මාධවී වත්සලා ආදරේ හොයලා

පෙබරවාරි 4, 2021

පුංචි පුංචි කොලු පැටව්, කෙළි පැටව් හරි අපුරුවට සින්දු කියන හැටි අහන්න ඒ කාලේ බොහෝ දෙනෙක් ස්වර්ණවාහිනිය වටා එක්රොක් වුණා. හරියට මල් ගොමුවක පිපිච්ච ලස්සන ලස්සන මල් ටිකක් වගේ හිටිය මේ සුන්දර පැටව් ටික අපේ රටේ ප්‍රේක්ෂක රසවතුන් කොච්චර නැළෙව්වද කියලා දැන් කල්පනාවට එනකොට එක්තරා විදියක පුදුමයකුත් හිතෙනවා. ඔබටත් මතක ඇති ‘ හපන් පැදුරේ ‘පුංචි එවුන් ටික. දැන්නම් මේ ඔක්කොම කරදඬු උස් මහත් වෙච්ච ලොකු ලොකු ඉලන්දාරි බවට පත් වෙලා. ඒ වගේම පුංචි කෙළි පොඩිත්තියෝ ටික නව යෞවනයද උතුරා ගිය තරුණියන් බවට පත් වෙලා.

අද අපේ කතා නායිකාව ‘හපන් පැදුරේ ‘ ආදරයෙන් මුළු රටක් වසඟ කළ මාධවි වත්සලා ඇන්තනී. ඇය මේ රටම හඳුනන්නියක් බවට පත් වුණේ හපන් පැදුරෙන් නිසා එහෙම කිව්වට වරදක් නෑ මම හිතන්නේ. මාධවීත් දැන් ලොකු ගැහැනියක්. කාලය මවන වෙනසක අරුමය තමයි මේ. 2001 වසරේදී හපන් පැදුරේ සින්දු කියලා පුංචි මාධවී ගායිකාවත් වුණත්, ඊටත් කළින් ගුවන්විදුලියේ ඇය ‘හඳමාමා‘ වැනි ළමා වැඩසටහන්වල ගීත ගායනා කරලා ළමා ගායිකාවක් බවට පත් වෙලා හිටියා.

පසුගිය දිනවල ඇය ඇයගේම ගීතයක් එළි දැක්වූවා. මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම යූ ටියුබ් නාළිකා ඔස්සේත් ඔබට ඇයගේ එම අලුත්ගීතය රස විඳීන්න පුළුවන්. දැනටමත් ඔබ මේ ඇයගේ අපුර්ව ගායනය දැක තිබෙන්නත් පුළුවන්. මාධවි රටේ හැම දෙනෙක්ම ගායිකාවක් විදියට දැන සිටියත්, මේ තමයි ඇය මුල් වරට එළි දැක්වූ ඇගේ ගීතමය වීඩියෝව.

‘‘මම පුංචිම පුංචි කාලේ ගුවන්විදුලියේ ළමා වැඩසටහන්වල ගීත ගායනා කරලා තියෙනවා. පුංචි ළමයෙක් විදියට ‘හඳමාමා’ වැනි ළමා වැඩ සටහන්වලට සම්බන්ධ වෙලත් තිබෙනවා. නමුත් සජිවි රූපවාහිනි වැඩ සටහනක් විදියට මුලින්ම මම පටිගත කිරිමකට සහභාගි වුණේ ස්වර්ණවාහිනියේ ‘හපන් පැදුර’ වැඩ සටහනට තමයි. ඒක පටන් ගත්තේ 2001 වසරේදියි. දැනට හරියටම අවුරුදු විස්සකට කළින්. ඒ වැඩසටහන අසීමිත ජනප්‍රසාදයක් ලැබුවා කියන එක අපි හැමදෙනෙක්ම දන්න දෙයක්. ඒ නිසා මම හිතනවා මගේ ගායන ජිවිතේ මුල එතැන කියලා. හැබැයි ඊට පස්සේ මම විවිධ ටෙලි නාට්‍යවල, චිත්‍රපටවල පවා ගීත ගායනා කරලා තියෙනවා. විවිධ සම්මාන උලෙළවල හොඳම ගායිකාව විදියට මගේ නම නිර්දේශිත නාමයන් අතරටත් ආවා. නමුත් මටම කියලා තනි ගීතයක් මේ වනතෙක් මට තිබුණේ නෑ. ඊට පස්සේ තමයි මේ ගීතය හදලා 2021 ජනවාරි 18 වැනිදා අපේ දෙවැනි විවාහ සංවත්සරය නිමිති කොට ගෙන ගීතය එළි දැක්වූයේ.

මාධවි උත්පත්තියෙන්ම කලා පරපුරක හැකියාවන් හා ආදරය සෙනෙහස මැද ජීවිතය කියවූ තැනැත්තියක්. මවත් පියාත් මෙන්ම සොහොයුරන් දෙදෙනාත් ඇය වටා වන්නාවූ මහා පවුරක් මෙන් නැඟී සිටිනවා. එසේම ඇගේ ජිවිතයේ දුක් සැප සමව වලඳමින් ජිවන ගීතය ගයන්නට අත්වැල සපයන්නට එක් වූ ඇගේ සැමියා තිලාන්ද දැන් ඈට රැකවරණය , ආදරය සේම ඇගේ කලා දිවියටද ආශිර්වාද එක්කරන්නෙක්.

‘ඇත්තටම කිවුවොත් තිලාන් තමයි යෝජනා කළේ අපි ගීතයක් කරමු කියලා. අපේ මේ කතා බහ අතතරදි මට මතක් වුණා 2015 වසරෙදි විතර මට කරපු මෙලඩි එකක් තියෙනව නේද? කියලා. ඒක මට නිර්මාණය කරලා දුන්නේ රාජ් තිලයම්පලම් විසින්. ඒ මෙලඩි එක මගේ ළඟ සුරක්ෂිතව තිබුණා. අවුරුදු ගණනාවක් මගේ ඊ මේල් එකේ තිබුණු මේ තනුව ගැන මම තිලාන්ට කිව්වා. ඔහුටත් ඒක අහන්න දුන්නම, ඔහු ඒකට හරියට කැමැති වුණා. ඊට පස්සේ ඒ තනුවට අප්පච්චි ගීතයක් ලිව්වා.

මාධවී ගේ අප්පච්චි ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී තමයි මේ ගීතයේ ගීත රචකයා වෙන්නේ.

සීත මිහිඳුම් සේල උණුසුම් ස්වේත

සළු රැහැනේ

හීන හුරතල් යහන් තලා නෑනේ

ආදරේ පෙති මල් දෝත විහිදා

සුරල් විදා රෑනේ

නාද වෑහෙන ගුවන් තලා නෑනේ

දූවිලි වැගිරෙන පාරේ මෙහා කොන

ආදරේ හොයනා......

සල්පිල්වල වීදි ගානේ -

මල් වැල් ඇත මූණු මානේ

සන්සුන් ඇත පේන මානේ

හිනැහෙන්නේ

කල්යල් බලමින් සිටින්නේ

මල් මල් පොඩි පුංචි උන්නේ

අත්වැල් පොඩිවින් පිරේ හඩ

හද සන්තානේ

මිහිරට කවි ගී ඇසෙන්නේ

කරදහි මල් ඒ හඳුනන්නේ

සුවය විතරයි ආදරේ දන්නේ

ගමවටවන මල් පීදෙන්නේ

නගරෙට නැත සුවඳ දැනෙන්නේ

දුකම විතරයි හිනැහෙන්නේ

එන්න මා හා යන්න පීරා

ආදරේ ඕනෑකෙරේ...

කඳුලට කම්මුල් හෑරෙන්නේ

කන්තල ළඟ අකුණු ගහන්නේ

දුඟද විතරයි මාරුතේ වෙන්නේ

ඉස්කෝලෙ නෑ අපි යන්නේ

හොඳ නරකට පාඩම් දෙන්නේ

වරද විතරයි තියෙන්නේ

එන්න මා හා යන්න පීරා

ආදරේ ඕනෑ කෙරේ.... මේ ගීතයේ තනු නිර්මාණය හා සංගීතය රාජ් තිලයම්පලම්ගෙනි.

සත්‍ය ලෙසටම මාධවී වැනි කලා පවුලකින් පැවතගෙන එන කෙනෙකුට මෙවැනි කලා කටයුත්තක නියැළෙන්නට මේ තරම් කාලයක් ගතයුතු නැතැයි බොහෝ දෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒත් මාධවි මේ සියල්ල කල් යල් බලා ඉදිරිපත් කළා කියලා අපිට හිතෙන්නේ මේ වනතුරු ඇගේ වැඩි අවධානය අධ්‍යාපනයට යොමුවී තිබීමෙන්.

‘‘ මගේ ගායන දිවිය අරඹන්න මෙච්චර පරක්කු වුණේ ඇත්තටම කිවුවොත් මගේ අධ්‍යාපනය නිසා. මම කලා පවුලකින් පැවතගෙන ආවත් මගේ අප්පච්චිට ඕන වුණේ මම හොඳට ඉගෙන ගෙන රැකියාවක නියුතු වෙනවා දකින්න. ඉතින් මම ඉගෙන ගත්තා. මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේ පුරා විද්‍යාව විශේෂවේදි උපාධියක්. පළමු පෙළ ඉහළ සාමාර්ථ්‍යයක් සමඟ මම උපාධිය සමත් වුණා. ඊට පස්සේ මම පශ්චාත් උපාධිය කළා. ඊට පස්සේ අංශයේ රැකියාවක නියුතු වුණා. මේවත් එක්ක ඇත්තටම මට කලා කටයුතුවල නිරත වෙන්න, ගායිකාවක් වෙන්න වෙලාවක් තිබුණේ නෑ. අපේ පවුලම අතිශයින් කාර්ය බහුල පවුලක් නිසා ,ඒ අයට මම වෙනුවෙන් කැප වෙන්න කාලයකුත් නෑ. හැබැයි මම විවාහ වුණාට පස්සේ තිලාන් තමයි මාව මේ පැත්තට උනන්දු කළේ.”

ඇත්තටම මාධවි ගේ ගීතය නරඹන කොට අපට දැනෙන්නේ ඒක චිත්‍රපටයක ගීතයක්ද කියලයි. ඒ තරමට ඒක සිනමාත්මකයි. එහෙම නොවෙන්න හේතුවක් නැත්තේ ගීතයේ රූප රචනා අධ්‍යක්ෂවරයා වෙන්නේ මාධවි ගේ අප්පච්චි ජැක්සන් ඇන්තනී නිසා වෙන්න ඕන. මේ රූප රාමුවල සිටින කුඩා දරු දැරියන් සියලු දෙනාම මේ ගීතයට එක් කරන්නේ අපූරු චමත්කාරයක්. ඔවුන් කිසිවෙකුගේ ආධුනිකත්වයක් හෝ කැමරාවට නුහුරු නුපුරුදු බවක් දිස්වන්නේ නෑ. මාධවි ගේ ගී හඬේ අලංකාරය තීව්‍ර කරන්නේ මේ රූප රචනය කියලා මට හිතුණා. මේ මියුසික් වීඩියෝ වේ නිෂ්පාදනයත් ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනිගෙන්මයි. සුපුරුදු පරිදි ඔවුන් වටා සිටින නිෂ්පාදන කණ්ඩායම කැමරාකරණයෙන්, නර්තන නිර්මාණයෙන් ලබා දිය හැකි උපරිම දායකත්වය ඔවුන් ලබා දී තිබෙනවා.

‘‘ඇත්තටම මේ ගීතය මේ විදියට එළි දක්වන්න මට විශාල සහයෝගයක් දීපු පිරිසක් සිටිනවා. ගිතයේ නිෂ්පාදන කාර්යය වගේම එහි ප්‍රචාරක කාර්යයට, මට සුබපැතුම් එවූ ප්‍රවීන ශිල්පින්, ශිල්පිණියන් ගේ සිට විශාල පිරිසක් ඉන්නවා. ඒ හැම දෙනාටම මගේ ස්තූතිය මේ මොහොතේ මම පිරිනමන්න ඕන.

මම හිතන්නේ මේක මගේ ආරම්භය කියලයි. මම මේකෙන් බොහොමයක් දේවල් ඉගෙන ගත්තා. නිර්මාණයක් කරන්නේ කොහොමද? , ඒවා මාධ්‍යයට නිදහස් කරන්නේ කොහොමද?, මාධ්‍ය ආයතන සමඟ ගණු දෙනු කරන්නේ කොහොමද? , නව තාක්ෂණයත් සමඟ අපි අපේ නිර්මාණ අන්තර්ජාතික තලයට ගෙනියන්නේ කොහොමද? කියන දේ ඇතුළු බොහෝ දේ ඉගෙන ගත්තා. අනෙක් පැත්තෙන් අපි නිර්මාණයක් කරද්දි ප්‍රේක්ෂක රුචිය මොකක්ද? දැන් තියෙන රැළි මොනවද? ප්‍රේක්ෂකයා වැළඳ ගන්නේ මොනද?, ගීතයකට ප්‍රචාරයක් ලබා ගන්නේ කොහොමද? මේවා අපි බොහොම අවබෝධයෙන් තේරුම් ගත යුතු දේවල් . ඒ හැම දෙයක් ගැනම මම හොඳට ඉගෙන ගත්තා. මට හිතෙනවා මගේ ඉදිරි ගමනට ඒක හොඳ ශක්තියක් වේවි කියලා. ඉදිරියටත් තව අලුත් නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ දිනවල ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. ‘තාදි’ සහ ‘මහවිරු පණ්ඩු‘ නමින්. ඉදිරියේදි තව ටෙලිනාට්‍ය දෙකක වැඩ කටයුතු සඳහා සූදානම් වෙනවා. ඒ එක්කම අප්පච්චිගේ ‘එකගෙයි සොකරි’ චිත්‍රපටයේ ‘ළා හිරු කිරණින් කියන ගීතය රිලීස් වුණා. චිත්‍රපටය නම් තවම ආවේ නෑ. මේ වැඩ කටයුතුත් එක්ක තමයි ජීවිතය ගෙවෙන්නේ.