සුනිල් සාන්ත 103 වන උවසර

නොවැම්බර් 20, 2018

ගරුදෙව් සුනිල් සාන්තයන්ගේ 103 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන සමරු වැඩසටහන් පේරාදෙණිය සහ කොළඹ දී පැවැත්වීමට ලංකා සාන්ත ප්‍රමුඛ සුනිල් සාන්ත සමාජය කටයුතු කරයි. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය සංවිධානය කරන MY DREAMS සුනිල් සාන්ත ගී මිහිර සංගීත ප්‍රසංගය නොවැම්බර් 27 වන දා සවස 6ට එම විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ‍ෙය් ඊ. ඕ. ඊ. පෙරෙයිරා රඟහලේදී පැවැත්වීමට නියමිතය. ටී. එම්. ජරත්න, නාලිනී රණසිංහ, කීර්ති පැස්කුවල්, නදීක ගුරුගේ, ඉන්දිකා උපමාලි, නෙලූ අධිකාරි සහ රොඩ්නි වර්ණකුල යන ගායන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි. විශ්වවිද්‍යාලයීය මානව මානවිකාවන් අත්වැල් ගායනයෙන් එක්වන මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්ද විසින් සිදු කෙරේ.

වසන්ත කුලතුංග විසින් පිටපත රචනා කර ඇති අතර ප්‍රසංග කළමනාකරණය පුෂ්කර වන්නිආරච්චි විසිනි.

එසේම සුනිල් සාන්ත සමාජය විසින් වාර්ෂිකව මෙහෙයවනු ලබන ගුරුදෙවි සුනිල් සාන්ත සමරු දෙසුම ‘සිංහල සංගීතයක් පිළිබඳ සංකල්ප රාමු සහ සුනිල් සාන්ත’ යන මැයෙන් 2018 දෙසැම්බර් 04 වන දා පස්වරු 2.30 ට කොළඹ 07, විද්‍යා මාවතේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සලස්වා ඇත. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් විසින් මෙම දේශනය පවත්වනු ලබන අතර පැමිණෙන අයට එහි මුද්‍රිත පිටපතක්ද ලබාදීමට කටයුතු කෙරේ.

දේශනය සඳහා ප්‍රාසාංගික දායකත්වය නදීක ගුරුගේ සමඟ ඉන්දිකා උපමාලි විසින් ලබාදෙනු ඇත. එම අවස්ථාවට සහභාගී වන ලෙස සියලු සංගීත රසවතුන්ට සහ විද්‍යාර්ථීන්ට සුනිල් සාන්ත සමාජය ගෞරවයෙන් ආරාධනා කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.