වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 20 වැනිදා සඳුදා




විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
මෑ වේ මා දුටු කොමළ ලියා

මෑ වේ මා දුටු කොමළ ලියා

මුල් වැදි දෙටු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ලයනල් ප්‍රනාන්දු හෙළිකරන මනමේ පෙරදවස

එදා පටන් සෑම දිනෙක ම සවස පහෙන් පසුව සෙනෙට් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ එක් කාමරයක ‘මනමේ’ නාටකයේ පුහුණු වීම් සිදුවිය. අඩුවකට තිබුණේ වැදිරජුගේ භූමිකාවයි. ඒ සඳහා නළුවකු සොයනතුරු මනමේ කුමරි ලෙස ට්‍රිලීෂියා අබේකෝන් (පසුව ඇය වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූයේ ට්‍රිලීෂීයා ගුණවර්ධන හෙවත් ලුසිහාමි ලෙස ය.) හා හේමමාලි ගුණසේකරත්, මනමේ කුමරා ලෙස බෙන් සිරිමාන්නත්, පොතේගුරු ලෙස ශ්‍යාමන් සපරමාදුත් සිය භූමිකා පුරුදු පුහුණු කළහ

ශී‍්‍ර ලාංකේය නාට්‍ය කලාවේ සංදිස්ථානයක් සනිටුහන් කළ මහඇදුරු එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ‘මනමේ’ නාටකයට අද ට වසර හැටකි. එතෙක් පැවැති කෝලම් සහ නාඩගම් සම්ප්‍රදාය ආශ්‍රය කරගනිමින් දේශීය නාට්‍ය සම්ප්‍රදායක් සෙවීමට යත්න දරමින් සිටි කාලයේ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස වේදිකාවට නැඟුණු ‘මනමේ’ නාටකයට පාදක වන්නේ ‘චුල්ලධනුග්ගහ’ ජාතකයයි. ඒ ඇසුරෙන් මීට වසර හැටකට පෙර නිර්මාණය වී වේදිකා ගතවුණු ‘මනමේ’ නාටකයේ අතීතය ගැන, එවක වැදිරජුගේ වැදිදෙටු භූමිකාවට පණ පෙවූ ලයනල් ප්‍රනාන්දු සෞන්දර්යවේදියා සමඟ අපි සුහද කතාබහක නිරත වීමු. මේ ඒ දිගහැරුමයි.

අද මෙන්ම හරියට ම වසර හැටකට පෙර එදින 1956 වසරේ නොවැම්බර් මාසයේ 03 වැනිදා ය. දිගු පර්යේෂණ කටයුත්තකින් පසුව ලියැවුණු ‘මනමේ’ වේදිකා නාටකය, කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී රංග ගතවීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් වෙමින් පැවැතියේ ලහිලහියේ ය. සවස 6. 30ට නාට්‍යය දර්ශනය ආරම්භ කරන බවට පළමු සීනුව නාද විය. ඉන් අනතුරුව ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකාව මත රඟදුන්නේ මද්දල් නාදයයි. ඒ අනුව පාද තබා පැමිණි නළු - නිළියන් හරහා ‘මනමේ’ නාටකය වේදිකාව මත දිගහැරෙද්දී සිය භුමිකාවට පණ පොවා අවසන් වූ කොලු ගැටයකු නේපථ්‍යාගාරයේ සිට කඩිමුඩියේ දුවගෙන පැමිණියේ ය. ඒ ප්‍රේක්ෂාගාරයේ සිට නාට්‍යය නරඹනු පිණිස ය. එහෙත් සිදුවූයේ අනෙකකි. සිය ගුරුතුමන් බරාඳයෙහි සක්මනක යෙදී සිටින බව දැනගත් හේ ඒ අසල වූ කළුවරට මුවා වූයේ ඔහු දුටුවහොත් බැණුම් ඇසීමට සිදුවන බව දත් හෙයිනි. රැඟුම ආරම්භ කර පැය භාගයක් පමණ ගතවන්නට ඇත. මැදිවියේ ස්ත්‍රියක් රඟහලට පැමිණියා ය.

“ඇගේ ඇඳුම් - පැලඳුම් අනුව නම් ඈ කොළඹ හතේ කාන්තාවක්”

කළුවරේ සැඟ වී සිටින කොලු ගැටයා මිමිනුවේ තමන්ට ම ය. සිය ගුරුතුමා සමඟ කතාබහ කරන ඇගෙන් ගුරුතුමා කුමක් දෝ විමසනු ඔහු බලාගෙන ය.

“මොකක් ද මේ පෙන්වන්නේ?”

එක්වරම ඇය ඇසුවා ය.

“මනමේ නාට්‍යය”

“මොකක් ද ඒ? සිංහල නාට්‍යයක් ද?”

“ඔව්, සිංහල නාට්‍යයක්.”

“ කීයට ද ඉවර වෙන්නේ?”

“ අට වෙනකොට ඉවරයි.”

“අටට ඉවරයි. වෙන්න බෑ.”

ඒ සංවාදයට කන්යොමා සිටි කොලු ගැටයා මුව අතෙන් තදකර වසා ගත්තේ කාන්තාවගේ අදහස් නිසා ඔහුගේ මුවඟට නැඟුණු සිනහව වසන් කරගනු රිසියෙනි.

“කැමැති නම් ගිහින් නාට්‍යය බලන්න. ටිකට් ඕන නෑ.”

ගුරුතමා පවසනු ඇසුනෙන් යළිත් කොලු ගැටයාගේ නෙත රැඳුණේ ඔවුන් අසල ය.

“චී: මං යන්නේ නෑ සිංහල නාට්‍ය බලන්න. මං මේ ඇහුවේ මගේ වැඩකාරිව එවන්න.”

මෙලෙස කළුවරට වී සිය ඇදුරුතුමන් වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමඟ සිදුවන කතාබහ අසාගෙන සිටි කොලු ගැටයා අන්කවුරුත් නොවේ. ‘මනමේ’ නාටකයේ වැදිදෙටුගේ භූමිකාව නිරූපණය කළ ලයනල් ප්‍රනාන්දු ය. ඊට පසුකාලයේ නාට්‍ය කලාවේ නම රැන්දූ ප්‍රවීණ නාට්‍යවේදිනියක වන සෝමලතා සුබසිංහගේ ආදරණීය ස්වාමියා වූ ඔහු ඒ සිහිපත් කළේ 1956 වසරේ ‘මනමේ’ නාටකය වේදිකාවට නැඟුණු දින කිහිපයෙන් එක් දිනෙක සිදු වූ සිදුවීමකි.

“ඒ කාලයේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගතවුණේ ඉංග්‍රීසි නාට්‍ය. එහි රංග ගතවුණු තමන්ගේ සිංහල නාට්‍යයට ලැබුණු ප්‍රතිචාරය නිසා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් එදා සැලුණේ නැහැ. කොහොමත් සරච්චන්ද්‍රයන් කිසිම දෙයකදි කලබල වුණු කෙනෙකු නොවෙයි. කිසිම දෙයකට තරහ ගත් කෙනෙකු නොවෙයි. ඔහු සෑමදෙයක් දිහා ම බලාගෙන සිටියේ බොහොම නිහඬව.”

වසර හැටකට ඉහතදි අවුරුදු විස්සක් තරම් වයසැති තරුණයකු ලෙස මහඇදුරු සරච්චන්ද්‍රයන්ගේ ඇසුර ලබමින් ඔහුගේ සෙවණේ හැඳීවැඩුණු ලයනල් ප්‍රනාන්දු අද වගකිවයුතු නිලධාරියෙකි. එනම් ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයායි. වැදිදෙටුගේ චරිතය රඟපෑමෙන් පසුව රංගනය අමතක කළ හේ ඉන්පසුව පිවිසියේ පරිපාලන ක්ෂේත්‍රය වෙතටය. කලක් එහි කීර්තිමත් අයකු ලෙස සිය සේවය ලබාදෙන ලයනල් ප්‍රනාන්දු ඉන් නික්ම සිට යළිත් මෑතකදී කලාවට යමක් කළ හැකි ක්ෂේත්‍රයට පිවිස සිටියි. ඒ අවිවේකී ජීවිතයෙන් හෝරා කිහිපයක් ඈත් වී ඔහු යළිත් ‘මනමේ’ නාටකයේ වැදි දෙටුගේ චරිතය සොයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියේ ය.

ලයනල් ප්‍රනාන්දුට මහඇදුරු සරච්චන්ද්‍රයන් පිළිබඳ අසන්නට ලැබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසෙන්නටත් කලියෙනි. ඒ ඔහුගේ පාසල් සමයයි. අම්පිටිය රෝමානු කතෝලික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන ලයනල් එච්.එස්.සී කිරීමේ අදහසෙන් ඇතුළත් වන්නේ ශාන්ත සිල්වෙස්ටර් විදුහලට ය. එකල ඔහු කෙතරම් පොතපතට පෙම් බැන්ඳේ ද යත් පාසල් අවසන් වී අම්මා ඔතාදෙන බත්මුල කා හනික දිවයන්නේ පාසල අසල පිහිටි මහජන පුස්තකාලය දෙසට ය. එහිදී පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ජී. බී. සේනානායක ආදී ලේඛකයන්ගේ පොතපත පරිශීලයෙන් ලත් ඇසුර ඔහු ව තව තවත් සාහිත්‍යට නැඹුරු කළේ ය.

“ඒ ඇසුර ද ඔබ ව විශ්වවිද්‍යාලයට යොමු කරන්නේ?”

“සාහිත්‍යට විතරක් නොවෙයි මගේ සිත සිනමාවට, නාට්‍යවලට යොමුකරන්න හේතු වෙන්නෙත් මේ පොතපත. ඒ කාලයේ තිබුණු සංස්කෘති සඟරාවේ මේ නිර්මාණ පිළිබඳ විවිධ විචාර පළවුණා. ඒවා සොයාගෙන කියවන්නට මා බෙහෙවින් ආශා කළා. ඒ නිසා එච්.එස්.සී සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවිට පොතපත ගැන මා බොහෝ දේ දැනගෙන සිටියා. විශේෂයෙන් ම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබඳ මගේ සිතේ මැවිලා තිබුණේ දැවැන්ත ප්‍රතිරූපයක්. ඒ අනුව මා ඔහුගේ රුව කියලා සිතේ ඇඳගෙන සිටියේ උස, මහත, ආරෝහ පරිනාහ දේහයකින් යුත් කෙනෙකුගේ රූපයක්.”

1956 වසරේ ජුලි මාසයේ පේරාදෙණිය විශ්විද්‍යාලයට ඇතුළත් වූ ලයනල්ට එදිරිවීර සරච්චන්ද්‍රයන් හමුවීමට ලැබෙන්නේ එක්තරා දැන්වීමක් නිසා ය. ඒ විශ්වවිද්‍යාලයීය නාට්‍ය සංගමයෙන් කිරීමට නියමිත වේදිකා නාට්‍යයක් පිළිබඳයි. නළු - නිළියන් ගන්නා බව පවසමින් ප්‍රධාන දැන්වීම් පුවරුවක පළ කළ දැන්වීමේ අත්සන යොදා තිබුණේ එකල එහි නාට්‍ය සංගමයේ සභාපතිවරයා වූ ආතර් සිල්වාගේ ය. කුඩාකල පටන් ම නාට්‍ය රඟපෑමට බෙහෙවින් කැමැත්තක් දැක් වූ ලයනල් දැන්වීමේ සඳහන් වූ දිනයට සම්මුඛ පරීක්ෂණයට ගියේ දහසක් එකක් බලාපොරොත්තු හදවතේ නැඟ එද්දී ය.

“එදා ද ඔබ මුලින් ම සරච්චන්ද්‍රයන් දකින්නේ?”

“ඒ සම්මුඛ පරීක්ෂණය තිබුණේ කලා පීඨයේ උඩ තට්ටුවේ. එහි මා යනවිටත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය - ශිෂ්‍යාවෝ පෝලිමක් හැදිලයි සිටියේ. ඒ පෝලිමට මමත් එකතු වුණා. පෝලිම ඉදිරිපස සායම් ගිය කලිසමකට අත්දිග චෙක් කමීසයක් ඇඳ ගත්ත, කෙසඟ සිරුරකින් යුක්තව, සිටගෙන සිටින නිවිච්ච පුද්ගලයාගේ රුව මගේ නෙත ගැටුණේ ඒ මොහොතෙදියි. ඒ සරච්චන්ද්‍රයන් වග මා දැනගත්තේ ඉන් පසුවයි. ඔහු අසල ම පැදුරක අමුතු ජාතියක බෙරයක් තියාගෙන සිටියේ චාර්ලිස් සිල්වා ගුරුසිංහ ගුරුන්නාන්සේ. මට මතකයි එදා මා ගැයුවේ ඒ කාලයේ බොහෝදෙනා අතර ජනප්‍රිය ගීතයක් වුණු “අඩුකළේ සෙලවීම නිසා.....” ගීතයයි. සම්මුඛ පරීක්ෂණයෙන් පාස්වුණාට පස්සේ ‘මනමේ’ නාටකයේ ඒ ඒ චරිත සඳහා නළු - නිළියන් තෝරා ගැනීමයි සිදුකළේ. සරච්චන්ද්‍රයන් ගැයූ ආකාරයට වැදිදෙටුගේ ගීතය ගයමින්, ඔවුන් කියාදුන් ආකාරයට මා නර්තනය ඉදිරිපත් කළා. සරච්චන්ද්‍රයන් මාව වැදිදෙටුගේ චරිතයට තෝරා ගත්තේ ඒ ආකාරයෙන්.”

එදා පටන් සෑම දිනෙක ම සවස පහෙන් පසුව ආර්ට් තියටර් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ එක් කාමරයක ‘මනමේ’ නාටකයේ පුහුණු වීම් සිදුවිය. අඩුවකට තිබුණේ වැදිරජුගේ භූමිකාවයි. ඒ සඳහා නළුවකු සොයනතුරු මනමේ කුමරි ලෙස ට්‍රිලීෂියා අබේකෝන් (පසුව ඇය වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූයේ ට්‍රිලීෂීයා ගුණවර්ධන ලෙස ය.) හා හේමමාලි ගුණසේකරත්, මනමේ කුමරා ලෙස බෙන් සිරිමාන්නත්, පොතේගුරු ලෙස ශ්‍යාමන් සපරමාදුත් සිය භූමිකා පුරුදු පුහුණු කළහ. ඒ අතර එක් රාත්‍රියක බෝගම්බර පිටියේ පැවැති සැණකෙළියේ දී ගී ගයමින් සිටි ශිෂ්‍යයෙක්ව සරච්චන්ද්‍රයන්ගේ ඉදිරිපසට රැගෙන පැමිණියේය. ඒ මාර්ස් නිවාසයේ විසූ එඩ්මන් විජේසිංහ ය. ‘මනමේ’ හි වැදිරජු වූයේ ඔහු ය.

“මේ පුහුණු වීම් සමඟ සරච්චන්ද්‍රයන්ගේත්, අපේත් ඇසුර සෙමෙන් සෙමෙන් වර්ධනය වුණා. විශ්වවිද්‍යාලයේ ඉන්න අවස්ථාවල සරච්චන්ද්‍රයන්ට එහාමෙහා යන්න තිබුණේ ඡ්ව් 497 අංකය සහිත ෆෝක්ස් වැගන් රථයක්. ඔහු නාට්‍යයේ වැඩවලට එහාමෙහා ගියෙත් ඒකෙන්. සමහර දවස්වලට සංගීත කටයුත්තකට අමරදේවයන් එක්ක ගෙන එන්න යන්න ඔහු කොළඹ එනවා. ඒ ගමනට යන්න සරච්චන්ද්‍ර සර් එක්ක මාත් ගියා. ආපසු එන ගමනේ දි ඔවුන් දෙදෙනත් එක්ක එක එක රාග තාල හම් කරනවා. මාත් ඒවා රස වින්ඳා. අමරදේව මහත්තයත් මේ කටයුත්තට සංගීතය සැපයීමෙන් දායක වුණා. සමහර දවස්වලට කෑමබීම ලැබුණෙත් සරච්චන්ද්‍රයන්ගේ නිවසෙන්. අයිලින් සරච්චන්ද්‍රයන් ඒ සියලු කටයුතු කළේ බොහොම කැමැත්තෙන්. සිවු මාසයක් පුහුණු වීම් කළේ දුෂ්කරතා රැසක් මැද්දේ. ඒ කියන්නේ නාටකය නිෂ්පාදනය කළේත් සරච්චන්ද්‍රයන්. ඒ සියල්ල ඔහු කළේ ඔහුට ලැබුණු විශ්වවිද්‍යාල වැටුපෙන්.”

‘මනමේ’ නාටකයේ නර්තන නිර්මාණය කළේ වසන්ත කුමාර ය. එහි කරළිය සැරසීමෙන් හා නිළියන්ගේ වෙස් මෝස්තර නිර්මාණයෙන් සහය වූයේ සිරි ගුණසිංහ ය. අංගරචනයෙන් විමලධර්ම දියසේනත්, අයිලින් සරච්චන්ද්‍රත් සහය වූහ. කාලයකට පෙර සිට කරන ලද පර්යේෂණයේ ප්‍රතිඵලය මත, චාර්ලිස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ උපදෙස් ලබා එදිරිවීර සරච්චන්ද්‍රයන් නිෂ්පාදනය කළ ‘මනමේ’ වේදිකා ගත කිරීමට සියල්ල සූදානම් වී තිබිණි. 1956 නොවැම්බර් 03 එනම් අද වැනි දිනෙක ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී ‘මනමේ’ වේදිකා ගතවන්නේ එලෙස ය. එහෙත් එහි නාට්‍ය නරඹන්නට පැමිණ සිටියේ ප්‍රේක්ෂකයන් විසිදෙනෙකුටත් අඩු සංඛ්‍යාවකි. ඒ වනවිටත් රඟහල අයිති හැරල්ඩ් පීරිස් මහතා සිටියේ සරච්චන්ද්‍රයන් සමඟ ඔට්ටුවක් අල්ලා ය. ඒ ලයනල් වෙන්ඩ්ට් ශාලාවට සිංහල නාට්‍ය නැරැඹීමට ප්‍රේක්ෂකයන් නො පැමිණෙතියි කියන කතාව බොරුවක් බවත්, එය ඔප්පු කිරීමට දින හතර ම සරච්චන්ද්‍රයන්ට සිය ශාලාව නොමිලේ ලබාදෙන බවත් කලින් ඔහු ලියුමකින් දන්වා තිබිණි. අවසානයේ හැරල්ඩ් පීරිස් ඔට්ටුවෙන් පැරදුණේ ය.

“දෙවනුව ‘මනමේ’ වේදිකා ගත වන්නේ බොරැල්ල වයි.එම්.බී.ඒ. ශාලාවේදී ද?”

“මත මතක හැටියට වයි.එම්.බී.ඒ. ශාලාවේ දි අපූරු අත්දැකීම් රැසකට ම සරච්චන්ද්‍රයන් ඇතුළු අප සියලුදෙනාට ම මුහුණ දෙන්නට සිදුවුණා. ඒ එහි වේදිකා ගතවුණු ‘මනමේ’ නාටකය නැරැඹුව සමහර ප්‍රේක්ෂකයන් නාටකය අවසානයේ තමන්ගේ නිවෙස්වලට පිවිසුණේ මනමේ කුමරිට බැණ. බැණ. ඒ අතරෙන් සමහරු වේදිකාව ඉදිරියට ඇවිත් මනමේ කුමරිගේ චරිතයත් එක්ක කොයිතරම් තරහ ගත්ත ද කිව්වොත් ඈට බැණ්නේ අපගේ මුහුණටමයි. මෙවැනි ප්‍රතිචාර තිබුණත්, මුලින් ම ‘මනමේ’ නාටකය ගැන විචාර පළවුණේ ඉංග්‍රීසි පුවත්පත්වල විතරයි. සිංහල පුවත්පත්වල ඒ ගැන වචනයක්වත් ලියැවුණේ නැහැ. දෙතුන් මාසයකට පස්සේ වේදිකා ගතවුණු ‘මනමේ’ නැරැඹුව චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයා ඔහුගේ ‘වගතුග’ තීරුවට ‘මනමේ’ ගැන ලිව්වට පස්සෙයි අනෙක් සිංහල පත්තරත් ‘මනමේ’ ගැන කතා කළේ. ඒ මොන දේ වුණත් සරච්චන්ද්‍රයන් ඒ කිසිවකින් කම්පාවට පත්වුණේ නැහැ. ඒ සියල්ල දෙස බැලුවේ බොහොම මධ්‍යස්ථ විදියට.”

කිසිවිටෙකත් සිදුවන කිසිම දෙයකට කලබල වීම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පුරුද්දක් නොවිණි. මේ කාලයේ ‘මනමේ’ ගැන මාර්ටින් වික්‍රමසිංහ, රෙජී සිරිවර්ධන, චන්ද්‍රරත්න මානවසිංහ වැනි ලේඛකයන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් අතෙන් උසස් විවේචනාත්මක ලිපි ලියැවිණි. ‘මනමේ’ ලාංකේය නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක් ලෙස ඔවුහු දුටුහ. රටේ දේශපාලනික, සංස්කෘතික, කලාත්මක උද්දීපනයක් ‘මනමේ’ වේදිකා ගතවීමෙන් ඇරැඹිණි. දිගු සංස්කෘතික විප්ලවයකට ‘මනමේ’ පාර කිව්වේ ය.

“අද වනවිට වඩාත් ප්‍රසිද්ධ පේරාදෙණිය ‘වල’ නිර්මාණය වන්නේත් ‘මනමේ’ නිසා ද?”

“කොළඹ ‘මනමේ’ නාටකය වේදිකා ගතවුණත් පේරාදෙණියේ ‘මනමේ’ වේදිකා ගතවුණේ නැහැ. සරච්චන්ද්‍රයන්ගේ අදහස වුණේ ‘මනමේ’ නාටකය ඉදිරිපත් කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු විදියට හැඩගැසුණු ප්‍රොසීනියම් වේදිකාවක නොවන බවයි. එතුමා විශ්වාස කළේ එය කළ හැක්කේ රඟමඬලක යැයි විශ්වාස කළා. එවැනි ස්ථානයක් සොයමින් සිටින විටයි ඔහුට විශ්වවිද්‍යාලයේ ආට්ස් බ්ලොක් දෙසට යන විට තිබුණු කඳු පල්ලේ වම්පස වළන් කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක් හමුවුණේ. එහි පතුළේ සමතලා භූමිය සකස් කරගත හැකි නම් ස්වාභාවික පිහිටලා තිබුණු ඒ භූමිය ඊට සුදුසු ස්ථානය ලෙසයි සරච්චන්ද්‍රයන්ට හැඟුණේ. කොහොම නමුත් ඒ කාලයේ සිටි උපකුලපතිතුමා වුණු සර් නිකලස් ආටිගලට ‘මනමේ’ ගැන දැන ගන්නට ලැබීම නිසා එය නැරැඹීමට උවමනා වන්නේ ඒ අතරයි. ඒ නිසා ම සරච්චන්ද්‍රයන් අදහස් කරගෙන සිටි රඟමඬල නිර්මාණය වෙන්නේ නිරායාසයෙන්. ඒ විදියටයි අද තිබෙන ‘වල’ නිර්මාණය වෙන්නේ.”

‘මනමේ’ වේදිකා නාටකය සඳහා ලංකාවේ සිවුදෙසෙන් ආරාධනා ලැබිණි. ඈත ප්‍රදේශවල වේදිකා ගතවුණු ‘මනමේ’ නාටකය සංවිධානය වූයේ සංවිධායකවරුන් මාර්ගයෙනි. එකල ලයනල් ප්‍රනාන්දු රඟපෑ වැදිදෙටුගේ රංගනය වෙනුවෙන් ඔහුට පළමුවරට ලැබුණු මුදල රුපියල් 15කි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ විවිධ සමිති සමාගම්වල ක්‍රියාකාරී සාමාජිකයකු වන ඔහු ඇතුළු තරුණ පිරිස නිතර නිතර සරච්චන්ද්‍රයන්ගේ ඇසුර සෙවූහ. ජේම්ස් පීරිස් ශාලාව සහ සංඝමිත්තා ශාලාව අතර පිහිටි සරච්චන්ද්‍රයන්ගේ නිවෙස ඔවුන්ට පුස්තකාලයක් බඳු විය. එහි නිතර ආ ගිය මහාචාර්ය, ආචාර්යවරුන්ගෙන් හිඟ නොවීය. මෙහි සිදු වූ සාහිත්‍ය කතාබහ, විචාර, මතවාද ලයනල් ඇතුළු තරුණ පිරිසට සිතන්නට නම මාවතක් තනා දුන්හ.

“බොහෝ උගත් ගුරුවරුන් පිරිසක් ඇසුරේ අධ්‍යාපනය ලැබුව ඔබට පේරාදෙණිය හැරදමා යන්නට සිදුවෙනවා?”

“ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු, ආචාර්ය ලුඩොවයික්, පී. වැලිකල, තේනබදු, ඒ. පී. ගුණරත්න, පරණවිතාන යන වියතුන්ගේ ඇසුරේයි අපි හැදුණේ වැඩුණේ. විශේෂයෙන් ම සරච්චන්ද්‍රයන්ගේ සරල සැහැල්ලු දිවිපෙවත අපේ ජීවතවලට බොහෝ බලපෑම් කළා. මෙහෙම කලක් ගත වනවිට මට විශ්වවිද්‍යලයේ ජීවිතයට ආයුබෝවන් කියන්න වෙනවා. ඒ ගාල්ලේ උණවටුනේ තල්පේපත්තුවට ඩී.ආර්.ඕ කෙනෙකු ලෙස මට ලැබෙන පත්වීමක් නිසා. මා ඒ රැකියාව භාරගත්තත් කිසිම දවසක ‘මනමේ’ අමතක කරන්නේ නැහැ. ඒ නිසා ම නියමිත දවසට මම ගාල්ලේ සිටන් වහා ම කොළඹ බලා පැමිණෙන්නේ ‘මනමේ’ නාටකයේ රඟපාන්නටයි.”

ඔහු මේ ගමනට තිත තබන්නේ දර්ශන වාර සියයක් පමණ වැදිදෙටුගේ චරිතය රඟපෑමෙන් පසුව ය. ඉන්පසුව දිගින් දිගට ම පරිපාලන ක්ෂේත්‍රයට සිය සේවය සපයන ලයනල් ප්‍රනාන්දු කලක් ලේක්හවුස් ආයතනයේ ද සභාපති ධුරය දැරුවේය. අද වනවිට ටවර්හෝල් රඟහල පදනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන ඔහු එහි සංවර්ධනයට විවිධ කටයුතු ඉටු කිරීමට වෙහෙසෙයි.

“පසුගිය දිනවල ටවර්හෝල රඟහල පදනමෙන් ‘මනමේ’ නාටකය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය වුණා නේද?”

“මේ ආයතනයේ සභාපති ධුරය දරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා තමයි මට පවසන්නේ නිර්මාණ කිහිපයක් සඳහා මෙපමණ වසර ගණනක් පිරෙන කඩඉමක් ඇති බව. ‘රේඛාව’, ‘විරාගය’ ඇතුළු නිර්මාණ පෙළක් ඒ ගණයට ඇතුළත් වුණා. එතුමාගේ සංකල්පයක් අනුව මේ සියල්ල රැකගත යුතුයැයි ද එතුමා පැවසුවා. ඒ අනුව පසුගිය දිනවල බොහෝ දේ ඒ නිර්මාණ මුල්කරගෙන සිදුවුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු සම්මන්ත්‍රණය ඒ සඳහා අපූරු නිදසුනක්. ඒ වගේ ම අරලිය ගහ මන්දිරයේ දී මේ නිර්මාණවලට සහභාගි වුණු ශිල්පීන් - ශිල්පිනියන් සියල්ලන් ම ගෙන්වලා ඇගයීමක් සිදුකළා. ඉදිරියේදිත් එවැනි කාර්යයන් රැසක් සිදුකිරීමට නියමිතයි.”

එලෙස ඔහු මතකයට නැඟුවේ ‘මනමේ’ ඇතුළු නිර්මාණ වෙනුවෙන් වර්තමානයේ ගෙන ඇති පියවර කිහිපයකි.

“ඇත්තට ම මනමේ මේ විදියට දීර්ඝ කාලයක් වේදිකා ගතවන්නේ එහි තිබෙන ගති ලක්ෂණ නිසයි. එහි සංගීතය අපේ හදවත්වල ඇති කරන්නේ අපේකමක්. ඒ සඳහා වයස් භේදයක් ඇත්තේ නැහැ. අද වනවිට ලොකු කුඩා සියල්ලන් ම ‘මනමේ’ ගීත රස විඳීනවා. ‘මනමේ’ නාට්‍ය නරඹා රස විඳීනවා. ඔවුන්ගේ රස වින්ඳනය පුළුල් කරනවා. නැවත නැවතත් තවත් පරම්පරා ගණනකට ඒ රස වින්ඳනය ‘මනමේ’ නාටකය හරහා ලැබිය යුතුයි”

ඔහු පැවසුවේ අනාගත පරපුර පිළිබඳ ය. සමුගන්නට මත්තෙන් ඔහුගේ දෙතොළඟ ගීතයක් රැවු දුන්නේ ය. ඒ හඬට අපි සවන් යොමු කළෙමු.

“මෑ වේ මා දුටු කොමළ ලියා
මෑ වේ මා දුටු කොමළ ලියා
දෙස බලනුය රජතුම
චිත්ත නොමවෙඳ තුටු
මෑ වේ මා දුටු කොමළ ලියා....”