අපි රණ්ඩු වුණේ වචනවලට

මාර්තු 21, 2019

මම දුරකථනය කනේ තබාගෙන සිටිමි. බොහෝ වේලා නාද වූ පසු ඈත එපිටකින් ඇසෙන්නා සේ ‘හලෝ‘ යැයි ඇසෙයි. මහත් ඝෝෂාවකි. මම එය පරයා මගේ විස්තර කියමින් අසමි.

“ඔය බන්දුල ජයවර්ධන මහත්මයාගේ නෝනා නේද?“

“ඔව්“

“අනේ මට ඇහෙන්නේ නෑ ඔබතුමිය කියන දේවල්. පොඩ්ඩක් ඔය ටීවී එක අඩුකරමුද?“

“අනේ පුතේ, මම ඉන්නේ එල්ඩර්ස් හෝම් එකක. මට ටීවී එන අඩුකරන්න බෑ. රිමෝට් එක මෙහෙ අයගෙ අතේ තියෙන්නේ“

මගේ පපුව දැවී යයි. උදේ වරුවක කතාකරන පොරොන්දු පිට මම දුරකථනය තබමි. මේ ආරංචිය අප කර්තෘ අරුණ (ගුණරත්න) අය්යා දැනගත් විට කුමක් කියයිද? ඔහු අපට කියන්නේ ඔහුගේ පාසල් දිවියේ ‘අභාග්‍යසම්පන්නම‘ වසර උදා වන්නේ ජයවර්ධන ටීචර් පන්තිභාර ගුරුතුමිය වූ සාමාන්‍ය පෙළ පන්තියේදී බවය. හේතුව ඔහුගේ මවගේ සම වයසේ ගුරු යෙහෙළියක් වීම සහ පාසල් ඇරී දෙදෙනා එකම බස් නැවතුමේදී හමු වූ විට පුතා ගැන විමසීමය. බයිස්කෝප් බැලීම වැනි තක්කඩිකම් කළ හොත් අම්මාට පණිවිඩය ලැබෙන නිසා විනයගරුක සිසුවකු ලෙස විභාගයට සූදානම් වීමට ඒ වසරේදී සිදු වීම ඔහු අද ආදරයෙන් හා කෘතඥපූර්වකව ජයවර්ධන ටීචර් ගැන සිහිපත් කරන ඒ රසවත් ‘අභාග්‍යසම්පන්න‘ යුගයයි. මගේ පණිවිඩය නිසා අරුණ අය්යාගේ මුව හැකිලී යන්නේ බලාපොරොත්තු වූ ආකාරයටමය.

“ගියාම කියන්න මමත් බලන්න එනවා කියලා. හරිම හොඳ මනුස්සයෙක්.“ මොහොතක් සිටි ඔහු බිඳුණු හඬින් කියයි.

මම යළි අංකය ඔබමි. එවර නැඟෙන්නේ තරුණ හඬකි.

“මම දුව කතා කරන්නේ. ඕගොල්ලො එන වෙලාව කියන්න මමත් එන්නම්. මම ඒ ළඟ ඉන්නේ. සමහර දේවල් අම්මට හරියට මතක නෑ.“

මගේ සිත තවත් කැලඹී යන්නා සේ දැනේ. කුමක්ද මේ ජීවිතය. අපට කවදා කෙබඳු ඉරණමකට මුහුණ පාන්නට සිදුවේවිද? ඒ සියල්ලට මුහුණ දිය යුත්තේ තනිවමය. කෙතරම් දෙනා සිටියද අවසන තමන්ට තමන් පමණමය. අත්තාහි අත්තනෝ නාතෝ.

මම ආලින්දයේ රැව්දෙන රූපවාහිනී හඬ දරාගෙන අසුන් ගනිමි. ඇය සෙමින් සෙමින් පැමිණේ. මම නැඟීසිටිමි. මගේ උසින් භාගයක් පමණ යැයි සිතෙන ඇය “මට කොහෙදි හරි දැකලා හුරුයි. මහාමායාද?“ කියමින් මා සිපගන්නට දෑත දිගු කරයි.

මම තුනට පමණ නැමී ඇයට ඉඩ දෙමි. ඇය වට පිට බලන්නේ කතාබහට නිස්කලංක තැනක් සොයමිනි. කන්දොස්කිරියාවක් යැයි අපට සිතුණද වැඩිහිටි නිවාසයේ අයට ඇති එකම වින්දනය රූපවාහිනිය බව අවබෝධ වන්නට වැඩි වේලාවක් ගත නොවේ. මා මුලින්ම කළ යුත්තේ දුරකථන ඇමතුමක් ගෙන අරුණ අය්යාගේ ගුරුබැතිය ප්‍රකාශ කිරීමට ඉඩ දීමයි. ඒ යුතුකම ඉටු කරමින් සිටියදීය ඇගේ එකම දියණිය රණිති අප වෙත එන්නේ.

“අම්මා මාත් එක්ක හිටියේ, මමත් ඉස්කෝලෙ යනවානේ, සර්වන්ට්ස්ලා අපි ඉන්න වෙලාවට හොඳට බලාගත්තාට නැති වෙලාවට සලකන්නේ නෑ. දවසක් අම්මා බාත්රූම් එකේ වැටිලා තියෙන්නේ හවස තුනට විතර. ඒත් හතරට මම එනකල්ම එහෙම්ම ඉන්නවා නැඟිටගන්න බැරුව. මෙතන ඩොක්ටර්ස්ලත් ඉන්නවානේ. අපි ඉන්නෙ එහා පාරෙ. ඒ නිසා වඩා හොඳයි“

මගේ ආකල්ප වෙනත් මඟක් ගන්නට ඒ කෙටි හැඳීන්වීම ප්‍රමාණවත් වූ බවක් දැනෙයි. සෙනසුරාදාවක් වූ නිසා තිලක් අය්යා ද තනිව මඟ සොයාගෙන පැමිණෙයි.

“දැන් ඝනපූරණය හරි. එහෙනම් පටන් ගමුද?“ මම යෝජනා කරමි. සිනාවකින් මුව සරසාගන්නා ඇය පාඩමක් මෙන් පිළිවෙළින් ජීවිත කතාව පෙළගස්වයි.

“මගේ තාත්තා හබරාදූවේ. අම්මා වැලිගම. මගේ මුල් නම දොඩම්දූව ලහඳා වඩුගේ පෙමාලි ද සිල්වා. මේක ප්‍රොපෝසල් එකක්. මගේ නැන්දා කෙනෙක් ඉන්නවා රත්මලානේ. මිසිස් කාරියවසම්. ඉස්සර ක්‍රිකටර් කෙනෙක් හිටියේ ප්‍රබෝධ කාරියවසම් කියලා එයාගේ අම්මා. එයා ඉස්සර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පීටී ඩිරෙක්ටර් කෙනෙක්. එයා තවමත් ඉන්නවා හැබැයි අනූගාණක් වයස. ඒ නැන්දා තමයි මේක ලෑස්ති කළේ. හේතුව මම නොබැඳ හිටියා හුඟාක් කල්. නංගිත් එක්ක තමයි රවුම් ගහන්නේ. නුවර මහාමායා උගන්වන්නේ. අවුරුදු 15ක්ම. මට ඩ්‍රාමා බලන පිස්සුවක් තිබ්බා. කොච්චර පිස්සුව තදද කියනවා නම් සෙන්ට් ඇන්තනීස් එකේ 3.30 ෂෝ එක බලලා ටැක්සියක පුෂ්පදානෙට එනවා 6.30 බලන්න. (ඇය දඟකාර ලෙස සිනා සී මා දෙසත් තිලක් අය්යා දෙසත් බලයි. රණිති සිනාසෙයි). මගේ අය්යලා තුන්දෙනා යෝජනා ගේනවා. මම ප්‍රතික්ෂේප කරනවා. දවසක් අය්යලාට තරහ ගිහින් නංගිව ප්‍රින්සිපල් කෙනකුට කසාද බන්දලා දුන්නා. එතකොට මම හරි අසරණ වුණා. කොහේවත් යන්න නෑ. නාට්‍ය බලන්න, පන්සල් යන්න, මාළිගාවේ යන්න, සිල්ගන්න නෑ. ටික දවසක් යද්දි නැන්ද කිව්වා ‘ප්‍රේමි, මේක හරියන්නේ නෑ, ඔයත් දැන් තනිවෙලා. ධ් චථ ඨධඪදඨ බධ ටඪදඤ රධභ ච නචපබදඥප. එඩචබ ඤධ රධභ ඵචර? (මම ඔයාට කෙනෙක් හොයනවා. මොකද කියන්නේ?)‘ කියලා. නැන්දටත් දැන් මාව බරක්. ඇයි හැම නිවාඩුවටම මම එහෙනෙ. මම එකපාරටම ‘ඕකේ‘ කිව්වා. සුමානයක් ඇතුළත නැන්දා මොන මැජික් එකක් කෙරුවද මන්දන්නේ නෑ බන්දුල ජයවර්ධන ගෙන්නුවා. එයා ආවේ එයාගේ එකම අක්කත් එක්ක. දෙමව්පියෝ නෑ. එයත් කසාදයක් එපාම කියලා හිටපු කෙනෙක්. එදා එයා මාව දිගට හරහට ඉන්ටවිව් කළා.“

“මතකද ප්‍රශ්න එහෙම.“

“ඔව්. ඔව්. ලොකු පරීක්ෂණයක්. මමත් කිසිම බොරුවක් නොකියා ඇත්තම කිව්වා. මම උපාධියට කරපු විෂයයන් ඇහුවා. මම උපාධි දෙකක් කළා. මම ඒවා ඔයාට කියන එක හරිද දන්නේ නෑ.“ ඇය රහසක් මෙන් වටපිට බලා කියයි.

“දැන් ඉතින් කැම්පස් එකෙන් ලෙඩක් දාන එකක් නෑ. ඔන්නොහේ කියලා දාන්න“ මම රණිතිට ඉඟිමරා කියමි. සියල්ලන්ටම සිනා ඒ.

“මම එකක් කළේ යුනිවසිටි එකට නොතේරෙන්න හොරෙන්. ඉස්සල්ලා කළේ පාලි, සංස්කෘත, ... අනික් එක ඩ්‍රාමාද හරියට හොයලා ලියන්න නැත්නම් බොරුකාරියෙක් වෙයි මම. මම පත්තරේට ලිපි ලිව්වනේ ඉස්සර. ආ... ලේක්හවුස් තමයි. සුඛෝ බුද්ධානං උප්පාදෝ එකක්, අනෙක ඇසළ මහේ අනබිබවනීය දිනය. ඒවගේ ඒවා හරි ජනප්‍රිය වුණා. පියදස්සි හාමුදුරුවෝ මහාමායා එකට වැඩිය වෙලාවේ මාව හොයලා හරි පැහැදීමෙන් කතාකළා ආර්ටිකල්ස් ගැන. අරීසෙන් අහුබුදුත් ආවා මාව හොයාගෙන ඉස්කෝලෙට අගය කරන්න. ඉතින් බන්දුත් ඔය ලිපි කියවලා තියෙනවා. මගෙන් ඇහුවා කොහොමද ඔහොම ලියන්න ඉගෙන ගත්තේ කියලා. මම කිව්වා කාගෙන්වත් ඉගෙන ගත්තේ නෑ. හිතෙන විදිහට ලියනවා කියලා. අයේ මම බන්දුට කිව්වා පාලි සංස්ක්‍රිට් එග්සෑම් එකට කළා කියලා. බන්දු හරී සන්තෝස වුණා. ඊළඟ ප්‍රශනේ ඉංග්ලිෂ් කොහොමද දියුණු වුණේ. කොහෙද ස්ටඩි කළේ කියලා. මම කීවා මාතලේ කොන්වන්ට් කියල. කැන්ඩි කොන්වන්ටුත් ටික කාලයක් ඉගෙන ගත්තා. මාතලේදී මට නරක පිස්සුවක් හැදුණා. කියන්නත් ලැජ්ජයි. මොකක්ද දන්නවද? ආගමට යන්න හිතුණා. මොකද අර වේල් කෑල්ල දාගෙන පල්ලි යන්න. සපත්තු ගලවන්නේ නැතුව ඉන්න පුළුවන්. චර්ච් එකේ වාඩිවෙලා ඉන්න බංකු තියෙනවානේ. පන්සලේ ගියාම සපත්තු ගලවලා බිම වාඩිවෙන්න ඕන. අර පහසුකම් හින්දා මට කැතලික් වෙන පිස්සුව හැදුණෙ. පුංචි ළමයෙක්නෙ ඉතින්. අපේ අම්මා හරීම ස්ට්‍රික්ට් පැරණි ටීචර් කෙනෙක්. ඒ නිසා හරි තරහ ගියා මා එක්ක. මාව හොස්ටල් එකෙන් අයින් කරගත්තා. ගෙදර ඉඳන් ඉස්කෝලෙ යැව්වා. ඉරිදා දහම්පාසල් යවලා ගෙදරදි ගාථා කියලා දුන්නා. අපෙ අප්පේ අපේ අම්මට බුදුබව අත්වෙන්න ඕන මාව ගලවගත්තට. මම මේ ඔක්කොමත් එක්ක අර හොරෙන් කරපු ඩිග්‍රිය ගැනත් කීවා.“

“මොනවද ඒකේ සබ්ජෙක්ට්ස්“ මම විමසමි.

“ඕකම තමයි එයත් ඇහුවේ. ඉංග්ලිෂුයි, වෙස්ටර්න් ක්ලැසිකල් කල්චරුයි, ම්... බුඩිස්ම් වෙන්න ඇති. දැන් මට මතක නෑ.“

“සිංහල වෙන්න ඇති අම්මෙ. ඇයි තාත්තා සිංහල අහගන්නේ අම්මගෙන් නේ“ ඒ රණිතිය.

“ආ.. ඔව් ඔව්. දුව හරි. බන්දුට සිංහලවලට ගයිඩ් කළේ මම තමයි. සිංහල වෙන්න ඇති.“ ඇය කල්පනා කරයි.

“ආ... යුනිවර්සිටි එන්ට්‍රන්ස් කරලා ඉද්දි හම්බුණේ හිල්ඩා එක. ඒ ඉන්න කාලේ මම ඉංග්ලිෂ් ට්‍රේනිං කොලේජ් එකට ගියා. අනේ මන්දා මේවා කියන එක හොඳද කියලා. උදේට ට්‍රේනිං කොලේජ් ගිහින් පේරාදෙණියේ යනවා හවසට වෙස්ටර්න් ක්ලැසිකල් කල්චර් ලෙක්චර්ස්වලට. කොච්චර කපටිද මම? අනේ ඉතින් ඒවායින් කාටවත් හානියක් පාඩුවක් නම් කරන්න නෙවේ. ළමයින්ටත් උගන්නන්නනේ. එතකොට මම ට්‍රේන්ඩ් ග්‍රැජුවෙට්. ඉතින් බන්දු හරීම සතුටු වුණා මම වෙස්ටර්න් ක්ලැසිකල් කරලා තියෙනවා කීවාම. මොකද එයාගේ ලයින් එක තමයි ඒක. එයත් ඒක කරලා තියෙනවා මගෙ හිතේ. එයා ඒක කිව්වා විතරයි මට කැමැත්ත දුන්න.“

“මොනවා? එවෙලෙම?“

“ඔව්. එදාම. නැන්දට කීවා මිසිස් කාරියවසම් අයි විල් මැරි හර්. ලැබෙන පළමුවෙනිම නැකතට වෙඩින් එක ගමු කියලා. කේන්දර බලද්දි ගැළපෙනවා කේන්දර හොඳටම. ඒ මාසෙම නැකතක් තිබ්බා. එයා ජූනි 12, 1926. මම 1934 පෙබරවාරි 4. අපි සිම්ප්ල් වෙඩින් එකක් ගමු කිව්වා. ළඟම ඥාතීන් විතරයි. නෝ වේල්.“

“අය්යෝ පල්ලි යන්න හැදුවෙත් වේල් දාන්න නේද?“ මම කොළොප්පමට කියමි.

“ඒක නේන්නං. එයා කීවා ඒක බෞද්ධ ක්‍රමයක් නෙවෙයි කියලා. අක්කා කීවා වේල් නැතුව පවුලක් කන්න බෑනේ කියලා. ඒත් මම ඒ වෙලාවේ ගත්තේ බන්දුගෙ පැත්ත. ඒ පාර වේල් නැතුව මඟුල් ගත්තා. ප්‍රොෆෙස එම්.බී. ආරියපාලගේ ගෙදරින් තමයි මම මනමාලි හැටියට ඇඳගෙන පිටත් වුණේ. අස්සන් කළෙත් එයා. බන්දු බොරැල්ලේ ගෝතමී පාරේ පුංචි අම්මලෑ ගෙදර ඉඳන් ආවේ. ප්‍රොෆෙස ධීරසේකර තමයි එයාගෙ පැත්තෙන් අස්සන් කළේ. හෝම් කමින් නෑ. අපි ඉතින් හරි සතුටෙන් ජීවත් වුණේ. ආර්ටිකල්ස් ලියනවා, එයා ලියපුවා මම කියවනවා, ඒවායේ අඩුපාඩු සාකච්ඡා කරනවා. එයා තිස්සෙම කීවේ මට කියාපු පාට්නර් හම්බුණේ, දැන් මට ආර්ටිකල්ස් ලියන්න පුළුවන් ඉක්මන්ට කියලා. අපි හැමදාම හවසට නාට්‍ය බලන්න යනවා. අපි ඇල්විටිගල ෆ්ලැට්ස්වල ඉන්න කාලේ තමයි ජොලිම කාලෙ. එතකොට මම ආනන්දෙට ආවා. අන්න එතකොට තමයි මට අරුණ (ගුණරත්න), අර්ජුණ පුතාලා මුණගැහෙන්නේ. මම කළේ ඉංග්ලිෂ්. මම ඕපන් යුනිවර්සිටි එකෙයි, කැලණියෙයි, ප්‍රින්සෙට් කියලා ටීචර් ට්‍රේනිං එකේ, ලයිසියම් නුගේගොඩ එහෙමත් ඉගැන්නුවා.

මම ගල්කිස්ස සෙන්ට් තෝමස් උගන්නන කාලේ දුව මියුසියස්. මට ඕන වුණා මියුසියස් යන්න. පත්තරේ දැක්කා වේකන්සියක් ප්‍රයිමරි එකේ. මම තවත් කපටි වැඩක් කළා. ඇප්ලිකේෂන් දැම්මා උපාධි නැතුව. මාව ඉන්ටවිව් කළා. ප්‍රින්සිපල් ඉංග්‍රීසියෙන් අහනවා මොනවද ආනන්දෙ උගන්වපු විෂයන්. මම එරුණා. කියන්නම එපැයි. ඉංග්‍රීසි කියලා යාන්තමට කිව්වා. මොනවද පන්ති. දැන් ඉතින් තවත් ඉවරයි. හොරෙන් වගේ ඔලෙවල් ඇන්ඩ් ඒ ලෙවල් කියලා කිව්වා. ආ? ආනන්දෙ ඉංග්‍රීසි කරන්න ඔයා උපාධිධාරිනියක්ද? මම උත්තර නොදී හිමීට හිටියා. ආයෙත් අහනවා. මට කරගන්න දෙයක් නෑ. කනට ඇහෙන නෑහෙන ගාණට ඔව් කියලා කීවා. සුදුසුකම් නොලීවේ ඇයි කියලා ඇහුවා. මම සද්ද නෑ. ළමයි ඉන්නවාද? ඉගෙනගන්නවද රස්සාවකට යනවාද? ගෑනුද පිරිමිද? මොකක්ද ඉස්කෝලෙ. එරුණේ නැතැයි මම දැන් ඉතින්. මම කිව්වා හියර් ඉන් දිස් ස්කූල් කියලා. ආ මම දැනගත්තා ඔයාගේ ට්‍රික් එක කියලා. කමක නෑ ලැජ්ජාවෙන්න එපා කියලා එයා කිව්වා. පස්සේ ඉහළ පන්ති දෙන්න අහද්දි මම බෑ කිව්වා. ප්‍රාථමික පාසලම ඉල්ලගත්තා. ප්‍රින්සිපල් උප විදුහල්පතිනියගෙන් ඇහුවා මේ ටීචර්ව දන්නවාද කියලා. එයා කිව්වා මේ බන්දුල ජයවර්ධනගේ නෝනා කියලා. ඒ පාර ප්‍රින්සිපල් කීවා ඔයා මට ඒ කිසිදෙයක් කිව්වේ නෑනේ. අපි එයාව හොඳට දන්නවානේ. එයා හොඳ අධ්‍යාපනඥයෙක්නෙ. හෙට ඉඳන් වැඩට එන්න කියලා. මම ගොනා වගේ කට වහගෙන හිටියා. ඒත් මට මෙයා උගන්වන්න දෙන්නේ නෑ ප්‍රයිමරියෙ. මෙයාට පුළුවන් හැම වෙලාවෙම අම්මා ගාගෙන මගේ පන්තියට එනවා. මම ගෙදර ඇවිත් සැර දානවා එහෙම කරන්න එපා කියලා. ඒත් අහන්නේ නෑ. මට ප්‍රයිමරි එකේ ඉංග්‍රීසි, සිංහල, ගණන් තුනම උගන්වන්න වුණා. හරි ආසාවෙන් මම ඉගැන්නුවේ. මම පුංචි ළමයින්ට උගන්නන්න කොහොමත් හරි ආසයි. ඊට පස්සේ මම අස් වුණේ ඇයි?“

ඇය අසන්නේ දුවගෙනි. “තාත්තට ෆර්ස්ට් ඇටෑක් එක ආපුවෙලාවේ“ රණිති කියයි.

“මගෙත් කකුල් අමාරු එහෙම ආවා. මම අස්වෙද්දි ඒ අය එපාම කියලා දොස් කිව්වත් එක්ක.“ ඇය දිගින් දිගටම හ්ම් ගාමින් අපහසුවකින් සිටි ගතිය ඒ මොහොතේ වැඩි වූවා වැනිය. ඒ අතරම රූපවාහිනී ශබ්දය වැඩි කිරීමට තවත් සාමාජිකාවක් උත්සාහ කරයි. එය වළක්වන විට ඇයට කේන්ති යයි. මේ අතර තවත් වැඩිහිටි කාන්තාවක පැමිණ අපේ හොඳ නෝනා ගැන ලියන්නද ආවේ අසයි. මේ සියලු දේ අතර අපි කතාව කරගෙන යමු.

“ඉතින් බන්දුල මහත්තයාගේ නිර්මාණ ගැන මොකද හිතන්නේ?“

“එයා විවේකිව ඉන්න හැම තිස්සෙම බලන්නේ වෙස්ටර්න් ක්ලැසිකල් කල්චර් පොත් කියවන්න. එයාගේ වැඩේ නාට්‍ය ලියන එක. පුදුම නාට්‍ය පිස්සුවක් එයාටත් තිබුණෙ. එයාගේ ඉස්ඉස්සල්ලාම නාට්‍යය අපි බඳීන්න කලින් කළේ එයා පේරාදෙණි යුනිවසිටි එකේ ඉද්දි ඝෝෂක වස්තුව. එතකොට මම එයාව අඳුනන්නෙත් නෑ. බිහිවනු බෝසතාණෙනි, ස්වර්ණහංස නාටකය කළෙත් විශ්වවිද්‍යාලෙදි. බෙරහඬ, දියසේන, සකලජන, මොනරපිල්, ස්වර්ණමාලි නේද දුව අනික් ඒවා. දුලීකා මාරපණ ආවේ ස්වර්ණමාලි එකෙන් තමයි එළියට හොඳම නිළිය වෙලා. බන්දුල ඒ දරුවගේ දක්ෂතා අඳුනගෙන අපේ ගෙදර නවත්තගෙන නාට්‍යවලට ලෑස්ති වුණා.“ මේ අතර රණිති කතාවකට අරඅඳීයි. මම ඉඩසලසමි

“තාත්තා නැති වුණාම දුලීකා අක්කා මල්වඩමක් ගෙනත් ලොකුදුව කියලා ලියලා තිබුණා. මම රණිති දුව කියලා එකක් තියලා තිබුණා. ඒපාර මිනිස්සු කතාවුණා බන්දුල ජයවර්ධන කලින් බැඳලා තව දුවෙකුත් ඉන්නවා කියලා. මට ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ. තාත්තා එයාට ගොඩක් වෙලාවට කතාකළේ ලොකු දුව කියලා.“

“අනෙක් එක දුලීකා දුව මට කියන්නේ අම්මා බන්දුලට තාත්තා. ජැක්සන් ඇන්තනි ලෙක්චර් හෝල් එකේ ඉඳලා හවසට රිහසල් එන්නේ බෙරහඬට. ලූෂන් බුලත්සිංහලත් ඝෝෂකට සම්බන්ධ වුණා. ධම්මජාගොඩ සකලජනට සම්බන්ධ වුණා හරිද දෝණි. මට සමහර ඒවා මතක නෑ. දුව ආපු එක හොඳයි. මෙයාලෑ තාත්තා හම්බෙන්න ගෝලයෝ හරියට එනවා. කවුද ආපු ගෝලයෝ මට දැන් නම් මතක් වෙන්නේ නෑ. ටවර් එකේ අයද? ප්‍රදීප් කියලා නඩුකාරයෙක් වෙලා ඉන්නේ බෙර හඬෙන් ආව කෙනෙක්. රොඩ්නි වර්ණකුල අන්නහරි ප්‍රියන්ත එක වගේ දෙන්නා.“

“අම්මට මතකද රූපවාහිනියේ අවුරුදු නාට්‍ය එහෙමත් කළා.“ රණිති මතක් කරයි. “තාත්තා සිංහල නාට්‍ය අනුමණ්ඩලේ සාමාජික වගේම සභාපති වෙලත් කීපවාරයක් හිටියා. රටවල් කීපයකම නාට්‍ය සම්මන්ත්‍රණ නියෝජනය කළා. හැම්ලට්, නාට්‍ය කලාව හා ප්‍රේක්ෂක ඔබ, සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය කලාව, රූපණ, නාට්‍ය ප්‍රභේද පොත් තවත් අයත් එක්ක එකතුවෙලාත් ලීවා. බෙරහඬ, මොනරපිල්, සකලජන පිටපත් මුද්‍රණය කළා, ඕචපඥ ටධධබ බධ ධ්ථථධපබචතඪබර, ඒ ඡපභඵඩ ඵබපධඬඥ ඵඬඥබජඩ ධට බඩඥ ජධදබඥථනධපචපරඵඪදඩචතච බඩඥචබපඥ පොත් ඉංග්‍රීසියෙන් ලීවා. ජෝන් ද සිල්වා එකට ඒ නම දාන්න යෝජනා කරලා තියෙන්නෙත් තාත්තා කියලා පොතකත් තියෙනවා. මම ඒක ඔයාට වයිබර් කරන්නම්. නාට්‍ය උලෙළක් පවත්වන්නත් පටන් අරන් තියෙන්නේ තාත්තා 76 නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වෙලා හිටිය කාලේ. ලංකාවේ නාට්‍යශාලාවලට ලයිටින් පවා හඳුන්වලා දීලා තියෙන්නේ තාත්තා. බෞද්ධ විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘත් වෙලා හිටියා. හැබැයි කවදාවත් පන්සල් ගිහින් වඳීන්නේ නෑ. අම්මයි තාත්තයි හරියට රණ්ඩු වුණා හැබැයි ඒවා හරි රසවත්. තාත්තට කේන්ති යන්නේ නෑ. එකම දවසක් මාත් එක්ක කියන දේ අහන්නේ නෑ කියලා කේන්ති ගිහින් පහනක් පොළේ ගැහුවා එච්චරමයි. මම තාත්තට තමයි ගොඩක් ළඟ. හැමදේම කියන්නෙත් තාත්තට. අම්මා සැර කරනවනේ“ ඇය පොඩි දැරිවියක මෙන් කඳුළු පිරි දෙනෙතින් කියයි.

“මටත් නීති දාලා තිබුණේ දුවට කිසිම දේකට සැර කරන්න බෑ කියලා. මට ඕනකම තිබුණා මෙයා පිළිවලට හදලා බැංකුවට දාන්න. තාත්තා කිව්වා එහෙම එපා එයාට ඕන විදිහට යන්න දෙන්න කියලා. මෙයා හරි දඟයි හුරතල් පොඩිකාලේ. එයා දඟකරන්නේ නෑ කියලා මට ලියපු ලියුම් තාම මං ළඟ තියෙනවා. බන්දුයි මමයි ෆයිට් කළේම සිංහලවලට. විෂයානුබද්ධ දැනුමට තමයි රණ්ඩු. මම කියනවා ‘හැක‘ කියන්න බෑ. ඒ සැකය නිසා කියලා. වාක්‍යයක් ඉවර කරනවා නම් ‘හැකිය‘ කියන්න ඕනා. ඒ වගේ ඒවා පිළිගන්නවා. ඒවා තමයි අපේ රණ්ඩු. ඒවායින් ගොඩක් වෙලාවට දිනන්නේ මම. මොකද මම පාලි සංස්කෘතෙනුත් කියලා දෙනවානෙ. (එය අපට සිනාසෙන්නට කීවක් බව අඟවමින් ඇය ඉඟිපා බලයි) එයාට හුඟක් කේන්ති ගියාමත් කරන්නේ පොතක් අරගෙන ලියන එක. හැබැයි රණ්ඩු වැඩිවෙලා පවතින්නේ නෑ. දුවට නම දානකොටත් මම සිංහල පාලි සංස්කෘත තුනෙන්ම නම දැම්මා විජිනි ගෞරිකා රණිති. විජිනි කියන්නේ හැමෝටම සහනයක් වන, ගෞරිකා කියන්නේ දිව්‍ය සභාවේ.. දැන් මට මතක නෑ. රණිති කියන්නේ රත්තරන් පොඩ්ඩ. එහෙම නැත්නම් රත්‍රං ස්ත්‍රිය. එහෙම දැම්මේ මෙයා ලොකු වුණාම කැමති නමක් ගන්න කියලා. මම ආසයි මුණුපුරෙකුත් ඉන්නවා නම් නමක් තියන්න. අර පන්සල් ගිහින් වඳීන්නේ නැත්තේ එයා කියන්නේ හිතෙන් ප්‍රතිපත්තිගරුකව ඉන්නවා නම් ඒ ඇති කියලා. එයා සිගරට් බොන එකනම් නවත්වන්න හදන්න එපා කියලා මට කිව්වා. ඒත් මම දොස්තරත් එක්ක උපක්‍රමයක් දාලා ඒකත් නැවැත්තුවා. එයාගේ උගත්කමට තමයි ගොඩාක් ඇදුණේ. එයත් එහෙමයි. අර කුරුතාව වගේ එකයි කලිසමයි තමයි අඳීන්න කැමති. මම තමයි ගෙදර ඔක්කොම වැඩ කළේ. කෑම බීම වගේ දේවල් එච්චර හොයන්නේ නෑ. පුදුම ඉවසීමක් තියෙන්නෙ. හරීම නිහතමානීයි. මනුස්සයෙක් හැටියට පුදුමයි.“ ඇගේ මුව වෙනස් වෙයි.

“අනේ හරිම හොඳ කෙනෙක් අනේ එයා. කලාපුරේ ගේ හදන්න යද්දි තුන් පාරක්ම හාට් ඇටෑක් එක ආවානේ. දුව පින්තූරයක් ගහන්න පුටුවට නැගලා ඉද්දි එයා අල්ලගන්න ගිහින් ඉද්දි මොකද්ද වැටිලා කකුල තුවාල වුණා. ඒක තියෙද්දි කොන්ෆරන්ස් එකකට කියලා නුවර යද්දි ඇක්සිඩන්ට් වුණා. ඒකෙන් බෙල්ල මොකක්ද වුණා. තාත්තා ඇඳේම හිටියේ නේද දුව. ඒත් මට කරදර කරන්න බෑ කියලා තනියම ටොයිලට් යන්න හදද්දි වැටිලා කොඳුඇටපෙළත් ඩැමේජ් වෙලා ඉස්පිරිතාලේ ගෙනිච්චා. මම දවසක් බන්දු බලලා ඉස්පිරිතාලේ ඉඳලා හෙම්බත්වෙලා වැනි වැනි එනකොට අනේ දෙයියනේ මගේ මාලෙයි පෙන්ඩන්ට් එකයි කඩාගත්තා හොරෙක්. ඒකට මගේ ප්‍රෙෂර් නැග්ගා. මට හාට් ඇටැක් එකකට එනවා කියලා හස්බන්ඩ් බලන්න ඉස්පිරිතාලේ යන්න එහෙමත් එපා කිව්වා දොස්තරලා. ඒ ගැන එයාට කියන්න එපා කියලා තිබුණට බලාගන්න හිටිය මනුස්සයා මම ගියාම මෝඩකමට ඒක ඇහුවනේ මගෙන්. ඒත් මම වැඩේ ෂේප් කළා පරණ කතාවක් කියලා. ඒ වුණාට එයා දවසෙම ඒ දේවල් ගැන කල්පනා කරකර ඉඳලා තියෙනවා. අනේ ඒ වෙලාවේ රෑ මැද හාට් ඇටැක් එකක් ඇවිල්ලා.“

“අපි ගියාම තාත්තා ඇස් ඇරියා. තාත්තා බෙහෙත් ගැන එහෙම හොඳට දන්නවා. ඇස් වහන් හිටියට හොඳට ඇහෙනවා. අයි සී යු එකේදි පෙනහැල්ලට විසබීජයක් ගිහින් එදා එතන හිටිය පස්දෙනාම නැති වුණේ ඒකෙන්. ඒත් තාත්තා ඇහුවා මොකක්හරි වැරදීමක් වෙලා නේද කියලත්“ රණිතිගේ දෙනෙතට පිරි පිය සෙනෙහස දෙකොපුල් දිගේ රූරා වැටෙයි. ඇය තවදුරටත් විස්තර නොකියන්නේ හඬ නොනැගෙන නිසාය. එහෙත් අම්මා බොහෝ දුක් දරාගෙන ඇති බැවින් එය කීමට සමත් වෙයි.

“අනේ ඒකනම් හරිම බඩේගින්දරයි කියන්නත්. මට කෝල් එකක් ආවා. මොනවා කරන්නද දුව ෆෝන් එකේ එල්ලිලා අඬන්නද මම හිතට දහිරිය ගත්තා. මං මෙයා වෙනුවෙන් කරන්න ඕන ඔක්කොම කළා ඉදිරියටත් කරන්නම් කියලා. හිත හදාගත්තා තමයි ඒත් දැන් පහුවෙන්න වෙන්න මට හරි අමාරුයි දරාගන්න“ ඇගේ හඬද දුර්වල වී යයි.

“මම තනිවෙලා. මගේ දුව සලකනවා බලනවා තමයි. ඒත් තාත්තා නැති පාළුව දරාගන්න බෑ අප්පා. මට උපදෙසක් ගන්නවත් කෙනෙක් නෑනේ මට. හරි පිරිසුදු චරිතයක්. රත්තරන් මනුස්සයෙක්. උපාසක මනුස්සයෙක්. අය්යෝ එයා ඉඳල මං ගියානම් ඉවරයි. හරි ශීලාචාරයි එයාට මම කැමතිත් ඒකයි. මම හරි තනිවෙලා පුතේ. එයා මට සංසාරේ කවදාහරි ආයෙත් ඒ ගුණවත්කම් එක්කම මුණගැහෙනවා නම්... හ්ම්...“

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.