Feedback

Week of දෙසැම්බර් 13, 2018

සුගත් සමරකෝන්ට
දෙසැම්බර් 13, 2018 ~ චන්දන වන්නිආරච්චි ~ දෙහිඅත්තකණ්ඩිය

ඓතිහාසික කතා වර්තමානයේ සිංහල සිනමාව ආක්‍රමණය කර ඇත.

එදා පොතපතින් අප කියවූ නවකතා සිනමාව තුළින් ජීවමාන වන විට බොහෝ දෙනා හදවතින්ම වැළඳ ගත්හ. සුගත් සමරකෝන් යනු අපට සිටින දක්ෂතම සිනමා නිර්මාණකරුවෙකි.
ඔහුගේ විවිධ භූමිකා අතර චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වශයෙන් දක්වන ප්‍රතිභාව අති විශිෂ්ටය. ඔහු නිර්මාණය කළ සෑම ඓතිහාසික චිත්‍රපටයක්ම ජනතාව වැළඳ ගත්හ.
ඔහුගේ චිත්‍රපටවල දැකිය හැකි විශේෂම ලක්ෂණය වන්නේ අධික පිරිවැයක් දරා පසුබිම් පසුතල පැරණි රජ දවස ආකාරයටම ප්‍රතිනිර්මාණය කිරීමට දක්වන ප්‍රතිභාවයයි. ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන යක්ෂදේශය රසික ජනතාව වැළඳ ගනු ඇත.

-----------

තරු තාරකාවලට සුබපැතුම්

වර්තමාන සිංහල සිනමාවේ විවිධ රංග භූමිකාවන් ඔස්සේ ප්‍රේක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත්කළ හේමාල් රණසිංහ, උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, තාරකා වන්නිආරච්චි වැනි තරු තාරකාවන්ට අපගේ සුබපැතුම්.

කෙනත් පෙරේරා
ජාඇල
--------------------
ගුවනින් අසෙන මියුරු ගීත සොඳුරුය


සේවා ආයතනය, කාර්යාල, ප්‍රවාහන රථ, පොදු මගී ප්‍රවාහන සේවය, දුම්රිය, බස් නැවතුම් ස්ථාන සහ මඟතොටදී ගමන් කරන ජනතාව ගුවන් විදුලිය තුළින් ප්‍රචාරය වන ගීත ශ්‍රවණය කරනු ලබන්නේ ඉමහත් අභිරුචියෙනි.
ගත සිත මනස උණුසුම් වූ කාලගුණයක් පවතින බොහෝ දිවා කාලයන් තුළදී එම දුෂ්කර අවස්ථාව සමනය කරමින් ගුවනින් ඇසෙන මියුරු ගීත අගනේය. ඉන් ඇතැම් ගීත රසවත් චිත්‍රපට ගීතයන්ය. ගීතය මීවිතය කර ගත් රසිකයන් සෙමින් මුමුණනුයේ ගීතය අඩංගු චිත්‍රපට ගීත ජවනිකාවෙහි අතීත සොඳුරු රූප සටහන් තම හදවතෙහි සනිටුහන් වී ඇති නිසාවෙනි. එවන් වූ නැවුම් කර්තව්‍යයන් තුළින් දෙසවන් පිනවන ගීත තෝරනු ලබන ගුවන් විදුලි නිවේදන ශිල්පී ශිල්පිනීන් හට හදපිරි සතුට ස්තූතිය ප්‍රණාම කිරීමට කැමැත්තෙමි.


රන්මුතුගල
සරත් ලියනගේ

 

මමෝට ඉක්මන් සුව
දෙසැම්බර් 13, 2018 ~ ඉඹුල්ගොඩ අබේසිංහ ශ්‍රියානි ජයසිංහ ~ අලව්ව

වේදිකාව, රිදී තිරය, පුංචි තිරය හරහා විවිධ දස්කම් විස්කම් පෑ ජයලත් මමෝරත්න නම් රංගනවේදියාට ඉක්මනින් සුව ලැබී නැවත රංගනයට පිවිසීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබතුමාට දීර්ඝායුෂ.

------------

ජෝති, සී. ටී., මිල්ටන්, ක්ලැරන්ස් ගී නොමරනු


නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම ජෝති, සී. ටී., මිල්ටන් සහක්ලැරන්ස් ගී උපහාර නමින් ප්‍රසංග පවත්වන අතර ඉන් සිදු වන්නේ එම ශිල්පීන්ට අපහාසයකි. ජෝති, සී. ටී., මිල්ටන් සහ ක්ලැරන්ස්ගේ හඬට සහ ගීතවලට ළඟාවීමට බැරි ඔබලා එම ගී නොමරා තමුන්ගේම නිර්මාණවල නියැලෙන ලෙස ඉල්ලා සිටිමි.


ජයන්ත අමරතුංග
පොළොන්නරුව

--------------------------

රූපවාහිනී නාළිකාවලට


අද බොහෝමයක් රූප නාළිකාවල ටෙලි නාට්‍යයන් හා වෙනත් වැඩසටහන්වලදී අතරමඟ නතර කර එක්කෝ වෙලාව දක්වයි. නැතිනම් වෙළඳ දැන්වීම් විනාඩි දෙකක් පමණ දමයි. මේ අනුව සමහර ටෙලි නාට්‍යයන් විකාශය වන්නේ විනාඩි 15 ක් නැත්නම් විනාඩි දොළහක් පමණි. ඉහත කී විකාර යොදා අපව පිස්සු වට්ටයි. එම නිසා එක දිගටම වෙළඳ දැන්වීම් විනාඩි පහළොවක් දමා නාට්‍යයන් විකාශය කරන්න.


සරත් රණසිංහ
කපුගොඩ
----------------------
මරුට පැරදුණු සතිස්


බොහෝ ජනප්‍රිය ගායකයන්ගේ අභාවයෙන් පසු සිය දරුවන් විසින් එම ගායකයන් ජීවත්ව සිටියදී ගායනා කළ ගීත ගායනය කිරීම සුලභ සිද්ධියකි. බොහෝ දරුවනට එම මියගිය ගායකයාගේ හඬම පිහිටා ඇත්තේ දෛවෝපගත ලෙසය. එවන් දක්ෂ ගායන ශිල්පියෙකු වූ සතිෂ් පෙරේරා ද පිය උරුමයෙන් ගී ලොවට පිවිස සිය පියා වූ ෂෙල්ටන් පෙරේරාගේ ගීත ඒ හඬින් අපූරුවට ගායනා කළ ශිල්පියෙකි. ෂෙල්ටන් ගැයූ 'අවසන් ලිපියයි ඔබට ලියන්නේ' ගීතය සන්ෆ්ලවර්ස් නව රිද්මයට අති සාර්ථක ලෙස ගායනා කර තිබුණේ යෞවන ලොව ආකර්ෂණය ද දිනා ගනිමිනි. තවද සතිෂ්ගේම ගීත වන 'සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන්', 'අංජනා අප දෙන්නා' යන ගීත ද අතිශය ජනප්‍රියය. සංගීත ලොව සාර්ථක ගමනක් යමින් සිටියදී සතිෂ් ද මරුට පරාද විය.


ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
පස්යාල

------------------------

පැරැණි ගී මනසට සුවයක්


පැලේ වසන රන් මලී ගීය ඉතා පැරැණි රසවත් ගීයක්. ඉතාම ලස්සන ගී රැසක් අප හට තිළිණ කළ සිඩ්නි ආටිගල අප මතකයට ගෙන එන්නේ අසීමිත රසාස්වාදයක්, සතුටක්. අද ඇසෙන අර්ථ නැති ඝෝෂාකාරී ගීතවලට වඩා මනසට සුවයකි.


මීගමුවේ
ක්ලෝඩ් ද ලිවේරා සහ
නාලිනී ද ලිවේරා


 

ග්‍රේෂන් ගැයූ ගී අමරණීයයි
දෙසැම්බර් 13, 2018 ~ පාලිත කුමාරසිංහ ~ ගඩලාදෙණිය

සිංහල සිනමාවට විශිෂ්ට සේවයක් කළ ප්‍රවීණ චිත්‍රපට පසුබිම් ගායක ග්‍රේෂන් ආනන්ද සිහිපත් කරමි. අදටත් ඔහු ගැයූ ගීත අමරණීයයි. අප රස විඳින්නේ ඔහුගේ ගීත පමණි.

-----------

වනසමුද? සුරකිමුද?


වසන්තා සන්දනායක යනු අපේ ගීිත ලෝකයේ සදා ජීවමාන චරිතයකි. ඇය විසින් ගායනා කළ බොහෝ ගීත ඉතාමත් ජනප්‍රිය ගීත වෙති. එසේම ඇය විසින් ගායනා කළ ගීතවලින් වැඩි ප්‍රමාණයක් බෞද්ධ ගීත වෙති. ඉතා මිහිරි හඬින් ගීත ගායනා කිරිමේ සහජ හැකියාවක් තිබූ වසන්තා සන්දනායකයන් ලබා ගත් ජනප්‍රියත්වය එදා වගේම අදත් අද වගේම මතුවටත් නොනැසී පවතින්නේය. එවන් කලාකාරිනියකගේ ගීතවල ගුණාත්මකභාවය විනාශ කිරීමට යමෙක් උත්සාහ දරන්නේ නම් එයට ඉඩ නොතැබිය යුතුය. ඇය විසින් ගායනා කළ ගීත විකෘති කිරීම ඇයට කරන නිග්‍රහයක් අවමානයක් ලෙස මම සලකමි. එක්තරා ගායිකාවක් ඇගේ ගීත බයිලාවලට හරවා ගායනා කළ පුවතක් සරසවිය පුවත්පතේ 'ප්‍රතිචාර' තීරයේ පල විය. තමා කළ වරදෙහි අයහපත් ආදීනවයන් අවබෝධයෙන් දැන හඳුනාගෙන මතුවට එවැනි දේ සිදු නොකරන මෙන් මම ඇයගෙන් කාරුණිකව ඉල්ලමි. තවද ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත විකෘතිකොට ගායනා නොකරන මෙන් ගායන ක්ෂේත්‍රයේ රැඳී සිටින සැමගෙන් කාරුණිකව ඉල්ලමි.


අනුර දේවරාජ
ගලිගමුව

--------------------------------

සුන්දර හැන්දෑවේ ගෙනෙන

නෙළුම් කළුබෝවිල


සතියේ සෑම සිකුරාදා දිනකම සවස 4.00 ට ගුවන් විදුලියේ වෙළඳ සේවය මඟින් ඉදිරිපත් කරන සුන්දර හැන්දෑවේ 'හඳුනා ගත්තොත් ඔබ මා' විශේෂාංගය අප ඉතා ආසාවෙන් සවන්දෙන වැඩසටහනකි. එයට කලා ශිල්පි ශිල්පිනියන් සජීවීව සහභාගි කරගෙන තමා කැමැති ගීත ඒ වගේම ඒවාට අදාළ අතීත සුන්දර තොරතුරු බොහෝ විට අප නොදත් දේවල් ද ඇතුළත්ව අප හට දුරකථන මඟින් ඔවුන් හා කතාබස් කිරීමට අවස්ථාව සැලසේ. මෙම වැඩසටහනෙහි ගෞරවය එය ඉතාම රසාලිප්ත හා සුන්දර අයුරින් මෙහෙය වන ප්‍රවීණ නිවේදිකා නෙළුම් කළුබෝවිල මහත්මියට හිමි වේ.


ආනන්ද වික්‍රමආරච්චි
ඉහළ තල්දූව

Week of දෙසැම්බර් 13, 2018