දිව්‍ය ගාන්ධර්වයකු වූ රොක්සාමි

දෙසැම්බර් 27, 2018

 මගේ මතකය හරි නම් ඒ 1972 වසරය. මට මුල්වරට රොක්සාමි නම් විශිෂ්ට සංගීතවේදියා හමු වූයේ අද අප අතර නැති රංගවේදී සේනාධීර රූපසිංහගේ වත්තල ඇවරියවත්ත පාරේ පිහිටි නිවසේදීය. ඇතැම් කාලවල එම නිවසේදී ඒ අසලම පදිංචිව සිටි තරමක් තරබාරු, කාල වර්ණ දේහධාරී රොක්සාමි නම් සංගීතඥායා හැඳින සමීපව ඇසුරු කිරීමට අවස්ථාව ලැබිණ. පුංචි ළමයකුට හිමි අහිංසක හදවතකට උරුමකම් කී මේ අව්‍යාජ මිනිසා කොතරම් සුන්දර කෙනෙක්දැයි එදා ඇති වූ ඇසුරෙන් මොනවට පැහැදිලි වෙයි.

 

'මොහොතකට දෑස පියා ගත් කල ඔහුගේ සුමිහිරි වයලීනය අදත් අප දෙසවන පාරයි. 'දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්්කන්දා' ගීතය දහසක් හඬින් අප අසා ඇත. එහෙත් රොක්සාමිගේ වයලීනය ඒ පැරැණි ගීයට හඬ දෙත්ම මාගේ දෑසට කඳුළු පිරුණේමය'

රොක්සාමි ගාන්ධර්වයාගේ ගුණානුස්මරණය වෙනුවෙන් මහා රංගවේදී ගාමිණී ෆොන්සේකා ලියු සටහනකි මේ.

ගාමිණී තමා සිනමාවට එක්වීම පෙර සිට රොක්සාමිව හඳුනන්නේ යයි කියා ඇත. ඒ සුඛේන්ද්‍ර දත් නම් විශිෂ්ට නැටුම් ශිල්පියාගේ කුඩා නිවසේදීය. ඒ 1955 වසරේදීය. ගාමිණීගේ හිත මිතුරු ප්‍රේමනාත් මොරායස් ද ඒ නර්තන සංගීත කුලයේ බලකණුවක්ව සිටියේලු.

'සුඛේන්ද්‍ර දත් බෙංගාලි ජාතිකයෙක්. ප්‍රේමනාත් මොරායස් භාරත පවුලක පුතෙක්. එදා 'රොක්' නම් කෙටි නාමයෙන් මිතුරන් ආදරයෙන් ඇමතූ ඔහු සංගීතය කොතැන ද මතු කාලයේදී හැමෝටම නැතිව බැරි වූ අතර අනිවාර්යෙන්ම එතැන පෙනී සිටියා. ප්‍රේමනාත්ගේ ඇසුර නිසා 'රොක්' බර එසවීමේ ක්‍රීඩාවට යොමු වුණා. මල්ලව පොර ශූරයකු වූ ප්‍රේමනාත් ද නැටුමට දස්කම් පෑ සුඛේන්ද්‍ර දත් පෙනුමෙන් යෝධයන් වුවත් ඔවුන් තුළ තිබූ මිනිස් ගුණ ඊට එහා ගිය එකකි. මේ තිදෙනා එකට පාරට බැස්ස කළ මිනිසුන්ට ඔවුන් පෙනුණේ යෝධයන් තිදෙනකු ලෙසය. 'රොක්' මා දකින්නේ දිව්‍යමය ගාන්ධර්වයකු ලෙසය' ගාමිණී කියා ඇත.

1932 සැප්තැම්බර් 13 වැනිදා ඇල්පිටියේදී උපත ලැබූ මරියාකොලන්දේ ක්‍රිස්ටි රොක්සාමි හෙවත් ඇම්. කේ. රොක්සාමි ගැන මෙතෙක් හෙළිනොවූ තොරතුරු මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ සිය 'ගාන්ධර්ව අපදාන - 2' මුත්තුසාමි සහ රොක්සාමි' කෘතියෙන් අනාවරණය කරති.

මේ අනුව ඔහුගේ පියා මරියාකොලන්දේ සාමිය. මව ඇනා මාරි මෝසස්ය. මේ පියා හා මව දකුණු ඉන්දියාවේ පොන්ඩිචෙරි කොළනියෙහි උපන් අය වෙති. රොක්සාමි, ඇනා මරී මෝසස්ගේ දෙවැනි කසාදයේ දෙවෙනි දරුවාය. ඇනා මාරී මුලින් විවාහ වි සිටියේ ලාසරස් නැමැත්තා සමඟයි. ලාසරස්ට දාව ඇයට දරුවෝ තිදෙනෙක් වූහ. එනම් නාසරෙත්, රෝස් ලාසරස් සහ ජෝ ලාසරස්ය. මරියාකොලන්දේ සාමි ඇනා මාරිගේ දෙවැනි විවාහයේ පුරුෂයායි. ඇන්තනි සාමි, ක්‍රිස්ටි රොක්සාමි සහ බැස්ටියන් සාමි, සාමිට දාව ඇනා මාරිට උපන් දරුවෝය. රොක්සාමි ගේ ජාතිය දෙමළය. මවු බස දෙමළය, ආගම රෝමානු කතෝලිකය.

ඇල්පිටියේ සිට කොම්පඤ්ඤවීදියට පැමිණි රොක්සාමි කොම්පඤ්ඤවීදියේ ඇන්ඩර්සන් විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ අතර ඔහු විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුසලාන දිනූ වර්ණලාභියෙකි.

කුඩා රොක්සාමිගේ සිත සංගීතය පැත්තට යොමු වන්නේ දෙමාපිය ආභාසයෙනි. 'රොක්'ගේ කුඩා අවදිය ගැන වරක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර ලියා තිබුණි.

රොක්සාමි මාස්්ටර්ගේ රන්කිරි කට ගාන්නට ඇත්තේත් සංගීතයෙනි. තම අම්මා සින්දු කිය කියා සර්පිනාව ගහපු හැටි ඔහුට මතකය. අම්මාගේ ජනප්‍රිය ගීයක් වූ 'මනමේ' නාට්‍යයේ එන 'ප්‍රේමයෙන් මන රංජිත වේ' සින්දුවේ තනුව තියෙන දෙමළ සින්දුව.

තාත්තා වයලීනය වැයීමට තිබූ හැකියාව රොක්සාමිටත් අයියා වූ ඇන්තනි සාමිටත් බලපෑවා. මේ නිසාම ඔහු තම පුතුන් දෙදෙනා සරංගලිංගම් සංගීත ගුරුවරයා වෙත යැව්වේය. පුතුන් දෙදෙනා හැම සංගීත භාණ්ඩයක්ම වාදනය කිරීමට එහිදී ඉගෙනුම ලැබුහ.

වරක් සුසිල් ප්‍රේමරත්නගේ ගීතයක් සඳහා ගිටාර් වාදනය කිරීමට ගුවන් විදුලියට ගිය රොක්සාමිට එතැන් සිට දිගින් දිගටම ගුවන් විදුලියේ දොර විවෘත විය. රොක්සාමි සොහොයුරු ඇන්තනි සාමි ද වාදනයේ නිපුණත්වය හේතුවෙන් දිගටම ගුවන් විදුලි වාදක මණ්ඩලයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන්නේ ආර්. ඒ. චන්ද්‍රසේන සංගීතඥයාගේ අනුග්‍රහයෙනි. රොක්සාමි චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට යොමු කරන්නේ ආර්. මුත්තුසාමි නිසාය. මුත්තුසාමිගේ අධ්‍යක්ෂණය යටතේ 'බණ්ඩා නගරයට පැමිණීම' (1950) චිත්‍රපටයේ වයලින් වාදකයකු ලෙස සහභාගි වීමට අවස්ථාව ලැබිණ. ඒ සඳහා එම්. ආරියදාස, ජේ. ඒ. සත්‍යදාස, ටී. එෆ්. ලතීෆ් යන වාද්‍ය ශිල්පීන් සහාය දුන් බව රොක්සාමි කෘතඥතා පූර්වකව මතක් කරයි.

ඇම්. කේ. රොක්සාමි නම් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා සිනමාවට එක් වන්නේ 1962 වසරේදීය. ශාන්ති කුමාර් සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ 'සංසාරේ' චිත්‍රපටයෙනි. එහි සංගීත අධ්‍යක්ෂණය කළ බී. එස්. පෙරේරා මිය ගිය නිසා ඉතුරු අඩ සම්පූර්ණ කළ ඔහු එහි එන මේ ගීතය ගයන්නේ එච්. ආර්. ජෝතිපාල සමඟ චන්ද්‍රා ද සිල්වාය. ගීත රචනය කරුණාරත්න අබේසේකරය.

'හිනා වෙන්නේ ඇයි මේ
පිපෙනා මල නෙළනා තුරු පුල පුලා සිටින්නේ'

'අදට වැඩිය හෙට හොඳයි' චිත්‍රපටයේ රොක්සාමිට පැවරුණේ පසුබිම් සංගීතය සැපයීමටය. එහි ගීතවල තනු නිර්මාණය කරන ලද්දේ අමරදේව විසිනි. 'සුහද සොහොයුරෝ' ඔහු තනිව සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයයි. එම චිත්‍රපටය තිරගත වූයේ මෙයට වසර 55 කට පෙරය. එහි එන ෆ්‍රෙඩී සිල්වා සහ පුෂ්පරාණි ආරියරත්න ගැයූ 'දිය රැල්ල වෙරළෙ හැපි හැපි මොකද හාදු දෙන්නේ' හා මොහිදීන් බෙග් ගැයූ 'පිබිදෙන සෝබා පියුමක් සේ' ගීත ජනප්‍රිය විය. ඉන් පසු තිරගත වූ 'ධීවරයෝ' (1964) හා 'චණ්ඩාලි' (1984) චිත්‍රපටවල ගීත අතිශයින්ම ජනප්‍රිය විය. එක ගීතයක් හැර සියලුම ගී තනු ස්වතන්ත්‍ර බව මහාචාර්ය සුනිල් ආරියරත්න කියයි. 'ධීවරයෝ' චිත්‍රපටයේ 'නිලට නිලේ විහිදී යයි අඹර දසන්තෙ' ( ලතා හා ධර්මදාස) 'ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා' (ලතා, බෙග්, ක්‍රිස්ටි) 'වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා' (බෙග්, මල්ලිකා, ක්‍රිස්ටි) 'අගාධ සාගරයේ' (මිල්ටන්) 'රෑ බෝවි බෝ වී එයි වැඩ පළ ඉවරයි' (මිල්ටන්, ලන්ත්‍රා, නොයෙල්) (සුජාතා ගැයූ 'මාළිගවේ මා රැජිණි' ගීතය පමණක් දෙමළ චිත්‍රපටයක එන තනුවකි) මේ ගීත සියල්ලම කරුණාරත්න අබේසේකරගේ ගේය පද රචනාය.

කරුණාරත්න අබේසේකර හා රොක්සාමි එක්ව නිර්මාණය කළ චිත්‍රපට ගී අතිශයින්ම ජනප්‍රිය විය. මේ දෙදෙනා එක්ව 'චණ්ඩාලි' චිත්‍රපටයට නිර්මාණය කළ රොක්ගේ ස්වතන්ත්‍ර ගීත මෙයට හොඳම නිදසුන්ය. 'මැණිකක් රකිනා නා රජිඳෙකු සේ මම ඔබ නිරතුරු රකිමි' (බෙග් හා රාණි) 'සඳෙහි සඳුන් වානේ' (බෙග් හා රාණි), 'පාලුයි තනි මට මේ ලෝකේ' (රාණි) ඈත ආකාසෙ ආලෝක නෑගෙයි' (බෙග්).

රොක්සාමි සංගීත අධ්‍යක්ෂණය කළ සෙසු චිත්‍රපට මෙසේය. සොඳුරු යුවළ 1965, සැකය - 1965, මහ රෑ හමු වූ ස්ත්‍රිය - 1966, රන් රස - 1967, සිඟිති සුරතල් - 1968, සූරයන්ගෙත් සූරයා - 1969, ආත්ම පූජා - 1970, ඔහොම හොඳද? - 1970, හාර ලක්සෙ - 1971, සහනය - 1972, එදත් සූරයා අදත් සූරයා - 1972, හොඳම වෙලාව - 1973, ශීලා - 1974, සුසී - 1974, දුප්පතාගෙ හිතවතා - 1974, කොහොම කියන්නද? - 1975, සිරිල් මල්ලී - 1975, රන්වන් රේඛා - 1975, කවුද රජා - 1976, හරිම බඩු තුනක් - 1976, ඔන්න මාමේ කෙල්ල පැනපි - 1976, ආදරේයි මං ආදරෙයි - 1976, නීලා - 1977, සකුන්තලා - 1977, නිලූකා - 1977, දෙවියනි ඔබ කොහිද? - 1977, චිං චිං නෝනා - 1977, හොඳ හිත - 1977, යළි ඉපදේ - 1977, සිරි පතුල - 1978, ටිකිරා - 1978, සැලී - 1978, අප්සරා - 1978, සඳවට තරු - 1978, සුභානී - 1979, මගේ අම්මා - 1980, සබීතා - 1980, හොඳින් ඉන්න - 1980, රංගා - 1981, රෑ මනමාලි - 1982, සනසන්න මා - 1982, තක්කිට තරිකිට - 1982, මිස් මල්ලිකා - 1982, හිතත් හොඳයි වැඩත් හොඳයි - 1983, කෝකිලා - 1984, නාමල් රේණු - 1984, රත්තරං කන්ද - 1985, දුෂ්‍යන්ති - 1986.

(සිංහල චිත්‍රපට ගීතාවලිය - 1962 - 1966)

රොක්සාමි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලාංකික දෙමළ චිත්‍රපට හතරකට දායක වී ඇත. ධර්මසේන පතිරාජගේ පොන්මනී, ජෝ දේව් ආනන්ද්ගේ රත්තන්තින් රත්තමේ, කේ. වෙන්කට්ගේ මාමියාර් වීඩු, එස්. වී. චන්ද්‍රන්ගේ නාන් උංගල් නෝලන් මේ චිත්‍රපටයි.

රොක්සාමිට අනාගත සහකාරිය මුණ ගැසෙන්නේ සැකය චිත්‍රපටයේ ගීත පටිගත කිරීමේදීය. ඉන්ද්‍රාණි එස්. එලායස් නම් රූමත් තරුණියක් එම චිත්‍රපටයේ ගීත ගායනයට පැමිණියේ ආධුනික ගායිකාවන් බඳවා ගන්නා බව පුවත්පත් දැන්වීමක් දැකීමෙනි. පුස්සැල්ලාවේ පදිංචි ඇය රොක්සාමිට තිබූ දුර නෑකම දැන ගත්තේ ඇය අත්වැල් ගායනයක් කරන අතරතුෙර්ය. මේ හමුව ප්‍රේමයට පෙරළුණි. 1974 මේ යුවළ විවාහ වුහ. මේ යුවළ දරුවන් තිදෙනකු ලැබු අතර ජීවන් ඔගස්ටින් වැඩිමහල් පුතාය. ඇනා රාධිකා හා ඇන්ජලා දේවිකා දියණියන්ය.

රොක්සාමි සංගීිතවත් කළ චිත්‍රපට අතර සඳ රැජිණියගේ - වීනාවේ තත්සර රාවේ (සැකය), ජීවනවිල මැද වැජඹෙන කැකුළකි - සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලේ - සිහින ගඟෙයි පීනා පිනා (මහ රෑ හමු වූ ස්ති‍්‍රය), නිදහස් කාහල නාදය රැව් දේ - සුවඳ කැකුළු වැනි රන් බඳුනේ (සිඟිති සුරතල්), ඔබගේ හද මාගේමයි (හරිම බඩු තුනක්) හර්ද රස මාළිගේ - සීතල රටේ මීදුම වැටේ (සකුන්තලා), ආදර පූජාසනේ (දෙවියනි ඔබ කොහිද), සකල සතට බොදු බැතියෙන් - මිනිහාමයි ලොව දෙවියන් වන්නේ (සිරි පතුල). (ගාන්ධර්ව අපදාන - 2).

රොක්සාමි සංගීතවත් කළ චිත්‍රපට දෙකක් සඳහා ගීත රචනා කළ කරුණාරත්න අබේසේකර මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයේ 'සරවන බව' ගීතයටත්, සිඟිති සුරතල් චිත්‍රපටයේ 'නිදහස් කාහල නාදේ' ගීතයටත් හොඳම ගීත රචක ලෙස සරසවිය සම්මාන හිමිව ඇත.

ඔහු ගුවන් විදුලි ගායක ගායිකාවන් සඳහා ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය කර ඇත. 'පොඩි කාලේ අපි දෙන්නා' (මිල්ටන් පෙරේරා), 'වයන්න සිතාරේ' - 'අපි දෙන්නා පොකුණයි පියුමයි' - 'අඬන්නෙ ඇයි සුදු මැණිකේ' (ජෝතිපාල), 'බුදු සාමිනි සිරි පා පියුම්' (ඉන්ද්‍රාණි විජේබණ්ඩාර), 'සිතුම් පැතුම් පොදි ආදරේ' (මිල්ටන් මල්ලවාරච්චි) මේ ගීත වෙයි.

නවසිය අසූ තුනේ ජූලි මාසය රොක්සාමිට උදා වූයේ අවාසනාවන්ත කාලයකි. මේ පිළිබඳව විජිත්කුමාර් සේනාරත්න විසින් ලියූ 'සඳ මිදුලේ රන් මී විත' කෘතියේ රොක්සාමි ගැන (මුනිවරයාගේ හංස ගීතය) මෙසේ සඳහන් වෙයි.

රට පුරා ශීඝ්‍රයෙන් ඇවිලී ගිය ගින්නෙන් තම සහෘදයා ඇතුළු පිරිසට කරදරයක් වේදෝයි අනුමාන කළ සරත් දසනායක සංගීතවේදියා හැඳල රොක්සාමි නිවසට ආවේය. මිදුලට ගොඩ වූ සැණින් ඔහුගේ නෙත ගැටුණේ වීදුරු බිඳුණු රාමුවේ කොටසක් ගැටවුණු රොක්සාමි යුවළගේ මංගල සේයාරුවයි. එය අහුලා ගැනීමට බිමට නැඹුරු වෙද්දී ඊළඟට දක්නට ලැබුණේ ජාති කුල ආගම් නොතකා මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනයා පිනවීමට දායක වූ රොක්සාමිගේ හදවත බඳු වූ වයලිනය වත්තේ කෙළවරකට වීසි කර තිබූ අන්දමය. මියුරු සර නද දුන් කම්බි පොටවල් සිඳිලාය. කිහිප තැනකින් බඳ ද පුපුරලාය. රොක්සාමිගේ පවුලේ පින්තූර රැගත් ඇල්බම්වලින් ඇතැම් ඒවා ඉරා දමා තිබුණේය. මඟුල් පින්තූරයත්, වයලිනයත් අහුලා ගත් දසනායකයෝ ඒ අවට ගෙයින් ගෙට යමින් රොක්සාමි මාස්ටර් ඇතුළු දරු පිරිස කොහේදැයි විමසා සිටියහ. ඔවුන් සොයා ගැනීමට දැඩිව වෑයම් කළහ.

සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ඔවුනට හැකි පමණින් රොක්සාමි පවුලට සහාය දැක් වූහ. ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක, වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක ඇතුළු විශාල පිරිසක් ඔවුනට අත දුන්හ. බිඳුණු වයලීනය වෙනුවට අලුත් අනර්ඝ වයලීන දෙකක් තැගි කෙරිණි.

'රොක්සාමි' සිය ජීවිත කාලය පුරාම මේ අන්දමින් බාධක සිනාවෙන් ඉවසා සිටි සංගීත අසපුවේ මුනිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ පවසා තිබුණි.

නන්දා මාලිනීගේ 'ශ්‍රවණ ආරාධනා', 'සත්‍යයේ ගීතය' වික්ටර් රත්නායකගේ 'ස', අමරදේවගේ 'ශ්‍රවණ රමණී', සනත් නන්දසිරිගේ 'ස්වර්ණ කුණ්ඩල', ඇන්ජලින් ගුණතිලකගේ 'වාගාර්ථා ගී රස' යන ඒක පුද්ගල සංගීත ප්‍රසංගවල රොක්සාමිගේ වයලීනයට දෙවන තැන හිමි විය.

මහාචාර්ය ආරියරත්න රොක්සාමිගේ අවසාන මොහොත ගැන ලියූ මේ සටහනින් මේ ලිපිය අවසන් කරමි.

'තරුණ කාලයෙහි පටන් මිතුරන් සමඟ මධුවිතක් පානය කිරීම රොක්සාමිගේ සිරිත විය. මෙය ඔහුගේ ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑවේය. වෛද්‍ය උපදෙස් මත සැක්සෆෝන් වාදනය නවතා දමන්ට ද ඔහුට සිදු විය. සැක්සෆෝනය පිඹීම සඳහා දැඩි සේ හුස්ම ගැනීම අයහපත් යැයි වෛද්‍යවරු පැවසූහ. රොක්සාසමි වරින් වර රෝගාතුර වූයේය. ඔහුගේ අක්මාවේ පිළිකාවක් සෑදී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලදී එළිදරව් විය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබූ රොක්සාමි අවුරුදු 56 ක් අයු වළඳා 1988 නොවැම්බර් 30 වැනිදා අවසන් හුස්ම හෙළීය. අවසන් කටයුතු දෙසැම්බර් තුන් වැනිදා හැඳල නායක්කන්දේ රෝමානු කතෝලික සුසාන භුමියේදී සිදු කරන ලදී.

ඒ. ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.