අතීත උරුමය දෝත දරා වර්තමානයට ආ ළඳ

පෙබරවාරි 4, 2021

 

ලාංකේය වේදිකාවේ නිළි රූපණය අරභයා විමංසනාක්ෂිය හෙළීමේදී එකිනෙකට වෙනස්, ස්වීය අනන්‍යතාවෙන්, ගැහැනියකට ආවේණික වූ ලාස්‍ය පෞරුෂයෙන් හෙබි කුසලතාපූර්ණ නිළි ප්‍රතිරූප අල්ප වශයෙන් හෝ අපට හමු වේ.

"ඓතිහාසික ප්‍රෞඪ කුල කාන්තාවකට හිමි රූ සපුවක්, පෞරුෂයක් ස්ත්‍රියකට උරුම වීම විරල භාග්‍යයකි. සහජ වාසනා ගුණයෙන් එවැනි රූ සපුවක් උරුම වී උපත ලැබුවත් සරස්වතී දේවියගේ වරදායක හස්තයෙන් ඊට මැ සරිලන රූපණ ප්‍රතිභාවක් හිමි වීම ඊටත් වඩා දුර්ලභ පින් ඇති වරමකි."

මෙලෙස මා සංක්ෂිප්තව කීවේ කුසුම් රේණු ප්‍රවීණ රංග ශිල්පිනිය ගැන මගේ සිතැඟිය.

ඇය ළාබාල වියේදීම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණාය. ඒ විනී රන්වලගේ "සෛලාසනය" (1980) නාට්‍යයෙනි.ඇය මුල්වරට එහි රඟපෑවේ රාජ කුමාරියක ලෙසිනි.තුරුණු වියේදීම ඉතිහාසයට උරුමකම් කියන්නාවූ රූ සපුවක් විනී රන්වල ඇගෙන් දුටු බව නිසැකය.

අනුර චන්ද්‍රසිරිගේ " හිම කුණාටුව" (1984) නාට්‍යයේ කුසුම් හට නිරූපණය කිරීමට සිදු වූයේ අභියෝගාත්මක භූමිකාවකි. එවක විසි තුන් හැවිරිදි වියෙහි පසුවූ ඇයට මෙහිදී රඟපෑමට සිදු වූයේ 80 වියැති මාර්තා නම් වූ මහලු ගැහැනියකගේ චරිතයකි. තම සැමියා (සුනිල් ලියනාරච්චි) අහිමි වීමෙන් පසුව ඇය තම එකම පුතු ලෙනාඩ් (අනුර චන්ද්‍රසිරි) වෙනුවෙන් කැප වූවාය. ඇය දෙනෙත මෙන් එකම පුතු ඇති දැඩි කළත් ඔහු මවට කීකරු වූයේ නැත. අනුර චන්ද්‍රසිරි මිනිස් සිතෙහි අඳුරු ,ගුප්ත, ගූඪ ගති පැවතුම් තම නිර්මාණ මඟින් විවරණය කිරීමට රුචිකත්වයක් දැක්වූ අධ්‍යක්ෂවරයෙකි."හිම කුණාටුව" ට පසුව ඔහු අධ්‍යක්ෂණය කළ "සයනයේ සිහිනය", "තුන්වැනි ඇහැ"වැනි චිත්‍රපටවලත් "මකරා" ටෙලි නාට්‍යයෙහිත් මේ ලක්ෂණ දක්නට ලැබිණ. මාර්තා දිගු මැක්සියකින් සැරසී ලන්තෑරුමක් අතැතිව සිටිනු මෙහි සුලබ දසුනකි. එසේම ඇය නිවසෙහි තිබෙන ප්‍රතිමා සමඟ කතා කරන්නීය. මේ නාට්‍යයේදී නව යොවුන් වියෙහි සිටි කුසුම් වයස 80 ක මහලු ගැහැනියක ලෙස ශුර ලෙස වෙස් ගැන්වූයේ ජේ.සුරනිමලය."හිම කුණාටුව" නාට්‍යයේ මාර්තාගේ භූමිකාව මැනවින් රූපණය කිරීම වෙනුවෙන් 1984 හොඳම නිළියට හිමි සම්මානය යෞවන නාට්‍ය උලෙළේදී කුසුම් රේණුට පිරිනැමිණ.

ලාංකේය ඉංග්‍රීසි නාට්‍ය කලාවේ ප්‍රගමනයට වෙසෙස් කාර්යභාරයක් ඉටු කළ ජෙරොම් ද සිල්වා නිර්මාණය කළ "ආයෙත් එන්නේ නැහැ" (2004) නාට්‍යය ඇයගේ රංගන ජීවිතයේ සන්ධිස්ථානයකි.මේ වූ කලී ඇමරිකානු - චිලී නාට්‍යවේදී ඇරියල් ඩෝර්ෆ්මන්ගේ "එඪඤධඹඵ"(1981) නාට්‍යයෙහි පරිවර්තනයකි. මෙය ඒකාධිපතිවාදය සහ ඊට එරෙහිව නැඟී සිටින කාන්තාවන්ගේ දිරිමත්බව, ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව විවරණය කෙරෙන නාට්‍යයකි. වෙනත් දේශයකින් පැමිණෙන හමුදා නිලධාරීහු අදාළ ප්‍රදේශයේ සියලු පිරිමි බලහත්කාරයෙන් කැටුව යති.ඉන් හුදෙකලා වූ දිරිය කාන්තාවන් ඊට එරෙහිව අරගල කිරීම මින් නිරූපිතය. කුසුම් රේණු, දීපානි සිල්වා මෙහි ප්‍රමුඛ චරිත රැඟුහ. වත්සලා රණසිංහ, නිල්මිණි බුවනෙක, නිහාල් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, රොෂාන් පිලපිටිය මෙහි සෙසු චරිත රඟපෑහ. රොෂාන් පිලපිටියගේ ප්‍රථම වේදිකා නාට්‍ය ප්‍රවිෂ්ටය මෙය විය. මේ නාට්‍යය නිර්මාණය කිරීමට පෙර ජෙරොම් ද සිල්වා ඊට දායක වූ ශිල්පීන්ට වැඩමුළුවක් පැවැත්වූයේය. තම ප්‍රදේශයට පැමිණෙන හමුදා නිලධාරීන්ගෙන් පිරිමි දරුවන් සඟවා තබමින් දිරිය ගැහැනියකගේ ආධිපත්‍යය කුසුම්ගේ චරිත නිරූපණයෙන් මැනවින් පළට විය. මෙහිදී ඇය නිරූපණය කළේ වාචික අභිනය අඩුවෙන් භාවිත වූ සාත්වික අභිනයෙන් මනෝභාවයන් ඉසියුම් ලෙස පළ කළ යුතු භුමිකාවකි. "ආයෙත් එන්නේ නැහැ" නාට්‍යය 2004 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය (ජෙරොම් ද සිල්වා) සහ තවත් ප්‍රධාන සම්මාන 6 කට පාත්‍ර වූ අතර හොඳම අධ්‍යක්ෂණය උදෙසා ජෙරොම් ද සිල්වා නිර්දේශිත විය. මේ නාට්‍යයෙහි වැසි වසින ජවනිකාවක් අන්‍තර්ගත විය. ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසයේ ජලය වේදිකාවේ (ලයනල් වෙන්ඩ්ට් රඟහලේ) භාවිත කරමින් අත්හදා බැලූ ප්‍රථම නාට්‍යය මෙය විය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නමැති මහා නාට්‍ය විශ්වව්ද්‍යාලයේ ඉගෙනුම ලැබීමට පින් ඇති සරසවි වරමක් තිබිය යුතුමය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මඟපෙන්වීම යටතේ පුහුණුව ලැබූ අවසන් ප්‍රමුඛ ශිෂ්‍යාව වීමේ භාග්‍යය කුසුම් රේණුට ලැබිණ. ඒ සරච්චන්ද්‍රයන් ස්වකීය "රත්තරන්"නාට්‍යය 1989 යළිත් නිර්මාණය කළ අවස්ථාවේදීය. මෙහි නැන්දම්මා ලෙස ලලිතා සරච්චන්ද්‍රත් ලේළිය ලෙස කුසුම් රේණුත් පුතා ලෙස ප්‍රසන්නජිත් අබේසූරියත් රංගනයෙන් දායක වූහ. "රත්තරන්" නැන්දම්මා සහ ලේළිය අතර පවත්නා සුලබ අරගලය වස්තු විෂය කොට ගෙන තොවිල් සම්ප්‍රදායේ ඇසුරින් නිර්මිත හාස්‍යෝත්පාදක නාට්‍යයකි. තම කෛරාටික, මුග්ධ බිරියගේ පදයට නටන නුවණ මඳ පුත්‍රයා තම මව පණ පිටින් ආදාහනය කිරීමට වෙර දරන්නේය. එහෙත් ගින්දර ගෙන ඒමට ඔහුට අමතක වීමෙන් නැවත ගොස් එන විට මව උපක්‍රමශීලීව ඉන් පළා ගොස් දිවි ගලවා ගැනීමට ගල් ගුහාවක සැඟවෙන අතර එහි තිබෙන මස් අනුභව කිරීමෙන් කුස ගින්න සන්සිඳුවා ගන්නීය. මේ අතර සොරු පිරිසක් සොරකමේ ගොස් රත්තරන් සොරා ගෙන ගල්ගුහාවට පැමිණෙති.ඔවුහු ඇය දුටු කල්හි යක්ෂණිය කැයි සිතා බිය වන්නෝය. උපායශීලීව ඒ සිතුවිල්ල තම වාසියට හරවා ගන්නා ඇය ඔවුන් බිය ගන්වමින් යක්ෂණියක විලාසයෙන් හැසිරෙන්නට වූවාය. සොරු ඇයට බියෙන් පලා යති. ඇය රත්තරන් පොදි රැගෙන නැවතත් නිවසට යන්නීය. තමන් පණපිටින් ආදාහනය කළ බැවින් පරලොවින් මේ රත්තරන් පොදි ලැබුණු බව ඇය නුවණ මඳ පුතා සහ ලේළිය රවටනු පිණිස පවසන්නීය.ඒ රත්තරන් පොදිවලින් සෑහීමට පත් නොවූ ලේළියගේ අධික තෘෂ්ණාව හේතුකොට පණ පිටින් ආදාහනය වීමෙන් රත්තරන් ලබා ගැනීමට ඇයටත් පරලොව යාමට සිතක් පහළ වේ. ඉක්බිතිව නැන්දම්මා තම පුතුගේද සහය ලබා ගෙන ලේළියගේ අපේක්ෂාව නර්තන විලාසයෙන් ඉටු කර දෙන අයුරු පෙනේ. "රත්තරන්"නාට්‍යයේ නැන්දම්මාගේ භූමිකාව ඉන් පෙර රඟපෑ ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ මේ නිෂ්පාදනයේ කුසුම්ගේ රංගනය බෙහෙවින් අගය කළාය. ඇගේ වටිනා ඇගැයුම මෙසේ විය.

"කුසුම් ලේළියට රඟපාද්දී මට නැන්දම්මා ලෙස රඟපාන්න ආස හිතුණා. වේදිකාවට උචිත පරිදි බෙර වාදනයට සිරුරේ සලිත වීම ඇය මෙහි අපූරුවට නිරූපණය කළා. 'රත්තරන්' නාට්‍යයේ මා දුටුවේ ලේළිය මිස කුසුම් රේණු නොවෙයි".

කෘතහස්ත නාට්‍යවේදී කේ.බී.හේරත්ගේ "දෙවැනි මහින්ද" (1998) සහ "යශෝධරා"(2002) නාට්‍ය ද්වය කුසුම් රේණුගේ වේදිකා නාට්‍ය රංගන දිවියෙහි වෙසෙස් කඩයිම් වේ."දෙවැනි මහින්ද"නාට්‍යයේ සංඝා කුමරියගේ භූමිකාව වූ කලී කුසුම් රේණු වැනි කුසලතාපූර්ණ නිළියකට ස්වකීය රංගන හැකියාව මනාව විශද කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි. මේ භූමිකාව සඳහා සුදුසු නිළියන් දෙදෙනකු කේ.බී.හේරත් ඉන් ඉහත අත්හදා බැලුවේය. එහෙත් ඔහු සෑහීමට පත් නොවූයේය. පසුව කුසුම් රේණු තෝරා ගැනිණ.කේ.බී.ගේ සිතෙහි මැවුණු සංඝා කුමරිය ඇය විය. සංඝා කුමරිය ජීවිතයේ විවිධාකාර හැලහැප්පීම්, පරිපීඩනයන්ට, ව්‍යාභිචාරයන්ට (ධ්දජඥඵබ) ගොදුරු වූ සංකීර්ණ ඓතිහාසික චරිතයකි.කේ.බී. හේරත්ගේ නාට්‍ය බහුතරයට වස්තු විෂය වූයේ නාට්‍යෝචිත ගැටුම් බාහුල්‍යයෙන් හෙබි ඓතිහාසික කතා පුවත්ය. ඔහු පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයෙන් විශේෂ උපාධියට හැදෑරුවේ ඉතිහාසය විෂය වූ බැවින් එහි අරුමයක් තිබේද ?

කේ.බී.හේරත්ගේ "දෙවැනි මහින්ද" නාට්‍යයට වස්තු විෂය වූ ඉතිහාස කතාව සැකෙවින් මෙහිදී විමසා බලනු වටී.ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් ලියන ලද "ඉතිහාසය කැලැඹූ පෙම් කතා" නමැති ග්‍රන්ථයෙහි මේ ඉතිහාස කතාවද ඇතුළත් කොට තිබූ බව මට සිහිපත් වේ.

ක්‍රිස්තු වර්ෂ 727 සිට 766 දක්වා අනුරාධපුර රාජධානියේ රජකම් කළ සයවැනි අක්බෝ රජුගේ දියණිය සංඝා නම් වූවාය. දුටුවන්ගේ නෙත් පිනවන රූ සපුවක් ඇයට උරුම විය.ඇගේ පෙම්වතා වූයේ ඇවැස්ස මස්සිනා වූ පිය රජුගේ සොහොයුරියගේ පුත්‍රයාය. ඒ කුමරුද අක්බෝ නම් විය. පිය රජතුමාට පවත්නා බිය නිසා ඔවුහු මේ පෙම් සබඳතාව රහසිගතව පවත්වාගෙන ගියහ. සයවෙනි අග්බෝ රජුගේ පියා වූයේ තුන්වැනි කාශ්‍යප රජුය. එනම් සිංහල රාජ වංශයේ රජුන් අතර කිරුළ නොපැලඳ රජකම් කළ එකම රජු වූ පළමු වෙනි මහින්ද රජුගේ වැඩිමහල් සොහොයුරාය. මිහිඳු ඈපාණන් ලෙස හැඳින්වුණු ඔහු රාජාභිෂේක ලබන්නට අකැමැති වූයේ සිය කලණ මිතුරු නීලගේ අභාවයෙන් උපන් කම්පනය නිසා බව ඉතිහාසයෙහි සඳහන් වේ. පළමුවෙනි මහින්ද රජුට අක්බෝ නමින් පුත් කුමාරයෙක් සිටියේය.

 

ඉතිරි කොටස ලබන සතියේ...