වර්ෂ 2017 ක්වූ ජනවාරි 20 වැනිදා සිකුරාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

ශෛලිගත නාට්‍ය අතික්‍රමණය කර විකාරරූපී නාට්‍යයන්ට යොමු වූ ඇස්. කරුණාරත්න

ඇස්. (සැමුවෙල්) කරුණාරත්න වේදිකාව තුළ නළුවෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක් සහ නිෂ්පාකවරයෙක් ලෙස බහුවිධ කුසලතා ප්‍රකට කර ඇත. 'මනමේනියාව' ('මනමෙ' නාට්‍යයෙන් පසුව ඇති වූ ශෛලිගත නාට්‍ය ප්‍රවණතාව) ඇස්. කරුගේ මුල් නාට්‍ය කෙරෙහි බලපා ඇති ආකාරය ඔහුගේ 'බුහුමන් සොයා' 'ගුත්තිල' වැනි නාට්‍යවලින් දිස්වෙයි. ඒ දෙකම ශෛලිගත නාට්‍ය වෙයි.

ඇස්. කරුගේ නාට්‍යකරණය පාසල් අවදිය දක්වා දිවෙයි. ඔහු කොටහේන කුමාර විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී 'කුඩු කෑ විත්ති' නමින් නාට්‍යයක් ලියා නිපදවා ඇත. එය තාත්වික ශෛලිගත සම්මිශ්‍රණයකි.

ඇස්. කරු විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී 'ගැහැනු නැති මිනිස්සු' නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. එකල මෙම විශ්වවිද්‍යාලයේ සිසුවියෝ නොසිටියහ. ඔහු මේ නාට්‍යයට අත්දැකීම් කර ගත්තේ එයයි. පිරිමි හතර දෙනෙක් විවිධ දෘෂ්ටිකෝණවලින් ගැහැනු දෙස බලන අයුරු මෙම නාට්‍යයෙන් කියැවිණි.

'බුහුමන් සොයා' ඇස්. කරු විශ්වවිද්‍යාලයේ සිටියදීම නිපද වූ තවත් නාට්‍යයකි. මෙය ශෛලිගත අංශයෙන් 1962 ජාතික නාට්‍ය උළෙලට ඉදිරිපත් වූයේය. සුගතපාල ද සිල්වාගේ 'බෝඩිංකාරයෝ' නාට්‍යය හොඳම නාට්‍යය ලෙස සම්මාන දිනාගත්තේ එම නාට්‍ය තරගයේදීය. 'බෝඩිංකාරයෝ' හී රඟපෑ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර තාත්වික අංශයෙන් හොඳම නළුවා වූයේය. ඒ ඔහුගේ මේ නාට්‍යයෙනි.

ඇස්. කරු තමාගේ ඊළඟ නාට්‍යය 'ගුත්තිල' ලියා නිෂ්පාදනය කළේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිටියදීය. එවක විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උප කුලපතිව සිටි වැලිවිට සෝරත නා හිමියෝ මේ පිටපත කියවා ඊට දැඩි විරෝධතාව පළ කළහ. එහෙත් ඒ. වී. සුරවීර, එච්. එම්. ගුණතිලක, නන්දසේන රත්නපාල වැනි මහාචාර්යවරුන්ගේ මැදිහත්වීම මත පිටපත අනුමත වූයේය. එය 1964 ජාතික නාට්‍ය උලෙළට ඉදිරිපත් කෙරිණි. ඒ නාට්‍යය ගුත්තිල - මූසිල කතාවට දුන් නව අර්ථකථනයකි. ඇස්. කරු මුසිල ලෙස රඟපෑ අතර විජේරත්න වරකාගොඩ ගුත්තිල ලෙස රඟපෑවේය. පසු කලෙක නිළි රැජන වූ මාලිනී ෆොන්සේකා මෙහි දිව්‍යාංගනාවක ලෙස රඟපෑවාය.

'ගුත්තිල' නාට්‍යය ගැන අදහස් දක්වා ඇති ඩී. බී. අයි. සිරිවර්ධන මෙම නාට්‍යයෙන් ගතානුගතික ප්‍රතිගාමී වූද, නිර්මාණාත්මක ප්‍රගතිශීලී වුද දෙකොටස අතර ඇති ඝට්ටනය දැක්වීමට ගුත්තිල - මුසිල තරගය කතා වස්තු කරගෙන තිබුණත් එය ප්‍රේක්ෂකයාගේ සිත් කාවදින අන්දමින් විකාශනය කිරීමට සමත් වී නැති බව කියන අතර මේ නාට්‍යයේ වැදගත් යැයි කිවහැකි මේ මූලික අදහස හැර අන් සෑම අංශයක්ම දුර්වල බව ද කියා ඇත්තේය.

ගුණසේන ගලප්පත්තිගේ 'දෑස නිසා' නාට්‍යය ඉදිරිපත් වූයේ ඉහත නාට්‍ය උලෙළටය. එය ද ශෛලිගත නාට්‍යයෙකි. එහෙත් මේ නාට්‍ය දෙකටම කිසිම සම්මානයක් හිමි වූයේ නැත.

'අකල් වැස්ස' (1965) ධර්මදාස ජයවීර හා ඇස්. කරුගේ සම නිෂ්පාදනයක් බව ජාතික නාට්‍ය උත්සව සමරු කලාපයේ දැක්වෙයි. එහෙත් මෙම නාට්‍ය පෙළ මුද්‍රිත කෘතියේ මෙහි රචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය තමාගේ බව ධර්මදාස ජයවීර කියා සිටී. එක්තරා නාට්‍ය විමර්ශන පොතක තමාගේ නාට්‍යය වෙනත් කෙනකුගේ නමින් පළ කිරීම කනගාටුවට කරුණක් යැයි සඳහන් කරන හෙතෙම තමාගේ නම වසං කොට වෙනත් අයකුගේ නමින් හොර උප්පැන්නයක් ලිවීමේ කුමන්ත්‍රණයක් පවතින බව ද කියා ඇත.

දයා රණතුංගගේ 'තුත්තිරි මල්' කෙටිකතා සංග්‍රහයේ එන 'ත්‍රිකෝණය' නමැති කෙටිකතාව ඇසුරෙන් 'අකල් වැස්ස' ලියැ වී ඇත. මෙහි ඇත්තේ චරිත තුනකි. ඒ සරත්, මාලි හා නිමල්ය. මේ චරිත පිළිවෙළින් ධර්මදාස ජයවීර, මාලිනි ෆොන්සේකා හා සුමන ආලෝක බණ්ඩාර රඟපෑහ. නාට්‍යයට සම්බන්ධ වූ මාලිනීට ඇගේ පියා කියා ඇත්තේ මෙවැන්නකි.

'තුන් දෙනාගෙන් කරන්ඩ පුළුවන් මොන නාට්‍යයද? ඔන්න ඔහේ ගෙදරට වෙලා හිටපන්'

කෙසේ වෙතත් 1965 ජාතික නාට්‍ය උලෙළේදී මාලිනී හොඳම නිළිය වූ අතර සිනමාවේ දිගු ගමනක් ගොස් මෙරට නිළි රැජන බවට පත්වන්ට එය ඇගේ ප්‍රථම අඩි සලකුණ වූයේය.

1966 ජාතික නාට්‍ය උලෙළට ඇස්. කරු නාට්‍ය දෙකක් ඉදිරිපත් කළේය. ඒ 'එරබදු මල් පොට්ටු පිපිලා' නාට්‍යය හා 'මළවුන්ගෙන් ' යන නාට්‍ය දෙකය.

1965 වසරේ හොඳම නාට්‍ය නිෂ්පාදනය කළ නාට්‍යකරුවන් දස දෙනකුට නව නාට්‍ය ඉදිරිපත් කරන ලෙස සිංහල අනු මණ්ඩලය ආරාධනා කර තිබිණි. ඒ අනුව නාට්‍යකරුවන් හය දෙනකු නාට්‍ය ඉදිරිපත් කළ අතර 'එරබදු මල් පොට්ටු පිපිලා' ඒ යටතේ තැනුණු නාට්‍යයකි. මෙහිද මාලිනී ෆොන්සේකා රඟපෑ අතර සෙසු චරිත සතිස්චන්ද්‍ර එදිරිසිංහ, චන්ද්‍රා කළුආරච්චි රඟපෑහ. මහාචාර්ය සුනිල් ආරියරත්න, කරුණාරත්න ඩී. පිලිප් වේදිකා පරිපාලනය කළහ. නැටුම් සුනෙත් ගෝකුලගෙනි. ගායනා නන්දා මාලිනිගෙනි.

'එරබදු මල් පොට්ටු පිපිලා' තිස්ස අබේසේකරගේ ප්‍රශංසාව ලද නාට්‍යයකි. ඔහු මෙසේ කියා ඇත.

'බටහිර කෙටිකතාවක් සිංහල නාට්‍යයක් ලෙස සකස් කිරීමේදී ඇස්. කරුණාරත්න දක්වා ඇත්තේ පැසසුම් කටයුතු අදීනත්වයකි. 'එරබදු මල් පොට්ටු පිපිලා' රචනය, කෙටි කතාවක අනුවාදයක් යැයි කීම අයුක්තිසහගතය. 'සයිමන් පාපා' නම් කෙටි කතාව කියැවීනේ තමා විඳි චමත්කාරය මෙම නාට්‍යය රචනය කිරීමේදී ඇස්. කරුණාරත්න ඉවහල් කොට ගත්තේ යැයි කීම සත්‍යයට වඩාත් සමීප යැයි සිතමි. මේ නාට්‍යය ගැන මට කිව හැක්කේ එයයි. දෙවනුව තවත් දෙයක් කිව යුතුය. එරබදු මල් පොට්ටු පිපිලා නාට්‍යය තුළින් මා විඳි චමත්කාරය, කෙටි කතාව කියැවීමේදී මා තුළ ඇති නොවූ බවයි.

'මළවුන්ගෙන්' ඇස්. කරු ඉහත නාට්‍ය උලෙළට ඉදිරිපත් කළ අනිත් නාට්‍යයි. මෙහිද මාලිනී ෆොන්සේකා රඟපෑ අතර සුමන ආලෝක බණ්ඩාර, සඳුන් විජේසිරි, කුලසේන ගමගේ සෙසු චරිත රංගනය කළහ. ඉහත නාට්‍ය දෙක ගැනම විචාරයක් ලියූ මහාචාර්ය ආරිය රාජකරුණා ඒවා හඳුන්වා ඇත්තේ අසාර්ථක නාට්‍ය ලෙසිනි.

ඇස්. කරු 1967 ලස්සන පුවත්පත සංවිධානය කළ ඒකාංගික නාට්‍ය උත්සවය සඳහා 'හිරු අවරට ගියාදේ' මැයෙන් නාට්‍යයක් ඉදිරිපත් කළේය. එහි ටෙනසි විලියම්ස්ගේ ධ් අධ්ඉඡ් ධ්ව් ජ්ඹ්ඒර්ඡ්ඉ නමැති කෘතියේ පරිවර්තනයකි.

'ටික්කි ටිකිරි ටිකිරි ලියා' ප්‍රංශ නාට්‍ය රචක පෙතන් ශෙනේ ගේ 'ද මේඩ්ස්' (ඊඩ්ඡ් ර්ඒධ්ච්ඉ) නම් වූ අසම්මත නාට්‍යයේ පරිවර්තනයකි. එහි පරිවර්තනය ඇස්. කරුගේ වන අතර මා නිවැරදි නම් එය නිෂ්පාදනය කළේ නලින් විජේසේකරය.

මෙකල අසම්ත විකාරරූපී (ඒඕඉඍඅච්) නාට්‍ය ශෛලියේ බලපෑම සිංහල වේදිකාවට ඇති වෙමින් තිබිණි. එහි ආරම්භය ජේ. ඒ. සෙල්වදොරේගේ 'ගොඩෝ එනකං' (පරිවර්තක) හා පතිරාජ ඇල්. ඇස් දයානන්දගේ 'දියසේන' (ස්වතන්ත්‍ර) යන නාට්‍ය දෙක යැයි කිවහැකිය. 'ගොඩෝ එනකං' විකාරරූපී නාට්‍ය කලාවේ විශිෂ්ටයා වූ සැමුවෙල් බෙකට්ගේ 'වේටිං ෆෝ ගොඩෝ' නාට්‍යයේ පරිවර්තනයකි.

ඇස්. කරුගේ 'ගඟට උඩින් කොක්කු ගියා නාට්‍යය ද විකාරරූපී නාට්‍යයකි. මහලු යුවළක් ජීවිතයේ හිස්කම (නිස්සාරභාවය) දරාගත නොහැකිව දිවිනසා ගන්නා අකාරය මෙම නාට්‍යයෙන් කියැවිණි. මොහු පසුකලෙක 'අවුරුදු අසූවකට පස්සේ' යන නමින් පුනර් නිෂ්පාදනය කළේ ද මෙම නාට්‍යයමය.

'පයිප්පේ' (1974) ඇස්. කරුගේ තවත් නාට්‍යයකි. එය ලුම්පන් සමාජය වස්තු කර ගත්තකි. වරාය කම්කරුවා, ඔහුගේ බිරිඳ, කුලී කරුවා, ඔහුගේ බිරිඳ, විශ්‍රාමිකයා, උන්මන්තකයා, මුඩුක්කුවේ හැඩකාරිය හා ඇගේ පෙම්වතා මෙහි එන චරිතය. විමල් කුමාර ද කොස්තා, මර්සි එදිරසිංහ ප්‍රධාන චරිත රඟපෑහ. මෙය පසුකලෙක 'සත් මහල් ප්‍රසාද' නමින් යළි නිෂ්පාදනය කර ඇත.

ඇස්. කරුගේ විශිෂ්ටතම නාට්‍ය 'කලිගියුලා' (1982) යැයි සිතමි. එය ඇල්බෙයා කැමුගේ එනමින් යුතු නාට්‍යයේ පරිවර්තනයකි. 'කලිගියුලා' මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් පවා බුහුමන් ලද නාට්‍යයකි. එය විශිෂ්ට නිෂ්පාදනයක් ලෙස හඳුන්වන ඔහු නළු නිළියන් හැසිරවීම, රංග භූමි අලංකරණය, වෙස් නිර්මාණය හා ආලෝකය අතින් එහි කෘතහස්තභාවයක් දිස් වූ බව ද කියා සිටී.

ඇස්. කරුගේ පසුකාලය ගත වූයේ නාටය පරිවර්තන කාර්යයෙහිලා පමණි. එම පරිවර්තන තරුණ නාට්‍යකරුවන් විසින් වේදිකා නිෂ්පාදන බවට පත් කරන ලදී. 'දවස තාම ගෙවුණේ නෑ', 'බන්සි මැරිලා නෑ' , 'අපේ පන්ති කාමරය', 'රැකවලා', 'පුංචි ආදර බලකිරීමක්' යන නාට්‍ය බුද්ධික දමයන්ත ද, 'හසිනා' චාමික හත්ලහවත්ත ද, 'දාස මල්ලිගේ බංගලාව' රුවන් මලිත් පීරිස්, කලණ ජයනාත් ගුණසේකර ද නිෂ්පාදනය කළහ.

මෙයින් 'බන්සි මැරිලා නෑ', 'රැකවලා' යන නාට්‍ය දෙකේ පරිවර්තනය සඳහා මොහුට ජාතික නාට්‍ය උත්සවයන්හි සම්මාන හිමිව ඇත.

ඒ හැරුණු කොට ඇස්. කරු 'මළ කෝලං' (නිෂ්පාදනය ජයතිස්ස අලහකෝන්) නාට්‍යය රචනා කර ඇති අතර 'සිංහ පුරාණය' නමින් නාට්‍යයක් ලියා රඟදක්වා ඇත. එය සිංහබාහු කතාවට නව අර්ථකතනයකි. මේ නාට්‍ය පිළිබඳ මූලාශ්‍ර අප සතුව නැත.