වර්ෂ 2017 ක්වූ අගෝස්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්

මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්

ඩග්ලස් සිරිවර්ධන

ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන කලකට ඉහත නිෂ්පාදනය කළ ‘හිට්ලර්’ වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙසින් වේදිකාවට පැමිණීමට නියමිත ය. ඒ මේ මස 05 හා 06 දිනවල 6.30ට ටවර් රඟහලේ දී ය. එහි ප්‍රධාන චරිතය රඟපෑ දිවංගත ප්‍රවීණ නාට්‍යවේදී එච්. ඒ. පෙරේරාගේ හයවන ගුණ සමරුව වෙනුවන් ඔහුට උපහාරයක් පිණිස වේදිකාවට නැවත පැමිණෙන ‘හිට්ලර්’ දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගෙන නිර්මාණය කළ වේදිකා නාට්‍යයකි. මේ පෙළ ගැසෙන්නේ ‘හිට්ලර්’ හා ගෙවුණු ඒ අතීතයත්, වේදිකා නාට්‍ය කලාව පිළිබඳත් ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන සමඟ ‘සරසවිය’ට කළ සාකච්ඡාවකි.

එච්. ඒ. පෙරේරා වෙනුවෙන් ද ඔබ ‘හිට්ලර්’ වේදිකාවට රැගෙන එන්නේ?

එච්. ඒ. පෙරේරා කියන මගේ සහෝදර රංගධරයා සමඟ එකමුතුවෙන් මා ශ්‍රී ලංකාවේ හැමතැනක ම ගිහින් වැඩමුළු රාශියක් කරලා තියෙනවා. විශේෂයෙන් තරුණ සේවා නාට්‍ය පාසල ඒ ආයතනයේ අනුග්‍රහය ඇතුව ආරම්භ කළා. මමයි එච්. ඒ.පෙරේරායි එහි පාඨමාලා අධ්‍යක්ෂවරුන් වුණා. ඒ වගේම ටවර් රඟහල පදනමට ආවට පස්සේත් ඔහු එහි උපදේශකවරයෙකු විදියට කටයුතු කළා. ඒ හැර පෞද්ගලික ජීවිතයේ දී නාට්‍ය උපදේශකවරුන් ලෙස අප දෙදෙනා බොහෝ අවස්ථාවල කටයුතු කළ බවත් කිව යුතුයි. මේ ආකාරයෙන් බොහෝ අවස්ථාවල ලැබුව අත්දැකීම් සමඟ අප දෙදෙනා අතර ඇතිවුණේ අපූරු සහෝදරත්වයක්. ඒ කාරණය වගේම මගේ ‘හිට්ලර්’ වේදිකා නාට්‍යයේ අපි එකට රඟපෑවා. ඒ විතරක් නොවෙයි එහි සහය අධ්‍යක්ෂවරයාත් ඔහුයි.

ඔහු මිය ගියාට පස්සේ ඔහු වෙනුවෙන් යමක් කළ යුතුයැයි සිතුණත්, සිතට සතුටක් ගෙනදෙන ආකාරයේ යමක් කළ නොහැකි වුණා. එච්. ඒ. පෙරේරා සමඟ සහභාගි වී කළ වැඩමුළුවල අභ්‍යාස පිළිබඳ පොතක් ලියන්න හා ඔහු කළ නාට්‍ය කලාව ඇතුළේ රංග කලා රංගනය පිළිබඳ ප්‍රගුණ කළ දේවල් ආශ්‍රය කරගනිමින් ලිපි එකතුවක් සකස් කළ යුතුයැයි සිතුණත් මේ කිසිවක් කරන්නට මට මෙතෙක් හැකියාව ලැබුණේ නැහැ. මෙහෙම ඉන්න අතරෙයි වසන්ත විට්ටච්චිත්, ජයලාල් රෝහණත්, මමත් නාට්‍යයක් නරඹලා අවසානයේ කතා වුණේ එච්. ඒ. වෙනුවෙන් යමක් කරමු කියලා. එතැනදියි මා යෝජනා කරන්නේ ඔහු වෙනුවෙන් ‘හිට්ලර්’ වේදිකා ගත කරන්න. ඒ අදහසයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

මීට වසර තිහකට ඉහත වේදිකා ගතවුණු ‘හිට්ලර්’ කියන්නේ දැවැන්ත වේදිකා නිර්මාණයක් වගයි ප්‍රවීණයන් පවසන්නේ. එවැනි නිර්මාණ කාර්යයක් නැවතත් වේදිකාවට පිවිසෙන්න හේතුව වන්නේ ඉහත කියන ලද කාරණය පමණක්ම ද?

මේ නාට්‍යය වේදිකා ගත කරන්න හේතුවුණේ ඒ කාරණයම පමණක් නොවෙයි. පසුගිය දවස්වල නැවතත් එදා වගේ තරුණ ජවයෙන් යුතුව නාට්‍යයක් කරන්නත් මට උවමනා වුණා. ඒ සඳහා ඇරැඹුමක් හා අත්හදා බැලීමක් ලෙසත් මේ නාට්‍යය නිර්මාණය යොදා ගන්න මා සිතුවා. ‘හිට්ලර්’ කියන්නේ ලෙහෙසි පහසු නාට්‍යයක් නොවෙයි. මේ සමඟ චිත්‍රපටයක් පෙන්වනවා. පළමු වතාවටයි එදා චිත්‍රපටයක් සහ ස්ටීරියල් සවුන්ඩ්ස් වේදිකාවක භාවිත වුණේ. ඒ වගේම එච්. ඒ. පෙරේරා වගේ ජ්‍යෙෂ්ඨ නළුවෙකු කළ චරිතයට කෙනෙකු පුහුණු කිරීම හා සමහර ප්‍රධාන චරිතවලට නළු - නිළියන් පුහුණු කිරීම මඟින් ‘හිටලර්’ කරනවා කියන්නේ ලොකු අභ්‍යාසයක්. එදා තරම්ම අදත් ඊට වෙහෙස විය යුතුයි. මේ කාරණාත් ‘හිට්ලර්’ වේදිකා ගත කරන්න හේතුවුණා. එහෙම කරලා මේ මාසේ තුන්වැනිදාත් සවස 2.30ට ටවර් රඟහලේ දීම නාට්‍යය දර්ශනයක් පවත්වනවා. ඒ එච්. ඒ.ට උපහාරයක් ලෙස කරන විශේෂ දර්ශනයක්. එහි රඟපාන සියලුම නළු - නිළියන් ටවර් රංග කලා පාසලේ ඉගෙන ගත්ත ළමයින්. ඔවුන් විසින්මයි නාට්‍යයේ රංගාලෝකය, අංගරචනය ඇතුළු අනෙකුත් සියලුම කටයුතු කරන්නේ. ඒ නිසා අලුත් නළු - නිළියන් පිරිසක් බිහි කිරීම එච්. ඒ. වෙනුවෙන් කළ හැකි හොඳම උපහාරය ලෙසයි මා දකින්නේ. ඊට අමතරව 05, 06 දිනවල ඔහුට උපහාරයක් පිණිස වේදිකා ගතවන ‘හිට්ලර්’ නාට්‍යයේ සම්පත් තෙන්නකොන්, රත්නා ලාලනී ජයකොඩි, ගාමිණී හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, ජනක් ප්‍රේමලාල්, ජයලාල් රෝහණ චරිත නිරූපණය කරන අතරම අංගරචනය වසන්ත විට්ටච්චිගෙන්. එදා එච්. ඒ. රඟපෑ කාල්ගේ චරිතය මෙදා රඟපාන්නේ චම්මින්ද මැදගෙදරයි. මේ සියලු දර්ශන පැවැත්වෙන්නේ නොමිලයේයි.

එච්. ඒ. පෙරේරාගෙයි ඔබගෙයි සහෝදරත්වය ගොඩනැඟෙන්නේ කොහොම ද?

මගේ පළමු නාට්‍යය වුණු ‘අඹු සැමියෝ’ වේදිකා නාට්‍යය නිර්මාණය වෙන්නේ 1976 දී. පරාක්‍රමගේ හා එච්. ඒ. ගේ පළමු නාට්‍යය ‘සෙක්කුව’ යි. රාජ්‍ය නාට්‍ය උලෙළට අපි නාට්‍ය ඉදිරිපත් කළා. එහෙත් නාට්‍ය අනු මණ්ඩලයට විරුද්ධ ප්‍රකාශ කිරීමෙන් මගේ නාට්‍යය ඒ වසරේදි අවසන් වටයේ දී ඉවත්කර ගන්නවා. එහෙම කළත් මම අනෙක් නාට්‍ය නරඹන්න ආවා. ඒ නාට්‍ය උලෙළේ සම්මාන ලබා ගත්තේ පරාක්‍රම හා ධර්මසිරියි. ඔවුන් දෙදෙනා වගේම ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු අපි හැමෝම සහෝදර නාට්‍ය ශිල්පීන් ලෙස ඒ කාලයේ සහෝදරත්වයෙන් එකට බැඳීලයි සිටියේ. එච්. ඒ.ගේ සිතේ ගොඩනැඟී තිබුණු ජනතාවාදී ආකල්පය අප අතර බැඳීමක් නිර්මාණය කළා. ඔහුට අවශ්‍ය වී තිබුණේ ජනතාවට හිතවාදී නාට්‍ය කලාවක්. වීදි නාට්‍ය කළ කෙනෙක් විදියට ඊට ඔබ්බට ගිහින් නළු - නිළියන් පුහුණු කිරීම ඇතුළු ක්‍රියාවලියක යෙදෙන්න ඔහුට උවමනා වුණා. එහි ප්‍රතිඵලයක් විදියටයි සෝවියට් මිත්‍ර සංගමයේ මම, එච්. ඒ, වසන්ත, පරාක්‍රම එකමුතුවෙන් සෑම වසරකම දින දහයක නොමිලේ වැඩමුළුවක් කරන්නේ. ඒ මඟින් කලඑළි බැස්ස පිරිසයි එදා ‘හිට්ලර්’ නාට්‍යයේ එච්. ඒ. ලට අමතරව රඟපෑවේ. ජයලාල් රෝහණ, උදේනි අල්විස් වගේ අය බිහි වෙන්නේ ඒ හරහායි. නව පරපුරක් බිහිකර ගැනීමේ උවමනාව අපි දෙන්නටම තිබුණා. ඒ සඳහා අපි තරුණ සේවා එක හරහා දිස්ත්‍රික් සංචිත හදන්න රට වටේම ගියා. ඒ ඔස්සේ දක්ෂයන් තමයි අපි ගෙනාවේ. අද ජනපි‍්‍රය වෙලා ඉන්න බොහෝ අය මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඒ හරහායි. මෙන්න මේ වැඩපිළිවෙළ වගේම අප අතර තිබුණු අදහස් අපූරු සහෝදරත්වයක් නිර්මාණය කළා.

‘හිට්ලර්’ වේදිකා නාට්‍යයට පාදක වන්නේ දෙවැනි ලෝක යුද සමයේ වූ හිට්ලර්ගේ ක්‍රියාකලාපයන්. මෙවැනි නිර්මාණයක් ඔබගේ සිතේ පිළිසිඳ ගන්නේ කුමන ආකාරයෙන් ද?

83 අපේ රටේ පැවතුණු ජාතිවාදී අරගලය දැකලා ඒ ඔස්සේ ඇතිවුණු කම්පනයෙනුයි මා ‘හිට්ලර්’ නිර්මාණය කරන්නේ. ඒ වනවිට මේ රටේ භීෂණයක් ඇතිවෙලා තිබුණේ නැහැ. නමුත් භීෂණයක ලක්ෂණ පහළ වෙලා තිබුණා. අසූහත, අසූඅට, අසූ නවය වනවිට භීෂණයේ උපරිමයට ගියා. ඒ වනවිට මේ නාට්‍යයෙන් කිව්ව දේවල් ඇත්ත වුණා. ඇතැම් අවස්ථාවලදි මේ නාට්‍යයේ පෙන්වන සිනමාපටයේ ජවනිකා දැකලා මිනිස්සු හීල්ලුවා. කෑ ගැසුවා. ඒ මේ නාට්‍ය නවත්තන්න කියලා. එක්තරා අවස්ථාවක පොළොන්නරුවේ මේ නාට්‍යය වේදිකා ගත කරන අවස්ථාවේ ඒ කිසිම දෙයක් මට ප්‍රේක්ෂකාගාරයෙන් ඇසුණේ නැහැ. ඒ නිසාම ඔවුන්ගෙන් මා ඒ ගැන විමසුවා. ඔවුන් පැවසුවේ අපි මේ නාට්‍ය නරඹන්න ආවේ තවත් භීෂණයක් නරඹන්න නොවෙයි කියලයි.

නමුත් අද අපේ රටේ යුද්ධයක් ඇත්තේ නැහැ.

එහෙම කිසිම පරිසරයක් අද වනවිට අපේ රටේ නැහැ. ඒ නිසා අද කිසිවෙකුත් ඇයි ‘හිට්ලර්’ කරන්නේ කියලා වැරැදි අර්ථකථනයක් නොකළ යුතුයි. මෙවැනි පර්යේෂණ නාට්‍යයක් තරුණ පරපුරට නැවතත් නැරැඹීමේ ඉඩ හසරයි මා මේ උදා කරන්නේ. මෙහි රඟපාන නළු - නිළියන් පවසන්නේ මේ වගේ දෙවැනි ලෝක යුද්ධයක් ගැන නොදන්නා බවයි. ලෝකයේ රටවල් හැටඑකක් පුරා මේ තරම් මිනිස්සු ප්‍රමාණයක් මිය ගිය, ප්‍රබල සිදුවීම් ගණනාවක් සිදුවුණු දෙවැනි ලෝක යුද්ධය ගැන ඔවුන් සොයන්න උනන්දු වෙන්නේ දැනුයි. ඒ මේ නාට්‍යය කරන්න ගියාට පස්සෙයි.

‘හිට්ලර්’ වේදිකා ගත කරන අතරතුරේ සිදුවුණු විශේෂ සිදුවීම් මොනවා ද?

එක් දවසක් මට මතකයි ඈතක නාට්‍යය වේදිකා ගත කරලා එන වෙලාවකදි රාත්‍රියේ දි අපව හමුදාවෙන් පරීක්ෂා කිරීමකට ලක්වුණා. අපේ වාහනයේ තියෙන්නේ යුද ඇඳුම්. තුවක්කු, පිස්තෝල. ඒ නිසා ඔවුන් නිදාගෙන සිටිය අයට පයින් ගහලයි ඇහැරෙව්වේ. තව පොඩ්ඩෙන් මට මේ ඉන්නේ නාට්‍ය කණ්ඩායමක් කියලා ඔප්පු කරන්න බැරිව යනවා. කොහේට හරි ගහන්න යන කණ්ඩායමක් කියලා තව චුට්ටෙන් අපිව පොලිසියට කුදල ගෙන යනවා. ඒ නිසා මෙවැනි වාතාවරණයකදි නාට්‍යය වේදිකා ගත නොකර නවත්වන්න තීරණය කළා. ඊළඟට යුද්ධයක් පැවතුණු කාලයකදි වුණත් මේ නාට්‍යය වේදිකා ගත කරන්න තරම් අවස්ථාව උදා වෙන්නේත් නැහැ. ඊට පස්සෙ කාලයේ දි එච්. ඒ. අසනීප තත්ත්වයේයි සිටියේ. එදා සිටිය එච්. ඒ.වම නැවතත් අපට බලාපොරොත්තු වන්න බැරි වුණා. එවැනි කාරණා කිහිපයක්ම මේ නාට්‍යය වේදිකා ගත නොකර නතර කරන්නට හේතුවුණා.

වර්තමානය වනවිට නිර්මාණය වී ඇති බාල බොළඳ හාස්‍ය රුල්ල ගැන ප්‍රවීණයෙක් විදියට ඔබ දරන්නේ මොනවගේ අදහසක් ද?

අද ඉන්න තරුණ පරපුරට හාස්‍ය නාට්‍ය කරනවා යැයි දොස් පවරනවා. බොහෝ වෙලාවට නවක තරුණ පරපුර ආදර්ශයට ගන්නේ ප්‍රවීණයන්. ඉතිං අපි නාට්‍ය කලාවේ ජ්‍යෙෂ්ඨයන් විදියට කළ යුත්තේ ඔවුන්ව විවේචනය කරනවාට වඩා ඔවුන්ට සාප කරනවාට වඩා ඔවුන්ට ඇගයීමක් ලැබෙන, ආදර්ශයක් ලැබෙන ‘හිට්ලර්’ වැනි නාට්‍ය කිරීමයි. ඔවුන්ට ඒවා අලුතින් නරඹන්නට ඉඩකඩ සලසා දීමත් වැදගත්. ඒ වගේම අලුත් නාට්‍ය කරන එකත් වැදගත් බවයි මා පවසන්නේ. අලුත් පරපුරට අවශ්‍ය ශක්තිය සැපයිය යුත්තේ අප විසින් බවයි මා සිතන්නේ. තරුණ පරපුර විදියට අපේ කාලයේ අපි නැරැඹුවේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ, සුගතපාල ද සිල්වාගේ, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්තිගේ, බන්දුල ජයවර්ධනගේ, හෙන්රි ජයසේන, රන්ජිත් ධර්මකීර්ති වැනි ප්‍රවීණ මහත්වරුන්ගේ නාට්‍යයයි. ඒ නාට්‍ය අපට බර වැඩියි. ඔරොත්තු දුන්නෙත් නැහැ. ඒත් අපි ඒ නාට්‍ය පස්සේ ගියා.

එකපාරත් නොවෙයි මේ නාට්‍ය දෙපාර, තුන්පාර බැලුවා. එහෙත් එදා වගේ නොවෙයි අද පරපුරට අපට වගේ නරඹන්න නාට්‍ය ඇත්තේ නැහැ. මම රාජ්‍ය නාට්‍ය උලෙළට ‘හිට්ලර්’ නාට්‍යය ඉදිරිපත් කළේ ආර්. ආර්. සමරකෝ, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, රන්ජිත් ධර්මකීර්ති වගේ ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ නිර්මාණත් සමඟයි. ඒත් සම්මාන කිහිපයක්ම ලබා ගන්න ඒ වෙලාවේ මට හැකියාව ලැබුණා. මේ වගේ අත්දැකීම් අපට ලබා ගන්න පුළුවන් වුණත් අද පරපුරට එහෙම අත්දැකීම් ලැබෙන්නේ නැහැ. ඒක බොහොම කනගාටුවට කාරණයක්. මතුපිටින් හිනාවනවා වෙනුවට මිනිස්සුන්ට අභ්‍යන්තරයෙන් හිනා වෙන්න සැලැස්සුවොත්, ඔවුන්ව ප්‍රඥා සම්පන්න කළොත් එයයි වැදගත් වෙන්නේ.

‘හිට්ලර්’ නැවත වේදිකාවට රැගෙන ඒමෙන් බලාපොරොත්තු වන්නේ එයයි. මෙහි යොදා ගන්නා තාක්ෂණය හා ආකෘතිය එදා කොහොමද මා යොදා ගත්තේ කියලා ඔවුන්ට වැදගත් වේවි. එදා භාවිත කළ ස්ටීරියෝ හඬ පටය එලෙසින්ම අදත් භාවිත කරනවා. නාට්‍ය නරඹලා අවසන් වුණාට පස්සේ ප්‍රේක්ෂකයාට ඒ නිර්මාණය දැනෙන්න ඕනෑ. ඒ නිසා චිත්‍රපටයකින් කරන දේ නාට්‍යයකින් කරලා පෙන්වීමේ අභියෝගය ජයගන්නේ කොහොමද කියලා මෙහිදී නව පරපුරට දැක ගන්නට ලැබේවි. මට පවසන්නට තිබෙන්නේ ඒ කියන කාරණය එක කටකින් කියන්න බැහැ. ඇවිත් නාට්‍ය නරඹලාම මේ අත්දැකීම විඳ ගන්න යන්නයි.