‘මේ අපේ මහත්තයා’ කියමින් හතළිස් වසරකට පසු රන් මැණිකා රවීන්ද්‍ර රන්දෙණිය හමු වෙයි

පෙබරවාරි 7, 2019

 සිනමාවේ තමා විසින් සැබෑ චරිතයක් අලළා ප්‍රතිනිර්මාණය කළ චරිතයකට අදාළ චරිතයක් අහම්බයක් ලෙස මුණ ගැසීමේ දුර්ලභ අවස්ථාවක් පසුගියදා අනුරාධපුරයේදී සිදුවිණ. ඒ සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපටයට පාදක වුණ සැබෑ රන්මැණිකා තිරයේ සිරිපාල ලෙස රඟපෑ රවින්ද්‍ර රන්දෙණියට මුණ ගැසීමයි.

දෙද්දුව හේවගේ සිරිපාල යන නමට වඩා මරු සිරා යනුවෙන් රටම හඳුනාගත් ඔහුගේ ප්‍රිය බිරිය වූයේ රන් මැණිකාය. 1977 දී එල්ලා මරණයට පත් කළ ඔහු සදහටම සමු ගත්තේ අදට ද ගැටලුවක් ඉතිරි කරමිනි. ඔවුන් දෙදෙනාගේ ජීවිත කතාව ඇසුරෙන් අමරනාත් ජයතිලක අමරණීය සිනමාපටයක් නිර්මාණය කරන ලදී. මේ සඳහා පාදක වූයේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේ විසින් ගවේෂණය කළ කතා ප්‍රවෘත්තියකි. පසුව ගමගේ මහතා විසින් චිත්‍රපටයේ තිර රචනය ලියන ලදී. සිරිපාල හා රන් මැණිකා සිනමාපටය රූපගත කළ පළමු දින සැබෑ රන් මැණිකා දර්ශන තලයට ආවේ රන් මැණිකා ලෙස සිනමාපටයේ රඟපෑ නිළි රැජණ මාලිනී ෆොන්සේකාගේ ඉල්ලීම පිටයි. එහිදී සිරිපාලට පණ පෙවූ රවීන්ද්‍ර රන්දෙණියට ද ඇයව හමුවන්නට අවස්ථාව උදාවිණි. ඉන් පසුව දශක ගණනාවක් ගෙවී ගිය තැන රවීට නැවතත් රන් මැණිකාව හමු වුණේ ඉතාම අහඹු අවස්ථාවකයි. ඉකුත් දිනයකද රවීන්ද්‍ර රන්දෙණිය අනුරාධපුරයේ ගියේ වෙනත් වුවමනාවකටයි.

රවීන්ද්‍ර රන්දෙණිය යුවළ නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණි කාන්තාවක්,

'මේ අපේ මහත්තයානේ' කියා ඔහුගේ දෑත අල්ලාගෙන ඉකි බිඳින්නට පටන් ගත්තේ අවට සිටි සියල්ලන්ම පුදුමයට පත් කරවමිනි. ඒ රන්මැණිකාය.

වසර ගණනාවකට පෙර එල්ලා මරා දමන ලද සිරිපාල සිය බිරිඳට බෙහෙවින් ආදරය කළ සැමියෙක් විය. චිත්‍රපටය පුරා රවීන්ද්‍ර සිරිපාල ලෙස ද, මාලිනී රන් මැණිකා ලෙස ද කළ රඟපෑම සත්‍යජිත් රේ වැනි සිනමාකරුවන්ගේ පවා ඇගයීමට ලක් විය.

රන්මැණිකා ආපසු ගියේ සිරිපාල පිළිබඳ බොහෝ දෙනා නොදන්නා කරුණු රාශියක් ද රවීන්ද්‍ර සහ ප්‍රීති යුවළ හමුවේ ගෙනහැර පාමිණි. හැත්තෑ හතරවැනි වියේ පසුවන රන් මැණිකා අනුරාධපුරයට නුදුරුව ජීවත් වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.