වර්ෂ 2017 ක්වූ ජනවාරි 18 වැනිදා බදාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17

ඉතිහාසය අර්ථකථනය කළ සයිමන් නවගත්තේගම

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

හැටේ දශකයේදී වේදිකාවේ පෙරළියක් කළ නාට්‍යකරුවන් තිදෙනෙක් 'ඇස් තුනේ කණ්ඩායම' යනුවෙන් හැඳින්විණි. ඔවුන් නම් ඇස්. කරුණාරත්න, සුමන ආලෝක බණ්ඩාර හා සයිමන් නවගත්තේගමය.

සයිමන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍ය හා සුගතපාල ද සිල්වා ප්‍රමුඛ 'අපේ කට්ටියේ' ස්වභාවික සංවාද යන නාට්‍ය කලා සම්ප්‍රදායන් දෙකෙන්ම එකසේ පෝෂණය වූවෙකි. සරච්චන්ද්‍රයන් 'සිංහබාහු' නිෂ්පාදනය කළ අවධියේ සයිමන් සිටියේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේය. ඔහු එම නාට්‍යය මුල සිට අග දක්වාම විචාර පූර්වකව දැකබලා ගත්තේය. ඉන්පසු ඔහු කොළඹ විශ්ව විද්‍යාලයට එක් වූ පසු 'අපේ කට්ටියේ' නාට්‍යවල නිෂ්පාදන අත්හදා බැලීම් හැදෑරීමට ද අවස්ථාවක් ලද්දේය. සයිමන් මුලින් නළුවකි. ධර්මසිරි වික්‍රමරත්නගේ 'සහන් එළිය ඔහු එකල රඟපෑ නාට්‍යයකි. පසු කලෙක සයිමන් තමාගේම 'සුබ සහ යස' නාට්‍යයේ යසලාලක තිස්ස රජුගේ චරිතය රඟපෑවේය. එය සිංහල වේදිකාවේ අප දුටු අති විශිෂ්ට චරිතාංග නිරූපණ අතරින් එකකි. සයිමන් තමාගේම 'පුස්ලෝඩං', 'ස්ත්‍රී' යන නාට්‍යවල ද රඟපා ඇත.

සයිමන් නාට්‍යකරණයට යොමුවන්නේ පිටපත් රචකයකු ලෙසිනි. බන්දුල විතානගේ 1970 දී නිෂ්පාදනය කළ 'ගංගාවක්, සපත්තු කබලක් සහ මරණයක්' නාට්‍යයේ පෙළ රචනය ඔහුගේය. මෙය විකාරරූපී ශෛලියේ නාට්‍යයකි.

'ගගන සරණ කුරුල්ලනේ' (1970) සයිමන්ගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනයයි. සයිමන් මුලින්ම කළේ 'ඔරුව එනතුරු' නමින් නාට්‍යයක් රචනා කිරීමයි. ඉන්පසු එහි මූලික ජිවිතවස්ථාව උපුටාගෙන 'ගගන සරණ කුරුල්ලනේ' ලීවේය. මෙම නාට්‍යය වැඩි වාර ගණනක් වේදිකා ගත කරන්ට නොහැකි විය. ඊට හේතු වූයේ 71 කැරැල්ලයි.

සයිමන් 1973 දී 'පුස්ලෝඩං' නාට්‍යය රචනා කර නිෂ්පාදනය කළේය. එය 'ගගන සරණ කුරුල්ලනේ' නාට්‍යයේ මූලික අවස්ථාව උපුටාගෙන කළ අලුත්ම දෘශ්‍ය කාව්‍යයක් ලෙස සයිමන් හඳුන්වයි. මෙම නාට්‍යය පිළිබඳ ඔහු මෙසේ කියා ඇත.

'පෞද්ගලික ජීවිතය කියා දෙයක් මිනිසාට ඇත්නම් නියතයෙන්ම ඔහුට සමාජ ජීවිතයක් ද ඇත. දේශපාලන ජීවිතයක් ද ඇත. මිනිසාගේ පෞද්ගලික ජීවිත අරගලය එක් ඉතිහාස යුගයක ඔහුගේ සමාජ හා දේශපාලන ජීවිත අරගලය සමඟ හාමුව පවත්නා ආකාරය නාට්‍යකරණයෙන් ගළපා දැක්වීම මෙහි මූලික පරමාර්ථය විය.'

මෙම නාට්‍යයේ මිනිසා ලෙස සයිමන් නවගත්තේගමත් ගැහැනිය ලෙස ලලිතා සරච්චන්ද්‍රත් රඟපෑහ.

'පුස්ලෝඩං' සමාජවාදී තේමාවකින් යුතු නාටකයක් ලෙස සයිමන් හඳුන්වා ඇතත් ඇතමුන් එය දේශපාලනමය වශයෙන් ප්‍රතිගාමී නාට්‍යයක් ලෙස විචාරයට හසුකර ඇත.

'පුස්ලෝඩං' දර්ශන වාර 12 ක් පමණ වේදිකා ගත කරගෙන යද්දී තහනමට ලක්වූයේය. මෙකල නාට්‍ය කීපයක්ම මෙසේ තහනම් වූ බව සිහිපත් කළ යුතුය. ධම්ම ජාගොඩගේ 'මළවුන් නැගිටියි', සමන් සුසිරි ලොකුමාරඹගේ ගේ 'වෙස්සන්තර', චන්ද්‍රසේන දසනායකගේ 'රංකඳ' ඊට නිදසුන්ය. වෙස්සන්තර කතාවට මාක්ස් ලෙනින්වාදී පසුතලයක් සහ නව අර්ථකථනයක් එක් කළ තිලක් ජයරත්නගේ 'රතැසි උවදුර' නාට්‍යයට අර්ධ වාරණයක් පැනවිණි. එනම්, නාට්‍යයේ එන ඇතැම් දෙබස් ගෙඩි පිටින්ම කප්පාදු කිරීමයි. මෙකල කලා වාරණයට එරෙහිව උද්ඝෝෂණයක් කෙරුණ අවස්ථාවකදී සයිමන් ඒ සඳහා සහභාගි නොවීම විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සයිමන්ව ඉතාම දරුණු ලෙස විවේචනය කළේය. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය එවක පැවති සභාග රජයේ සාමාජිකයකු වූ හෙයින් සයිමන් රජය රැකීමේ අවශ්‍යතාව මත උද්ඝෝෂණයට මැදිහත්වීම ප්‍රතික්ෂේප කළ බව 'කම්කරු මාවත' පුවත්පතේ පළ වූ ලිපියකින් දැක්විණි. 'කම්කරු මාවත' යනු ට්‍රොට්ස්කිවාදී පිල නියෝජනය කළ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයේ නිල ප්‍රකාශනය වෙයි.

කලා වාරණයට එරෙහි උද්ඝෝෂණයට සහභාගි වීම වෙනුවට සයිමන් කළේ එවක අගමැතිව සිටි බණ්ඩාරනායක මැතිනියට පෞද්ගලිකව ලිපියක් ලියා තහනම ඉවත් කර දෙන ලෙස ඉල්ලීමය.

'මගේ දේශපාලන ලෝකයේ හතුරන් විසින් නොයෙක් බලවතුන්ගේ මාර්ගයෙන් බලපෑම් කර ඇති බවට දැනගන්ට ලැබී ඇත. මෙ නාටකය ජනතාව වෙත ඉදිරිපත් කර ජනතාව අතර ජීවත්වන්ට මට අවස්ථාව සලසා දෙන්න.'

එම ලිපියේ සඳහන් වූයේය.

සුබ සහ යස (1974) සයිමන්ගේ විශිෂ්ටතම මෙන්ම ජනප්‍රියතම නාට්‍යය වෙයි. තමා මෙවර ඓතිහාසික කතාවක් (මහාවංශයේ එන) නෙත ගියේ තමාගේ මුල් නාට්‍ය වාරණ තහංචිවලට ලක් වූ නිසා ඉන් බේරීමේ උපක්‍රමයක් වශයෙන් බව සයිමන් කියා ඇත. පළමුවැනි සියවසේ රජ කළ පළමුවන සිංහල රාජ වංශයේ අවසාන පාලකයා වන යසලාලක තිස්ස රජුගේ කතා පුවත මෙයට වස්තු වෙයි. සුබ, යසලාලක රජු මරා සිහසුන හිමි කර ගත්ත ද ඔහු ද මානසික වශයෙන් තවත් යසලාලක කෙනකු වී හමාර බව නාට්‍යය ඉඟි කරයි. ඉතිහාසයට අනුව ගත්තත් සුබ මරා වසඟ රජ වන්නේ එහෙයිනි.

මෙම නාට්‍යය නිපදවීමේ අරමුණු වශයෙන් කරුණු දෙකක් සයිමන් දක්වා ඇත.

(1) විප්ලවීය අවස්ථාවකින් තොරව විප්ලවයක් නොවන්නේය යන සිද්ධාන්තයේ නිරවද්‍යතාව කුමක්ද?

(2) ඓතිහාසික අවස්ථාවේ සීමා හා පුද්ගල නිශ්‍රිත හේතු නිසා අසාර්ථක වූ විප්ලව ව්‍යාපාරයක් කලා නිර්මාණයකින් කෙසේ නිරූපණය කළ හැකිද?

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි නිබන්ධනයකට අදාළ පර්යේෂණ කාර්යයක් සඳහා ලංකාවට පැමිණ සිටි ජේන් රසල් නමැති විද්‍යාර්ථිනිය 'සුබ සහ යස' නරඹා එය දශක කීපයක් ගිය මතු දවසක මෙය සිංහල නාට්‍ය වංශ කතාවේ සන්ධිස්ථානයක් ලෙස පවතිනු නිරනුමාන බවත් මෙය දෙවැනි වන්නේ 'සිංහබාහු' නාටකයට පමණක් බවත් කියා සිටියාය.

සයිමන් යසලාලක රජු ලෙස කළ චරිතාංග නිරූපණය 'බෙකට්' නාට්‍යයේ දෙවැනි හෙන්රි රජු ලෙස පීටර් ඕ ටුල් කළ රංගනය සිහිපත් කරන බව 'සුබ හා යස' විචාරය කළ ගාමිණී හත්තොටුවේගම කියා තිබිණි.

'සුබ සහ යස' නාට්‍ය ලෝලයන් අතර අතිශය ජනප්‍රිය වූයේය. ඒ ජනප්‍රියත්වය කෙතරම් ද යත් අවුරුද්දක් ඇතුළත දර්ශන වාර සීයක් රඟදක්වන්ට නාට්‍යයට හැකි වූයේය.

'සුබ සහ යස' විවිධ විචාර කතිකාවන්ට භාජනය වූ නාට්‍යයකි. මෙය අලළා විචාරයක් ලියූ මහාචාර්ය පියසීලි විජේගුණසිංහගේ ලිපිය විචාරයකටත් වඩා දේශපාලන ලියැවිල්ලක ස්වරූප ගෙන තිබුණකි. එහිදී ඇයට වැදගත් වන්නේ සයිමන් දක්ෂ නාට්‍යකරුවෙක් ද නැද්ද යන වග නොව ඔහු ස්ටැලින්වාදියකු වීමයි. සභාග ආණ්ඩුවකට මුක්කු ගසන්නකු වීමයි.

සයිමන් නාට්‍යකරණයට යොමු වූයේ විකාරරූපී ශෛලියේ නාට්‍ය ඔස්සේය. ඒ විකාරරූපී ලක්ෂණ 'සුබ සහ යස' වැනි නාට්‍යයක ද දක්නට ලැබුණු බව මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු පෙන්වා දී ඇත.

'සුබ සහ යස' ඉතිහාස කතාවක් වුව එහි සංවාද සමකාලීන භාෂා ව්‍යවහාරයට අනුව සැකසී තිබිණි. එසේම එම සංවාද අතිශය උපහාසාත්මක ස්වරූපයක් ගත්තේය.

'සුබ සහ යස' බලපෑම පසුකාලීන නාට්‍ය කෙරෙහි ද විහිද පැවතිණි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'වෙස්සන්තර' වැනි නාට්‍යයක පවා රාජ සභාව මුළුමනින්ම 'සුබ සහ යස' ඇතැම් ජවනිකාවක අනුකරණයක් බව සයිමන් කියා ඇත.

'සුබ සහ යස' නාට්‍යයේ දීඝගේ චරිතය රඟපෑ ෆ්‍රැන්සිස් වන්නිආරච්චි පසුව 'සුබ සහ වසඟ' නමින් නාට්‍යයක් ලියා රඟ දැක්වීය.

'ස්ත්‍රී' (1976) සයිමන්ගේ ඊළඟ නාට්‍යයයි. එය ද ඓතිහාසික කතා පුවතකි. ඊට වස්තු වූයේ අනුලා බිසවගේ චරිතයයි. මෙහි එම චරිතය වීනස් රණතුංග රඟපෑ අතර චෝරනාග ලෙස සයිමන් ද, ශිව ලෙස ධර්මසිරි බණ්ඩාරනායක ද රඟපෑහ.

'සුදු සහ කළු' (1978) වර්ණභේද වාදය ගැන කියැවුණු නාට්‍යයකි. නැමිබියාවේ කළු ජාතික ගරිල්ලන්ගේ විමුක්ති සටන මුල් කරගෙන මෙය රචනා වී ඇත. නාට්‍යයේ පසුතලය අප්‍රිකානු රටකට ගෙන ආවේ වාරණ ගැටලු නිසා බව සයිමන් කියයි. මේ නාට්‍යයම පසු කලෙක ශ්‍රියන්ත මෙන්ඩිස්් නව නිෂ්පාදනයක් ලෙස (සුදු සහ කළු හෙවත් වර්ණ) ඉදිරිපත් කළේය.

'පණ්ඩුකාභය' (1982) සයිමන් ඓතිහාසික කතා පුවත්වලට දක්වන ළැදියාව ප්‍රකට කරන්නා වූ තවත් නාට්‍යයකි. 'සුරලොවට යට', 'ලෝකෝත්‍ර' යන නාට්‍ය දෙක සයිමන් යම් යම් ව්‍යාපෘති සඳහා නිපද වූ නාට්‍ය දෙකකි. ඔහු 'දුක්ගන්නා රාල' නමින් නාට්‍යයක් ලියා තිබුණ ද එය නිෂ්පාදනය වූයේ නැත. 'සෝකාන්තා' යනුවෙන් ද ඔහු නාට්‍යයක් ලියූ බව දැක්වෙතත් ඒ සම්බන්ධ මූලාශ්‍ර අප සතුව නැත.