වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 20 වැනිදා සඳුදා




විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8

ගුවන් විදුලිය වේදිකාවක් කර ගත් නාට්‍යකරුවා පී. වැලිකල

පී. (ප්‍රේමසිංහ) වැලිකල වැඩි ප්‍රසිද්ධියක් ඉසිළුවේ ගුවන් විදුලි නාට්‍ය රචකයකු හා නිෂ්පාදකවරයකු වශයෙන් වුවත් ඔහු වේදිකාව ඔස්සේ ද නාට්‍ය ගණනාවක් බිහි කර ඇත.

වැලිකල වේදිකාවට ප්‍රවිෂ්ට වන්නේ නාට්‍ය සංවිධායකවරයකු ලෙසිනි. විශ්ව විද්‍යාල නිෂ්පාදන වූ 'කපුවා කපෝති' (පසු නිෂ්පාදනයක) 'රහස් කොමසාරිස්' වැනි නාට්‍යවල හෙතෙම සංවිධාන කටයුතු භාරව සිටියේය.

ලංකා කලා මණ්ඩලය 1953 දී නාට්‍ය පිටපත් තරගයක් පවත්වා ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ පී. වැලිකල බව 'ශ්‍රී ලංකාවේ නාට්‍ය උත්සව ඉතිහාසය' කෘතියේ දැක්වෙයි. එම නාට්‍යය 'කුළු හරක්' විය යුතු යැයි මම සිතමි. කපිල කුමාර කාලිංග අනුමාන කරන ආකාරයට එය යුශේන් අයනෙස්කෝගේ 'රයිනෝසිරස්' නාට්‍යයේ ඡායානුවාදයකි. එහෙමත් නැතහොත් එම නාට්‍යය ආශ්‍රිතව කළ ස්වතන්ත්‍ර නාට්‍යයකි. 'කුළු හරක්' නාට්‍යයේ මංගල දර්ශනය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පවත්වා ඇත.

වැලිකල 1958 දී නිකොලොයි ගොගොල්ගේ 'ද මැරේජ්' නම් වූ නාට්‍යය 'විවාහය' නමින් සිංහලට පරිවර්තනය කළේය. ඊට ඉහත 'කපුවා කපෝති' නමින් රංගගත වූයේ ද මෙම නාට්‍යයමය. එය ඊ. එෆ්. සී. ලුඩෝ වයික්ගේ ප්‍රථම හා එකම සිංහල නාට්‍ය නිෂ්පාදනය විය. 'කෝපි කාලේ කපුවෙක්' යන නමින් වැලිකල ඉදිරිපත් කළේ මේ 'විවාහය' නාට්‍යයම විය යුතුය.

'ආණ්ඩුවේ පරීක්ෂක' (1959) වැලිකල පරිවර්තනය කළ ගොගොල්ගේ තවත් නාට්‍යයකි. (ද ගවර්මන්ට් ඉන්ස්පෙක්ටර්) 'රහස් කොමසාරිස්' යනුවෙන් ඊට ඉහත රඟදැක්වුණේ ද මෙම නාට්‍යමය. එය ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක් වූයේය.

'රත්නාවලී' (1959) වැලිකලගේ ප්‍රකට නාට්‍යයකි. සංස්කෘත නාටකයක් වූ මෙය ශ්‍රී හර්ෂදේවගේ රචනයකි. මේ නාට්‍යය 1957 දී පියදාස නිශ්ශංඛ විසින් 'විශ්ව නාටක පුස්තක මාලා' - අංක 3 යටතේ පරිවර්තනය කර පළ කරන ලදී. මෙම නාට්‍යය පේරාදෙණි සරසවියේ සිංහල විෂයේ ප්‍රථම ව්ෂය සඳහා නිර්දිෂ්ටව තිබුණෙන් සරසවි සිසුන් එක් කරගෙන මහාචාර්ය සරච්චන්ද්‍ර මෙය වේදිකාවට නිෂ්පාදනය කළේය. සමකාලීන නාට්‍ය කලාව තුළ සංස්කෘත නාටකයක් වේදිකාගත කෙරුණු පළමු අවස්ථාව එය විය. (නූර්ති යුගයේ ජෝන් ද සිල්වා අතින් ද මෙය වේදිකාවට නංවා තිබිණි).

'රත්නාවලී' 1965 දී වැලිකල කොළඹ විශ්ව විද්‍යාල සිසුන් සමඟ එක්ව නැවත නිෂ්පාදනය කර ඇත.

'දවසක වෙනස' (1959) ආර්. සී. ෂෙරිෆ් නමැති ඉංග්‍රීසි රචකයාගේ 'හෝම් ඇට් සෙවන්' නාට්‍යයේ අනුවාදයකි. මෙහි වේදිකා පරිපාලක වශයෙන් ගුණසේන ගලප්පත්ති කටයුතු කිරීම විශේෂත්වයක් විය. මෙම නාට්‍යය විචාරයට ලක් කරන වයි. රත්නපාල ද සිල්වා මෙයට මුල් වූ ඉංග්‍රීසි නාට්‍යය එංගලන්තයේ අවුරුදු දෙකක් එක දිගට පෙන් වූ ජනප්‍රිය නාට්‍යයක් වූ බවත් සිංහල නාට්‍යයට ඒ තබා ඊට කිට්ටුවටවත් ඒමට පුළුවන් ශක්තියක් නොතිබුණු බවත් කියා ඇත.

'මැටි කරත්තය' (1960) වැලිකල සංස්කෘත නාට්‍යයක් වේදිකාවට ගෙන ආ දෙවැනි අවස්ථාව විය. මෙය ශුද්‍රකගේ 'මාච්ජකටිකා' නාට්‍යයේ පරිවර්තනයකි. නිෂ්පාදනයක් වශයෙන් සලකන විට 'මැටි කරත්තය' 'රත්නාවලියට' වඩා සාර්ථක වී යැයි කීමට හේතු තිබෙතැයි මහාචාර්ය සරච්චන්ද්‍ර මෙම නාට්‍යය අළලා කරන්ට යෙදුණ විචාරයක සඳහන් කරයි. ('ජවනිකා' 1960 පළමුවැනි කලාපය දෙවැනි සඟරාව).

එම විචාරයෙහිලා ඔහු තවදුරටත් මෙසේ කියා ඇත.

'රත්නාවලියෙහි මෙන් නොව මැටි කරත්තයෙහි සංස්කෘත නාට්‍යයේ සම්ප්‍රදායානුකූල රංග ශෛලිය මුල සිට අග දක්වාම රැකගෙන තිබේ. පළමු නිෂ්පාදනයේදී වැලිකල ලත් අත්දැකීම හා අවබෝධය ඔහු 'මැටි කරත්තය' නිෂ්පාදනයෙහි මනා සේ යොදා ගනී'.

'කුණ්ඩලකේසි' (1961) වැලිකලගේ ජනප්‍රියම නාට්‍යය යැයි මම සිතමි. මෙහි පෙළ රචනය මහගමසේකරගෙනි. 'මනමෙ' නාටකයේ මනමෙ කුමරු හා කුමරිය ලෙස රඟපෑ බෙන් සිරිමාන්න හා ට්‍රිලිෂියා ගුණවර්ධන මෙහි සොරා සහ කුමරිය ලෙස රඟපෑම විශේෂත්වයකි. ස්වර නිර්මාණ සෝමදාස ඇල්විටිගලගෙනි. අදටත් රසිකයන් අතර ජනප්‍රිය 'අන්න බලන් සඳ රන් තැටියෙන්' ගීතය ඇතුළත් වූයේ 'කුණ්ඩලකේසි' නාට්‍යයේය. මහගමසේකරගේ 'හංස ගීතය සහ වෙනත් නිර්මාණ' කෘතියෙහි 'කුණ්ඩලකේසි' නාට්‍ය පෙළ ඇතුළත්ව ඇත.

'කුණ්ඩලකේසි' ගැන අගනා විස්තරයක් මහාචාර්ය සරච්චන්ද්‍ර තමාගේ 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' කෘතියෙහිලා බහාලයි. මෙම නාට්‍යය ප්‍රේක්ෂකයන් පිනවීමට සමත් වූ බව ඔහු එහිලා කියයි. ඊට හේතුවක් ලෙස දක්වන්නේ මහගමසේකරගේ ගීතවල තිබූ නාට්‍ය රසය විය හැකි යැයි ද කියයි.

වැලිකල 1965 දී 'බලන කපොල්ල' නමින් නාට්‍යයක් නිෂ්පාදනය කර ඇත. ඒ නාට්‍යය පිළිබඳ මූලාශ්‍රයක් සොයා ගත නොහැකිය.

'තාත්තා' (1966) යන ජපන් නාට්‍ය රචක කිකුචි කංගේ 'චිචිකපුරු' නාට්‍යයේ අනුවාදයකි. මෙහි අනුවර්තනය මහාචාර්ය ආරිය රාජකරුණාගෙනි. මෙම නාට්‍යය ගැන අදහස් දක්වන වයි. රත්නපාල ද සිල්වා මෙය උසස් රඟපෑම් සහිතව ඉදිරිපත් වුව ද එවැන්නක පවා මෙරටට ගැළපෙන බවක් දක්නට නොලැබුණ බව කියයි. මුල් ජපන් කෘතියේ ඇති කාව්‍යමය ගතිය අනුවාදයේ දුර්වලකම් නිසා අඩු වී තිබිණැයි ද හෙතෙම තවදුරටත් කියයි.

ප්‍රංශ නාට්‍යයක පරිවර්තනයක් වූ 'ගිනි පුපුරු' 1975 ජාතික නාට්‍ය උලෙළේ හොඳම පරිවර්තන නාට්‍යයට හිමි සම්මානය දිනා ගන්නා ලදී. මෙම නාට්‍යයේ ආවේ චරිත 4 කි. සොමී රත්නායක, රත්මලී ගුණසේකර, රිචාඩ් විරක්කාඩි, එච්. ආර්. අයිරාංනී මෙම චරිත රඟපෑහ.

වැලිකල 'ආසනික් ඇන්ඩ් ඩන්ඩලේස්' නාට්‍යය ඇසුරෙන් 'අන්ද කයිප්පු' නමින් නාට්‍යයක් නිපදවා ඇති බව සඳහන් වෙතත් ඒ නාට්‍යය පිළිබඳ මූලාශ්‍ර සොයා ගැනීම අසීරුය.

ගුවන් විදුලි නාට්‍යකරණයේ පුරෝගාමීන් අතර වැලිකල කෙනෙකි. ඔහු බී. බී. සී. සම්ප්‍රදායේ පුහුණුව ලද ගුවන් විදුලි සන්නිවේදකයෙකි. වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වූ වැලිකල ගුවන් විදුලියට සම්බන්ධ කර ගන්නා ලද්දේ මහාචාර්ය සරච්චන්ද්‍ර විසිනි. ගුවන් විදුලි නාට්‍යවලදී හෙතෙම නළුවකු, රචකයකු හා නිෂ්පාදකවරයකු වශයෙන් අංශ තුනෙන්ම කටයුතු කර ඇත. 'රේඩියෝ නාට්‍ය කලාව' මෙම විෂය ක්ෂේත්‍රය අළලා වැලිකල ලියූ පුරෝගාමී ග්‍රන්ථයකි. 'පලා යෑම' 'මන්තරකාරයා', 'ගොළු බිරිඳ', 'හෘදය වස්තුව' යන නාට්‍ය හතරක් ද ඊට ඇතුළත්ය. මෙයින් 'ගොළු බිරිඳ' යනු ඇතටෝල් ප්‍රාන්ස්ගේ 'ද මෑන් හූ මැරිඩ් අ ඩම්බ් වයිෆ්' නාට්‍යය ආශ්‍රය කර ගත්තකි. 'හෘදය වස්තුව' යනු ජී. බී. සේනානායකගේ එනමින් යුතු කෙටි කතාව ගුවන් විදුලි නාට්‍යයකට නැඟීමකි.