ශාන්ත්‍ර පාන්ත්‍ර උයි මාතලන්

නොවැම්බර් 1, 2018

"මංගම්මා සබතම්" දමිළ චිත්‍රපටයේ එන ජනකථා පුවත දකුණු ඉන්දියාවේ, පන්ජාපර් නම් ග්‍රාමයේ සිදුවු සත්‍ය පුවතක් යැයි කියනු ලැබේ.

රටේ රජතුමාගේ පුත්‍රයා 'චිත්‍රරම්භ', සෙල්ලක්කාර රජකුමරෙකි. ඔහු තම පියාගේ රජ කිරුළ ,තම විනෝදාස්වාදය සඳහා යොදාගනී. ස්ත්‍රිය, සුරාව, සංගීතය යන ත්‍රිත්වය තම ජිවිතය කර ගත් ඔහු රටේ සිටින සියලුම රූමත් තරුණියන් තමා සමඟ නිදි වැදිය යුතු බව සිතන පුද්ගලයෙකි. එය අනිවාර්ය කරනුයේ එකී රජකුමරුගේ අමත්‍යවරයා වූ බුද්ධිය. රටේ සැවම ඔහුව හැදින්වූයේ දුෂ්ට බුද්ධි කියාය ඒ ඔහු රජකුමරාට නොපහත් කම් කිරීමට අනුබල දීමත්, ඔවුනට අවනත නොවූ අයට, දැඩි දඬුවම් පමුණවන නිසාත්ය.

රජ බොජුන් ආහාරයට ගන්නා රජකුමාරයාගෙ තෙල පීදෙන විට හැදෙන " ජබර කලන්තෙට" මුළු රටේම ගැනුත් මදිය. එලෙසම රජ කුමරා රජ බොජුන් වළදන විට , එහී කටු කන දුෂ්ඨ බුද්ධිලටත් තෙල පීදෙගන ආවත්, තම ස්වාමියාව සැනසීම තමාගේ මූලීක යුතුකම යැයි නිතරම දුෂ්ට බුද්ධි සිතුවේය.

'සිරිනි සරු වීලා, නීල ගොයම් පැහේ

දර්ශනේ ,රම්‍ය ලංකාරවේ

සුරලියෝ, සමලියෝ,

පූර්ණ සඳසේ උවනා

වරල දිලිසේ වළාකුල සේ

දෙතොල නා දළු පරදනා"

දිනක් දුෂ්ට බුද්ධි තම අසුපිටින් මාර්ග සංචාරයේ නිරත වන විට, එම මාර්ගයේම ගොවියෙකු හා ඔහුගේ දියණිය 'චිත්‍රාවල්ලී', පයින් ගමන් කරන විට ,තමා එන මගින් ඉවත් නොවූ බවක් කියමින් එම ගොවියාට තම කසයෙන් තැලීය.

මේ ගැන උරණ වූ චිත්‍රාවල්ලී ,තම පියාට හොරෙන් රජවාසලට ගියේ මහරජතුමාට මේ බව සැල කර, දුෂ්ඨ බුද්ධිට, දඬුවම් ලබා දීමටය.

රජ වාසලේදි,මහ රජ බැහැ දැකීමට ප්‍රථම චිත්‍රාවල්ලීව ඇස ගැසුණේ, චිත්‍රරම්භ කුමරුටය.

ඇඟේ සුන්දර ආකාර්ෂණීය රූපයට, චතුර කථාවට වශීවූ චිත්‍රරම්භ කුමරු, ඇයව තම සිරියහන් ගැබට ගෙන යන්නට තැත් කළේය. තව ටිකකින් තමාව 'රේප්' වෙන විත්තිය වැටහුණු, චිත්‍රාවල්ලී එතැනින් ෂේප් වන්නට වූයේ, තව ටික වේලාවක් සිටියහොත් සිද්ධවෙන්නේ, තම පියාට අඬම්තේට්ටම් කරන කථාව⁣ට වඩා වෙනස් දූෂණ නඩුවක් ගැන මහරජතුමාට කීමටය. තමා 'ඉල්ලන් කන්නේ' මොකටදැයි සිතූ චිත්‍රාවල්ලි, පියාගේ කම්⁣පලේන් එක කෙසේ වෙතත්, තමාගේ 'පතිවත' රැකගතයුතුයි සිතා, රජවාසලෙන් මාරු විය. එසේ මාරුවුණද වෙනස් වූයේ නැත, චිත්‍රාවල්ලි සිටින තැන දුෂ්ට බුද්ධි මාර්ගයෙන් සොයා ගත් චිත්‍රරම්භ කුමරු, දිනක් ඇයව සොයා ගියේය.

චිත්‍රාවල්ලි තම යෙහෙළියන් සමඟ කමතක තල වේලමින් සිටියේ ගීතයක්ද ගයමිනි.

"රන් වන් දුල් කරලින් පැසිලා

නැමිලා බර වීලා

තල වැවිලා,රමණී සෝබා

කෙත් වතු පිරලා සරා"

චිත්‍රාවල්ලී ව සොයා යෑමේදී, ඈ ගැයූ එම ගීතය තම සවන් වැසුනා පමණක් නොව ඇය රඟන රැඟුම්ද දුටුවිට, චිත්‍රාරම්භ කුමරු 'කොර'විය.

දෙදෙනා යලි මුණගැසුනේ, එතැනදීය. කුමරු තම අදහස ඇයට කීවා පමණක් නොව, ඇඟෙන් හාදුවක්ද ඉල්ලීය. ඇය එයට කැමැත්ත පෙන්වූ පසු කුමරු ඔහුගේ මුහුණ ලංකර ඇයට හාදුවක් දෙන්නට උත්සහා කරද්දීම,ඇය තම අතේ තිබු කුල්ල ඇල්ලුවාය. කුමරුගේ හාදුව ගියේ කුල්ලටය.

කුමරුට 'මල'පැනීය. තමා වැනි රජකුමරෙකු ලැබූ එම අවනම්බුවට, චිත්‍රාවල්ලිගෙන් පළිගන්නා බව ඔහු

දිව්රා කීය. ඒ ඇයව විවාහ කරගෙන, ඇය මිය යනතෙක් කුටියක හිර කර තැබීමය.

ඇයද පොරොන්දුවක් විය. ඒ, කෙසේ හෝ කුමරුට දාවා දරුවෙක් වදා,ඔහුව උස්මහත් කර ඔහුට කියවා කුමරුට කසෙන් තලන බවය. දෙදෙනාම චැලේන්ජ් දෙක භාර ගතී.

දමිළ ජාතික නායගම් විසින් නිෂ්පාදනය කළ, දමිළ ජාතික ඒ.එස්.නාගරාජන් විසින් අධ්‍යක්ෂනය කළ, දමිළ ජාතික ආර්. මුත්තුසාමි විසින් සංගීතය සැපයූ දමිළ ජනකථාවක් සිංහල නළු නිළියන් දමිළ අන්දමට අන්දවා,සිංහල ගායක ගායිකාවන් ලව්වා සිංහල ගීත ගයවා, හියුගෝ ප්‍රනාන්දුට කියා සිංහල දෙබස් ලියා, සිංහල ප්‍රේක්ෂකයන්ට, එලිෆන්ට් හවුස් ළඟදී මාකට් කෙරු චොක්ලට් හා වැනිලා මිශ්‍රිත, "ඩබල් අයිස් ක්‍රීම්" මෙන් දමිළ, සිංහල මිශ්‍රිතවූ, 'මාතලන්" පෙන්වූයේ 1955 වසරේ අගෝස්තු මස 27 වන දිනය. කථාව ලාංකේය ප්‍රේක්ෂකයන්ට අල්ලා ගියේ, එකල තීටර් නාට්‍ය සම්ප්‍රදායන්ට ලාංකේය මිනිසුන්,ගැහැනුන් හුරුවී තිබූ නිසාය.

කොහොමත් දෙමළ රජ කථා මාර ත්‍රිල්ය. දෙබස් වලට වඩා සිංදු වැඩිය. එහෙයින් එකළ ප්‍රේක්ෂකයන්ට ෆිල්ම් වල කොලිටි ඕනේ නැත. සද්ද බද්ද,සිංදු,නැටුම්, කඩු ෆයිට් තිබුණොත් ඇතිය. "මාතලන්" පැය 3ක් පමණ ඇදුනද, ප්‍රේක්ෂකයන්ට කුතුහලයෙන් නැරඹීමට හැකි ලෙස අධ්‍යක්ෂනය කර තිබුනි.

මහරජ පියතුමන්ගේ අභාවයෙන් චිත්‍රරම්භ කුමරු රජවිය. රටට හෙන ගැහැව්වත් මොකෝ, කියා රජවූ කුමරුගේ ප්‍රථම රාජකාරිය වූයේ චිත්‍රාවල්ලීව, රජබිසව කරගෙන, 'චැලේන්ජ්' කෙරුවාක් මෙන් ඇයව, සියලු පහසුකම් ඇතිව, කනවැන්දුමියක සේ රජකුටියක සිර කර තැබීමය.

දැන් චිත්‍රාවල්ලීට කරන්නට කිසිම දෙයක් නැත. තනියම සින්දු කිය කියා සිටීමට ය සිදුවුණේ.

"ඉවසනු හදේ, විශ්වාසෙ ධෛරය වේ, ඉවසනු හදේ"

චිත්‍රාවල්ලිත් 'ගේම්' එක අත අරින්න කැමති වුයේ නැත. ගේම් නම් ගේම් කියා චිත්‍රාවල්ලී තම පියාට, මෙම රජ කුටියෙ සිට තම නිවසට යන්නට උමඟක් තනන්නට උපදෙස් දුනී. පියාද ඈත පළාතකින් පිරිසක් ගෙන්වා ගෙන රජ කුටියේ සිට පියාගේ නිවසට හොර රහසේම උමඟක් තැනීය.

මේ අතර චිත්‍රාවල්ලිගේ පියා විජ්ජා කාරයෙක් ගෙන්වා ගනියි. ඔහුට නැටුම් කන්ඩායමක් සිටියහ. චිත්‍රාවල්ලි ඔවුන්ගෙන් නැටුම් ඉගෙන ගති. ඒවා සියල්ලම කළේ හොර රහසේය.

ලලනී ලෙස අන්වර්ථ නාමයකින් ඉදිරිපත්වූ චිත්‍රාවල්ලී, රජතුමා ඉදිරියේදී රඟ දැක්වීමට අවස්ථාවක් ලබා ගන්නේ, විජ්ජාකාරයා හා ඔහුගේ නැටුම් කන්ඩායම හරහාය.

රජුව වශිකර ගැනීමට කළ ගායනය හා රංගනය සාර්ථක විය. රජතුමා

මේ ලාලනී නම් නාට්‍යාංගනියට පෙම් බඳීන්නට විය.

එහී ප්‍රථිපලය ලෙස,රජතුමා ඇය හා ශාරිරීකව බද්ධ විය. චිත්‍රාවල්ලීට ද කරගැන්මට අවශ්‍ය වී තිබුණේ එයයි.

මාතලන් බිහිවන්නේ ඒ ඇසුරෙන් පසුවය. චිත්‍රාවල්ලි කාමරයක හිර වී සිටියද තම පුත්‍රයාව තරුණයෙක් වන තෙක් උස් මහත් කරන්නට විය.

ඒවා සිද්ධ වෙන්නේ කොහොමද කියා දන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඒ.එස්.නාගරාජන්ම පමණි. චිත්‍රාවල්ලී තම පුතු තරුණ වියට එළඹු පසු රජතුමා හා බැඳුනු සම්පූර්ණ කථාව ඔහුට කියා,කවදා හෝ කසයෙන් රජුට තලා, තමා රජට දුන්නු 'චැලේන්ජ්' එක ඉෂ්ඨ කර දෙන මෙන් ඉල්ලා සිටියාය. ඔහු එය අනිවාරයෙන්ම ඉෂ්ට කරන බව පොරොන්දු වී තමාව මාතලන් යන අන්වර්ථ නාමයකින් හඳුන්වා දුන්නෙ භයානක පල් හොරෙක් ලෙසය.

නාගරාජන් කථාව ත්‍රිල් කරන්නට දුෂ්ඨ බුද්ධිට රූමත් දුවෙක් සිටින බවක්, කියවෙයි. පසුව මාතලන්ට සෙට් වෙන්නේ මේ දියණියයි. ඇය රත්නා කුමරියයි. ඇය ඉන්නේ මාර ජොලියෙන්ය . සඳලුතලයට වී ඔහේ තනියෙන් නට නටා සින්දු කියයි.

"සද කුමරි තරු පිරි වරලා

නිල් අඹරේ නැග එන්නා

අති ශෝභමාන රාත්‍රී"

එදින රාත්‍රියේ මාතලන් රත්නා කුමරියගේ මාළිගාවට පැමිණෙන්නෙ රත්තරන් බඩු සොරකම් කිරීමටය. එහෙත් රත්නා කුමරිය, අභිතව, ඔහු හා සටන් කර ඔහුව මෙල්ල කර ගනියි. සාමාන්‍යයෙන් හොරෙක් ඇල්ලුවහොත් අනිවාරයෙන්ම රාජදඬුවම් දීමට ඉදිරිපත් කෙරුවද, නාගරාජන් මෙතැනදී වෙන ජිමික් එකක් කළේය. ඒ මාතලන් ගැන රත්නා කුමරියට ආලයක් ඇති කිරීමය. මේවා තමා, අපි ඉන්දීය චිත්‍රපටවලින් අනිවාරයෙන්ම ඉගෙන ගත යුතු දේවල්ය. අනේ නාගරාජන් වැනි අධ්‍යක්ෂක වරු අදත් සිටියානම්...මේ වගේ 'ආතල්' ගන්න.

මේ අතර මහඇමති රාජපුරුෂයන් පිටත් කර හරින්නේ මාතලන්ව ඇල්ලීමටය. කරත්ත කාරයන් ලෙස මනමාලියක් බැලීම පිණිස වෙස්වලාගෙනය රාජපුරුෂයන් මෙම 'මිෂන්', එකට ගියේ.

"හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා

මංගල ⁣මේ යුවති පති සිතා තොසා වන්නටා"

මහ ඇමතිගෙ මෙම මිෂන් එක "ෆුල් සක්සස්ය". දරුණු කඩු සටන් අවසානයේ රාජපුරුෂයෝ මාතලන්ව අල්ලා ගති. මාතලන්ව මාළිගයේ හිර කෙරුවෙ, පසුදින රාජදඬුවම් පැමිණවීමේ අදිටනනි.

ආදරයට කළහැකි දේ අපමණයයි හුවා දක්වන්නටදෝ රත්නා කුමරිය විසින් උපක්‍රමයකින් මාතලන්ව බේරා යවන්නේ සියල්ලෝටම හොර රහසේය.

මේ හේතුවෙන් ඔවුන්ගේ ආදරය තව තවත් තිව්ර වේ.

"පෙම් මාලා ගොතා ගෙලේ පලදන්න ප්‍රේමේ

මා ප්‍රේම සුදා ඕ ඕ -මා ප්‍රේම සුදා

පෙම් පූජාසනේ සදා පුදනෙමි මා ප්‍රේමේ

මා ප්‍රේම සුදා ඕ ඕ- මා ප්‍රේම සුදා"

⁣මාතලන් මෙවරත් පැන ගත් පසු රජතුමාට ඇතිවුයේ පුදුම ලැජ්ජාවකි. මෙවර තමාම රාජපුරුෂයන් සමඟ ගොස් මේ හොර දෙටුවාව අල්ලා ගනිමියි කියා අසුපිටින් ගමනට පිටත් විය.

මෙ අතර ගම්මානයේ ගඟක් ලග මිනිසෙක් රෙදි සෝදමින් සිටියේය.

එවෙලේ තරමක් රෑ බෝවී තිබුනි.

"උපත ලබා මේ ලෝකේ

සැපත නැතේ වී සෝකේ

විපත යෙදේවී කර්මේ

පාපේ ලෙසේ, කර්මේ,

පාපේ ලෙසේ"

ඔය අසලින් රජතුමා හා රාජපුරුෂයෝ, යන්නට විය. මේ රාත්‍රියේ මෙසේ රෙදි සෝදන තමා කව්දැයි අසන විට, මිනිසා කීවේ තමා අසරණයෙක් කියාය. මාතලන්ව දන්නවාදැයි රජු ඇසූ විට, ඔහු 'ඔව්' කියා, මේ හෝදන්නෙත් මාතලන්ගේ ඇඳුම් යැයි කීය. මාතලන්ව අල්ලා දීමට පුළුවන් කියා රජු රවටා ගත් ඔහු රජුට ඇදුම්ආයිත්තම් ගලවා ගෝනියකට බැස සිටින්නට කියා, රාජපුරුෂයන් ව තරමක් දුරට ගොස් සැඟවී සිටින ලෙසත් කීය.

මාතලන්ව අල්ලාගැනීමේ දැඩි උවමනාවෙන් සිටි රජු ඔහුගේ බසට හිසනමා රජ ඇඳුම් ආයිත්තම් ගලවා ගෝනිය තුළට බැස්සේය. පසුව එම මිනිසා ගෝනියේ කට බැඳ, අර රාජ ඇඳුම් ඇද ගෙන, ආභරණ පැලදගෙන රාජපුරුෂයන් ට කථා කර කීවේ ⁣තමා මාතලන්ව අල්ලා ගත් බවත්, ඔහු මේ ගෝනිය ඇතුලේ සිටින බවත්, මේ ගෝනිය වහාම මාළිගාවට ගෙන යා යුතු බවත්ය. ඇත්තටම මේ රාජඇඳුම් ඇඳගෙන සිටින්නේ නියම මාතලන් බව කිසිවෙක් හඳුනා නොගත්තේ දෙදෙනාම එක සමාන වූ නිසාය.

කෙසේ හෝ අර ගෝනිය රාජපුරුෂයන් මාළිගාවට රැගෙන ගියේ ගෝනිය ඇතුලින් "මමයි රජා, මමයි රජා, ඔතන ඉන්නෙ හොරෙක්" කියා කෑ ගසද්දීමය. මාතලන් ඇල්ලුවා යයි සෙබළුන් පාර දිගේ කෑ ගසමින් යන විට මාතලන්ව දැක ගැනීමේ ආශාවෙන් මහජනතාවද වැල නොකැඩී මාළිගාවට ඇදෙන්නට විය.

මාළිගාවේදී ගෝනියේ කට ලිහීය.

එයින් එළියට ආවේ ඇඳුම් ආයිත්තම් නැති නිකම්ම නිකං මිනිසෙකි. ' මමයි මහ රජ මේ ඉන්නෙ මාතලන්' කියා කොතෙක් කෑ ගැසුවද එය කිසිවෙක් පිළිගත්තේ නැත.

අවුරුදු 20කට පසු මවගේ පොරොන්දුව සිහිපත් කර ගත් මාතලන් කසයක් ගෙන රජතුමාට තලන්නට උත්සහා ගත්තද චිත්‍රාවල්ලී මැදට පැනඑය වැළැක්වීය. ඇඟේ පැමිණීමෙන් මහ රජතුමා තුෂ්නින්භූත විය. චිත්‍රාවල්ලී සියලු දෙය රජතුමාට පැහැදිලි කර දුනි.

නාගරාජන් අපිට අන්තිමයට අතිරස පෙන්නා, සීනීබෝල කන්න දුන්නේය. දෙකම පැනි රසය. නාගරාජන් දුන් ආතල් ලොරියද ගෙන 'ශාන්ත්‍ර පාන්ත්‍ර උයි' කියමින් අප ගෙදර ගියෙමු.

කෙසේ වෙතත් "මාතලන්" චිත්‍රපටය හොද'එන්ටර්ටේන්මන්ට්' චිත්‍රපටයක් විය. විමෝදාස්වාදය ලැබිය හැකි සියලුම දෑ මෙම චිත්‍රපටයට අඩංගු වී තිබුණි. කොහොමත් කොහේ හෝ රටක ජනප්‍රවාද, ජනකථා ඇසීමට නම් අපේ මිනිස්සු මාර විදියට කැමතිය. නායගම්, හා නාගරාජන් මේ බව හොඳටම දැන ගෙනය මෙම මාතලන් චිත්‍රපටය නිර්මාණය කළේ.

චිත්‍රරම්භ කුමරු(පසුවරජ චරිතයද) හා මාතලන් යන චරිත යුගල ශේෂා පළිහක්කාර විසින් කදිමට රඟපෑ තිබුණි. චිත්‍රාවල්ලි ලෙස ක්ලැරිස් ද සිල්වා අතීශයින්ම ආකාර්ශණීය ලෙස රඟපෑවාය. ඇය එහී නිතරම කියන "ශාන්ත්‍ර පාන්ත්‍ර උයී" යන පද වැල එකල ඉතාමත් ජනප්‍රිය වී තිබුණි.

මාතලන් ලංකාව තුළ හොද 'හිට්' එකක් විය. එය හැත්තෑ දශකයේ අවසන් භාගයේ සිනමාශාලා ගණනාවක දෙවන වරටත් තිරගත කළේය. එවර එය පළවන තිර ගැනීමටත් වඩා "සුපර් හිට්" විය. එවර බොහෝ ශාලාවල දින 100 පනිමින් නව වාර්තාවක්ද තැබුවේය.

දමිළ නිර්මාණ කරුවන්ගෙ නිපැයුමක් වූවද, "මාතලන්" සිංහල චිත්‍රපටයක් විය. එහෙත් ඇඳුම් පැලදුම් දමිළය. හියුගෝ ප්‍රනාන්දු, මාක් සමරණායක,රත්නා කුමාරි, එඩී යාපා, පිටිපන සිල්වා, ඇතුළු නළු නිළි විශාල සංඛ්‍යාවක් මෙහි සෙසු චරිත රඟපැවෝය. ඉන්දියාවෙන්ද මෙයට නළු නිළියන්එකතු කර ගතී. මෙහී ගීත 12ක් අඩංගු විය. එයින් ගීත11 ක් ධර්මදාස හා ලතා වල්පොලට බෙදී ගිය අතර "සඳ රාහූ මුඛයේ හී ගිලුනා ලෙසේ" ගීතය පමණක් කේ.රාණී ගායනා කළාය. ගීත සියල්ලම ඩබ්ලියු බෙනඩික් පෙරේරා විසින් රචනා කළේය. මෙහී ගීත 12න් 11ක්ම ආර් මුත්තුසාමිගේ ස්වතන්ත්‍ර නිර්මාණයන්ය. එක් ගීතයක් පමණක් හින්දි තනුවකට අනුව ගැයිය.

මාතලන් සිංහල චිත්‍රපට නාමාවලියේ 30වන චිත්‍රපටය විය. මෙහී තවත් සුවිශේෂිත්වයක් වනුයේ, දැනට මෙය ප්‍රථම වරට තිරගත වී වසර 62කට අධික කාලයක් ගත වුනිද, මෙය අද පෙන්වුවහොත්,අදද එදා ප්‍රේක්ෂකයන් ලැබූ වින්දනය ලබා ගත හැකිවීමය.

 

(ලබන සතියේ තවත් චිත්‍රපටයක්)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.