විජය සහ 1971...

ජනවාරි 3, 2019

1971 වසර යනු නිදහසින් පසු මෙරට ඉතිහාසයේ අමතක නොවන වසරක් ලෙස සටහන්වී ඇතැයි පවසතොත් එය අත්ශයෝක්තියක් නොවේ,ඒ නිදහස ලැබීමෙන් අනතුරුව තරුණ කැරැල්ලක් ඇතිවූ මුල්ම වසර මෙය වීමෙනි,එමෙන්ම මෙරට සිනමාවේ ජනකාන්ත නළු විජය කුමාරතුංගයන්ගේ දිවියේ අමතක නොවන වසරක් ලෙසද මෙම වසර හඳුන්වා දිය හැක. මෙම වසරේ තිරගතවූ චිත්‍රපට 14 න් චිත්‍රපට 06 කම රඟපෑමේ අවස්තාව ඔහුට හිමිවීම ඇත්තෙන්ම අමතක කළ නොහැකි සිදුවීමකි. ඊට පෙර ඔහු රඟපෑ චිත්‍රපට අතරින් මනමාලයෝ (1967),හන්තානේ කතාව,රෝමියෝ ජුලියට් කතාවක්,ප්‍රියංගා යන චිත්‍රපට 1970 වසරේ තිරගතවී තිබුනද මෙම 1971 වසර ඔහුට වඩාත් විශේෂ විය, රන් ඔන්චිල්ලා,හතර දෙනාම සුරයෝ,අභිරහස,කේසර සිංහයෝ,බිඳුණු හදවත්,සමනළ කුමරියෝ මෙසේ 1971 ඔහු රඟපෑ චිත්‍රපට අතර වෙයි. ඇත්තෙන්ම ඔහු ප්‍රධාන නළුවෙකු වශයෙන් වඩාත් ස්ථාවර මට්ටමකට පැමිණි වසර ලෙසද මෙම 1971 වසර හඳුන්වා දිය හැක.

ධර්ම ශ්‍රී කල්දේරා,නිල් රූපසිංහ,ලෙනින් මොරායස්,රෝලන්ඩ් අමරසිංහ,ලුවී වැන්ඩස්ටාටන්,විමලදාස පෙරේරා වැනි අධ්‍යක්ෂකවරුන් නිර්මාණය කර තිබු මෙම චිත්‍රපට අතරින් රන් ඔන්චිල්ලා චිත්‍රපටය ඔහුට එක අතකින් අමතක නොවන්නක් වන්නේ එහි ඔහුගේ වැඩිමල් සොයුරාවූ සිඩ්නි කුමාරතුංගද චරිත නිරුපණයේ යෙදීම නිසාය, එමෙන්ම ඔහුගේ පෙම්වතිය ලෙස මෙහි රඟපෑවේ ස්වර්ණා කහවිටය, හතර දෙනාම සුරයෝ චිත්‍රපටය විශේෂ වුවේ ගාමිණි හා මාලිනි සමග ඔහු මුලින්ම චිත්‍රපටයක රඟපෑම හේතුවෙනි, මෙම තිදෙනා මුලින්ම එකට රඟපෑවේද මෙහිය,තවද සිංහල සිනමාවේ අමරණිය පෙම් යුවළ ලෙස විජය -මාලිනි යුගයට පදනම වැටෙනුයේද මෙම චිත්‍රපටය තුලින්ය, ඒ වන විට මෙරට සිනමාවේ අංක එකේ නළු ගාමිණි ෆොන්සේකා හතර දෙනාම සුරයෝ චිත්‍රපටයේ රඟපෑවද ප්‍රධාන පෙම්වතා වුවේ විජය කුමාරතුංග වීමද අමතක කළ නොහැකි සිදුවීමකි, තවත් වැදගත් කරුණකි හැත්තැව දශකය මුල එනම් 1972 සිට 1976 දක්වා වැඩිම චිත්‍රපට ගණනක මාලිනි සමග පෙම්වතාගේ චරිතය රඟපෑ ගාමිණි ෆොන්සේකාට පෙර මාලිනි සමග පෙම්වතුන් ලෙස රඟපෑමේ අවස්ථාව මෙම චිත්‍රපටයෙන් විජය හට උදාවීම, හතර දෙනාම සුරයෝ චිත්‍රපටය මරදානේ ගාමිණි සිනමාහලෙහි අඛන්ඩව දින සියයක් (100) තිරගතවූ අතර වසරේ වඩාත් ජනප්‍රියවූ

චිත්‍රපටය ලෙසද මෙය කැපී පෙනිණි.විශේෂයෙන්ම ඕනෑම නළුවෙකුහට තම සිනමා දිවියේ මුල් අවධියෙහි දුෂ්ඨ චරිත නිරුපණයක යෙදීම එක අතකින් තම ඉදිරි රංගන දිවියට බලවත් අභියෝගයක් විය හැකි වුවද විජය අභිරහස චිත්‍රපටයේ කතානායකවරයා වුවද එය දුෂ්ඨ චරිතයකි,රන් ඔන්චිල්ලා චිත්‍රපටයේ මෙන්ම මෙහිද ප්‍රධාන නිළි චරිතය භාරදී තිබුණේ සුරූපී ස්වර්ණා කහවිටහටය, එම යුගයෙහි මෙරට සිනමාවේ ප්‍රධාන චරිත නිරුපනය කළ මාලිනීට හා ස්වර්ණාට අමතරව ඔහුට තවත් ප්‍රධාන නිළියකවූ නීටා ප්‍රනාන්දු ද 1971 වසර තුළ මුණ ගැසෙයි,ඒ කේසර සිංහයෝ චිත්‍රපටයෙනි. වර්තමානයෙහි මෙය එතරම් විශේෂ සිදුවීමක් නොවුණද එම යුගයට සාපේක්ෂව 1971 වසර තුළ තවත් අමතක නොවන වාර්තාවක් තම නමට ඉදිරියෙන් සටහන් කර ගැනීමට ඔහුට ලැබුණේ අගනා අවස්ථාවකි, සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය මණ්ඩල දෙකකට සීමාවී තුබූ එවක ඔහුගේ චිත්‍රපට තුනක් එකට මණ්ඩල තුනක තිරගතවීම ඔහු ලැබූ භාග්‍යයකි, හතර දෙනාම සුරයෝ චිත්‍රපටය මරදානේ ගාමිණි සිනමාහල මුල් කර ගනිමින් සිනමාස් මණ්ඩලයේද , අභිරහස චිත්‍රපටය මරදානේ එල්පින්ස්ටන් සිනමාහල මුල් කරගනිමින් සිලෝන් තියටර්ස් මණ්ඩලයේද තිරගතවෙමින් තිබියදී සාමාන්‍යයෙන් කලාතුරකින් සිංහල චිත්‍රපටයක් තිරගත කරන සිලෝන් එන්ටර්ටෙන්ට්මන්ට් සමාගම දමිළ චිත්‍රපට සඳහා නම් දරා තිබු මරදානේ සෙන්ට්‍රල් සිනමාහලේ ප්‍රධානත්වයෙන් කෙසර සිංහයෝ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ඇරඹිය.

මේ අනුව ඔහු මාලිනි සමග ජෝතිපාලගේ හා ඇන්ජලින් ගේ ගී නදට මරදානේ ගාමිණි හිදී අහා අහා ආදරණිය සිනා ගීතයට රංගනය යොමු කරනවිට ඊට නුදුරු මරදානේම එල්පින්ස්ටන්හිදී දැක ගැනීමට ලැබුණේ ජෝතිගේ හා ඇන්ජිගේ හඬටම ඔහු ස්වර්ණා සමගින් සිතුම් පැතුම් සඳ ආදරේ ගීතයට රඟන බවය, පමණක්ද? නැත, තවත් කිලෝමීටරයක එක හමාරක පමණ දුරකින් සන්සුන් රුවන් හඳ මන්දිරයේ යනුවෙන් සෙන්ට්‍රල් සිනමාහල තුළින් මිල්ටන් පෙරේරාගේ හා ශ්‍රීමති තිලකරත්නගේ හඬ ඇසුණි, එතනද විජයමය, ඒ නීටා ප්‍රනාන්දු සමගිනි. මෙම චිත්‍රපට තුනම ජනප්‍රිය වීමද මෙහිදී අමතක නොකළ යුතු අතර වසර තුළ ඔහුගේ චිත්‍රපට වැඩියෙන්ම තිරගත වුයේ සිලෝන් තියටර්ස් මණ්ඩලයේ සිනමාහල්වලය, ඒ රන් ඔන්චිල්ලා, අභිරහස, බිඳුණු හදවත් හා සමනළ කුමරියෝ යන චිත්‍රපට විය. තවද වසර තුළ ඔහු රඟපෑ චිත්‍රපට අතරින් වඩාත් සාර්ථකත්වයට පත් චිත්‍රපට ලෙස හතර දෙනාම සුරයෝ, රන් ඔන්චිල්ලා, අභිරහස හා කෙසර සිංහයෝ චිත්‍රපට නම් කළ හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.