ගින්නෙන් උපන් සීතල අනුරුද්ධට ලකුණු දෙමු

පෙබරවාරි 14, 2019

'ගින්නනේ උපන් සීතල' හි ප්‍රකාශන විලාසය සියුම්ව නොව ප්‍රබලව ඉඟි කරන්නේ එය නිශ්චිත වාර්තානුරූපී සිනමාපටයක් නොවන වගය. එහෙත් නිශ්චිත කාලවකවානුවක් ද, නිශ්චිත චරිත ද, නිශ්චිත සිදුවීම ද විෂය කරගැනීම හා නිශ්චිත පසුබිමක් හුවා දැක්වීම නිසා වාර්තානුරූපී බවක බලපෑමෙන් 'ගින්නෙන් උපන් සීතල' මුළුමනින්ම මිදී නැතැයි සිතේ.

ගෙවී ගිය සමයක රැඳෙමින්, එහි ආ මිනිසුන් හා ගැහැනුන් හඳුනා ගත්, ඔවුනගේ නා නා පිවිසුම් සමකාලීන හෝ වර්තමාන දැක්මකින් විවරණයට එළැඹුණු සිනමාපටයක් නිර්මාණ විෂයයෙහි පළමු කොටම පැනනැඟෙන අභියෝගයකි. මෙය වාර්තානුරූපී සිනමාපටයක් ද, වෘත්තාන්ත සිනමාපටයක් ද යන්න නිශ්චය කර ගැනීමය. මෙහිලා වෘත්තාන්ත සිනමාපටයක් නිර්මාණය කිරීමේ අරමුණු වාර්තානුරූපී සිනමාපටයක් සේ ප්‍රකාශයට පත් වන්නට වුව ඉඩ තිබේ. කෙසේ නමුදු සිය සිනමාපටය වෘත්තාන්ත සිනමාපටයක් සේ තහවුරු කර ගැනීම පිණිස අදාළ වාර්තානුරූපි කාරණ සියුම්ව උපයෝග කර ගත් සිනමාකරුවන් ද, ඔවුන්ගේ සිනමාපට ද විද්වත් සිනමා රසිකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ අවස්ථා සිනමා ඉතිහාසය පිරික්සන කල්හි හඳුනා ගැනීම දුෂ්කර නොවේ. යට කී පරිදි මුළුමනින්ම වාර්තානුරූපී වූ සිනමාපට නිර්මාණය, වෘත්තාන්ත සිනමාවට සපුරා එරෙහි ප්‍රයත්නයක් සේ අදහස් නොකරන බව ද නොපමාව අවධාරණය කළ යුත්තකි.

මෙබඳු සිනමාපට විෂයෙහි සුප්‍රකට තෝරා ගැනීම් ද, කුප්‍රකට තෝරා ගැනීම් ද, අප්‍රකට තෝරා ගැනීම් ද පවතින වග වටහා ගැනීම උචිතය. එසේම සුප්‍රකට, කුප්‍රකට හා අප්‍රකට හඳුන්වාදීම් එකිනෙක අතර සේම ඒ ඒ සමයට අදාළව සාපේක්ෂ අර්ථ දැක්වීම් සඳහා උපයෝගි කර ගත හැකිය යන්න ප්‍රතික්ෂේප කළ යුතු නොවේ. මෙනිසාමය අදාළ සිනමාකරුවාගේ වුවමනාව හා සිනමාපටයේ පිවිසුම තුලනාත්මකව හා අවස්ථාවෝචිතව විනිශ්චය කළ යුතු වන්නේ.

අනුරුද්ධ ජයසිංහගේ අලුත්ම සිනමාපටය වන 'ගින්නෙන් උපන් සීතල' විවරණයට ප්‍රථම යථෝක්ත කාරණා අරබයා අවම සැලකිල්ලක් හෝ දැක්වීම ඵලදායී වේ. නොඑසේ නම් මෙහිලා අනුරුද්ධ දැරූ වෙහෙස අවප්‍රමාණ වීමේ අනතුරක් උද්ගත විය හැකිය. එබන්දකින් අනුරුද්ධට සිදු විය හැකි හානිය මැඩ පවත්වා ගත යුත්තේ නිරනුමානවම 'ගින්නෙන් උපන් සීතල' අගැයීම සමඟින්ම නොවේ. තවදුරටත් සිනමා අධ්‍යක්ෂණ කාර්යයෙහි සක්‍රියව සිටිනු පිණිස වැර දරන අනුරුද්ධගේ පැවැත්ම වෙනුවෙනි.

'ගින්නනේ උපන් සීතල' හි ප්‍රකාශන විලාසය සියුම්ව නොව ප්‍රබලව ඉඟි කරන්නේ එය නිශ්චිත වාර්තානුරූපී සිනමාපටයක් නොවන වගය. එහෙත් නිශ්චිත කාලවකවානුවක් ද, නිශ්චිත චරිත ද, නිශ්චිත සිදුවීම ද විෂය කරගැනීම හා නිශ්චිත පසුබිමක් හුවා දැක්වීම නිසා වාර්තානුරූපී බවක බලපෑමෙන් 'ගින්නෙන් උපන් සීතල' මුළුමනින්ම මිදී නැතැයි සිතේ. කෙසේ වුවත් 'ගින්නෙන් උපන් සීතල' හි සමස්තය නොපමාව පවසන්නේ එය වාර්තානුරූපී අංග සහිත, වරෙක ඒවා ඉක්මවා ගිය වෘත්තාන්ත සිනමාපටයක හැඩරුව විශද කරනු පිණිස සූදානම් වූ සිනමාපටයක්ය කියායි. ඊට කිට්ටු සිනමාපට ලාංකේය සිනමාව වෙතින් ද දත හැකි වන බව කිව යුතුය. එහිලා හඳුනා ගත හැකි සිනමාපට බොහෝ විට දෘශ්‍යමාන දේශපාලන ස්වරූපයක් ගනී. වඩා පුළුල් අර්ථයකින් නම් ඒවා ලාංකේය දේශපාලන සිනමාව පිළිබඳ කතිකා දුරදිග යවනු සඳහා හේතු සම්පාදනය කරන අයුරුද පෙනේ.

'ගින්නෙන් උපන් සීතල' සඳහා අනුරුද්ධට විෂය වන වර්ෂ 1977 - 1989 කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මඟ, එහි නායක රෝහණ විජේවීර, සෙසු නායක කාරකාදීන් හා සමකාලීන ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පරිවර්තන වර්තමාන සිනමා රසිකයාට කිසිසේත්ම දුරස්ථ නොවන බව පැහැදිලිය. එනිසාම විශ්වසනීයත්වය පිළිබඳ සාධකය කෙරෙහි අනුරුද්ධට ඉතා ඉහළ අවධානයක් යොමු කරන්නට සිදුව තිබේ. උපකල්පන ආදිය සඳහා ඇති අවකාශය අතිශයින්ම සීමිතය යන්න ඔහු විසින් වටහා ගනු ලැබීම එක අතකින් ඔහුගේ සමත්කමකි.

මේ අනුව විෂය වන නිශ්චිත පුද්ගලයන්ගේ භූමිකා නිරූපණයට, අදාළ මුහුණුවර සහිත ශිල්පී ශිල්පිනියන්ම තෝරා ගැනීමේ පියවර අනුගමනය කිරීමක් අනුරුද්ධ වෙතින් දත හැකි වේ. සෙසු සියලු දෑ ද වර්ෂ 1977 - 1989 සමය පිළිබඳ මතකය අවදි කරන සුළු අන්දමින් නිරූපණයට අනුරුද්ධ මෙතැනදී එහෙම පිටින්ම සමත්ව ඇතැයි යන්න සඳහන් කිරීම ඔහුට කරන අසාධාරණයකි. එහෙත් ඊට ඔහු දැරූ වෙහෙස අගය කළ යුතුය. ඇතැම් තැනකදී ඔහු මුහුණ දෙන්නේ තවමත් ලාංකේය සිනමාකරුවන් අපහසුතාවට පත් කරන ගැටලු සමහරකටයි. වර්ෂ 1977 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලදුව කොළඹ දී පැවැත්වෙන ජන රැළියට එක් වූ මහජනතාව දැක්වෙන රූප රාමු කිහිපය ඉන් එක් ගැටලුවක් පිළිබිඹු කරන අන්දම පෙනේ. එසේම වර්ෂ 1983 මැයි දිනය සමරනු වස් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ පෙළපාලිය නිරූපිත රූප රාමු ද උක්ත ගැටලුවම දරිද්‍රතාවක ප්‍රතිඵලයක් සේ පවසන්නකි. කොළඹ නගරයේදී සිදුවන මහජන උද්ඝෝෂණයක් නිරූපණයේදී ද අනුරුද්ධට පොහොසතකු වීම අසීරු වෙයි.

මෙබඳු අවස්ථා ස්වල්පයක් හැරුණු කොට සිනමාපටය කිසියම් ආකර්ෂණීය හා විශ්වසනීය හැඩයකින් සමන්විත කරන්නට අනුරුද්ධ දක්වන උනන්දුව යටපත් කළ යුතු නොවේ. ඒ සඳහා වන නිෂ්පාදන පාර්ශ්වයේ මැදිහත් වීම පැහැදිලිය.

'ගින්නෙන් උපන් සීතල' හිදී ඉස්මතු වන අරමුණු කිහිපයකි. ඒ සියල්ලම වර්ෂ 1977 - 1989 සමයේ ජනතා විමුක්ති පෙරමුණු නායක රෝහණ විජේවීරගේ භූමිකාව මුල් කොට ගෙන විද්‍යාමාන වේ. සිනමාපටය ආරම්භ වන්නේ ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත වූ රෝහණ විජේවීර ඇතුළු පිරිසක් වර්ෂ 1977 ඉන් නිදහස් කළ අවස්ථාවෙනි. ඉනික්බිතිව බොහෝ රූප රාමු විෂයෙහි දැකිය හැකි වන්නේ ඔහුය. ඒ නාමික සඳහන් කිරීම් ද සහිතවයි. සිනමාපටය නිමා වන්නේ ඔහුගේ මරණය මුල් කර ගනිමිනි. සෙසු සියලූ භූමිකා ඔහු වටා භ්‍රමණය වන සැටියකි. ඔහු ද භ්‍රමණය වන අයුරු පෙනේ. මේ භ්‍රමණය හා පරිභ්‍රමණය සිදු වන්නේ එකිනෙකාට සාපේක්ෂවය.

පෙර කී පරිදි වන පළමු අරමුණ වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සාකල්‍යයෙන්ම යහපත්, දූරදර්ශී, මානව හිතවාදී හා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අපමණ සැලකිල්ලක් දැක් වූ දේශපාලන ක්‍රියාකාරියකු සේ පැවසීමයි. දෙවන අරමුණ ඔහු හා පක්ෂය අතර සබඳතා ඔස්සේ දත හැකි වේ. එනම් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ වැඩි එකඟතාව හා එකඟ වෙමින් ස්වකීය අදහස් බැහැර කරන්නට වුව ඔහු ක්‍රියා කිරීමයි. තෙවන අරමුණ හඳුනා ගත හැක්කේ වර්ෂ 1983 දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ දේශපාලන පක්ෂයක් බවට පත්වීමත් සමඟය. එතැන් සිට රෝහණ විජේවීර සැඟවුණු අයකු සේ හඳුන්වා දීමට අනුරුද්ධ පියවර ගනියි. සිව්වන අරමුණ කඨෝරය. ඒ අනුව රෝහණ විජේවීර යනු තම පක්ෂයේ හැඩ රුව රැක ගැනීමට මුළුමනින්ම සමත් නොවූ අයකුය යන්න ඉඟි කිරීමයි. පස් වන අරමුණ පාක්ෂිකයා සේම නිරායුධ අහිංසක පුරවැසියන් ද අනතුරේ වැටෙන මොහොතක සැඟවෙමින් තමා හා බිරිඳත්, දරුවනුත් ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන්නකු සේ නිරූපණය කිරීමය. සිනමාපටයේ දැක්වෙන අන්දමට ඔහු නවාතැන් කිහිපයක්ම භාවිතයට ගනී. ඔහු නිසා අතිශය නීතිගරුකව ජීවත් වූ වෛද්‍යවරයකු ද, බිරිඳ ද මහත් වූ ව්‍යසනයකට මුහුණපාන අන්දම නිරූපණය වන්නේ කිසියම් සැහැල්ලුවකිනි. එසේම රෝහණ විජේවීර සිය පෞද්ගලික ජීවිතයේදී ස්ත්‍රී ස්වීයත්වය නොසලකන්නකු ද වන වග අනුරුද්ධ පවසයි. චිත්‍රාංගනී නමැති ළාබාල යුවතිය විවාහ කර ගන්නට ඔහු සමත් වන්නේ ඇගේ විරෝධය නොතකාය. එසේම භීෂණ සමයක ඇය පස් දරු මවක් වන්නේ ද ඔහු නිසාය. වරක් ඈ දරුවකු ප්‍රසූත කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ 'ප්‍රජාතන්ත්‍රවාදය' මධ්‍යයේය.

මෙම අරමුණු සියල්ලම යථා පරිදි හා සිනමාරුපීව සනිටුහන් කළ යුතු වන්නේ වර්ෂ 1977 - 1989 සමයේ ලාංකේය දේශපාලන හා සමාජ පසුබිම බැහැර නොකරන පිළිවෙතක පිහිටාය යන්න වටහා ගැනීම අසීරු නොවේ. එහෙත් අනුරුද්ධ අනු දත් පිළිවෙත වන්නේ යථෝක්ත අරමුණු කිසියම් වියුක්තිකරණයකට බඳුන් කිරීමයි. සිනමාපටයේ එන සිදුවීම් හා චරිත බහුල බව ඊට එක් වැදගත් හේතුවක් වන්නට ඇත. අදාළ දේශපාලන හා සමාජ පසුබිම හසු කර ගන්නට දරන ප්‍රයත්න හමුවේ අර සියලු සිදුවීම් නිරූපණය අසීරු වන්නට ඉඩ ඇතැයි කියා ඔහු කල්පනා කරන්නට ද ඇත.

කෙසේ වෙතත් අනුරුද්ධ විසින් පිළිගනු ලබන මෙම පිළිවෙත එක් සාධනීය අරමුණකට ද ඉඩ හසර සලසා දෙයි. ඒ රෝහණ විජේවීර භූමිකාව අරභයා විකල්ප කියැවීමකට පහසුකම් සලසා ගැනීමෙනි. ඊට අවශ්‍ය අමු ද්‍රව්‍ය සම්පාදනයට නම් අනුරුද්ධ නොපැකිලෙයි. විශේෂයෙන්ම සිනමාපටයේ රූප රචනය සතු තියුණු බව හරහා අනුරුද්ධගේ එම අමු ද්‍රව්‍ය ප්‍රමිතියෙන් ඉහළය යන්න අවධාරණය කරන අන්දම පෙනේ. සිනමාපටය දිග හැරෙන්නේ ක්‍රමිකවය. එය ද එක්තරා ආකාරයකින් අමු ද්‍රව්‍යයක් බඳුය.

වර්ෂ 1977 - 1989 සමයේ ලාංකේය දේශපාලන හා සමාජ පසුබිම රූපමය වශයෙන් හසුකොට ගෙන සිනමාපටයක් සිනමානුරූපී බව තහවුරු කරනු පිණිස උපයෝගී කොට නොගන්නා නිසා මතු කෙරෙන ප්‍රශ්න කිහිපයකි. ඇත්ත වශයෙන්ම මේවා අතිශය වැදගත් ප්‍රශ්නය. මඟ හැර යා නොහැකි ප්‍රශ්නය. සිනමාපටයේ අරමුණු කුළුගැන්විම හෝ නොවීම ද, පරිවර්තනය වීම් ද තීරණය කළ හැකි ප්‍රශ්නය.

මෙයින් පළමු ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරු දෙදෙනකු යටතේ වූ ශක්තිමක් ආණ්ඩුවකට එරෙහිව, එය පෙරළා දමනු පිණිස ආයුධ සන්නද්ධ ක්‍රියා මාර්ග ගැනීමට තරම් වටා පිටාවක් සිනමාපටය නරඹන කළ ප්‍රේක්ෂකයනට සංජානනය නොවන්නේ මන්දැයි යන්නය. කෙසේ වුවත් අනුරුද්ධ වාචික ප්‍රකාශ හා සිදුවීම් කිහිපයක් ගෙනහැර පාන වග අමතක කළ යුතු නොවේ. වර්ෂ 1983 දී ජූලි කලබල මුල් කරගෙන ජනතා විමුක්ති පෙරමුණ තහනම් දේශපාලන පක්ෂයක් සේ නම් කිරීම, වර්ෂ 1982 දී ජනාධිපතිවරණයක් හා ජනමත විචාරණයක් පවත්වන ආකාරය, ආණ්ඩු හිතවාදීන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් කඩාකප්පල් කිරීම් ඊට නිදර්ශනය.

දෙවන ප්‍රශ්නය වන්නේ පූර්ණ සමාජවාදී විකල්පයක් උදෙසා වන සවිඥානක වැඩපිළිවෙළක් ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබුණේ ද යන්නය. වේදිකා කතා කිහිපයක් හැරුණු කොට සිනමාපටයේ කිසිදු තැනක ඔවුනගේ දැක්ම පෘථුලව නොදැක්වේ. පෘථුලව දැක්වෙන්නේ වෙනත් අංගය. මාක්ස් ලෙනින්වාදය පිළිබඳ විෂයානුබද්ධ හැදෑරීම් කරා ඔවුනගේ යොමුවීමක් ඇතැයි ප්‍රේක්ෂකයනට නොහැඟේ. එසේම රෝහණ විජේවීරට තැන් තැන්වල රැකවරණය ලබා දීම, ඔහුගේ දරු පවුල මුහුණ දෙන අතෝරයන්, රාජ්‍ය මර්ධනයට මුහුණ දීම පිණිස ගන්නා ක්‍රියා මාර්ග ආදී වශයෙනි. දේශපාලන මණ්ඩලයේ සාකච්ඡා මේ සියල්ල පිළිබිඹු කරන අන්දම පැහැදිලිය.

තෙවන ප්‍රශ්නය වන්නේ නිරායුධ හා අහිංසක මිනිසුන් තම පාර්ශවය වෙතින් සේම රාජ්‍ය පාර්ශ්වයෙන් පීඩාවට පත්වන අන්දම සම්බන්ධයෙන් රෝහණ විජේවීර හා ජනතා විමුක්ති පෙරමුණ සැහැල්ලු ප්‍රතිචාර දක්වන්නේ මන්දැයි යන්නය. රාජ්‍ය පාර්ශවයේ මර්දනය කැඳවන්නේ තමන්ය කියා ඔවුන් කිසි විටෙකත් කල්පනා නොකිරීම උභතෝකෝටියකි.

සිව්වන ප්‍රශ්නය වන්නේ මහජනතාව සමඟ ගැඹුරු හා සමීප සබඳතාවක් ඔවුන් විසින් පවත්වාගෙන යනු නොලබන්නේ මන්දැයි යන්නය. මේ මහජනතාව බල ගන්වන ව්‍යාපාරයක් නොව කුඩා කණ්ඩායමක මෙහෙයවීමෙන් රට පුරා පතුරුවා හරින අරාජිකත්වයක් යැයි ඇතැම් ප්‍රේක්ෂකයකු තීරණය කරන්නට ඉඩ තිබේ. මෙනිසා නැඟෙන්නේ රාජ්‍ය පාර්ශවයේ ප්‍රතිචාරය සහේතුකය කියායි, තර්කානුකූල කියායි.

'ගින්නෙන් උපන් සීතල' හි අරමුණු හා උක්ත ප්‍රශ්න අතර කිට්ටු සබඳතාවක් පවතින වග තවදුරටත් අවධාරණය කළ යුත්තක් නොවේ. අරමුණු සාක්ෂාත් කර ගැනීම අභියෝගයට ලක් කරන්නේ උක්ත ප්‍රශ්නයි. එහෙත් මේ අරමුණු හා ප්‍රශ්න අතර පවතින්නේ මිතුරු ප්‍රති විරෝධතාවක්ය කියා වටහා ගැනීම වැදගත්ය. සිනමාපටය, වෘත්තාන්ත සිනමාපටයක් දක්වා පැමිණෙන්නේ මේ මිතුරු ප්‍රති විරෝධතාව ද මහෝපකාරී කොට ගෙනයි. එසේම සිනමාපටයේ විවාදාත්මක බව කෙරෙහි ද එය සෘජුවම බලපාන්නක් යැයි සිතේ.

මෙතැනදි සිනමාපටය අවිඥානකව පැමිණෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය විනිවිද දැකීමට නොව රෝහණ විජේවීරගේ භූමිකාව පිළිබඳ පශ්චාත් හැදෑරීමක් කරාය. මේ එහෙම පිටින්ම විවෘත හැදෑරිමක් නොවේ. අනුරුද්ධ මහතා අරමුණු හා ප්‍රශ්න විසින් මතු කරනු ලබන සංකීර්ණ හැදෑරීමකි. ඉන් රෝහණ විජේවීර යනු අතිශයෝක්තියට නංවන, විටෙක පූජනීය වස්තුවක් බවට පත් කරන භූමිකාවක් නොවන වග වටහා ගැනීමේ වටා පිටාවක් ද නිර්මාණය වේ. මේ අනුව ඔහු සිය පාක්ෂියන් දැවැන්ත මර්දනයකට ලක් වන වග වටහා ගත් නමුත් එය තීව්‍ර වන පියවර විනා එය සීමා කරන - පාලනය කරන පියවර කිසිවක් අනුගමනය නොකරන්නෙකි. තැනින් තැනට සැඟව පලා යන දේශපාලන පක්ෂ නායකයෙකි. තමාට වඩා වසර ගණනාවකින් බාල බිරිඳට කිසිදු පහසුකමක් නොමැති පරිසරයක වුව දරුවන් පස් දෙනෙකු බිහි කරන්නට ඉඩකඩ සලසා දුන් අයෙකි.

'ගින්නෙන් උපන් සීතල'ට විෂය වන කාලවකවානුව, චරිත හා සිදුවීම් හෝරා දෙක හමාරකින් විවරණය අසීරුය. අනුරුද්ධට වුවමනා වී ඇත්තේ තිර නාටකයට එක් කළ සියලු චරිත හා සිදුවීම් සිනමාපටය පුරා පතුරුවා හරින්නටයි. ඊට හෝරා දෙක හමාරක් නොසෑහෙන වග කිසිවකුටත් අපැහැදිලි නොවේ. ඔහුගේ අරමුණු හා මිතුරු ප්‍රති විරෝධතා සමඟ ආ ප්‍රශ්න විසින් සිනමාපටයේ ඉරණම තීරණය කරන්නේ එහෙයිනි.

තුසිත ජයසුන්දර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.