සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ‘ක්ලැපර් බෝයි’

එච්. ඩී. ප්‍රේමරත්න
පෙබරවාරි 7, 2019

1971 වසර අපට අමතක නොවන මතක සටහන් තැබූ වසරකි. මගේ ඥාති සිංහල වෛද්‍යවරයකුගේ දියණියකගේ විවාහ මඟුලකට සහභාගිවීමට මම වත්තල ගැමුණු පැලස් සිනමාහල අසළ තෙළඟපාත පිහිටි නිවසිට ගියෙමි. වරින් වර ඥාතීන් පැමිණ මා සමඟ කතා කළ ද හුදෙකලවේ පසු වූ මා ගැන අවධානයෙන් සිටි තරුණයෙක් කල්යල් බලා සිනාසුණේය. මම ද ඊට ප්‍රතිචාර දැක්වීමි. ඔහු මා වෙත පැමිණ අසුන් ගත්තේය.

'මම ඔයා 'සරසවිය' පත්‍රයට ලියන ලිපි කියවනවා. වෙද මාමා තමයි කිව්වේ - ඔයා ඒගොල්ලන්ගේ නෑයෙක් කියලා. එයා අපෙත් නෑයෙක්. මම හිතුවා අද මෙහාට අනිවාර්යෙන්ම එයි කියලා' ඔහු කතාව පටන් ගත්තේය.

එතැන් සිට අප කතා නළේ සිනමාව ගැනය. ඔහු චිත්‍රපට කතා ගැන විශේෂයෙන්ම කතා කළේය.

'මම ඉන්නේ කල්යාණි මාවතේ මේ ළඟ. කලාව ගැන උනන්දුවක් ඇති වුණේ කැලණියේ ගුරුකුල විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉඳලා. මගේ පන්තියේ කලාවට ආදරය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක්ම හිටියා. මාලිනී ෆොන්සේකා, විමල් කුමාර ද කොස්තා, ඩොනල්ඩ් කරුණාරත්න, කේ. ඒ. විජේරත්න, මියුලින් පෙරේරා (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී) කරු හීනටිගල (චිත්‍රපට නිෂ්පාදක), කුසුම් පීරිස් (ප්‍රවීණ නිවේදිකා), පතිරාජ එල්. එස්. දයානන්ද, මිල්ටන් රණසිංහ, සෝමවීර ගුණසේකර (චිත්‍රපට අධ්‍යක්ෂ), එච්. එස්. ප්‍රේමේන්ද්‍ර. අපිට නැටුම් ඉගැන්නුවේ එස්. මලල් මහත්තයා. අපි අතරින් නැටුම්වලට දස්කම් පෑවේ ඩොනල්ඩ් කරුණරත්න.'

මා සමඟ තොරතුරු කතා කළේ එදා ගුරුකුලේ ඉගෙන ගනිමින් සිනමාවට ඇලුම් කළ එච්. ඩි. ප්‍රේමරත්නය.

'කොස්තා, පතිරාජ, ප්‍රේමවීරත් සමඟ මම වත්තල සමුද්‍රා එක් පෙන්නපු හැම චිත්‍රපටයක්ම බැලුවා.' ප්‍රේමරත්න ජයග්‍රාහී සිනාවක් මුවට නංවාගෙන කීවේය.

ප්‍රේමරත්න නාට්‍ය කලාවට සම්බන්ධව 'යකාගේ කම්හල' නාට්‍යයේ කතාව හා දෙබස් රචනා කොට තිබූ බවත්, දැනට ටයිම්ස් ආයතනයේ 'ඩේලිමිරර්' පුවත්පතේ සෝදුපත් බලන රැකියාවක නියැළෙන බව කීවේය.

'මම චිත්‍රපට කතාවක් ලියාලා තියෙනවා. මගේ අදහස චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට. මම රන්ජිත්ට විවේක වෙලාවක ඒක කියවන්න දෙන්නම්.'

'ඒක කොයි වගේ කතාවක්ද?' මම කුතුහලයෙන් ඇසීමි.

'හාපුරා කියලා කරන චිත්‍රපටය නිසා මම ඒ ගැන හුඟාක් හිතුවා. පුංචි කාලේදි 7 වැනි පන්තියේ කියවපු උම්මග්ග ජාතකයේ එන කාලගෝල කතාව දිග්තලා, දික්පිටියා හා කාලගෝල යන චරිත තුන අලළා නව අර්ථ කථනයක් දෙන්න මම හිතුවා. දැනට විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, සුවිනීතා වීරසිංහ ගැන හිතලා තියෙනවා. මම හිතුවා මුල්වරට අලුත් නළුවෙක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා මිටි අඟුටුමිට්ටෙක් ප්‍රධාන චරිතයට ගන්න.'

'ඔයා කොහොම හරි පටන් ගන්න. අපි 'සරසවිය' පත්තරෙන් උපරිම සහයෝගය දෙන්නම්.'

අපි දෙන්නා සමීප මිතුරන් වීමු. මම ඉඳහිට වත්තල ඔහුගේ නිවසට ගියෙමි.

ප්‍රේමරත්න ඉන්පසු මට නිතර හමු වූයේ ඔහු සේවය කළ ටයිම්ස් ආයතනය අසල තිබූ වයි. එම්. බී. ඒ. ශාලාවේදීය. ඇතැම් විට කෑම වේලාවේදී අපට 'ලංකාදීප' පත්‍රයේ ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ හමු විය.

ප්‍රේමරත්න තම මුල්ම චිත්‍රපටය සඳහා නිෂ්පාදකයන් කිහිප දෙනෙක්ම එක්ව සිටියත් ඔහු චිත්‍රපටය නිම කර ගැනීමට දස දුක් වින්දේය. චිත්‍රපටයේ ඡායාරූප කිහිපයක් ද, චිත්‍රපටයේ කතාව පිටු දෙකක් පුරා 'සරසවිය' පත්‍රයට මා විසින් ලියන ලද්දේ 'කාලගෝල කතාවෙන් සිකුරු ලියක් උපදියි' යන මාතෘකාවෙනි. ඒ 1973 වසරේදී පමණය.

'සිකුරුලියා' චිත්‍රපටය කිරීමට පෙර චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කොට ප්‍රේමරත්නට අත්දැකීම් තිබුණි

සිනමාවට කෙසේ හෝ සම්බන්ධවිමට සිහින මැවූ ප්‍රේමරත්න ගෙදර කට්ටියත් සමඟ කතරගම වන්දනා ගමනක් ගියේය. ඔවුන් නවාතැන් ගත්තේ රාමක්‍රිෂන් ශාලාවේය. හිටි හැටියේම ප්‍රේමරත්නට චිත්‍රපට නළු පියදාස ගුණසේකර දක්නට ලැබිණ.පියදාස එළමහනේ සක්මන් කරනු දුටු ප්‍රේමරත්න කල් යල් බලා ඔහු වෙත ළං විය.

'පියදාස අයියා මට ටිකක් කතා කරන්න පුළුවන්ද?'

'ඇයි මල්ලී . . .'

'මම සිනමාවට ආසයි. මට ඒකට උදව්වක් කරන්න පුළුවන්ද?'

'මල්ලී උඹලා වගේ කොල්ලෝ තමයි සිනමාවට එන්න ඕනේ. කොළඹ ගියාම අපේ ගෙදර එන්න. මම ඉන්නේ මාලිගාකන්දේ කැටවලමුල්ල පාරේ'

කැටවලමුල්ලට ගිය ප්‍රේමරත්නට පියදාස ගුණසේකර විසින් ඩොමී ජයවර්ධනට දීමට ලියුමක් ලියා දුන්නේය. එවිට ඩොමී තම ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණයට සූදානම් වෙමින් සිටියේය. පිටකෝට්ටේ සීවලි වෙන්දෙිසි පොළේ අධිපති සීවලි ඒකනායකගේ කාර්යාලයේදීය. ඒ චිත්‍රපටයේ නම් 'දරුදුක'ය. ලියුම දුටු ඩොමී, ප්‍රේමරත්න 'ක්ලැපර් බෝයි' ලෙස චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තේය.

'චිත්‍රපට 16 ක් අධ්‍යක්ෂණය කරලා සිනමාකරුවකු බවට පත් වූ එකම ක්ලැපර් බෝයි මමයි' කියා ප්‍රේමරත්න මහත් අභිමානයෙන් සරසවිය පත්‍රයේ සුනිල් මිහිඳුකුලට කියා තිබුණි.

'මම කවදත් තනිවෙච්ච මිනිහෙක්. මට යාළුවො නැහැ. වෙසක් එකට වෙසක් කාඩ් ගත්තට යවන්නේ කාටද කියන එක මටම ප්‍රශ්නයක්. ඒ යාළුවෝ නැති නිසා' ප්‍රේමරත්න කියා තිබුණි.

මා 'සරසවිය' කර්තෘවරයාව සිටියදී අප කර්තෘ මාණ්ඩලික අනුර බණ්ඩාර රාජගුරු (පසුව සරසවිය කර්තෘ) ඡායාරූප ශිල්පී බන්දුල විජේසුරේන්ද්‍ර හා අප හිතවත් ' ඔබ්සවර්' පත්‍රයේ උප කතුවර ආර්. ඇස්. කරුණාරත්න සමඟ ප්‍රේමරත්නගේ කුටුම්බයට ගිය ගමන 'දිරිය මිනිසකු සමඟ ගෙවුණු සැඳවක් 'නමින් රාජගුරු අපූරු විශේෂාංගයක් 'සරසවිය'ට ලියූ (1993 දී පමණ යයි සිතමි) විශේෂාංගය මට නිබඳව සිහිවේ. නිර්මාණත්මක භාෂා ශෛලියකින් වෘත්තාන්තයක් මෙන් ලියූ ඒ විශේෂාංගය ප්‍රේමරත්න ගැන ලියූ ඒ වර්ගයේ හොඳම නිර්මාණයකි. එදා ප්‍රේමරත්න තම සිනමාවේ ආරම්භක දුක්බර අත්දැකීම් අපට කීවේය.

'දරුදුක' චිත්‍රපටයේ මම මුලින්ම ක්ලැපර් බෝයි. චිත්‍රපටයක දර්ශන ගැනුම අංකය දිනය සටහන් කරන පුංචි බෝඩ් එක මම ඇල්ලුවේ. ක්ලැපර් බෝඩ් එකේ මේ සටහන සංස්කරණයට ආධාර වෙනවා. මේ කාර්යය කිරීමට මම එක් වරක් හැතැප්ම 10 ක් පමණ දුරක් දහඩිය දාගෙන සපුගස්තැන්නේ කන්දකට දිනපතා ගියා. කෑම බීම දීලා දවසකට මට ලැබුණේ රු: 5 යි. ඒ 1965 දී. මම පසුව ඒ චිත්‍රපටයේ 3 වන සහාය අධ්‍යක්ෂ වුණා. ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා අධ්‍යක්ෂණය කළ 'පූජිතයෝ' චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ වුණා.'

'සිකුරුලියා' චිත්‍රපටයේ දර්ශනයක් ආමර් වීදියේ දැන් පොලීසිය තියෙන තැන තියෙන ෆ්ලැට් එකේ තිබුණ දර්ශන රූගත කිරීම බැලීමට එන ලෙස ප්‍රේමරත්න කීවේය. මගේ කොස්ගස් හන්දියේ සිට ආමර් ෆ්ලැට්ස්වලට ඇත්තේ විනාඩි 5 ක පා ගමනකි. එදා අති මහත් සෙනඟ එහි රැස්ව සිටියහ. පොලීසියෙන් සෙනඟ හසුරුවමින් සිටි නිසා මට එහි ළඟා වීමට නොහැකි විය. එය සටන් දර්ශනයකි. ෆ්ලැට් එකේ ගෙවල්වලට යන පැසේ්ජ් එකෙන් පටන් ගත් රොබින් ප්‍රනාන්දු හා ඇලෙක්සැන්ඩර්ගේ සටන ඇත්තටම කෙරීගෙන ගියා. දෙදෙනාගේම මුහුණු හීරී, තොල් පුපුරා ලේ ගලමින් තිබුණි. මා දුටු ප්‍රේමරත්න පැමිණියේය. දර්ශනය අපූරුවට කැමරාවට නැඟිණ.

'රන්ජිත් අපි ලස්සන සින්දු කිහිපයක්ම කළා. අපි මේ සීන් එක ඉවර වෙලා අහමු' ඔහු කීය.

එදා මා ඇසූ ගීතවල සංගීත අධ්‍යක්ෂවරයා ක්ලැරන්ස් විජේවර්ධනගේ තනු සහිත ගීත ඉතාමත් ජනප්‍රිය වන බව කී විට ප්‍රේමරත්න නිහතමානීව සිනාසුණේය.

'මිල්ටන් ගේ 'සිකුරුලියා බොළඳ ලියා' ගීය මේ සියලු ගී අතරින් ජනප්‍රියම ගීතයයි. සරසවිය සම්මාන උලෙළ තිබුණා නම් මිල්ටන්ටයි, ගීතය ලියපු ධර්මසිරි ගමගේටයි සම්මාන ලැබෙනවා' මම කීිවෙමි.

'සිකුරුලියා' සාර්ථකව තිරගත වුණත් ප්‍රේමරත්නට එයින් ලැබී ඇත්තේ සොච්චම් මුදලකි. නිෂ්පාදකවරු කල් ඇතිව කියා තිබුණේ චිත්‍රපටයෙන් පාඩු වුණොත් ඒ මුදල ප්‍රේමරත්න දිය යුතු බවය. චිත්‍රපටය ලාභ තිබුණොත් රු: 36,000 ක් ගෙවන බවය. කෙසේ වුව ද ප්‍රේමරත්නට ලැබී තිබුණේ අග බින්දුව කපා රු: 3,600 කි. පසු කලෙක ප්‍රේමරත්න චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරමින් සම්මාන පිට සම්මාන ලබා ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා ශ්‍රීපාලි මණ්ඩපයේ පැවැති ප්‍රේමරත්න උපහාර උලෙළෙදී ලැබූ මුදල් ත්‍යාගය 'සිකුරුලියා' චිත්‍රපටයේ සම නිෂ්පාදකයකුට පිරිනැමීමට පේ‍්‍රමරත්න නිහතමානී විය.

හපුආරච්චිගේ දොන් ප්‍රේමරත්න 1944 ජනවාරි 27 වැනිදා වත්තල තෙළඟපාත උපත ලබා කැලණියේ ගුරුකුල හා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලවල ඉගෙනීම ලැබීය. තම පියා වූ හපුආරච්චිගේ දොන් ඇලෝ සිංඤෝ මට්ටක්කුලියේ රබර් කොම්පැනියක (පසුව එය ලංකා සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලය) සේවය කළ අතර කෝවිල්වල බඩ පිනුම් ගැසූ අපූරු කලාකරුවෙකි. එදා ඔහු අනුර බණ්ඩාර රාජගුරුට සහ අපට විස්තර කළේ මෙසේය.

'මම මලකටුවා කියන පිනුම් මාර්ටර්ගේ ගෝලයා. මගේ යාළුවෙක් හිටියා කිරිත්තමුල්ලේ. නම තෝමස් සිංඤෝ. එයත් මලකටුවගේ ගෝලයෙක්. අපි දෙන්නා තොවිල්පලවල පිනුම් ගහන එක මගේ විනෝදයක්. අපි එක තොවිල් පළක් අත ඇරියේ නෑ. මගේ වැඩිමල් පුතා ප්‍රේමරත්න බයිස්කෝප්වලටම හිත. දෙවැනි පුතා සුනිල් ඒ පැත්තට ගියේ නෑ.'

ප්‍රේමරත්න මුල්ම රැකියාව ටයිම්ස් ආයතනනයයි. තම නිවස අසල සිටි සී. අයි. පෙරේරා විසින් ප්‍රේමරත්නව ටයිම්ස් පත්තරේ ප්‍රවෘත්තිි කර්තෘ රෙජී මයිකල් වෙත යෙමු කළා. ඔහු ප්‍රේමරත්න 'ඩේලි මිරර්' පත්‍රයේ පෲෆ් බලන්නෙකු ලෙස පත් කර ගත්තේය. 'සිකුරුලියා' චිත්‍රපටයෙන් පසු ඔහු දීර්ඝකාලීනව චිත්‍රපට කලාවට යොමු විය. එදා ක්ලැපර් බෝයි කෙනකු ලෙස සිනමාවට එක් වූ ප්‍රේමරත්න ලක්ෂ 160 ක ආදායම් වාර්තා තැබූ 'පාලම යට ' චිත්‍රපටයේ ද අධ්‍යක්ෂවරයාය. රුසියාවේ ටෂ්කන්ට් උලෙළට 1980 දී 'පරිත්‍යාග' චිත්‍රපටය ද, 1982 දී මනිලා ජාත්‍යන්තර උලෙළට 'දෙවෙනි ගමන', කයිරෝ උලළලට 'දෙවෙනි ගමන', 1990 ඇමරිකාවේ හවායි උලෙළට 'පාලම යට' ද ටෂ්කන්ට් උලෙළට 'ආදර හසුන' ද ප්‍රේමරත්න සමඟ නියෝජනය කෙරෙන විට සපුගස්තැන්න වතුයායට සැතපුම් 16 ක පා ගමන මල් මාවතක් වූ නොවේදැයි ඔහුට නෙදැනුණිද? ඒ ගෙදර එන්නට රුපියල් 20 ක පඩියක් ලැබූ අරුමයක මහිමය නොවේද?' රාජගුරු 'සරසවිය' පත්‍රයට ලියා තිබුණි.

සිකුරුලියා (1975), අපේක්ෂා (1978), සසරක පැතුම් (1978), පරිත්‍යාග (1980), හස්ති වියරුව (1983), දෙවැනි ගමන (1984), ආදර හසුන (1986), මංගල තෑග්ග (1987), සහරාවේ සිහිනය (1990), පාලම යට (1990), කුලගෙය (1992), සප්ත කන්‍යා (1993), සෙයිලම (1995), වීසිදැල (1997), මන්දාකිණි (1999), කිණිහිරියා මල් (2001) යන චිත්‍රපට 16 ක් අධ්‍යක්ෂණය කළ ප්‍රේමරත්න සම්මාන රැසක් හිමිකර ගත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ටෙලි නාට්‍ය කිහිපයක් (දුලාරි, සිහින දනව්ව, සඳුන් ගිර ගිනි ගනී) අධ්‍යක්ෂණය කළ ඔහු ජීවිතයේ අවසාන කාලයේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

ප්‍රේමරත්න හා මා අතර සමීප සම්බන්ධය නිසා වරක් චිත්‍ර කතාවක් සිනමාවට නැඟීිමටි යෝජනා කළේය. තංලගම ජයසිංහ විසින් 'මධුර' පත්‍රයට ලියූ 'වියරු මුහුද' චිත්‍ර කතාවය ඒ. ජේම්ස් හෑඩ්ලි චේස් ගේ නවකතාවක් ඇසුරෙන් තලංගම විසින් අඳින ලද මේ චිත්‍ර කතාව මගේ අදහස අනුව කියවා බැලූ පේ‍්‍රමරත්න අපූරු තිර නාටකයක් ලියා තම නිවස හා ඉඩම බැංකුවට උගස් කොට 'සප්ත කන්‍යා' නමින් එය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළේය. සියලු ගී ජනප්‍රිය වූ සප්ත කන්‍යා නිසා ප්‍රේමරත්න ගොඩ ගියේය. අපි දෙදෙනා තලන්ගම ජයසිංහ සමඟ පාක්වීව් හෝටලයේ බීර බොමින් කතා කළ අයුරු මට දැනුත් මතකය.

මා කියවා තිබූ ගුණදාස ලියනගේ විසින් පරිවර්තනය කළ 'මකර රජුගේ දුව' නම් චීන කෙටි කතා සංග්‍රහයේ එන 'අමුත්තා' කතාවේ ඉංග්‍රීසි පොත සොයා ප්‍රේමරත්නට දුන්නේ ඒ වස්තු බීජය අනුව හොඳ තිර නාටකයක් ලිවීමට යෝජනා කරමිනි. ඔහු එය 'අපූරු කතාවක්' කියමින් තිර නාටකය ලියා 'ආදර හසුන' නමින් සිනමාවට නැගුවේය.

ප්‍රේමරත්න විසින් තිර නාටකය ලියා අසූව දශකයේ 'අභිෂේක' නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සැලසුම් කොට තිබුණි. චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූයේ මගේ පාසැල් මිතුරකුව සිටි මහින්ද පෙරේරාය. එවකට ඔහු තොටලඟ 'මිනර්වා' සිනමාහලේ අයිතිකරුය. චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතය සඳහා ඔහු නවක නිළියක් හඳුන්වා දුන් අතර එහි ප්‍රධාන චරිතයට අමරසිරි කලංසූරිය තෝරා ගත්තේය. චිත්‍රපටයට අපූරු යුග ගීතයක් ද රචනා විය. ගීත රචකයා මට මතක නැත. ජෝර්ජ් ලෙස්ලි රණසිංහ බව මට මතකයේ ඇඳී ඇතත් එය හරිදැයි මම නොදනිමි. ගීතය ගායනා කළේ මිල්ටන් මල්ලවාරච්චි හා දමයන්ති ජයසූරියයි. එහි මුල් වචන පෙළ 'මල් පිරි පුරයේ' බව යාන්තමට මතකය. සංගීත අධ්‍යක්ෂවරයා ස්ටැන්ලි පීරිස්ය. එදා වාදක මණ්ඩලයේ ග්‍රේෂන් ආනන්දත්, රූකාන්ත ගුණතිලකත් සිටි බව ද මතකය.

'මිනිස්සු' නමින් තවත් චිත්‍රපටයක් කිරීමට සැලසුම් කොට තිබුණත් එය ද අතරමඟ ඇණ හිටියේය.

ප්‍රේමරත්න සුන්දර මිනිසෙකි. චිත්‍රපට ගීත ගැන ඔහු වඩාත් අවධානය යොමු කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ චිත්‍රපට ගීතාවලිය තරම් ජනප්‍රිය වූ ගීතාවලියක් ඇත්නම් එය අල්පයකි. අවදානම නොතකමින් නවක නිළියන් මෙන්ම ගායක ගායිකාවන් නොබියව ඔහු හඳුන්වා දුන්නේය.

ඔහු 2005 වසරේ මිය නොගියා නම් තවත් අලුත් චිත්‍රපටයක් සඳහා තිර නාටකයක් ලියාගෙන තිබුණි. තමාට මෙතරම් ඉක්මනින් මරණය එදිරි වේ යැයි ඔහු නොසිතුවේ මා ඩර්ඩන්ස් රෝහලට ගිය අන්තිම දින උදයේ ද ඔහු කතා කළේ සනීප වී පැමිණ ඒ ගැන කතාකරමු යන සුබවාදී අරමුණෙනි.

ඒ. ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.