රඟපෑම ආගමක් කර ගත් වින්ස්ටන් සේරසිංහ

නොවැම්බර් 15, 2018

යටගිය දවස එක්තරා දවසක තරුණ බන්ධනාගාර නිලධාරියෙක් මහනුවර ප්‍රකට නීතිඥයකු සමඟ ප්‍රසිද්ධ සමාජ ශාලාවක විස්කි බොමින් නාට්‍ය කලාව ගැන කතා කරමින් සිටියේය. මේ නීතිඥයා 'මර්චන්ට් ඔෆ් වෙනිස්' (විලියම් ශේක්ස්පියර්ගේ 'වෙනිසියේ වෙළෙන්දා' (ඉංග්‍රීසි නාට්‍යය) නාට්‍යයේ ආදිපාදවරයාගේ චරිතය සඳහා බන්ධනාගාර නිලධාරියාව කැමති කරවා ගැනීමට අර අඳිමින් හය වන විස්කි වීදුරුවත් හිස් කළේය.

'ආදිපාදවරයාගේ චරිතය මම රඟපාන්නම්' බන්ධනාගර නිලධාරියා ගාම්භීර හඬකින් කීවේය.

'සත්තකින්ම ඔබව ඒ චරිතයට අපූරුවට ගැළපෙනවා' නීතිඥයා සතුටින් කීවේය.

'මම රඟපාන්නම්කො රැජිනගෙයි, මුළු රජ පවුලේමයි චරිත ඔක්කොම' බන්ධනාගාර නිලධාරියා බඹර පදමින් විහිළුවට කීවේය.

හත්වන විස්කි වීදුරුව හිස් කළ බන්ධනාගාර නිලධාරියා උන් හසුනින් නැඟී සිට මෙසේ කීවේය.

'මම කියන්නද? මේ නාට්‍යයේ දෙවියෙකුගේ චරිතයක් නැද්ද? ඒකත් මම අගේට කරලා පෙන්වන්නම්කෝ' බන්ධනාගාර නිලධාරියා පුරසාරම් දෙඩුවේය.

කෙසේ වුවත් බන්ධනාගාර නිලධාරියා දේව චරිතය කෙසේ වෙතත් ෂයිලොක් ලෙස මේ නාට්‍යයේ රඟපෑවේය'.

එදා තම මිතුරු නීතිඥයාගේ බල කිරීම නිසා මහනුවර බෝගම්බර බන්ධනාගාර නිලධාරියා හාපුරා කියා වේදිකා නාට්‍යයක රඟපෑමට වරම් ලබා ගත්තේය. ඒ වින්ස්ටන් සේරසිංහය.

වින්සන්ට් සේරසිංහ පසු කලෙක අති දක්ෂ වේදිකා නළුවකු මෙන්ම චිත්‍රපට නළුවකු ලෙස ද ප්‍රකටව සිටිය ද කිසිදු ප්‍රචාරයකින් තොරව හුදෙකලාවේ නිසංකාන්සුවේ ජීවිතය ගත කිරීමට ප්‍රිය කළේය.

මට වින්ස්ටන් සේරසිංහ හමු වුයේ මීට වසර 32 කට ඉහත කොළඹ යූනියන් පෙදෙසේ ඇසෝසියේටඩ් මෝටර් වේස් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසත්, යුආසා බැටරිස් (ලංකා) සමාගමේ පරිපාලන අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කරමින් සිටි කාර්යාලයේදීය.

මට සේරසිංහයන් හඳුන්වා දුන්නේ මා මිතුරු ප්‍රවීණ රංගවේදී ඩබ්ලිව්. ජයසිරි විසිනි. ජයසිරිගේ මැදිහත්වීම නොවන්නට මේ අවස්ථාව මට අහිමි වන්නේ සේරසිංහ නම් මහා රංගවේදියා තම ආදරණීය පුත්‍රයකු වූ රවි වසර කිහිපයකට පෙර හදිසි අනතුරකින් මිය යාමෙන් වූ කම්පනයෙන් සිටි පරිසරය තුළ හුදකලාවේ සිටි නිසාය.

'මා ගැන මොනව ලියන්නද?' විශ්මාර්ථයක් මුවට නඟා ගනිමින් මට කීවේය.

වායු සමනය කල ඔහුගේ කුටියේ බිත්ති පුරා ඇත්තේ කලාත්මක ඡායාරූප රැසකි. සුප්‍රකට ප්‍රවීණ කැමරා ශිල්පී නිහාල් ප්‍රනාන්දු විසින් ගන්නා ලද ඒ අගනා ඡායාරූප ජීවමාන ලෙස වැජඹී සිටී. සේරසිංහයන්ගේ දකුණු පස බිත්තියේ සර් සිරිල් ද සොයිසාගේ ඡායාරූපයකින් සැරසී තිබුණි. ඔහු උසස්ම නිලයක් හොබවන සමාගමේ ආදි කර්තෘවරයාය.

ජොහනස් වින්ස්ටන් සේරසිංහ 1909 දෙසැම්බර් 09 වෙනිදා දකුණු පළාතේ වැලිගමදී උපත ලැබීය. ඔහු ඉගෙනීම ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. පාසල් කාලයේ රසමුසු කතා අප සමඟ ඔහු කීවේ සිනාසෙමිනි.

'මගේ පියා ව්‍යාපාරික කටයුතුවල යෙදුණු කෙනෙක්. ඔහුත් කලාවට ළැදියි. මම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ කලාවට යොමු වුණේ නැහැ. ක්‍රීඩාව පැත්තටයි හිත ගියේ. පාසලේ රගර් කණ්ඩායමට ක්‍රීඩා කළා. ඒ අතරම බොක්සිං ක්‍රීඩාවටත් දස්කම් පෑවා. ඒ කාලයේ රාජකීය විද්‍යාලයේ 'ජුලියස් සීසර්' කියලා නාට්‍යයක් නිෂ්පාදනය කළා. මේ නාට්‍ය අපට වඩා වැඩිහිටි ශිෂ්‍යයන් වූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාත්, එතුමාගේ සොහොයුරු කෝබට් ජයවර්ධන මහතාත්, හිටපු අග්‍ර විනිශ්චයකාර ටී. ඇස්. ප්‍රනාන්දු මහතාත් රඟපෑවා. පුංචි පන්තිවල සිටි මම නගර වැසියකු ලෙසයි රඟපෑවේ. මේ නාට්‍යයේ රඟපාන කොට මට හිනා යන දර්ශනයක් තිබුණා. මම මහ හයියෙන් හිනා වුණා. එතකොට රාජකීය විද්‍යාලයේ විදුහල්පතිව සිටි එල්. එච්. ඩබ්ලිව්. සැම්සන් මහතා ඒක දැකලා මට කිව්වා 'එළියට යනවා. ආපහු මේ පැත්තට එන්න එපා කියලා'.

කුඩා කාලයේ අනාගතය ගැන කිසිදු ස්ථිර අදහසක් ඔහුට නොතිබුණ බව මට පැවසුවේ 'මොනවද ඉතිං හොඳට කාලා බීලා ඉන්න තමයි කල්පනාව තිබුණේ' යනුවෙනි. රාජකීය විද්‍යාලයෙන් නීති විද්‍යාලයට ගිය ඔහු අනතුරුව බන්ධනාගාර නිලධාරියකු ලෙස මුලින්ම රැකියාවට ගියේය. ඒ අතර CR & FC රගර් කණ්ඩායමටත් CEYLON RUGGER AND FOOT BALL CLUB එකට ද ක්‍රීඩා කළේය.

ඉහතින් සඳහන් කළ මිත්‍ර නීතිඥයා වූ අල්විස් මුණවීර දවසක් වින්සන්ට්ගෙන් 'අපි නාට්‍යයක් කරමුදැයි' ඇසුවේය.

'හා කරමු' යයි වින්සන්ට් කීවේය.

ඒ අනුව වින්සන්ට් සේරසිංහ 'මර්චන්ට් ඔෆ් වෙනිස්' වේදිකා නාට්‍යයේ ෂයිලොක් ලෙස රඟපෑවේය. මේ නාට්‍යයේ ඔහුගේ රඟපෑම අගය කොට විචාරයක් පළ කොට තිබුණි. මේ විචාරය කිය වූ ප්‍රකට ඉංග්‍රීසි වේදිකා නළුවකු වූ මනෝ බ්‍රෙකන්රිජ් ගේ පියා වූ ආර්. ආර්. බ්‍රෙකන්රිජ් තමා විසින් නිෂ්පාදනය කරන නාට්‍යයක රඟපෑමට වින්ස්ටන්ට ආරාධනා කළේය.

1953 වසරේ වින්ස්ටන් හා අයිරාංගණී මීදෙනිය සමඟ විවාහ විය. තම විවාහය ගැන රසමුසු තොරතුරු 2013 දී ප්‍රකාශයට පත් IRANGANI AS TOLD TO KUMAR DE SILVA කෘතියේ උදයසිරි වික්‍රමරත්න විසින් සිංහලට පරිවර්තනය කළ 'අයිරාංගනී' කෘතියේ මෙසේ සඳහන් වෙයි. මෙය විස්තර කරන්නේ අයිරාංගනීය.

'ලංකාවට පැමිණීමත් සමඟ මගේ විවාහය අවසන් වුණා. ඒත් අපි දිගටම මිත්‍රයන් වශයෙන් ආශ්‍රය කළා. මගේ දෙවන විවාහය සිදුවුණේ වින්සන්ට් සේරසිංහ සමඟ. 'සේරා' නිතරම සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් ජිවත් වුණ කෙනෙක්. ඔහු රාජකීය විද්‍යාලයේ ක්‍රීඩකයෙක්. විවාහ ජීවිතයක් ගැන ඔහු හිතන්න ගත්තේ ටිකක් ප්‍රමාද වෙලා. ඇත්තටම මම ඔහු සමඟ විවාහ වෙන කොට අප අතර අවුරුදු 17 ක වයස් පරතරයක් තිබුණා. එයත් වේදිකා රංගන ශිල්පියෙක්. ඒ තමයි නළුවෙක් බවට පත් වුණ රගර් ක්‍රීඩකයෙකු ගැන මට අහන්න ලැබුන පළමුවෙනි අවස්ථාව. මේ දෙක අතර සම්බන්ධයක් පවතින්නේ කොහොමද කියලා මට කොහෙත්ම හිතා ගන්න හැකි වුණේ නෑ. ඇත්තටම මගේ පළමු සැමියා හමුවන්නට බොහෝ කලකට පෙර මට ඔහුව හමුවෙලා තිබුණා. ඔහු ගැන දැනගෙන සිටියා. එයාට ඒ කාලේ ට්‍රයම්ප් වර්ගයේ මෝටර් බයිසිකලයක් තිබුණා. එයා හරිම වේගයෙන් ඒක ධාවනය කළා. මමත් ඔහු සමඟ වරක් දෙකක් ඒ මෝටර් බයිසිකලයේ ගිහින් තිබුණා. ඔහු සමඟ හුළං දෙබෑ කරගෙන බයිසිකලේ යන්න මටත් ආසාවක් ඇති වුණා. ඒත් ඊට බොහෝ කාලයකට පසුව තමයි අපි දෙන්නා හමු වුණේ. එයා හරිම නිවිච්ච කෙනෙක්. කලාතුරකින් තමයි තරහා යන්නේ. එයා ගාව කියන්න ගොඩාක් කතන්දර තිබුණා. විශේෂයෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ එයා සේවය කළ කාලය හා සම්බන්ධ කතන්දර.

'සේරා' අයිරාංගණීට කියූ එක් කතාවකි. මිනීමැරුම් නඩුවකින් වැරදිකරු වුණත් තමන් මිනීමැරුමක් සිදු නොකළ බව දිගටම කියා සිටි සිරකරුවෙකු පිළිබඳව කියූ කතාව. මේ සිරකරුවා එරමිණිය ගොතාගෙන බිම වාඩිවෙලා ඉඳගෙන එල්ලුම් ගහ වෙත යෑම ප්‍රතික්ෂේප කළ කෙනෙක්ලු. 'අයිරාංගනී' ගැන ලියූ පොතෙන් ඇය මේ සිද්ධිය විස්තර කර ඇත්තේ මෙසේය.

එල්ලුම් ගස් යවන්න ඉස්සර වෙලා ඒ මනුස්සයාගේ බර මිනින්න ඕනෑ. ඒත් මේ විදිහට සිටින නිසා සිරකරුවාගේ බර මනින්න ගෙන යන්න ක්‍රමයක් නෑ. ඒ නිසා අන්තිමට ඔහු ඒ විදිහටම සිටිද්දී උස්සාගෙන රැගෙන ගිහින් බර මැනලා තියෙනවා. ඒත් ඒ මනුස්සයා එහෙමම ඉඳලා තියෙනවා. අන්තිමට ඒ මනුස්සයාව එල්ලන්න සිද්ධ වෙලා තියෙන්නෙත් එරමිණියා ගොතාගෙන සිටිය හැටියටමයි. ඒක බලා ඉන්න බැරි තරම් දුක්මුසු හා බියකරු දර්ශනයක්. සේරාට ඒක දරා ගන්න අමාරු වුණා. ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියාවෙන් ඉවත් වුණා. පසු කලෙක ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගත්තා.'

තම සැමියා හොඳට කන බොන මිනිහෙක් යැයි පවසා ඇති අයිරාංගනී ඔහු නත්තල් සමය එනතුරු ආසාවෙන් බලා සිටි බවත්, ක්ලබ් යන්න ආසා බවත් පවසා තිබුණා. ඔහුගේ ක්ලබ් ජීවිතයට වඩා එළිමහනේ ජීවිතයට කැමැති අයිරාංගනී වැඩිය ආසා කළේ කුඹුක්කන් ඔය දිගේ පහළට යන්නලු. මේ වගේ ගමන්වලට 'සේරා' වැඩි කැමැත්තක් නොතිබුණත් ඇය කෙසේ හෝ ඔහු මේ ගමන්වලට එකතු කර ගත් බව සිය කෘතියෙන් හෙළි කරන්නීය.

වින්ස්ටන් හා අයිරාංගණීගේ මිත්‍රකම මෝරා ආදරයකට පෙරළුණේ 1953 ගෝර්කිගේ THE LOWER DEPTHS නාට්‍යයේ රඟපෑමෙනි. ජුබාල් නිෂ්පාදනය කළ මේ නාට්‍යයේ ලුකා වූයේ වින්ස්ටන්ය. 1955 දෙසැම්බරයේ මේ දෙදෙනා කොල්ලුපිටියේ මෙතෝදිස්ත පල්ලියේදී විවාහ වූහ. මහනුවර බන්ධනාගාරයේ සිට වින්ස්ටන් කොළඹ පැමිණ විශ්වවිද්‍යාලවල නාට්‍යවල රඟපෑවේය. රාජු කුමාරස්වාමි, ආතර් වැන්ලැන්බර්ග්, අර්නස්ට් මැකින්ටයර් ආදින්ගේ නාට්‍ය ඒ අතර විය. ඒ අතර ERNE ST MACINTYRE ගේTHE CAUCASIN CHALK CIRCLE හි අසඩක් වූ ඔහු ශෙක්ස්පියර් ගේ OTHELLO නාට්‍යයේ MOOR වූ අතර අයිරාංගණී DESDEMONA වූවාය.  CLAUDETT TAYLOR  ගේ ANTIGONE නාට්‍යයේCREON ගේ චරිතය ද ROBERT NEWTON ගේ නිෂ්පාදනයක් වූ TWELTH NIGHT, CHRISTOPHER HERFT නිෂ්පාදනය EQUUS නාට්‍යයේ ද, BAGDHAD OF THE ARABIAN NIGHTS  නාට්‍යයේ HASSAN WAITING FOR GODOT නාට්‍යයේ GOGO ගේ භූමිකාව රඟපෑවේය. ඊ. සී. බී. විජේසිංහ, ජීන් පින්තු, පර්සි කොලින්තොමේ නිෂ්පාදනය කළ THE TWELTH NIGHT නාට්‍යයේ ද ප්‍රධාන චරිතය ද ඔහු රඟපෑවේය.

වින්ස්ටන් සේරසිංහ සිංහල සිනමාවට එක් වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'රේඛාව' (1956) චිත්‍රපටයේ කුමතේරිස්ගේ චරිතය රඟපෑමෙනි. එහි එන ආබාධිත දරුවාගේ පියා හැටියටය. තම රෝගී දරුවා සුවකොට ඇවිදීමට හැකි බව කියා දරුවා බලෙන් ඇවිද්දා මිය ගිය පසු ගමේ කපටියන් වූ පොඩි මහත්තයා (ඇන්. ආර්. ඩයස්) හා සූටියා (ඩී. ආර්. නානායක්කාර) අල්ලා ගන්නා කුමතේරිස් තරහෙන් මෙසේ කියයි.

'උඹ හොර අරක්කු පෙරන්නයි, ගංජා විකුණන්නයි, සූදු කෙළවන්නයි . . . දුප්පත් මිනිසුන්ගේ ගිනි පොලී ගන්නයි, ඇත්තටම ලෙඩ්ඩු සනීප කරවන්නයි කියලා මගේ ළමයාවත් මරලා දැම්ම නේද? තොපි පෙති ගහන්නයි වටින්නෙ'

ඉංග්‍රිසි වේදිකා නාට්‍යවල රඟපෑ වින්සන්ට් සේරසිංහ දීර්ඝ සිංහල සංවාද කටපාඩම් කරගෙන රඟපෑම ඉතා විශිෂ්ටය. ඉන් පසු ඔහු 'දෙලොවක් අතර' (1966) චිත්‍රපටයේ ජීවරාණිගේ පියා ලෙස ද රඟපෑවේය. 'වෙසතුරු සිරිත' (1966), ඔබ දුටු දා (1966) THE THREE YELLOW CATS  (1967), පූජිතයෝ (1971), කළු දිය දහර (1975), ළමයෙක් (විත්ති කතා) (1976), REINCARNATION සීතා දේවි (1978), තුන්වැනි යාමය (1983), යුගාන්තය (1985), අයෝමා (1995), අමාන්තය (1996) ඔහු රඟපෑ සෙසු චිත්‍රපටය.

ඔහු සිංහල වේදිකා නාට්‍යයක මුලින්ම රඟපෑවේ ධම්ම ජාගොඩගේ 'පෝරිසාදයා' නාට්‍යයෙහිය. ධර්මසිරි බණ්ඩාරනායකගේ 'මකරාක්ෂයා' නාට්‍යයේ ඔහු රඟපෑ 'මකරා'ගේ චරිතය ඔහුගේ විශිෂ්ට රඟපෑම් අතර ප්‍රමුඛ තැනක් ගනී. බර්ට්‍රම් නිහාල්ගේ 'රුපියල් සත' ටෙලි නාට්‍යයේ බිරිඳගේ අභාවයෙන් තැවෙන සැමියකු ලෙස ප්‍රතිභාන්විත චරිත නිරූපණයක ඔහු යෙදුණේය. මෙහි විශේෂ මිනී පෙට්ටියක තම බිරිඳ ලෙස පෙනී සිටියේ තම බිරිඳ වූ අයිරාංගනී වීමය.

'නාට්‍ය කලාව මම සලකකන්නේ ආගමක් හැටියට. ඒ තරම්ම මම කැපවීමකින්, ආදරයකින් නාට්‍ය කලාවට මා සලකනවා. නාට්‍ය ගැන ලියැවුණු පොතපත කියවනවා. දැනුත් මගේ එකම විමෝදාංශය කියවීම. දැන් වැඩ ඇරල ගෙදර ගියාම මම කොහේවත් යන්න හිතෙන්නේ නෑ. කියවනවා. අයිරාංගනී එක්ක කතා කර ඉන්නමයි හිත' ඔහු මට කියා ඇත.

සිංහල නාට්‍යයක තමා රඟපෑවේ ලොකු බියකින් කියා ඔහු කිවේය. ඉංග්‍රිසි නාට්‍ය නම් කඩින්කඩ රඟපෑවේ වාර 20 ක් විතර කොළඹ, නුවර, යාපනය වගේ ප්‍රදේශවල බව කී ඔහු සිංහල නාට්‍යවල නම් ඉවරයක් නැති බව පැවසුවේය. මේ වන විට (1986) 'මකරාක්ෂයා' අසූ වාරයක් රඟපෑ බවත්, එය ලොකු අත්දැකිමක් බවත් කී ඔහු තමා රඟපෑ තමා හිතන සාර්ථකම චරිත ලෙස 'ඩෙත් ඔෆ් අ සේල්ස්මන්' නාට්‍යයේ සේල්ස්මන්ගේ චරිතයත් 'කෝකේසියන් චෝක් සර්කල්' නාට්‍යයේ අසඩක්ගේ චරිතයත් බව පැවසුවේය.

'මම නාට්‍ය රඟපාන කොට කවුරුවත් තිරය අස්සේ පිටපත මතක කර දෙනවට කැමති නැහැ. මම මතකයෙන් රඟපාන්නේ. මොකද එහෙම පිටපත කියවන විට මගේ රඟපෑම් හැඟීම් පාලනය කිරීමට අපහසුයි. මට විවිධ චරිතවලට අවතීරණයවීමට පුළුවන් වුණේ පොතපත කියවීමෙන්.' වින්ස්ටන් සේරසිංහයන් මට කීවේය.

1990 දෙසැම්බර් 12 වෙනිදා වසර 81 ක් ආයු වළඳා වින්ස්ටන් සේරසිංහ දෙව් මව් තුරුලට ගියේය.

ඒ. ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.