කුමාරගෙන් කතා දෙකක්

පෙබරවාරි 4, 2021
 
 
කුමාර තිරිමාදුර කොහොමත් අමුතු කතන්දර කියන්න හපනා. ඔහු කියන සමහර කතා නම් ටිකක් සැරයි. හැබැයි මොන දේ කිව්වත් කුමාර කියන්නේ නම් තිත්ත වුණත් ඇත්ත කතන්දර. ඔන්න දවසක් දා ටෙලි නාට්‍ය මුහුරත් උත්සවයකදී ඔහු කියනවා මෙන්න මෙහෙම කතාවක්. සාමාන්‍යයෙන් කලාකරුවන් වගකිවයුත්තන්ගෙන් යම් යම් ඉල්ලීම් කරනවා. දියවන්නාව දිහාවෙන් එහෙ මෙහෙ යද්දි පාර්ලිමේන්තුව බොහෝ ළඟ වගේ පෙනුණත් ඒක තියෙන්නේ ආලෝක වර්ෂ ගාණක් ඈතින් කියලයි තිරිමාදුර කියන්නේ. යම් ඉල්ලීමක් කරපුවාම එක දෝංකාර දෙමින් බොහෝ කාලයක් ගිය පසුවයි අදාළ පුද්ගලයන්ගේ කනට යන්නේ. ඊට පසුව එයට ප්‍රතිචාර හම්බවෙන්නෙත් සෑහෙන කලක් ගියාට පස්සෙලු. මේ හින්දා තමයි පාර්ලිමේන්තුව ළඟ වගේ පෙනුණත් ඒක ආලෝක වර්ෂ ගාණක් ඈත තියෙනවා කියලා කුමාර කියන්නේ.
ඒත් එක්කම කුමාර තව කතාවක් කිව්වා. ඔන්න විදේශිකයෙකු ආවලු ලංකාවට. හැබැයි හවස් වෙද්දි මේ තැනැත්තා ටිකක් කලබලෙන් තමයි කාලය ගත කළේ. ළඟ හිටපු කෙනෙක් අහලා "ඇයි මිස්ටර් මුකුත් ප්‍රශ්නයක් ද කියලා"
විදේශිකයා ඇහුවලු "ෂුවර් එකටම මම ලංකාවෙ ද ඉන්නේ"කියලා
 
ඇයි එහෙම අහන්නේ?
ඒ ප්‍රශ්නෙට විදේශකයා දෙනවලු මෙන්න මේ වගේ උත්තරයක්.
නෑ මේ මම හවස ටීවී එක දැම්මා පැය ගාණක් වෙනකල් ගියේ කොරියන් නාට්‍යනේ. ඒක තමයි මම ඇහැව්වේ ෂුවර් එකටම මම මේ ඉන්නේ ලංකාවෙද කියලා.