වර්ෂ 2017 ක්වූ ජනවාරි 20 වැනිදා සිකුරාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි

මේ පැරැණි ජනකතාව නොවෙයි

‘රයිගමයයි ගම්පළයයි’

ප්‍රියන්ත රංජන්ගේ ‘රයිගමයයි ගම්පළයයි’ අර්ධ සංගීතාත්මක වේදිකා නාට්‍යයේ මංගල දැක්ම මේ මස 17 වැනිදා පස්වරු 6.30ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි වේදිකා ගතවීමට නියමිත ය. නාට්‍ය සංවිධානයෙන් නමක් දිනාගෙන සිටින ප්‍රියන්ත රංජන්ගේ නිෂ්පාදනයෙන් හැඩවන සිව්වන වේදිකා නාට්‍යය වන්නේ ‘රයිගමයයි ගම්පළයයි’ වෙයි. ප්‍රියන්ත රංජන් මේ පිළිබඳ සරසවිය සමඟ කළ සාකච්ඡාවකි.

‘රයිගමයයි ගම්පළයයි’ වේදිකා නාට්‍යයේ නිෂ්පාදනය, අර්ථපතීත්වය, සංවිධානය යන කාර්ය ත්‍රිත්වයම දරන්නේ ඔබ විසින්. මෙහෙම කරන්න විශේෂ හේතුවක් තිබෙනව ද?

මීට පස්සේ මම හිතාගෙන ඉන්නේ අනුන්ගේ නිර්මාණ භාරගෙන කරන්නේ නැහැ කියලයි. මොකද පසුගිය කාලයේ ඇතිවුණු විවිධ ප්‍රශ්න රැසක් නිසයි මා මෙවැනි තීරණයක් ගත්තේ. මුදල් පසුපසම යන සමාජයක් තමයි අද දකින්නට ලැබෙන්නේ. කවුරු හරි අහන්න පුළුවන් එහෙම නම් ඔබ ඔය කටයුතු කිරීමෙන් මුදල් හම්බ කරන්නේ නැද්ද කියලා. මුදල් ගැන හිතලා නාට්‍ය කළා නම් මේ වනවිට මේ නිර්මාණවලට යට කරන මුදල් බැංකු පොතක දමලා අද ලොකු ගණනක් හම්බ කරන්න අපට පුළුවන්. එහෙම වුණත් මේ නිර්මාණවල නියැළෙන්නේ කලාවට අපේ සිත්වල තියෙන ළැදිකම නිසයි.

අධ්‍යක්ෂණයට පිවිසෙන්න මේ තරම් කාලයක් ගත්තේ ඇයි ?

සංවිධායක තනතුර භාර ගන්නත් කලින් මම ඕනෑ තරම් කවි ලිව්වා. ගීත ලිව්වා. නාට්‍ය ලිව්වා. විශේෂයෙන්ම පාසල් කාලයේ දී මේ නිර්මාණ කටයුතුවල නියැළුණා. මගේ ගුරුවරයා වුණු ලයනල් රන්වලයන් ළඟදි ළමා සින්දු පවා ලියලා තියෙනවා. ඒත් සංවිධායකවරයෙකු විදියට කටයුතු කරන්න ගත්තට පස්සේ ඒ සෑම කලා කටයුත්තක්ම මගෙන් ගිලිහිලා ගියා. ඉන් පෙනෙන්නේ සංවිධායක කියන භූමිකාව කරගෙන යෑම ඒ තරමටම අපහසු භූමිකාවක් බවයි. මේ නිසා මට සිතෙන්නේ සංවිධායක භූමිකාවත් සමඟ සංසන්දනාත්මකව බැලුවොත් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කියන්නේ බොහොම පහසු භූමිකා දෙකක්.

එහෙම නම් ඔබ මේ භූමිකා ත්‍රිත්වයම භාර ගැනීම වඩාත් අසීරු කාර්යයක් බවට පත්වෙනවා නේද?

වේදිකා නාට්‍ය කලාව ඇතුළේ සංවිධායකවරුන් ඉන්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්. ඒ නිසා නිර්මාණයක් කළාට පස්සේ ඒක ලබාදෙන සංවිධායකවරයා ගැන ඇති වෙන්නේ ප්‍රශ්නයක්. මම මේ නිර්මාණය සුසිල්ට දීලා කිව්වා සංවිධායක කියන භූමිකාව භාර ගන්න කියලා. ඒ සඳහා මගේ කාර්යාලය විතරක් නොවෙයි ගෝලයෝ ටිකත් දෙන්න සූදානම් වුණා. එහෙත් ඔහු ඒ කාර්යය භාර ගත්තේ නැහැ. ඒ නිසා කොහොමත් මටම සියලු කටයුතු කරගන්න වෙනවා. ටෙලි නාට්‍යවලට, චිත්‍රපටවලට, සංගීත ප්‍රසංගවලට නම් අනුග්‍රාහකයෝ ඉන්නවා. ඒත් වේදිකාවට කවුද ඒ වගේ අනුග්‍රාහකයෝ එන්නේ. අපිටම වියදමත්, ආදායමත් දරාගන්න සිද්ධ වෙනවා.

මේ වේදිකා නාට්‍යය පිටපත ඔබට ලැබෙන්නේ කොහොම ද?

වේදිකා නාට්‍ය පිටපත් ලබාදෙන්න යැයි පවසමින් පළ කළ ප්‍රවෘත්තියට පිළිතුරක් ලෙස නාට්‍ය පිටපත් රැසක්ම මට ලැබුණා. ඒ ලැබුණු නිර්මාණ අතරින් යමක් තියෙන පිටපතක් තිබුණේ මේ පිටපත පමණයි. එඩ්වඩ් පෙරේරාගේ මේ පිටපත වුණත් බොහොම සරල ආකාරයෙනුයි නිර්මාණය වී වුණේ. ඒත් නිර්මාණය පුහුණුවීම් කරන අතරේ එහි තිබුණු බොහෝ දේ වෙනස් වුණා.

රයිගමයා හා ගම්පළයාගේ කතාව ද මේ වේදිකා නාට්‍යයක් බවට පත්වන්නේ ?

බොහෝ දෙනෙක් දැනටමත් අපෙන් දුරකථන ඇමතුම් දීලා විමසන්නේත් ඒ ප්‍රශ්නයමයි. මේ ඒ කතාව නොවෙයි. එකවගේ වැඩ කරන, හැසිරෙන දෙන්නෙක් මුණ ගැසුණොත් සමාජය ඔවුන් හඳුන්වන්නේ රයිගමයයි හා ගම්පළයයි යන නමින්. මේ නාට්‍යයේ එන රයිගමයයි,ගම්පළයයි දෙන්නාත් විවාහ වන්නේ එකම කාන්තාවක් එක්කයි. එකම විදියට අඳීන, එකම විදියේ රස්සාවත් කරන මේ දෙන්නා දුප්පතුන්. ඒ නිසාම හොරකම් කිරීමෙන් පස්සේ දමාගත් දේවාලයක් මාර්ගයෙන් අරඹන සාස්තර කීම ඇතුළේ වෙනස්ම කතාවක් දිවෙනවා. එහෙත් කාන්තාවට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්.

මෙවැනි කතාවක් වේදිකා නාට්‍යයකට යොදා ගැනීම මඟින් ඔබ බලාපොරොත්තු වුණේ කුමක් ද?

මේ මගින් හෙළි වන්නේ සමාජයේ සිටින මිනිස්සුන්ගේ සිතුවිලිවල තියෙන විවිධත්වය හා සමාජයේ විවිධ පැතිකඩයි. සමාජයේ පවතින දේශපාලනික, ආර්ථික, සමාජීය,සංස්කෘතික කාරණා ද මෙහි යටි පෙළෙන් විමසුමට ලක් කරෙනවා.

මෙහි ප්‍රධාන චරිතවලට ඔබ යොදා ගන්නේ මහින්ද පතිරගේ හා ගාමිණී අම්බලන්ගොඩයි. ඒ දෙදෙනාම මේ චරිතවලට යොදා ගත්තේ ඇයි ?

මට පිටපත අනුව මට උවමනා වුණේ එක වගේ දෙන්නෙක්. මුලින්ම මම සිතුවේ මහින්ද පතිරගේ හා සරත් කුලාංගව මේ චරිතවලට යොදා ගන්නයි. සරත් කුලාංගට තිබුණු නිර්මාණ කටයුතුත් එක්ක ඔහු කාර්යබහුලයි. ඒ නිසා මේ චරිතයට ගැළපෙනම නළුවා විදියට මා දුටුවේ ගාමිණී අම්බලන්ගොඩයි. මහින්ද වගේම ගාමිණීත් හැදිලා වැඩුණේ ගැමි පරිසරයේ. ඒ ගැමිකම මේ චරිතවලට බොහොම වැදගත්. ඒ වගේම මේ චරිතවලට තෝරා ගන්න අයට නටන්න, ගයන්නත් හැකියාව තිබිය යුතුයි. ඒ විතරක් නොවෙයි නාට්‍යයත් සමඟ දිගටම වැඩ කරන්න පුළුවන් අයයි නාට්‍යයට මා තෝරා ගත්තේ.

ඔවුන් දෙදෙනාට අමතරව රංගනයෙන් සහභාගි වන අනෙක් නළු - නිළියන් කවුරුන් ද?

කටකාර ගැහැනියෙකුත් නාට්‍යයට අවශ්‍ය වුණා. ඒ චරිතයට අනූෂා දිසානායක මා තෝරා ගත්තා. කරුමා විදියට දමයන්ත පෙරේරාත් (සුවඳා), එක් මිනිසෙක් විදියට තරංග බණ්ඩාරත්, දෙවැනි මිනිසා විදියට බජි ප්‍රනාන්දුත්, ගැහැනියකගේ චරිතයට කුමාරි සේනාරත්නත් ‘රයිගමයයි ගම්පළයයි’ සඳහා රංගනයෙන් දායක වෙනවා.

‘රයිගමයයි ගම්පළයයි’වේදිකා නාට්‍ය අර්ධ සංගීත නාට්‍යයක් ලෙසයි ඔබ හඳුන්වන්නේ. එහෙම හඳුන්වන්න හේතුවුණේ ඇයි ?

මේ වේදිකා නාට්‍යයේ ගීත විස්සක් විතර තියෙනවා. ඉන් ප්‍රධාන ගීත තියෙන්නේ තුනක්, හතරක් වගේ. දෙබස්වලින් කියන දේත් බොහෝ වෙලාවට ගීතයෙන් තමයි ගැයෙන්නේ. ඒ අතර දෙබස් ද භාවිත වෙනවා. මේක අර්ධ ගීත නාටකයක් ලෙස මා හඳුන්වන්නේ ඒ නිසයි. මෙහි සඳහන් ගීත ලිව්වේ තිස්ස ඩයස්, එස්. වික්‍රමනායක, රවීන්ද්‍ර ආරියරත්න, සරත් කුලාංග, එඩ්වඩ් පෙරේරා. සංගීතය නිර්මාණය කළේ සරත් කුලාංගයි. වාද්‍ය වෘන්දය ලෙස කටයුතු කළේ සරත් කුලාංග, සඳසිරි අධිකාරී, කපිල කොළඹගේ, දුමිඳු කඩිගමුව, සුපුන් පීරිස්, ලලිත් දුලාංජනයි. ඒ වගේම රංගවස්ත්‍ර නිර්මාණයෙන් කමල් කාන්ති බෝගොඩත්, ධනපාල බෝගොඩත්, රංග වින්‍යාසයෙන් මහාචාර්ය ලයනල් බෙන්තරගේත්, වේදිකා පසුතල, රංග භාණ්ඩ නිර්මාණයෙන් හා වේදිකා පරිපාලනයෙන් රෝහණ හේවාවිතාරණත්, අංගරචනයෙන් වසන්ත විට්ටච්චිත් මේ කටයුත්තට සහය වෙනවා. මේ සියලු දෙනා ‘රයිගමයයි ගම්පළයයි’ වේදිකා නාට්‍යය සාර්ථක ලෙස වේදිකාවට ගේන්න උදව් වුණා.

මෙහිදී සංගීතය හා ගායන කටයුතු ඔබ ප්‍රේක්ෂකයන්ට අසන්නට සලස්වන්නේ සජීව ආකාරයෙන් ද?

එදිනට ප්‍රේක්ෂකයන්ට අසන්නට ලැබෙන්නේ පටිගත කරන ලද ගීත හා සංගීත ඛණ්ඩයි. එහෙම කරන්නට සිදුවුණේ සංගීතකරුවන් සොයා ගැනීමට තිබෙන අපහසුතාවයි. ඔවුන් වෙනුවෙන් වැය කළ යුතු මුදලත් බොහොමයි. ඊටත් වඩා පුහුණුවීම්වලදි එක් එක් අයව එකම වෙලාවක සහභාගි කරවා ගැනීම අනෙක් සෑම කටයුත්තකටම වඩා අපහසුයි. ඒ නිසා සියලු දෙනාම එක් දවසක සහභාගි කරවා ගනිමින් මා සංගීතයත්, ගායනයත් පටිගත කිරීම් කළා.

එහෙත් බොහෝ ප්‍රේක්ෂකයන් රඟහලකට පැමිණ වේදිකා නාට්‍යයක් නරඹන්නේ රංගනය වගේම ගායනයත්, සංගීතයත් සජීව ආකාරයෙන් රස විඳීමේ පරමාර්ථයෙන්. පටිගත කිරීම් සංගීතය මඟින් ඒ රස වින්දනයට බාධා පැමිණෙනවා නේද ?

එහෙම වෙනවා නම් තමයි. ඒත් වාදකයන් සහභාගි කර ගැනීමේ අපහසුවත්, ගීත විස්සක් පමණ මෙහි ඇතුළත් වීම නිසා ඒවා කටපාඩම් කර ගැනීමේ අපහසුවත් කියන ප්‍රශ්න කිහිපයත් පැන නැඟුණා. නාට්‍යයේ පුහුණු වීම් ආරම්භ කර මාස කිහිපයක් ගත වී ඇතත් තවමත් ඔවුන්ට සමහර ගීතවල පද අමතකයි. මේ වගේ ප්‍රශ්නවලට හොඳම විසඳුමයි අප ඉදිරිපත් කරන ලද්දේ.

වේදිකා නාට්‍යයකදී එහි ඇතුළත්, ගීත හා දෙබස් පාඩම් කර ගැනීමට නොහැකි වන්නේ නම් එහි වරද පැටවෙන්නේ නළුවා හෝ නිළියටයි?

එදා වගේ සියලුම ගීත වගේම දෙබස් පාඩම් කළ හැකි නළු - නිළියන් අද බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ අයගේ කාලය ගත වෙන්නේ දහසකුත් එකක් වැඩත් සමඟයි. මේ කාරණය අත්දකින්නට ලැබෙන්නේ නාට්‍යයට ගියාට පසුවයි. මේ සඳහා මා උදාහරණ කිහිපයක්ම කියන්නම්. එක්තරා ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයකදි එක්තරා නළුවෙකුට එක්වරම තමන් කිවයුතු දෙබස් අමතක වුණා. දහස්වාරයක් පමණ දර්ශන වේදිකා ගත වී ඇති ඒ නාට්‍යයේ ඔහුත් ඒ තරමටම රඟපෑව බව මට සහතිකයි. එහෙම ප්‍රවීණ නළුවකුටත් දෙබස් අමතක වුණා නම් අනෙක් අයට කුමන කතා ද? දැන් ඉන්නේ නළු - නිළියන්ට වඩා මැෂින් බවට පත් වූ අයයි.

මේ නිර්මාණයට පස්සෙත් නැවතත් වේදිකා නාට්‍යයක් වේදිකා ගත කිරීමට සූදානම් නේද ?

ඒ නාට්‍යය වේදිකා ගත වෙන්නේ මේ මාසය අවසානයේ. කොත්මලේ ජී. පී. සෙනෙවිරත්නගේ පිටපතෙන් වේදිකාවට නැගෙන මේ නාට්‍යය නම්කර ඇත්තේ ‘අන්තඞපුරය හොරු කඩයි’ යන නමින්. ඒ පිළිබඳ පසුව විස්තර පැවසීමට ඉඩ තබමින් මේ නාට්‍යය නරඹන්නට පැමිණෙන්නැයි සියල්ලන්ටම මා ආරාධනා කරනවා.