වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්

තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්

රාජිතගේ නාට්‍යය සංවාදයේ දී අපූරු හෙළිදරව්වක්

රාජිත දිසානායකගේ ‘ආපහු හැරෙන්න බෑ’, ‘සිරිවර්ධන පවුල’, ‘සිහින හොරු අරං’ නාට්‍ය ත්‍රිත්වය රැගත් නාට්‍ය උලෙළ මේ මස 29,30,31 වැනි දිනවලදි කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පස්වරු 7.00ට වේදිකා ගතවෙයි. මේ ලිපිය සැකසෙන්නේ නාට්‍ය උලෙළ හා ඔහුගේ නාට්‍ය පිළිබඳ රාජිත දිසානායක සමඟ කළ සාකච්ඡාවකිනි.

ඔබ වසර කිහිපයක්ම මේ විදියට නාට්‍ය උලෙළවල් පවත්වා ගෙන පැමිණි අයෙක්. මෙවර නාට්‍ය උලෙළ පවත්වන්නට හේතු වූ විශේෂ කාරණය කුමක් ද?

අපි නාට්‍ය උලෙළක් ලයනල් වෙන්ඩ්ට් රහලේ පවත්වන හයවැනි අවස්ථාවයි. මේ විදියට සෑම වසර දෙකකටම වතාවක් අපේ නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය කිහිපයක් එකතු කරලා උලෙළක් පවත්වන්න ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. ඒ අපේ නාට්‍ය නරඹන්නට කැමැත්තෙන් ඉන්න පිරිසකට ඒ අවස්ථාව ශ්‍රී ලංකාවේ හොඳම රඟහලක නරඹන්නට ඉඩකඩ සලසා දීමයි. ඒ වගේම කණ්ඩායම පැත්තෙන් ගත්තොත් තමන් දායක වෙලා ඉන්න නාට්‍ය කිහිපයක් එක පෙළට ප්‍රේක්ෂකයන් ඉදිරියේ හොඳ රඟහලක, ප්‍රේක්ෂාගාරයක රඟ දක්වන්නටත් නාට්‍ය කණ්ඩායමට අවස්ථාව ලැබීම තවත් කාරණයක්. හැමවිටෙකම මේ උලෙළ අරමුණු කරගෙන කිසියම් විරාමයක් අරගෙන තිබෙන නාට්‍යයක් නැවතත් නිෂ්පාදනය කිරීම මෙහිදී සිදුවන අනෙක් කාරණයයි. මෙවර එහෙම නිෂ්පාදනය වන අපේ නාට්‍ය නම් ‘ආපහු හැරෙන්න බෑ’ වේදිකා නාට්‍යයයි. එය නැවත නිෂ්පාදනය වන්නේ වසර හයකට පස්සේ. මීට අමතරව මේ උලෙළේ දී ‘සිරිවර්ධන පවුල’ වේදිකා නාට්‍යයත් වර්ෂ පූර්ණය සමරනවා. ඊට අමතරව වසර දොළහක් අඛණ්ඩව රංග ගත කරමින් තිබෙන ‘සිහින හොරු අරං’ නාට්‍යයත් මේ උලෙළේ දී රංග ගත වෙනවා.

මේ නාට්‍ය උලෙළේ දී දිගු කාලයක් රංග ගත කරන නාට්‍ය කිහිපයක් ද රංග ගත වෙනවා. එහි ආරම්භයේ සිටම සහභාගි වූ නළු - නිළියන් තවමත් වේදිකා නාට්‍යත් සමඟ රැඳී ඉන්නවා ද?

‘ආපහු හැරෙන්න බෑ’ නාට්‍යයේ මුල් වසරෙන් පස්සේ සෞම්‍ය ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට විදේශ ගතවුණ නිසා ශ්‍යාම් ප්‍රනාන්දුයි නාට්‍යයට රංගනයෙන් සහභාගි වුණේ. ඒ වගේම නදීශානිත් සහභාගි වෙනවා. ඒ චරිතය කළ අනසූයා අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවීම නිසයි. අනෙක් සියලුම දෙනා කලින් නාට්‍යයත් සමඟම සිටිය ශිල්පීන්මයි. ‘සිහින හොරු අරං’ වේදිකා නාට්‍යයේ තිබෙන විශේෂත්වය වන්නේ වසර දොළහ කාලය ඇතුළත එක් චරිතයක් හැර එහි රඟපෑ සියලුදෙනාම අඛණ්ඩව ඒ චරිතම රඟපෑමයි. ඒ කාලය ඇතුළත ඔවුන් තමන්ගේ භූමිකාව පරිපූර්ණව වඩාත් හොඳීන් නිරූපණය කරනවා. එහි වෙනස් වුණු චරිතයට වෙනත් නිළියක් ගන්නට වුණේ ඒ චරිතය රඟපාන නිළිය මව් පදවිය ලැබීමයි. මුලින්ම ඒ චරිතය නිරූපණය කළේ තරිඳී ෆොන්සේකායි. ඇය මව් පදවිය ලැබුව නිසා, සමාධිත්, සමාධි මව් පදවිය ලැබීම නිසා ප්‍රසාදිනීත්, ඇයත් එසේ වීම නිසා දැන් ඒ චරිතය රංගනයේ යෙදෙන්නේ නදීශානියි.’ අනෙක් සියලුදෙනාම ආරම්භයේ පටන්ම මෙහි රංගනයේ නියැළෙනවා. මා හිතන්නේ ඒක සුවිශේෂී අවස්ථාවක්. එනම් ඒ නාට්‍යය වසර දොළහක් අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවීමත් සුවිශේෂියි.

‘සිහින හොරු අරං’, ‘වීරයා මැරිලා’ වගේ ඔබ මීට පෙර කළ නාට්‍ය නිර්මාණ දෙස බලද්දීත්, මෑතක ඔබ කළ නිර්මාණ දෙස බලද්දීත් මේ නිර්මාණ බොහොම පරස්පරයි. ඒ නිසා විවිධ ගැඹුරු සමාජ කාරණා නිර්මාණ හරහා කතාබහට ලක්කළ ඔබ මේ වනවිට ඒ කතාබහ නවත්වා තිබෙන වගක් අපට හැඟෙනවා?

‘සිරිවර්ධන පවුල’ වේදිකා නාට්‍යය මඟින් බැලූ බැල්මටම බොහොම සරල කතා පුවතක් දිග හැරෙන්නේ. නමුත් ඒ නිර්මාණය දෙස ගැඹුරින් කල්පනා කළොත් ඒ සරල මතුපිටට එහා ගිය සියුම් අර්ථ මතු වෙනවා. එහෙම වුණත් ඒ දෙස රසිකයෙකු බැලූ බැල්මට එළැඹෙන ඇතැම් නිගමන තිබෙන්න පුළුවන්. ඔවුන් ඒ විදියට ඒ කාරණය සරල දෙයක් විදියට කල්පනා කළත් ටික වෙලාවකදි ඒ අයට තේරුම් යන්නේ එක් කාරණයක්. ඒ තමන් වුණත් මේ සමාජය ඇතුළේ සිරිවර්ධන පවුල අහුවෙලා ඉන්න යාන්ත්‍රණයටම නේද අහුවෙලා ඉන්නේ කියන කාරණයයි. මාධ්‍ය හරහා මේ සමාජය මෙහෙය වන්නේ කොහොම ද? ඒ යාන්ත්‍රණය ඇතුළේ සිදුවන ක්‍රියාවලිය හඳුනා ගන්න එක අපි සියලුදෙනාටම බොහොම වැදගත්. ඒ කාරණය අප දන්නා බව සිතුවත් අප සිතන ආකාරයෙන් නොවෙයි ඒ ක්‍රියාවලිය සිදු වන්නේ. එනම් මේ රියැලිටි වැඩසටහන් හරහා සිදුවන ක්‍රියාවලිය ඒ වැඩසටහන්වලට පමණක් නොවෙයි මුළු සමාජයම මෙහෙය වන ක්‍රියාවලියක් බවටයි පත්වන්නේ. එය තේරුම් ගන්න පුළුවන් විදියටයි නාට්‍යය ප්‍රේක්ෂයාට ඉදිරිපත් වන්නේ. ඒ හරහා ඔවුන්ට සිතන්න ඉඩක් නිර්මාණය වෙනවා. නමුත් අප පෙන්වන දේට පමණක් ඒ සිතීම සීමා වුණොත් මේ කාරණය සරලයි.

ඊට අමතරව එකම විදියේ තේමාවලට වඩා වෙනස් විදියේ ජීවන අත්දැකීම් රැගෙන පැමිණීමයි කලාකරුවෙකුගෙන් විය යුත්තේ. මගේ නිර්මාණ කිහිපයකම ජනමාධ්‍ය මිනිසුන්ගේ ජීවිත මෙහෙය වන ක්‍රියාවලිය වැඩි වශයෙන් කතාබහ කළේ විවිධ ස්වරූපයෙන්. ඊට අමතරව මා මිනිස්සු අතර තිබෙන සම්බන්ධතාව හා ඒ සම්බන්ධතාවල ස්වභාවය, ඒවා වෙනස් වන විදිය, පරිභෝජනවාදය ඇතුළේ මිනිස්සුන්ගේ ජීවිතේ ස්වභාවය, සිහින, අපේක්ෂාවන් බිඳ වැටෙන්නේ කියන කාරණා තේමාත්මකව කතා කළා. සමහර නාට්‍ය හරහා දේශපාලනික වශයෙන් පවතින සමහර තත්ත්ව තේරුම් ගන්න උත්සාහ දරුවා. ඒ ක්‍රියාවලියේ තවත් එක් අවස්ථාවක් තමයි ‘සිරිවර්ධන පවුල’ කියන්නේ. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් අද වනවිට ඉදිරිපත් වෙලා තිබුණත්, ඒවාට සවන්දෙන ගමන් ඒ අදහස් ගැනත් මා සිතනවා. ඒ අදහස් ඉදිරිපත් කරන අයටත් තවදුරටත් සිතන්න, කල්පනා කරන්න පුළුවන් නම් කියන යෝජනාව මා ඔවුන්ට ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් වැදගත්. ඒ වගේම ඔවුන් කියන අදහස් ගැන නැවත සිතන එකත් වැදගත් කියලා මා සිතනවා.

ඔබ පවසන්නේ ‘සිරිවර්ධන පවුල’ වේදිකා නාට්‍යය රියැලිටි වැඩසටහන් පිළිබඳ කතා පුවතක් ලෙස පෙනෙන්නට තිබුණත්, ඉන් පැවසෙන්නේ ජනමාධ්‍යවල බලපෑම බවයි?

අපේ සෑම ආකල්පයක්ම, තේරීමක්ම ජනමාධ්‍ය හරහායි මෙහෙය වන්නේ. බලය ගොඩනඟන්නේ, බලය වෙනස් කරන්නේ, බලය පවත්වා ගන්නේ ආදී මේ සියල්ලම සිද්ධ වෙන්නේ ජනමාධ්‍ය හරහායි. අපි මාධ්‍යවලට හසුවුණු සමාජයක්. අපි ස්වාධීනයි කියලා සිතුණත් බොහොම බරපතළ විදියටයි ජනමාධ්‍ය අපට බලපෑම් කරන්නේ. ඒ අපි මුහුණ දෙන සමාජීය තත්ත්වය පවුලක් හරහායි මේ නිර්මාණයෙන් ගෙන එන්නේ. අපට රූපවාහිනියේ රියැලිටි වැඩසටහනක් හරහා පෙනෙන්නේ ජයග්‍රාහකයාවයි. ඒ ජයග්‍රාහකයාට වැහිලා ජයග්‍රාහි ගමන්මගේ පරාජය අත්විඳීන මිනිසුන්ව අපගේ අවධානයට යොමු වෙන්නේ නැහැ. මේ පරාජය වන මිනිසුන්ට මේ සමාජ යාන්ත්‍රණය විසින්ම නැවතත් සිහින හදලා දිලා උසි ගන්වන ක්‍රියාවලියකුයි ක්‍රියාත්මක වන්නේ. එය තේරුම් ගැනීමේ කිසියම් ඉඩක් තමයි අපි මේ නිර්මාණයෙන් හදන්නේ. මේ නාට්‍යයට විවිධ ප්‍රතිචාර තිබෙනවා. මා මීට පෙර නිර්මාණය කළ නාට්‍යවල දේශපාලනික තේමා සමඟ මේ නාට්‍ය බැලූ බැල්මට වෙනස්. ඒ වෙනස ඇතුළේත් අපට සිතන්නට කාරණා බොහොමයක් තිබෙන වගක් මට හැඟෙනවා.

ඔබගේ නිර්මාණවල සිටින නළු - නිළියන් බොහෝදෙනෙකු කලා මාධ්‍ය ත්‍රිත්වයේ ම පෙනී සිටින්නන්. මෙවැනි කාර්යබහුල පිරිසක් එකම වේදිකාවකට ඒකරාශී කර ගැනීම සුළුපටු කාරණයක් නොවෙයි නේද?

කාලයක් තිස්සේ අප එකට වැඩ කරමින් සිටින කණ්ඩායමක්. ඒ අතරට අලුත්, දක්ෂ අයත් සහභාගි වෙනවා. කණ්ඩායමට නළුවකු හෝ නිළියක තෝරා ගැනීමේ දී මා බලන ප්‍රධාන කාරණා කිහිපයකට අනුවයි ඔවුන්ව තෝරා ගැනෙන්නේ. ඒ අතර ඔවුන්ගේ කලාව, රංගන කලාව පිළිබඳ තිබෙන උනන්දුව හා අදහස, සමාජය පිළිබඳ තිබෙන අදහස, සාමූහිකව වැඩ කරන්න තිබෙන හැඟීම, විශේෂයෙන්ම විනය යන කාරණා ප්‍රධානයි. ඒ කාරණා අනුව වැඩ කරන්න අපි යම්කිසි විදියකට එකඟ වුණාම ඒ එකඟතාව බිඳීන්නේ නැතිව වැඩ කරන එක හැමෝගෙම වගකීමක්. ඒ විදියට සිතලා වැඩ කරන පිරිසකුයි අප අතර සිටින්නේ. ඒ නිසයි මේ තරම් දුරට නාට්‍ය උලෙළේ සාර්ථකත්වය පවතින්නේ.

කලා ක්ෂේත්‍රයට පැමිණෙන නවක ශිල්පීන් හා ශිල්පිනියන් පෙර මේ අවධිය පසුකළ ප්‍රවීණයන් මෙන් කැප කිරීමක් කරන්න අකැමැති බවක් අපට හැඟෙනවා. අධ්‍යක්ෂවරයෙකු විදියට ඔබට මේ ගැන තිබෙන්නේ මොනවගේ අත්දැකීමක් ද?

මේ කාරණය රංගනය වෙනුවෙන් පමණක් නොවෙයි අනෙක් සාහිත්‍ය කලාංග සම්බන්ධයෙන් වුණත් පොදු වූ දෙයක්. අද ඉන්න ඕනෑම ප්‍රවීණයෙක් ගොඩනැඟිලා තියෙන්නේ දිගු කාලීන ආධුනික කාලයක් ගත කරලා. අලුත් පරම්පරාවේ සමහර කෙනෙක් ඒ සඳහා ඒ තරම්ම සූදානම් නැහැ. පළමු නිර්මාණයෙන් සාර්ථක වෙන්න ඕන යැයි කියලා සිතන අයත් ඉන්නවා. එහෙම එක් නිර්මාණයෙන් ම සාර්ථක වුණු අය දීර්ඝ කාලීනව තමන්ගේ සාර්ථකත්වය රඳවා ගන්නත් අසමත් වූ අවස්ථා තිබෙනවා. මේ තත්ත්වයේ ඉන්නේ හැමෝම නොවෙයි. බොහොම කැපවීමේන්, අවබෝධයෙන් යුතුව රංග කලාවේ නියුතු වෙන පිරිසක් මේ අතර සිටින නිසා අනාගතය පිළිබඳ මට දැනෙන්නේ සුබ හැඟීමක්.

ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු පෙළ ගැසී තිබෙන්නේ කොහොම ද?

මා අවසානයට නිර්මාණය කළ ‘සිරිවර්ධන පවුල’ත් සමඟ ඉදිරි මාස හයක කාලයක් සඳහා දර්ශන පෙළ ගැසිලා. ඊට අමතරව ඉදිරියේ දි ‘ආපහු හැරෙන්න බෑ’ වේදිකා නාට්‍යය කොළඹත්, කොළඹින් පිටත් දර්ශන කිහිපයක් රංග ගත කරන්න සූදානම්. ‘සිහින හොරු අරං’ නාට්‍යය සමාප්ති වසර විදියට නම් කරන්නත් සිතාගෙන සිටිනවා. ඒ සඳහා හේතු වන්නේ මෙහි ඇතැම් චරිතවල වයස් සීමා හා ශාරීරික තත්ත්ව කිසියම් වෙනස් වීමකට ලක්වීමයි. තවමත් ඒ අය චරිතවලට අදාළව රංගනයේ නිරත වුණත් සමහර චරිත වෙනුවෙන් තවත් අය සහභාගි කර ගන්න අපේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වර්තමාන පරපුරේ දක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන් පිරිසක්. එහි රඟපෑ සමහර රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ට අමතරවයි ඒ කටයුත්ත කෙරෙන්නේ. මේ කටයුතුවලට අමතරව මා මේ දිනවල සිටින්නේ නාට්‍ය රචනා දෙකක් සමඟයි. ඒ රචනා දෙකෙන් සාර්ථකව නිම කර ගන්න ලැබෙන රචනාව මේ වසරේ දී හෝ ඊළඟ වසරේ දී අවසානය වනවිට නාට්‍යයක් බවට පත් කරන්න සැලසුම් කරමින් ඉන්නවා. ඒ සඳහා නිශ්චිත කාලවකවානුවක් තවම නැහැ. නාට්‍ය රචනාවක් දවසින්, දෙකෙන් නිම කරන්න බැහැ. ඒ සඳහා වසරක්, දෙකක් වගේ කාලයක් යන්නත් පුළුවන්. ඒ කාලයයි මේ ගෙවෙන්නේ.