සාගර ජලය මදි හැඬුවා නුඹ සන්දා

පෙබරවාරි 28, 2019

මත්තෙගොඩ නිවාස සංකීර්ණය ඔස්සේ අපේ වාහනය ඇදෙන්නේ මල් පෝච්චි තැබූ නිවෙස සොයමිනි. අතුරු පාරවල් බොහෝමයක් පසුකර අපි ගමනාන්තයට එමු. ඇය දොරකඩ සිට අප පිළිගන්නීය. “පාර හොයාගන්න අමාරු වුණාද?” අපි සිනාවකින් එයට පිළිතුරු දෙමු. කෑම මේසයට නුදුරින් වීදුරු ෂෝකේසයක් බඳු උස රාක්කයේ පොත් රැසකි. ඒ දෙස බලමින්ම පුටුවක හිඳ ගනිමි. සංසාරාරණ්‍යය අසබඩ, සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා, සාගර ජලය මදි හැඬුවා නුඹ සන්දා, ක්ෂීර සාගරය කැලඹිණ වැනි පොත් රැසක් එහි තැන්පත් කර තිබේ. මම විමසමි. “සයිමන් නවගත්තේගම මහත්තයාගේ පොත් ටික ඔක්කොම මෙතන තියෙනවාද?”

මල්ලිකා නවගත්තේගම මහත්මිය පිළිතුරු දෙයි.

“පුතා පොත් දෙකතුනක් ආයෙ කියවන්න කියලා ගත්තා මයෙ හිතේ...“

පඩිපෙළ දිගේ කවුරුන් හෝ එන බව දැනේ. ඒ මිනිබිරියයි. ඒ පිටුපස ඇගේ මව, නවගත්තේගම ලේළිය පැමිණේ. ඔවුන් පන්ති යන්නට සූදානමිනි. අපි ඔවුන්ට සමු දී කතාවට අවතීර්ණ වෙමු.

“අද මේ වෙද්දි නවගත්තේගම මහත්තයා ගැන මොකද හිතෙන්නේ“ ඒ මගේ පැනයයි.

“ඉතාමත් හොඳ කෙනෙක් කියලා තමයි හිතෙන්නේ. හිටියනම් ඉතින් තව කොච්චර වැඩ කරනවාද? හ්ම්හ්...“ ඇය සුසුමකින් ඉතිරිය පළ කරයි. මොහොතක් සිටි මම නැවත අසමි. “මොකක්ද කැමතිම නිර්මාණය“

“එයා ඉස්සරෝම ලිව්වේ ‘ඔහුගේ කතාව‘නේ. ඒකට නම් මම එදා ඉඳන්ම ළැදියි. මම කසාද බඳීන්න ඉස්සල්ලත් කියෙව්වා. එයා ඒ ලියපුවා එකතු කරලා තමයි ඔහුගේ කතාව හැදුවෙ, පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේදි. එයා ඇත්ත පත්තරේට එහෙම ලිව්වනේ. අපි අවුරුදු පහක් විතර කසාද බඳීන්න කලින් යාළුවෙලා හිටියනේ. එතකොට ඉතින් ඔය කියන ලියන ඒවා දෙනව අපට කියවන්න. අවුරුදු හතළිහක් විතර ගියාට පස්සේ තමයි ඉස්කොලෙන් අයින් වුණේ.“

“මොන ඉස්කෝලෙන්ද?“ මට ටිකක් පැටලුම් සහගත කතාවකි ඇය කරන්නේ.

“ඉස්කෝල ගොඩක හිටියා ඔක්කොම කියන්නද?“

“එහෙනම් මෙහෙම කරමු. මුල ඉඳන්ම කතාව කියමු“ මගේ යෝජනාවයි. ඇය සිනා ගස්සන්නට පහසු ඇත්තියකි. කිසිදු විහිළුවක් නැති මගේ ඒ කතාවටද ඇයට සිනා එයි. පසුව ඇය කියයි.

“ඔන්න මුලින්ම ඇහැටුවැව, එතනින් පේරාදෙණිය විශ්වවිද්‍යාලෙට ගියා. එතකොට නැවතුණෙත් අපේ අම්මගේ මල්ලිගේ ගෙදර. නුවර බූවැලිකඩ. ඉගෙනීම ඉවර කරලා හැටන් හයිලන්ඩ් මහ විද්‍යාලය, එතනින් කුරුණෑගල දිගම්පිටිය මහ විද්‍යාලය, එතනින් මහත්තයා ඉගෙන ගත්ත මහව විජයබා විද්‍යාලයට. එතනින් නාට්‍ය අරවා මේවා ලියන හින්දා කොළඹට එන්න ඕනා කිව්වාම අපට දුන්නේ ගම්පහ මණ්ඩාවෙල ඉස්කෝලෙ. එතනින් කැලණි මහ විද්‍යාලයට ඇවිත් අස්වුණා.“

“එතකොට මුලින්ම මුණගැහුණේ?“ මම කුහුලෙනි.

“හමුවීම.. (යළිත් ඇයට සිනාඑයි) ඒක නම් ලොකූ..හාහා හී ම්ම්.. මම කුරුණෑගල කඩියාගම. එච්එස්සී කළේ කටුගස්තොට ශ්‍රී රාහුලේ. අපේ ගමෙන් ගම් දෙකකට විතර ඈත මඟුල් ගෙයක් තිබුණා. තාත්තා සිකුරාදාට ඉස්කෝලෙන් මාව එක්කන් යනවානේ, එදත් මඟුල් ගෙදරටත් එක්ක මාව එක්කන් ගියා. ඒගොල්ලන්ගේ අම්මත් ඇවිත් හිටියා ඒ උත්සවේට. අපි අඳුනන්නේ නම් නෑ. ඒ අම්මට ආස හිතුණා මං ගැන. මගේ ළඟට වෙලා ඇහුවා මොනවද කරන්නේ එහෙම කියලා. අම්ම ගිහින් පුතාට කියලා, එයා ඒ මඟුල් ගෙදර තිබුණ දිහාට ගිහින් අහගෙන අපේ ගෙදර ආවා. එතකොට මමත් වාහනේ ආවා ගෙදර. එදා තමයි මුලින්ම හම්බුණේ. ඒ 1959. එයාලා කැමති වුණා. අපේ තාත්තලා නම් බෑ කිව්වා හැබැයි.“

“ඒ මොකද?“

“ඒ ගොල්ලො ගොඩාක් දුර කියලා. නෑදෑයෝ වුණත් කැමති වුණේ නෑ. ඒත් අපි කැමතියිනේ. ඉතින් අපි හැටපහේ පෙබරවාරි අට කසාද බැන්දා. ඇහැටුවැව උගන්නන කාලේ එච්එස්සී කරලා එයාට ඉංග්‍රීසි පත්වීම දුන්නේ. මම ඉතින් විභාගෙ ලීවෙත් නෑ. එයත් කීවා ඕනෙ නෑ රස්සාවක් කරන්න කියලා. ඉතින් මට ශිෂ්‍යගුරු හම්බෙලාවත් යන්න දුන්නේ නෑනෙ. අනේ මන්දන්නේ නෑ අපේ මහත්තයා කැමති නෑ. මගේ යාළුවො ගියා. අපේ පුතාලා තාමත් බණිනවා මට. ඒ වුණත් ඉතින් ඒකෙන් කියලා පාඩුවක් නෑ. ඒකත් හොඳක් කියලා තමයි මම හිතන්නේ ඉතින් මොනවා කරන්නද?“ ඇය එයටද සිනාසෙයි. පසුව තරුණ සයිමන් මහතාගේ රාමු කළ සේයාරුවක් ගෙනවිත් පෙන්වයි.

“ෂහ් ඒ කාලේ හරිම ලස්සනයිනේ“ මට කියැවෙයි.

“ඕ..ව්” ඇයගේ ප්‍රතිචාරට සිනාව එක්වෙයි.

“ලස්සන හින්දද කැමති වුණේ?“ මම රහසින් මෙන් අසමි.

“අනේ මන්දන්නෙ නැහැ කරුමෙ තමයි නේද. එයාටත් ඉතින් විශ්වවිද්‍යාලෙද ඉස්කෝලවලද කොහෙත් ඇවිදින කෙනාට නැද්ද කට්ටිය මටම කැමති වුණේ. ඒක ලබලා දෙන හැටි තමයි නේද? යාළු කාලෙත් අපේ දිහා එනවා නවතිනවා ලියන කියන වැඩ කරනවා. මාත් එක්ක අපේ පවුලෙ ළමයි අටදෙනයි, ගෑනු හතරයි පිරිමි හතරයි. එයා තනි ළමයා. ඉතින් අපේ අම්මා කියන්නේ මට දැන් ළමයි නවදෙනෙක් ඉන්නවා කියලනෙ. එයාලාගේ අම්මා තාත්තාත් මට පුදුම විදිහට ආදරේ වුණේ. බඳීන්න කලින් වුණත් ඉස්කෝලේ ප්‍රශ්න පත්තර ගෙනාවත් අපිටත් බලන්න දීලයි ලකුණු දාන්නේ. ලකුණු අඩු අය දැක්කම කියනවා ආ මේ ළමයා නම් කතරගමට බාරවෙලා තියෙනවා. ඔන්න මට ලකුණු දෙන්න හිතෙනවා කියලා. හරි විහිළුයි. අපිත් ඉස්කෝලෙ යන අයනෙ.“

ඒ අතර ඇය සයිමන් මහතාගේ මැදිවියේ පින්තූරය මේසය මත හරවා තබයි. මම පුදුමයෙන් විමසමි.

“ඇයි ඒ. ඒකනේ අපට පුරුදු රූපය?“

“ඒකේ සිගරට් බොනවානෙ. මම කැමති නැහැ. කලින් සිගරට් බීවෙ නැහැ. සුබ සහ යස සීය පිරුණු දවසෙ තමයි මම දැක්කේ යාළුවො බොනව කියල බීවා. ඊට පස්සේ නැවැත්තුවෙම නැහැ. ඒත් කවදාවත් මට විරුද්ධව මුකුත් කීවෙ නෑ. හිතමුකෝ අපි ගමනක් යන්න ඇහුවා කියලා. කවදාවත් බෑ කියන්නේ නෑ. එයා අතේ සල්ලි නැත්නම් අපි තව දවසකින් දෙකකින් යමුද අහනවා. ඉතින් ඒ මොකද ඇහුවම කියනවා ඉතින් සල්ලිත් ඕනානේ කියලා. ඒකනම් මට හොඳට මතකේ තියෙන දෙයක්. දුකයි කියනකොටත්. එච්චරට හොඳයි. ළමයින්ටත් හොඳයි. මට හොඳම හොඳයි. දුකයි මතක් වෙද්දිත්.“ ඇගේ හඬ සලිත වී යයි. නාසය බර වී ඇත. උපැස් යුවල නිසා දෑස්වල වෙනස සඟවා ගතහැකි වුවද ඒ මොහොතකට පමණි. ඇය එය සාධාරණීකරණය කරන්නට කියයි.

“මම ටීවී වැඩසටහනකට ගිහිනුත් මේ වගේ කතාකරගන්න බැරුව ගියා.“ යළි සිනාවකින් එය මඟහරවයි. මම ඇයට ඒ සඳහා සිනාවකින්ම උදව් කරමි.

“ඉතින් බබාලා එහෙම?“

“මගේ ලොකු පුතා හම්බුණේ බැඳලා අවුරුද්දෙන් 66දි. එයා හම්බෙන්න ආවාම සතුටුයි. ඔව්... ඒ අම්මලා එහෙ ගෙවල් දොරවල් වහලා අපේ ගෙදර නැවතිලා හිටියා. එයාත් දරුවන්ට හරිම ආදරෙයි. වාහනේ යද්දි අපේ පොඩිම එකා වාහනේ පිටිපස්ස බලාගෙන යනවා. අපෙ මහත්තයා කණ්ණාඩියෙන් බලලා අහනවා මොකක්ද පුතා බැලුවේ. පුතා කියනවා නෑ තාත්තෙ කියලා. අපෙ මහත්තයා ඩ්‍රැයිවර්ට කියනවා හරවගෙන යන්න කියලා. පුතා වැඩියෙන්ම බලන්නේ වයර් වගේ ඒවා. මොකක්ද ඒ කඩවලට කියන්නේ?“

“ඉලෙක්ට්‍රිකල් බඩු තියෙන කඩද?“ මගෙන් උදව්වකි.

“අන්න ඒවාට තමයි එයා කැමති. ඉතින් තාත්තා අරන්දෙනවා. දුවලාට වුණත් එහෙමයි. සාප්පුවක් දිහා බැලුවොත් ඒ ඕන එක හම්බෙනවා. ඉතින් මේගොල්ලො තාත්තා එක්ක යද්දි පුරුදු වෙලා ආසා දේවල් තියෙන තැන්වලදි බලනවා. වන්දනා ගමන් අනුරාධපුර, කතරගම එහෙම එක්කන් යනවා. ඔක්කෝම කරලා දෙනවා එයාගේ වැඩ තියෙද්දි වුණත්.“

“නවගත්තේගම මහත්තයා වඩා කැමති කොහොම දේවලටද?“

“නිශ්ශබ්දව ඉන්න. මම වුණත් ළමයෙක් ගැන කියන්න හරි ගියත් ලිය ලිය ඉද්දි නම් ඇහෙන්නේම නෑ. ඉතින් මම කරන්නේ ඔළුව ටිකක් හොල්ලලා මේසේ වදින ගානට පාත් කරනවා. හී...හ්හිහ් (ඇය ඔළුව තල්ලු කරන හැටි පෙන්වයි) සමහර වෙලාවට මෙසේ වදිනවත් ඇති ඉතින්... ඔන්න එතකොට තමයි ඇයි කියලා අහන්නේ. දැන් මේ ලොකු පුතාටත් ඒ පුරුද්දම තියෙනවානේ. කතාකරාට-කරාට ඇහෙන්නේ නෑ. ඕක තමයි මට තිබුණු එකම කරදරේ. මං ඉතින් ඔළුව ටිකක් ඇණපුවාම ඇයි කියලා අහලා ඒවාගෙම ඉෂ්ට කරලත් දෙනවා. මට මුකුත් කියන්නේත් නෑ. අනේ ඔව් හරි හොඳයි අප්පේ...“

“කවදාවත්ම කේන්ති යන්නේ නැද්ද?“

“නැත්තෙමත් නෑ ඉතින් මම එකම වචනේ හතරපස් සැරේ වගේ කියනකොට මිසක් නැත්තම් එහෙම නෑ, ඉතින් මමත් එයාට විරුද්ධව යන්නෑනේ. ඒකනේ ඉතින් මේ පවුල කන්න පුළුවන් වුණේ නේද. ඒක ඉතින් අර යශෝධරා කියනවා වගේ තමයි. එයාට විරුද්ධව මම යන්නෙත් නෑ, මට විරුද්ධව එයා ගියත් කියනවා මට ඔක්කොම විස්තර මෙහෙමයි කියලා. අපිත් ඉතින් ඔය නාට්‍යවල එහෙම ළමයිත් අරගෙන යනවා. හරි විනෝදයි. ඔන්න එක දවසක් අනුරාධපුරේ යද්දි අපේ නාට්‍යයේ ඇමති කෙනෙකුට හිටිය නළුවෙක් හොඳ කමට පාරෙ යන මනුස්සයෙක් බස් එකට දාගෙන. දැන් අපෙ මහත්තයාට ඇහැරුණා. එයා හොඳට බලනවා කට්ටිය ගැන. ඒ අතර අඳුනන්නෙ නැති කෙනෙක් ඉන්නවා ඉස්සරහම. මේ කවුද කියලා ඇහුවම අරයා කීවා. මේ අනුරාධපුරේ මහ කැලෑවේ මහ රෑ අනේ ඒ මනුස්සයයි නළුවයි දෙන්නවම එතනම බස්සලා ගියානෙ. මම කොච්චර කීවත් ඇහුවේ නෑ, අනේ අපි ඔක්කොම වැඩ කටයුතු ඉවර වෙද්දි මේ මනුස්සයා ආවානේ. පස්සේ හීන්සීරුවේ කියලා තමයි කණ්ඩාමට ආයෙ ගත්තෙ. ඔන්න කේන්ති ගිය වෙලාවක්. අපි ඉතින් හැමදාමත් යන්නේ නෑනෙ. එයා ගියාම නම් සල්ලි මිටියයි, ළමයින්ට චොකලට් එහෙම ගේනවාමයි. දවසක් වැල්ලවත්ත කඩේකින් එහෙම අරගෙන සල්ලි මිටියයි චොකලට් මිටියයි දෙකම තියලා මෙයා ඇවිත්. මෙයා ඉල්ලන්න ගියෙත් නෑ. ඒත් උදේ වෙන වැඩකට යද්දි කතාකරලම ඒ ටික දීලා. හොඳ මිනිස්සු. ඕවා කියනවා ඉතින් අපිට ඇවිත්. මුලින් නම් අරක්කු කටේවත් තිබ්බේ නෑ. ඒත් පස්සේ පස්සෙ අරක්කු නෑවා. ඒත් නරකක් නෑ. බීලා වැඩි වුණාම අඳුනන්නේ නැති ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ආවොත් නම් අපි සොයිසා ෆ්ලැට් එකේ ඉද්දි පහළ තට්ටුවේ ගෙදරට දොරටයි තට්ටු කරන්නේ. ඉතින් ඒ ගෙදර අය කියනවා අංකල් ඉහළ ගෙදර කියලා මේ ඊයෙ පෙරේදාත් කවුද ඕක මතක් කරලා හිනාවුණා. ආ සොරි කියලා එනවා ඉතින්. අනේ මන්දා හීහ්.“

“අමතක වෙනවද ඒ කියන්නේ“

“නෑ නෑ අපේ මහත්තයාට අමතක වෙන්නේ නෑ. අර බීලා එනකොට තට්ටුව මාරු වුණා මිසක්. දවසක් අපේ මහත්තයා සල්ලි වගයක් දාලා ආගමේ බයිබලේ. ඒක රාක්කේ තුන්වැනි පොත. හොඳටම සීනි වැඩිවෙලා ලෙඩ වුණ වෙලාවක එයා කීවනේ ඒකෙ තියෙනවා සල්ලි ගන්න කියලා. හොඳ මතකයක් තියෙනවා එයාට. එයා එක්ක කවුරුවත් තරහාත් නෑ. සල්ලි ඉල්ලුවම සල්ලි දෙනවා. කෑම ඉල්ලුවම කෑම දෙනවා. ඔය ඉල්ලන්න එන අයට මුකුත් කියන්නේ නෑ. ආ.. එක ගෑනු කෙනෙකුට නම් තරවටු කරල හරවලා ඇරියා ළමයෙක් වඩාගෙන ආවා කියලා. මට හොඳට මතකයි. ළමයින්ටත් හුරුකරනවා ඉල්ලන් කන්න කියලා. එච්චරයි.“

“ලියන ඒවාට හොඳ නරක එහෙම කියනවද?“

“අපේ ලොකුපුතා තමයි ඉතින් ඒවා කියන්නේ. මෙතන තාත්තේ හරි නෑ නේද කීවොත් පුතාගෙන්ම අහනවා කොහොමද වෙන්න ඕනා කියලා. හදනවා ඉතින්. ආයෙ ළමයින්මත් කියනවා තාත්තේ අපිටත් පොතක් ලියන්නකො කියලා. ඒ නිසා තමයි පොඩි අයගේ පොත අර්ජුන කුමාරයා ලීවේ. ගොඩක් ගමේ ඒවා ලියන නිසා අපට ඒවා තේරෙනවා. සමහර ඒවායේ යටි අදහස් තියෙනවා. ඔය දඩයක්කාරයාගේ කතා එහෙම.“

“ඔය තොප්පිය කොහෙන් ආ එකක්ද?“

“ඇත්තම කතාව එයාට පීනස තියෙනවා. මාව බඳීන්න එද්දිත් වට රවුම් තියෙන සුදු තොප්පියක් දාගෙනයි ආවේ. ඒක මඟ හැරුණෙම නෑ නිදියද්දිත් දාගෙන හිටියා. ඒ නිසා අපි මරණෙ දවසෙත් තොප්පිය ඒ විදිහටම තිබ්බා. මම රෙදිවලිනුත් එක එක පාට තොප්පි මහලා දුන්නා. ඒවා ආසාවෙන් අඳීනවා. මම හොඳට මහන්න දන්නවානේ. අපි ඒවා දැනටත් අරන් තියලා තියෙනවා. පුතාලටත් මම මහලා දෙනවා. මුල් කාලේ නම් අපෙ මහත්තයා කොට කලිසම් එහෙම තමයි ඇන්දේ. ඒත් අගට වෙනකොට සරම තමයි අඳීන්න ආසා වුණේ. මඟුල්ගෙවල්වල වුණත් ගියේ එහෙම. මම ඉතින් සරම අන්දවලා රෙදි පටියක් ගැටගහලා දෙනවා.“

“සරම අන්දවලා?“

“ඔව්. එයාට ඇඳගන්න දන්නේ නෑ. නාකි වෙලාවත් දැනගෙන හිටියේ නෑ. අපි තමයි අන්දන්නේ. ඉස්පිරිතාලේ එහෙම වැටිලා ඉද්දිත් එහෙමයි. ආ.. අපි නිවාඩුවක් ආව ගමන්ම ඒ ගොල්ලන්ගේ ගමේ යනවා. එදාට ඉතින් ඔක්කෝම ජාති අරගෙන ගිහින් ලොකුවට මඟුල් ගේ වගේ උයන්නේ. ඉතින් පාරේ යන මෙයාගේ යාළුවෝ ඔක්කොටම අඬගහලා අහක්වෙලා මල්ලිකා අද උයලා තියෙන්නේ රසයි කන්න කියනවා. ආ දවසක් මුවමස් උයලා තිබුණේ. එක මනුස්සයෙක් කන ගමන් ඇහුවා කොහෙන්ද ගත්තේ කියලා. අපි කීවා අඳුනන කෙනෙක්ගෙන් කියලා. ඒ මනුස්සයා රහ කර කර කන ගමන් කිව්වේ නැතෑ බලුමසුත් විකුණනවා කියලා. මට උඩින් ගිය යෑම නතර කරගන්න බැරුව ඉස්පිරිතාලේ දවස් දෙකක් විතර ඉඳලා කතාව ඉවර වුණේ. ඔන්න වෙන දේවල්.

අපේ මහත්තයා හරි ආසයි පොළොස් කන්න. අළුකෙසෙල් ගෙඩි කන්නේ නෑ ලෙලි මැල්ලුම කනවා ආසාවෙන්. මොනවා උයලා දුන්නත් ඉතින් රසයි කියනවනේ. අනේ නැති වෙන්නත් මටමනෙ අඬගැහු‍වේ.“ ඇය මොහොතක් නිහඬය. මේස රෙද්ද අතගාමින් සිටියි. “ලොකුපුතාගේ දුවගේ බර්ත්ඩේ එකට මම මේකෙම අනෙක් මේස රෙද්ද දෙන්න හිටියේ. හැම තැනටම කෝල් කරලා මාව හොයලා. මම ඇවිත් ඇහුවා ඇයි කියලා. නෑ නිකං කීවා. එයා එහෙමනෙ කතා කරන්නේ. මම ඒත් කීවා ඔයාට අමාරුයි වගේනේ යං බේත් ගන්න කියලා. පුතත් ගෙදර වාහනත් තුනක්ම තියෙනවානේ කියලා. බෑම කීවා. පැයකට විතර පස්සේ මෙයා කියනවා. මල්ලිකා දැන් මගේ මනෝකාය මැරිලා කියලා. මම ඉතින් ඇහුවා දැන් මොකද කරන්නේ කියලා. එයා ආසයි සුදු කිරි බොන්න ඒවා හදලා දුන්නා. කකුල්දෙක රිදෙනවා කිව්වා. කකුල් උස්සලා එහෙට මෙහෙට කළා. බේත් ජාතියක් ගෑවා. එතකොට දනවා කීවා. ආයෙ හේදුවා. පුතාගේ ඩිස්පැන්සරිය එතනමයි. එයා පෙත්තක් ගෙනත් දුන්නා ඒකත් හොඳට බිව්වා. එතකොට මිනිබිරි ආවා ඇඳ ළඟට. එයාට යන්න කියන්න කීවා. මම දැක්කා ඇස් කැරකෙනවා. නංගිට කතාකරලා මම කීවා අය්යාටනම් මොකක්ද වෙනවා එන්නෙත් නෑ දොස්තරගාවට යන්න කියලා. නංගි ඇවිත් මෙහෙම ඔළුව ඉස්සුවා. එතකොටම ඔළුව පහළට වැටුණා. එච්චරයි අනේ. මට ඊට පස්සේ මුකුත් මතක නෑ. නාවල පාර බ්ලොක් වෙලා තිබුණලු මම දන්නේ නෑ. බෙල්ලන්විල හාමුදුරුවන් විතරයි මතක. මොකද හාමුදුරුවෝ ළඟට ඇවිත් කීවනේ විස්තර. සතියක් පන්සලට වෙලා දහම් පොත් කියෙව්වාලු. ඔච්චර බොන මනුස්සයා වෙලත් පන්සලෙන් අඩියක් පිටට ඒ සතියෙම තිබ්බෙ නැති එකම මනුස්සයාලු. මේ වගේ හොඳ මනුස්සයෙක් හම්බුණේ නෑ කීවා. තව හාමුදුරු නමක් ඇවිත් යන්නේම නැතිව හිටියා. මට ඒවා තමයි මතක. අනේ ඒ හොඳයි කියන අය ඉක්මනට මැරෙන එකනේ වැඩේ.“ ඇගේ හඬ යළිත් සිහින්ව යයි. කල්පනා සාගරයකය. මම බාධා නොකරමි.

“මට දැන් ගොඩක් දේවල් අමතක වෙනවා. ජනවාරියට 77ක්. වයසයිනේ“

“77 වයසක්ද“ මම සිනාසෙමි.

“වයස නැද්ද? එයාගේ උපන්දිනේ 1940 සැප්තැම්බර් 15. මට වඩා අවුරුදු තුනක් වැඩිමල්. එයාගේ හිත හයියයි. අවුරුදු 12ක් බීම කටේවත් නොතියා හිටියා. යාළුවො එකතු වුණාම තමයි ඒ ඔක්කොම. මම ඉතින් මුකුත් කියන්නේ නෑ. ඒත් එයාට ඕනානම් එහෙම පුළුවන්.“

“නළුකම?“

“නළුකමත්කළා, බලුකමත් කළා අනේ මම විහිළුවට කීවේ. මම ඒවාට හරි ආසයි. ඒත් අර සයිමන් සමඟ සයිමන්ට නම් මම කැමති නෑ. එයා ඉතින් කියනවා එහෙනම් නොබලා ඉන්න කියලා. සාගර ජලය ඔයා කියවලා තියෙනවාද මම හරී ආසයි ඒකට. එංගලන්තෙදි කියෙව්වේ. ආයෙත් මම ගිහින් එන්න ඉන්නේ. අපට ඉතින් අඩුපාඩුවක් කළේ නෑනෙ. මහත්තයාගේ දේපළ හොඳට තියෙනවානේ.“ ඇගේ දෑස් යළි දිලිසෙයි. හඬ වේව්ලයි.

“මේ දවස්වල කුඹුරු ඔක්කොම පැහිලා. මොනවා කළත් කොච්චර අපිළිවෙළයි කියලා පෙනුණත් එයා කවදාවත් නැති නාස්ති කළේ නෑ, හැමෝම හිතුවට සෙල්ලක්කාරයා කියලා. ඒත් දේපළ ඉතුරු කරලා තිබුණා. එයා කවදාවත් නෑ බෑ නොකියන ඒක තමයි මට පුදුම. හදිසි වුණාම මල්ලිකා කොහෙන් හරි හොයන්නකො කියනවා මිසක්. මමත් මහලා හොයනවානේ. මුනුපුරන් බලලා අද ඇවිත් ආයෙ හෙටත් කියනවා උදේට දැන් ළමයි හිනාවෙනවා ඇති යමු බලන්න කියලා. හැමදාම එහෙමයි. මට ජීවිතේ අඩුපාඩුවක් නෑ. ළමයි, මුනුපුරෝ ඉන්නවා. එයාලා බලනවා. මළගමටවත් සත පහක් අපට වියදම් කරන්න තිබ්බෙ නෑනේ. එයා ඔක්කොම වෙන් කරලා ගොඩගේ මහත්තයා ගාව ඉතුරු කරලා තිබුණා. එයා වෙනුවෙන් මම පින්කම් කරනවා. දිවාගුහාවේ ආලෝක පූජාවට දායක වෙනවා. පොත් ටික ගහනවා. බාගෙට ලියපු පොත් දෙකකුත් ගැහුවා. එයා හරි පිළිවෙළයි. මට කීවේ ඒ එක ෆයිල් එකක් පොතකට ගහලා අවුරුද්දක් කන්න පුළුවන් කියලා. මට හීනෙන් පේනවා එයා. මට උණ ගැනිලා ඉද්දි අම්මා බේතක් දුන්නාම පඩිපෙළේ ඉඳන් එයා අතට ගැහුවා ඒක බොන්න එපා කියලා. මොනවා හරි වෙද්දි පේනවා. ආගම ධර්මේ හැටියට එහෙම හිතන්න හොඳ නෑ කියන නිසා මම හිතන එක නවත්තන්න උත්සාහ කරනවා.“

“එයා නැතිවෙන්න සතියකට විතර කලින් නුගේගොඩ පුතාලෑ ගෙදරදි සැටියේ වාඩිවෙලා ඇහුවා ගොඩක් වැරදි වැඩ කළා මම ඒවාට සමාව දෙනවා නේද කියලා. මට ඒ කිසිදෙයක් වැරදි කියලා හිතිලා නෑ. මගේ මෝඩකමටද ඥානවන්ත කමකටද කියලාවත් මම දන්නේ නෑ. ඒත් එයා... මට කියන්නත් දුකයි අනේ... සැටියෙන් රූටලා ඇවිත් මට දණගාලා වැන්දා අනේ... මට සන්සාරේ කවදා හරි ආයේ හම්බවෙනවානම් කියලාත් හිතෙනවා. මුලින්ම දැක්ක දවසේ ඇති වුණ ආදරේ තමයි දිගටම යන්නේ. මට එදා තේරුණෙත් නෑ අද තේරෙන්නෙත් නෑ එයා වැරැද්දක් කළාද කියලා. ඒක වෙන්න ඇති ආදරේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.