අනියම් බිරිඳ සිනමාවලු

- ටෝනි රණසිංහ
ජුනි 20, 2019

නාට්‍ය පිටපතක් මොකටද? නාට්‍ය පිටපත තියෙන්නේ අපේ ඇඟ ඇතුළේ. අපි තමයි නාට්‍යය. ඒක රඟපාන්න ඉවසිල්ලක් නැතිව අපි ඉන්නේ. අපේ හදවත් කියනවා රඟපාන්න . . .’ සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ ‘හරිම බඩු හයක්’ නාට්‍යයේ එන මේ වචන ටික තමාව බලාගෙන ලිව්ව එකක් හැටියටයි එහි රඟපෑ ටෝනි රණසිංහට දැනී ඇත්තේ. 1969 ටෝනි මට කොළඹ අලුත්කඩේ සංචි ආරච්චිගේ වත්තේ නිවසකදී කී මේ වචන පෙළ තවමත් මතකය. ‘සරසවිය’ පත්‍රය වෙනුවෙන් මා ඔහු හමු වූ විටය ඒ.

‘වේදිකාවේ ලබන තෘප්තිය මට තවම රිදී තිරයේදී ලැබුණා ද කියා මට සැකයි. රිදී තිරයට මං දක්වන ආදරය ඉක්මවන ප්‍රේමයකුයි මට වේදිකාවට තියෙන්නේ. වේදිකාව බිරිඳ නම් චිත්‍රපටය මගේ අනිියම් බිරිඳයි.

මම අඹුවත් සමඟ දීග කන්නට වැඩි කලක් ගෙවී නැහැ. ‘අපේ කට්ටිය’ හාපුරා කියා (1962) වේදිකා ගත කළ සුගතපාල ද සිල්වාගේ ‘බෝඩිංකාරයෝ’ නාට්‍යයෙන් තමයි මම වේදිකාවේ ආලෝකධාරාවන්ට අසු වුණේ. එතෙක් මෙතෙක් අපේ කට්ටියේ නාට්‍යය වැඩි ගණනක රඟපා තිබෙනවා.

1972 – 8 – 4 ‘සරසවිය’ පත්‍රයේ පළ වූ ‘මගේ ජීවිත පොතින්’ නම් විශේෂාංගයෙන් ටෝනි මුල්වරට තම කුඩා කාලය ගැන මා සමඟ කතා කළේ ඔහු ළඟ පරෙස්සම් කොට තිිබූ කුඩා කාලයේදී ගත් වටිනා ඡායාරූප මට දෙමිනි.

හෙට්ටිආරච්චිගේ ඉග්නේෂස් ඇන්තනි සිල්වා නම් ඔහු 1937 ජූලි 31 වෙනිදා කොළඹ මෝදර වීදියේ උපත ලැබීය. සිරිල් සිල්වා පියා වූ අතර මව වූයේ ලුවියා කැතරින්ය. පියා රැකියාව කළේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියකු හැටියටය. ඇන්තනි සහෝදර සහෝදරියන් අට දෙනෙකුගේ පවුලක දෙවෙනියා විය. වැඩිමලා රැලෙක්ස්ය. ස්්ටෙලා, මාරි, ජිනා, රොම්වෙල්, ක්‍රිස්ටෝපර් හා දයා සෙසු සාමාජික සාමාජිකයන්ය.

ඇන්ටන්ට සෘජුව බලපෑවේ චිත්‍ර ශිල්පියකු, කැමරා ශිල්පියකු ලෙස පුංචි කාලයේ සිටම දස්කම් පෑ රැලෙක්ස් අයියාය. මෝදර ශාන්ත ජෝන් මිශ්‍ර පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ ඇන්තනි කුඩා කළ සිටම ආගමික කටයුතුවල කැප වී ඇත. පාසලට යාබද ශාන්ත ජෝන් දේවස්ථනයේ ‘සන් ක්‍රිස්තියන්’ (දේවස්ථානය භාරව සිටින තැනැත්තා) තම මාමා සමඟ එක් වී (පාසල නිමා වූ පසු) දේවස්ථානයේ ඉටිපන්දම් දැල්වීම, සුවඳ දුම් ඇල්ලීම, අල්තාරය පිරිසුදු කිරීම ආදී කටයුතු කළෝය. දේවස්ථානයේ සීනුව නාද කිරීම, කුඩා රතු ලෝගුවක් පැලඳ පූජාවලදී පියතුමාට සහාය වූයේ ද ඇන්තනිය.

දැඩි කතෝලික භක්තිකයන් වූ රැලෙක්ස් හා ඇන්තනි පූජකවරුන්වීමට සිතාගෙන සිටිය ද එය ඉවත දමා වඩාත් ඉගෙනීමේ කටයුතුවලට කැප වූහ. 1948 වසරේ ඇන්තනි මෝදර ඩිලාසාල් විද්‍යාලයට බැඳී ඉංග්‍රීසි අධ්‍යාපනයට ඔහු යොමු විය. අලුත් පාසලට බැඳීමෙන් පසු ඇන්තනිට ක්‍රිකට් උමතුව හට ගත් බව ඔහු කීවේ සිනාසෙමිනි. තම ප්‍රියතම ලෝක ක්‍රිකට් ක්‍රීඩකයා වූ ඩොන් ඩ්‍රැඩ්මන්ගේ ඡායාරූප එකතු කළ ඔහු බ්‍රැඩ්මන් මෙන් ක්‍රිකට් ක්‍රීඩකයකු වීමට සිහින මැව්වේය.

‘ටික කලකින් මට ක්‍රිකට් එපා වුණා. ඩොන් බ්‍රැඩ්මන්ගේ පින්තූර සහිත ඇල්බමය මම රුපියල් දෙකකට මිතුරෙකුට විකුණා දැමුවා. ඊළඟ මට ඕනෑ වුණා ලේඛකයකු වීමට. ‘ඥානාර්ථ ප්‍රදීපයේ’ ළමා පිටුවට පුංචි පුංචි රචනා ලියූ මම ‘සිළුමිණේ’ කමලා ළමා සමාජයට, සරස්වතී මණ්ඩපයට, මී අඹ වනය පිටුවලට කවි රචනා ලිව්වා. ඒවා පළ වීම මට ලොකු ධෛර්යයක් වුණා.’

ඇන්තනි මුලින්ම නැරඹූ චිත්‍රපටය ‘භූලෝග රම්බා’ නම් දෙමළ චිත්‍රපටයලු. මුල්ම සිංහල චිත්‍රපටය ‘කපටි ආරක්ෂකයා’ විය. මේ චිත්‍රපටයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න විසින් ක්‍රිස්ටි ද මැල්ට වෙඩි තබන දර්ශනය ඇත්ත සිදුවීමක් කියා ඇන්තනි සිතුවේය’. එහෙත් පසුව නැරඹූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ තමාගේ සිත් ගත් නළුවා වී ඇත්තේ එඩී ජයමාන්නය. තාත්තාගේ කෝට් එක ඇඳගෙන අඟුරුවලින් රැවුලක් තබාගෙන මනප්පු මෙන් සින්දු කියනු දුටු මාමා කෙනෙක් ඇන්තනිට අපූරු යෝජනාවක් ගෙනාවේය.

‘ඇන්තනිව මම බයොස්කෝප් බලන්න එක්ක යන්නම්. හැබැයි ගෙදර ආව ගමන් ඒවායේ කෑලි ඇට් කරලා පෙන්වන්න ඕනෑ’

‘හොඳයි මාමේ’

මාමාගේ ඉල්ලීම ඉටු කරමින් ඇන්තනි චිත්‍රපට වැඩි වැඩියෙන් බැලීමට අවස්ථාව උදා කර ගත්තේය.

ඇන්තනිට චිත්‍රපට බැලීමට ගොස් අපූරු අත්දැකීම් කිහිපයකට මුහුණදීමට සිදුව ඇත. ඒවා ඔහු විස්තර කළේ මෙසේය.

හදිසි විනිශ්චය’ චිත්‍රපටය බැලීමට මාමා මටත් රැලෙක්ස් අයියාටත් කතා කළා. එදා මම ලොකු අකරතැබ්බයකට මුහුණ දුන්නා. සෝදා දැමූ කොට කලිසම වේලී නොතිබීම නිසා මට එම අවස්ථාව අහිමි වූ නිසා මම නොකඩවා ඇඬුවා. මගේ හැඬීම නවතා ගන්නට ආච්චි අපූරු යෝජනාවක් ගෙනාවා.

‘අඬන්න එපා ඇන්තනියෝ, උඹ හෙට ලෑස්ති වෙයන් මාත් එක්ක බයෙස්කෝප් එකක් බලන්න යමුකෝ. ඉතින් නාඬා ඉඳින්’

ආච්චි අම්මායි මායි පහුවෙනිදා මරදානේ නිව් ඔලිම්පියා සිනමාහලේ 1944 තිරගත වූ  The Song of Bernadette චිත්‍රපටය බලන්න ගියා. කන්‍යා මව්තුමිය ගැන නිපද වූ මේ චිත්‍රපටයේ දේව මෑණියන් නිරූපණය වන දර්ශනය තිරයේ වැටෙත්ම ආච්චි අසුනින් නැගිට දණ ගසා යාඥා කළ අතර මම ඇය දෙස බලා සිටියා. මේ සිද්ධිය මතක් වෙන විට මට තවමත් හිනා.’

කව්බෝයි චිත්‍රපට බැලීමේ ලෝලියෙකු වූ ඇන්තනි හින්දි චිත්‍රපට බලා දිලිප් කුමාර් මෙන් හිස කෙස් සකසා ගත්තේය. ඔහුගේ ප්‍රියතම බටහිර චිත්‍රපට නළුවා හම්ප්‍රි බොගාට්ය. එකල ජනප්‍රිය වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු වූ ඩබ්ලිව්. ස්ටීවන්ද සිල්වාගේ නිවස පිහිටියේ ඇන්තනිගේ නිවස අසලය. හැම අවුරුද්දකම දෙසැම්බර් 31 වෙනිදා ඔහුගේ නිවසේ පැවැත්වෙන සාදයට එඩී, රුක්මණී, බී. ඒ. ඩබ්ලිව්. ඇතුළු පිරිසක් සහභාගි වී ඇත. එහිදී රුක්මණී හා එඩී ගයන ගීත ඇසීමට වේලාසන සිට එම නිවසේ ජනෙල් පොලු අල්ලා ගැනීමට ඇන්තනි සමත් වී තිබුණි. 1958 වසරේ ඇන්තනි ලඝු ලේඛනය හා ටයිප් කිරීමේ පුහුණුව ලබා තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සේවයට එක් විය.

ඇන්තනි, චිත්‍රපට නළුවෙකු වීමේ ඉතිහාසයට සෘජුවම අත හිත දුන්නේ ආතර් යූ. අමරසේන බව ඔහු පුන පුනා පවසා තිබුණි. මේ පිළිබඳ ආතර් යූ. අමරසේන විසින් ලියන ලද ’60 වසරක සිංහල සිනමා ප්‍රකාශන’ කෘතියේ මෙසේ සඳහන් වී ඇත.

‘රැලෙක්ස් මට මුලින්ම මුණ ගැසුණේ 1950 අග භාගයේදීය. ඔගස්ටස් විනයාගරත්නම් නමැති ලේඛක මිතුරාගේ මාර්ගයෙන් ඔහු මට හඳුනා ගැනීමට ලැබිණ. මිතුරන් වීමෙන් පසු මමත්, ඔගස්ටසුත් නිතර නිතර රැලෙක්ස් රණසිංහ හමුවීම සඳහා ඔහුගේ මට්ටක්කුලිය නිවසට ගියෙමු. රැලෙක්ස්ගේ නිවසට යන විට හුරුබුහුටි පෙනුමක් ඇති සුන්දර තරුණයෙක් නිවසේ හුණු ගෑ බිත්තියට තාර පටියක් අල්ලමින් සිටියේය. ඒ සුන්දර තරුණයා මා දෙස බලා සුන්දර සිනහවක් පෑවේය. ඔහුගේ රූපකාය හොලිවුඩ් රංගන ශිල්පියකුගේ රුවකට සමාන විය. ඔහු නළුවකු කළ යුතු යැයි සිතෙන් සිතා ගත් මම මෙම හුරුබුහුටි තරුණයා කවුදැයි රැලෙක්ස්ගෙන් විමසුවෙමි.

‘මේ මගේ මල්ලී ඇන්තනී’ රැලෙක්ස් කිවේය.

‘මිනිහ හරියට ෆිල්ම් ස්ටාර් කෙනෙක් වගේ . . . නළුවෙක් කරමුද?’

‘උඹට පුළුවන් නම් මගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ’

‘ඇන්තනි රඟපාන්න කැමති නැද්ද?’ මම ඇන්තනිගෙන් ඇසුවෙමි.

‘මං හරි ආසයි. අපිට කවුරුත් නෑනේ උදව් කරන්න. අමරෙට පුළුවන් ද මට චාන්ස් එකක් අරන් දෙන්න’

අමරසේන කියා ඇති පරිදි ඔහු ඇන්තනී රැගෙන මුලින්ම ගොස් ඇත්තේ සිරිසේන විමලවීර මාස්ටර් වෙතය. විමලවීර මාස්ටර් ‘පුංචි අම්මා’ නම් තම අලුත්ම චිත්‍රපටයට නවක නළුවකු සොයමින් සිටියේය. අමරසේන ඇන්තනී ගැන රෙකමදාරුවක් කළේය. මාස්ටර්ගේ ඉල්ලීම පරිදි රඟපැමක් ඉදිරිපත් කළ ඇන්තනිගේ රංගනයෙන් ඔහු සෑහීමට පත් විය. එහෙත් අභාග්‍යයකි. ආර්ථික ප්‍රශ්නයක් මුල් වී චිත්‍රපටයේ වැඩ කටයුතු ඇණ හිටියේය. ඇන්තනී අධෛර්ය නොවීය. ඔහු නිතර නිතර අමරසේනට ටෙලිෆෝන් කළේය. මේ අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘ගම්පෙරළිය’ සිනමාවට නඟන බව අමරසේන කර්තෘත්වය දැරූ ‘විසිතුර’ පත්‍රයේ ප්‍රවෘත්තියක් පළ වීම නිසා යළිත් ඇන්තනී අමරසේනට වද දෙන්නට විය. අමරසේන විසින් ඇන්තනී ලෙස්්ටර් පදිංචිව සිටි දෙහිවල නිවසට ගෙන යන ලදී. ටෝනි දෙස බලා සිටි ලෙස්ටර් මුලින්ම කී වදන අමරසේනට අද මෙන් මතකය.

‘HE IS JUST LIKE A CRICKETER FROM KOTAHENA’ 

ඒ වන විට ගම්පෙරළියට ප්‍රධාන නළු නිළියන් තෝරා අවසන්ය. අමරසේනගේ ඉල්ලීමට ගරු කළ ලෙස්ටර් ‘ගම්පෙරළියේ’ බලදේවගේ චරිතයට ඇන්තනිව තෝරා ගත්තේය. ඇන්තනි නම ගිලිහී ‘ටෝනි රණසිංහ’ නම් නළුවා සිනමාවට එක් වන්නේ මේ ආකාරයෙනි. ‘රණසිංහ’ කෑල්ල ඔහු අලුතින් එක් කර ගත්තේය. පසුව ‘ලෙස්ටර්ගේ නළුවා ටෝනි’ යනුවෙන් විචාරකයන් හැඳින් වූ ටෝනි සිය විශිෂ්ට රංග කුසලතා විදහා පෑවේ ‘දෙලොවක් අතර’, ‘රන්සළු’, ‘අහසින් පොළොවට’, ‘බැද්දේගම’ යන ලෙස්ටර්ගේ චිත්‍රපටවලින්. අමරසේන විසින් ටෝනි සිනමාවට හඳුන්වා දීම සිංහල සිනමාවේ ද හැරවුම් ලක්ෂයකි. ටෝනි 1972 වසරේ ‘සරසවිය’ පත්‍රය සඳහා මට මෙසේ ද පවසා සිටියේය.

‘ලෙස්ටර් හමුවීමට ආතර් සමඟ ගිය ඒ ගමන මගේ ජීවිතයේ මං සලකුණක් වේ යයි මම සිතුවේ නැහැ. එපමණක් නොව මේ ගමන මගේ වේදිකා නාට්‍ය ජිවිතයේ දී ද අලුත් පිටුවක් පෙරළුවේය. ආතර් සමඟ ගිය මේ නොනවතින ගමනේදී තවත් පුද්ගලයන් තිදෙනකු හඳුනා ගන්නට ලැබුණා. ඔවුන් නම් සුගතපාල ද සිල්වා, තිස්ස අබේසේකර හා සිරිල් බී. පෙරේරායි.

‘අපි නාට්‍යයක් කරන්න යනවා. ඇන්තනි කැමති ද චරිතයක් රඟපාන්න.’

ඔය විදිහටයි මම ‘බෝඩිංකාරයෝ’ නාට්‍යයට එකතු වුණේ. අසුව රඟපෑ ධර්මසිරි වික්‍රමරත්නගේ ‘රන්තෝඩු’ නාට්‍යයෙන් 1963 වසරේ හොඳම නළුවාට හිමි රාජ්‍ය සම්මානය ලැබුණා. මා සමඟ රඟපෑ අනුල කරුණාතිලක හොඳම නිළිය වුණා.’

දිනක් ටෝනි මිතුරෙකුගේ නිවසක පැවති සාදයකට ගිය ගමනකදී එක් රූමත් තරුණියක් හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණේය. එදින දෙදෙනාගේ දෙනෙක් කීප වතාවක් හමුවන්න ඇති. ඇය පිළිබඳ ටෝනිට සිතක් පහළ විය. ඇය ගෝතමී විද්‍යාලයේ ඉගෙනීම ලබමින් සිටියාය. ඇගේ නම සිරිමා ඉන්ද්‍රානි වික්‍රමසූරියයි. 1962 අප්‍රේල් 30 වෙනිදා ටෝනි හා සිරිමා විවාහ විය.

තට්ටු ගෙවල්, වගුරු බිම, විරූපී රූප, මුල් කාලයේ ටෝනි රඟපෑ වේදිකා නාට්‍යය විය. ගම්පෙරළියේ බලදාස ගේ චරිතය රඟපෑමෙන් පසු ඔහු ගැටවරයෝ, සැනසුම කොතනද, සැකය, සිහින හතක්, කිංකිණි පාද, පරසතු මල්, මනමාලයෝ චිත්‍රපටවල ටෝනි රඟපා ලෙස්ටර්ගේ දෙලොවක් අතර හා රන්සළු චිත්‍රපටයෙන් තම උපරිම රංගනය සිනමාවට එකතු කළේය.

ටෝනි තරම් පොත්පත් කිය වූ පොත් එකතු කළ නළුවකු මා දැක තිබුණේ නැත. ඔහු නවකථා කීපයක්ම ‘ජෝගි හමාරයි’, ‘හැමදාම ඔබ මගේ’, ‘මට කවුරුත් ආදරේ නෑ’ ලියූ අතර ‘ආදරණීය අයිරා’ නවකතාව කොටස් වශයෙන් ‘සරසවිය’ පත්‍රයට ලීවේය. ඔහු සන්ධ්‍යා කුමාරි පෙනී සිටි කුමාර කරුණාරත්න ලියූ රැලෙක්ස් පින්තූර ගත් ‘විසිතුර’ පත්‍රයේ පළ වූ ‘තහනම් ගෙඩි’ පින්තූර කතාව අප කුතුහලයෙන් පාසල් වියේ රස විඳි බව තවමත් මතකය.

ටෝනි වඩාත් ප්‍රිය කළේ චරිත කතා කියවීමටය. ඔහුගේ පුස්තකාලයේ ලෝකයේ ප්‍රකට ඉංග්‍රීසියෙන් ලියූ චරිත කතා රැසක් තිබුණි. නැපෝලියන්ගේ චරිතයට ඔහු කොතරම් ආදරේ ද යත් ඒ චරිතය ගැන ලියූ විවිධ පොත් විසි ගණනක් එකතු කර තිබුණි. ජිම් රිව්ස් ඔහුගේ ප්‍රියතම ගායකයා විය.

‘මම කවදා හරි නැපෝලියන් ගැන පොතක් ලියනවා’ යයි 1978 දි පමණ මට කීය.

මේ ප්‍රවෘත්තිය අප ‘සරසවියේ’ පළ කළ ද එය ඔහුගෙන් ඉටු නොවිණ. ඒ වෙනුවට ඔහු තමා ප්‍රිය කළ හින්දි නළුවා වූ දිලිප් කුමාර් ගැන පොතක් පළ කළේය. බනී රූබන් විසින් ලියූ ච්ඪතඪන ම්භථචප ඉබචප ඹ්ඥඨඥදඤ ධට ධ්දඤඪචද ඛ්ඪදඥථච කෘතිය පරිවර්තනය කොට සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් කළේය.

ටෝනි සමඟ කතා කිරිම රසවත් අත්දැකීමකි. ගාමිණී ෆොන්සේකා හා ටෝනි රණසිංහ ද ලෙස්ටර් ජේම්ස් පිීරිස් හා ටෝනි රණසිංහ ද ප්‍රසන්න විතානගේ හා ටෝනි ද, සුනිල් ෆොන්සේකා හා ටෝනි ද, විජය හා ටෝනි ද සුසංයෝගය තරම් රස සාගරයක් අප දැක නොතිබුණි. ඔවුන් කතා කළේ බොහෝ ඇසූ පිරූ අය ලෙසය. දර්ශනය, සංස්කෘතිය, විශ්ව සාහිත්‍යය, සිනමා තිර නාටක රචනය ආදී හැම විෂයයක් ගැනම ඔවුන්ට කතා කිරීමට අවකාශ තිබුණි. එය සැබවින්ම සරසවි මණ්ඩපයකි.

තිර නාටක රචකයකු ලෙස ටෝනි චිත්‍රපට කීපයකට දායක විය. කොටි වලිගය, දුවට මවක මිස, අවරගිර, තරණය, පවුරු වළලු, කෙළිමඬල ඔහු ලියූ චිත්‍රපට තිර නාටකවේ. 1987 වසරේ හොඳම තිර නාටක රචක ලෙස ‘කොටි වලිගය’ චිත්‍රපටය සඳහා සරසවිය සම්මානය හිමි විය.

ඔහු රඟපෑ චිත්‍රපට අතුරින් දෙලොවක් අතර, ගඟ අද්දර, දුහුළු මලක්, හන්තානේ කතාව, අහසින් පොළොවට, පරසතු මල්, කොටි වලිගය, බැද්දේගම, යහළු යෙහෙළි, හුලවාලි, සප්ත කන්‍යා, පවුරු වළලු චිත්‍රපට සුවිශේෂය. ඒ චිත්‍රපට අතර සම්මානයෙන් පුද ලැබූ චිත්‍රපට ද වෙයි. ආවර්ජනා, සුවඳ කැකුළු, රයිගම් යාළුවෝ, එකට ගැටුම, හතේ වසම, මමෝකාය, සූර්ය විංසති, කඩමුණ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑ ටෝනි වේදිකා නාට්‍ය නිෂ්පාදකයෙකි. ජූලියස් සීසර්, බලව නමක අරුමා, දොළොස්වැනි රාත්‍රිය ඒවාය.

ටෝනි රණසිංහ නැමැති රංගධරයා ගැන මීට වසර 60 කට පමණ පෙර සරසවිය චිත්‍රපට උලෙළට සහභාගි වූ ඉන්දීය චිත්‍රපට විචාරිකාවක වූ කරංජියා මහත්මිය කියා තිබු වදනක් මගේ මතකයට ආවේය. එදා සරසවිය නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ ඇය හා සමඟ කළ සාකච්ඡාවකදී කියා සිටියේ ‘දෙලොවක් අතර ‘ චිත්‍රපටයේ රඟපෑ ටෝනි රණසිංහ කඩවසම් කමින් හින්දි නළුවන් සැවොම අබිිබවා ඇති බවය.

මේ මහා රංගවේදියා මීට වසර 4 කට පෙර එනම් 2015 ජුනි 15 වෙනිදා ජීවිත සිනමාවෙන් සමුගත්තේය.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.