මතකයි අම්මේ

නොවැම්බර් 1, 2018

සැප්තැම්බර් 13 දින බ්‍රහස්පතින්දා ස්වාධීන රූපවාහිනි සේවයේ නොමියන සිහිනය වැඩ සටහන හරහා විකාශනය කරන ලද්දේ බයිලා චක්‍රවර්ති වොලී බැස්ටියන් මහතා පිළිබඳ මතකය ආවර්ජනය කිරීමකි. පොලීසියේ සේවය කළ ද මුදල් අතින් පොහොසත් නොවූවද, ගීත ලියමින් තනු නිර්මාණය සහ සංගීතය යෙදීමෙන් එතුමාගේ කලා ක්ෂේත්‍රය ඉතා පොහොසත් විය. තම පියාට ලියූ අප රක්ෂා කළ පියා ගීතය ද තම මවට ලියූ මතකයි අම්මේ ඔබ දරු නැළවිල්ල ගීතය නූතන පරපුරට ඉතා ගැළපෙන ගීත 2 කි. මෙම විශිෂ්ට ගීත 2 ද අනිකුත් ගීත ද එදා අපට ශ්‍රවණය කිරීමට හැකි විය.

දිනේෂ් ගුණසේකර

මාතර

 

මැව්වාද කවුරු පේ‍්‍රමේ

සුවහසක් රසික හදවත් එදා ගීයෙන් නැල වූ ඔබට රසිකයන් පෙම් බැන්දේ ඔබේ රසාලිප්ත ලයාන්විත හඬටයි.

මැව්වාද කවුරු ප්‍රේමේ, ආනන්ද මේ රෑ, සාගරේ සිහිලැල්, හුලං කුරුල්ලෝ, මගෙ නාමලී, ලොවේ සැමදා, මැවිනා හද සන්තානේ, හඳපානේ මල් පිපුණා වැනි ඉතා ජනප්‍රිය ගීත ගොන්නෙන් කීපයයකි. ඔිබේ ලයාන්විත හඬට සමාන ඉන්දියානු ගායක තලාද් මෙහෙමුද් වැනි ගායකයකුට සමාන කළේ මා නොව මේ රටේ කලාකාමී විද්වතුන්ය. ඒ තරමට ඔබේ හඬත් ඉන්දියානු ගායකයාගේ හඬත් ඉතාම සමාන බැවින්ය. ඔබ ගායනා කළ ගීත සියල්ල අපේ හදවත්වල සදා ලැගුම් ගෙන ඇත. අපේ අසහාය ගායක ජෝතිපාලයන්ගේ ද කැමතිම ගායකයාණන් ඔබ බව අප අසා ඇත්තෙමු. ඔබ වැනි ශ්‍රේෂ්ඨ ගායකයන් අප අතරින් නික්ම ගියේ අපේ අවාසනාවට යැයි විටෙක මට සිතේ. අප ඔබ වැනි කලාකරුවන් ගැන කොපමණ අගයා කථා කළත් මේ රටේ මාධ්‍යවලින් කපුටු ගීත ප්‍රචාරය කරන මුත් ඔබ වැනි කෝකිලයන්ගේ ගීත ප්‍රචාරය වන්නේ අල්ප වශයෙනි. වරද කොතැනද? අපි නොදනිමු. ඔබට නිවන් සුව.

එස්. පී. සොලමන්ස්

තලාතුඔය

 

සුජාතාට

වසන්තාට

පුරා දශක ගණනාවක සිට චිත්‍රපට පසුබිම් ගායනයෙන් ගායනයට පිවිසි සුජාතා අත්තනායක ගායන ශිල්පිනිය අපට උරුම කළ ගීත වර්තමානයේ වුව ද අපගේ හදවත් තුළ සදා නොමැකිව පවතී. සැමදා ගීත අඹරේ සුපිරි රියල් ස්ටාර් ඔබයි. ඔබතුමියට උතුම් ජය ශ්‍රී මහා බෝධියේ පිහිට ආරක්ෂාව පතමි. බෞද්ධ ගීත රැසක හිමිකාරිත්වය තුළින් ගීතයෙන් අප හදවත් තුළ ජීවමනාව බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කර දුන් ගායිකාව වසන්තා සන්දනායක සදා ජීවමානයි. මාධ්‍ය තුළින් මීට වඩා යමක් මේ දෙදෙනා තුළින් ඇගැයීමකට ලක් කරන්නේ නම් කාලෝචිතයි.

ශ්‍රාවස්තිපුර

විනීතා සමරවීර

 

 

සී. ටී. ප්‍රනාන්දු

අනුස්මරණ ගීතය

රන් ස්වරයෙන් කළ ගායනා

ලක් වැසි දන මනරස කළතා

සමුගෙන ගියමුත් අදත් ඇසේ

මිහිරැති ගී රාවේ ඔබේ

ගීත කෝකිලයාණෙනි

 

කලු මහවැලි ගංගා ගලනා

මී අඹ වනයේ - අඹ රුක් සෙවනැල්ලේ

බිළිඳා නැළ වූ හැටි උකුළේ

සීගිරි සුකුමාලි - යළි සිහිවේ සිහිවේ

 

රන් ස්වරයෙන් කළ ගායනා

 

පියුමක පැණි බොති වන බඹරු

ලෝ අඩ නින්දේ - මී වදයකි ජීවිතේ

පුන්සඳ හිනැහෙන්නේ අහසේ

සිහින ලොවේ මාලී - යළි සිහිවේ සිහිිවේ

 

රන් ස්වරයෙන් කළ ගායනා

 

සඳවට රන්තරු කැකුළු පිපේ

රෑ පැල් රැකලා - මල්බර හිමිදිරි උදේ

බේරෙන පැණි බිඳු මල්වානේ

හද දිනු සුකුමාලී - යළි සිහිවේ සිහිවේ

 

රන් ස්වරයෙන් කළ ගායනා

මිල්ටන් මලවි ආරච්චි

ගම්පහ

 

සම්මානයෙන් පුද ලද සිරි කහවලට

අගනුවර තරුණ කවි සමාජයේ අසූ තුන් වෙනි සංවත්සරය වෙනුවෙන් කවියට හා කලාවට අනුපමය සේවයක් කරන ලද කලාකරුවන්ට සම්මාන ප්‍රදානය කිරීම පිළිබඳව එම සමාජයට තුති කුසුම් පළමුව පුදමි. ඒ අතරින් සම්මානයෙන් පිදුම් ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි කහවල මහතාට මගේ ප්‍රණාමය.

කැලණියේ

දයාරත්න ගනේගොඩ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.