මුලින් යුද ප්‍රකාශ කළාට දැන් අපි ඉන්නේ අවබෝධයෙන්

ඩොරික් – කාංචනා සෙනෙහෙ කැදැල්ල
ජූලි 11, 2019

සැමියා කලා අධ්‍යක්ෂවරයෙක් බිරිය රංගන ශිල්පිනියක්... හරි අපූරු සංකලනයක් නේද. අද අප ඔවුන් දෙදෙනාම සරසවියට කැඳෙව්වා. මේ ඉන්නේ ඒ යුවළ. ආදරණීය ස්වාමිපුරුෂයකු ලෙස කටයුතු කරන කලා අධ්‍යක්ෂවරයාගේ නම ඩොරික් සමරසුන්දර. බිරිය කාංචනා රාජපක්ෂ. ඔවුනගේ ආදර කතාවත් සමඟ කලා ලොවේ තොරතුරු කතා කරමු.

 කවුද මුලින්ම කතා කරන්නෙ . . .?

මෙයා කතා කරයි.

 කාංචනා බෝලය පාස් කෙරුවේ ඩොරික්ටය.

ඉතින් මොනවද කතා කරන්න ඕන.

 ඔය දෙන්නගෙ හමු වීම ගැන . . . එහෙම හොඳයි කියලා මට හිතෙනවා . . .?

හමුවීම නේ . . . මං ටික කාලෙක ඉඳලා සිරස ආයතනයේ වැඩ කරනවා. පූර්ණකාලීනවම දැන් එහෙ. සෙට් හදන වැඩ වගේ වැඩ ගොඩක් කරන්නට සිදු වෙනවා. ඔන්න ඔය අතරෙ මෙයා (කාංචනාව පෙන්නා) සිරස ජූනියර් සුපර් ස්ටාර් වැඩසටහන නරඹන්න ඇවිත් හිටියා යාළුවෙක් එක්ක. එතනදි දැකලා කතා කළා.

 එතකොට ඔබ දෙපොළ එකිනෙකා හඳුනාගෙන හිටියද?

කාංචනා දෙසට හැරෙන ගමන් මම විමසීමි.

මං ඩොරික් අයියව ෆේස් බුක් එකෙන් දැකලා තිබුණා. මං එදත් ඒක මතක් කළා. පස්සේ පස්සේ අපි එකිනෙකාට බොහොම සමීප වුණා. මහරගමදී දෙන්නා මුණ ගැහුණා. එතෙනදි තමයි ආදරය ප්‍රකාශ කළේ.

 

 ඔබ මොකද කිව්වෙ?

මුලින් මං බැහැ කිව්වා. ටිකක් ගණන් එහෙම ඉස්සුවා. ඩොරික් අයියා ගෙදරටම ඇවිත් කතා කළා. ඊට පස්සේ කැමැත්ත ප්‍රකාශ කළේ. මගේ උපන් දිනය දවසේ තමයි විවාහ වුණේ.

 

 කලා අධ්‍යක්ෂවරයකු හැටියට ඔබ හරිම කාර්යබහුලයි?

(පිළිතුර ඩොරික්ගෙ)ඔව්. මෙයා රංගනය නිසා තරමක කාර්යබහුලයි. නමුත් මං තරම් නැහැ. මට වැඩක් සෙට් වුණාම රැයක් දවාලක් නැහැනෙ දිගටම වැඩ. සමහර වෙලාවට රෑ දෙගොඩ හරිය වෙනවා ගෙදර එද්දි. මේ තත්ත්වය කාංචනාට මුලදි මුලදි වැටහුණේ නැහැ. ඒ හින්දා මාස දෙකක් විතර යනකම් ගෙදර එක යුද පිටියක් වගේ. කාංචනා බිම බලා සිනාසෙන ගමං ඩොරික්ගේ කතාවට හූමිටි තියයි.

අයියා මෙච්චරම බිසී කියලා දැනගෙන හිටියේ නැහැ. සමහර වෙලාවට මං කතා කරද්දී ෆෝන් එක කට් කරනවා. උත්තරයක් දුන්නත් තත්ත්පරයයි දෙකයි. තව වෙලාවල්වලදි ෆෝන් එක ඕෆ්. මට හරිම හිසරදයක් වුණා මෙයාව තේරුම් ගන්න එක. දැන් නම් හරි.

 

 කාංචනා කොහොමද ඔබේ රංගන කටයුතු?

උදයකාන්ත මහත්මයාගේ අලුත් චිත්‍රපටයේ රඟපානවා. තව සෝමරත්න දිසානායක සර්ගේ සුනාමි චිත්‍රපටයෙත් මං ඉන්නවා.

 ඔබ පෙර රඟපෑ නිර්මාණ පෙළ මතක් කළොත්?

හාර කෝටිය, දංකුඩ බණ්ඩා, සහෝදරයා වගේ ටෙලි නාට්‍ය තියෙනවා.

ඩොරික් ඔබේ අතීතය ටිකක් හාර අවුස්සන්නට කැමැතියි?

අසූ හත අවුරුද්දෙදි විතර තමයි මං ක්ෂේත්‍රයට එන්නේ. මේ වන විට කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ජයන්ත චන්ද්‍රසිරි, ආරියරත්න ඇතුගල ඇතුළු නිර්මාණකරුවන් රැසක් සමඟ අති විශාල ප්‍රමාණයක ටෙලි සහ සිනමා නිර්මාණවලට මගේ දායකත්වය සපයලා තියෙනවා. කලා අධ්‍යක්ෂවරයෙක්, අංග රචනා ශිල්පියෙක් වගේ අංශ කිහිපයක් යටතේ සෑහෙන්න අත්දැකීම් ලැබුවා. මං ටෙලි ෆීල්ඩ් එකට එන්නේ නාමාවලි ශිල්පියකු විදිහට. ඉස්සර නිර්මාණවල නළු නිළි ලිස්ට් එක ඇන්දේ අතින්. පොද වැස්සක් ටෙලි නාට්‍යයේ තමයි මුලින්ම නාමාවලිය ඇන්දේ. පොඩි වෙනසක් එහෙම කළා. සම්ප්‍රදායික ක්‍රමය වෙනස් කරපු නිසා විවේචනත් කළා. ඒකේ කලා අධ්‍යක්ෂකත් මමමයි.

සැමියා සහ බිරිය එකම ක්ෂේත්‍රය නියෝජනය කළාම සමහරු කියනවා ප්‍රශ්න වැඩියි කියලා. තව අයගේ මතය එකිනෙකා හොඳින් අවබෝධ නිසා හොඳින් පවුල් ජීවිතය ගෙවන්න පුළුවන් කියලා. ඔබ දෙපොළ ඉන්නේ කුමන තැනද? කාංචනාගෙන් තමයි පිළිතුර බලාපොරොත්තුව . . .

මං අර කලින් කිව්වේ මුලදි මුලදී ගැටුම් වුණා කියලා. එහෙමම තමයි. මටත් හරියාකරව අවබෝධ කර ගන්න බැරි වුණානේ ඩොරික් අයියව. නමුත් සිනමාව හොඳින් හඳුනාගෙන හිටියා. මට ඇති තරම් නිදහස දීලයි තියෙන්නේ නාට්‍යවලට යන්න වාරණ නැහැ. හොයලා බලලා මට ගැළපෙනවා නම් යන්න කියලා තියෙන්නේ. ඒ අප අතර තියෙන අවබෝධය නිසා.

 

 ඩොරික් චිත්‍රපටයක් නිර්මාණය කරන්න අදහසක් තියෙනවා කිව්වා?

අදහසක් තියෙනවා. කාංචනාට හොඳට ලියන්න පුළුවන්. ඇය රචනා කළ පිටපතක් අරගෙන තමයි චිත්‍රපටය කරන්න හිතාගෙන ඉන්නේ. කලා අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂණයට පිවිසෙනවා අපි ඕනෑ තරම් දැකලා තියෙනවානෙ. මෙතෙන්දි තව දෙයක් මතක් කරන්න ඕන. එන්න එන්න කලා අධ්‍යක්ෂවරුන්ගේ හිඟයක් තියෙනවා. අතේ ඇඟිලි ගාණට තමයි හරි කලා අධ්‍යක්ෂවරු ඉන්නේ. මං දැකලා තියෙනවා සමහර අති දැවැන්ත කලා නිර්මාණවල කලා අධ්‍යක්ෂණය දුර්වල මට්ටමක තියෙනවා. එහෙම වෙන්නේ නිසි අධ්‍යයනයක් නැති නිසා. මදර් තෙරේසා චිත්‍රපටය වෙනුවෙන් අපට ගමක් තනිකරම හදන්නට වුණා. එහෙම කළේ අතිශය බැරෑරුම් විදිහට ගැඹුරු අධ්‍යයනයක නියැළිලා. එහෙම නොකළා නම් මුළු නිර්මාණයම අසාර්ථකයි.

 කාලෙක ඉඳලා ඔබ කලාකරුවන්ට උපන් දින සුබපැතුම් එක් කරනවා මුහුණු පොත හරහා?

ඒක දැන් මගේ වගකීම වෙලා. ඔයාලගෙ සිරි අයියා (සිරි කහවල) ලියන උපන් දින තීරුවලින් තමයි බොහෝ ඩීටේල්ස් ගන්නේ. ඡායාරූප එක්ක මුහුණු පොත උපන් දින සුබපැතුම් එක් කරන්නේ දැන් කාලෙක ඉඳලා. සමහරු හරිම සතුටින් මට කතා කරනවා. එයාලගෙ උපන් දින මතක් කර තිබීම ගැන.

Comments

asdfasd (තහවුරු වී නොමැත)
asfasdf
සිකු, 07/12/2019 - 14:45

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.