භාවයට පත් කළේය. මෙය බ්‍රිතාන්‍ය ප්‍රහසන නාට්‍ය කලාවේ නව මුහුණුවරක් ගත් නාට්‍යයකි. ඉන්පසු හෙතෙම ජේ කුනිගේම 'කෝට් ඉන් ද නෙට්' නාට්‍යය 'රෝමය ගිනි ගනී 2' යනුවෙන් වේදිකාවට නැංවූයේය. මේ නාට්‍ය දෙකම සාර්ථක නිෂ්පාදන වුයේය.

'සිකුරු සැණකෙළි' (1998) මැක් කැමිලොට්ගේ 'ඩෝන්ට් ඩ්‍රෙස් ෆෝ ඩිනර්' නම් වූ නාට්‍යයේ පරිවර්තනයකි.

'ඒ සොඳුරු මිනිසා' (2003) බන්දුලගේ තවත් නාට්‍යයකි.

එසේම බන්දුල, සිසිල් ගුණසේකර වෙනුවෙන් ජෝ ඕටන්ගේ 'වට් ද බටලර් සේ' නමැති නාට්‍යය පරිවර්තනය කර ඇත. ඒ 'එළිය' නමිනි.

බන්දුල කලකට ඉහත සුගතපාල ද සිල්වාගේ 'තට්ටු ගෙවල්' නාට්‍යය නැවත නිෂ්පාදනය කළ බවද සඳහන් කළ යුතුය.