අතීතයේ එක් දවසක

ONE NIGHT IN MIAMI
පෙබරවාරි 4, 2021

මැල්කම් එක්ස් හෙවත් මැල්කම් ලිට්ල්, මුස්ලිම් අප්‍රිකානු ඇමරිකානු සම්භවයකින් යුතු ඇමතිවරයෙක් සහ මානව හිමිකම් ක්‍රියාකරුවෙකි. සිවිල් අයිතිවාසිකම් මාතෘකාව තුළ ජනප්‍රිය චරිතයකි. එදා මෙදා තුර ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම බොක්සිං ක්‍රීඩකයෙක් වන මොහොමඩ් අලි තවත් ඇමරිකානු සිවිල් ක්‍රියාකාරිකයෙක් සහ දානපතියෙකි. ජේම්ස් නැතනියෙල් බ්‍රවුන් හිටපු ජනප්‍රිය ඇමරිකානු පාපන්දු ක්‍රීඩකයෙක්, ක්‍රීඩා විශ්ලේෂකයෙක් සහ නළුවෙකි. සැමුවෙල් කුක් අසහාය ඇමරිකානු ගායකයෙක්, ගීත රචකයෙක් මෙන්ම ව්‍යවසායකයෙකි.

'වන් නයිට් ඉන් මයාමි' යනු රෙජිනා කිං නම් අප්‍රිකානු - ඇමෙරිකානු අධ්‍යක්ෂවරිය විසින් උක්ත ජනප්‍රිය චරිත හතර සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද චිත්‍රපටයකි. සත්‍ය චරිත සහ සත්‍ය සිදුවීම් පාදක කරගෙන ප්‍රබන්ධකරණය කරන ලද මෙම චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙසේය.

ඒ 1964 පෙබරවාරි 25 වන දින රාත්‍රියයි. සියල්ලන්ම පුදුම කරමින් එවකට ලෝක බොක්සිං ශූරයා වූ සොනී ලිස්ටන් පරාජය කළ මොහොමඩ් අලිගේ ජයග්‍රහණය සැමරීම පිණිස විශාල පිරිසක් මයාමි වෙරළට එක්රැස් වී සිටිති. කෙසේ නමුත් එවකට පැවති කළු ජාතිකයින්, සුදු ජාතිකයන්ගෙන් වෙන් කර තැබීමේ නීති නිසා බොහෝ පිරිස් වලට රාත්‍රිය එහි ගත කිරීම නීති උල්ලංඝනය කිරීමක් විය. කෙසේ නමුත් සවස් වරුවේ අලි සමීපතම මිතුරන් වන මැල්කම් එක්ස්, සෑම් කුක් සහ ජිම් බ්‍රවුන්සමඟ වෙරළාසන්නයේ පිහිටි හැම්ප්ටන් හවුස් මොටෙල් හිදී සිය ජයග්‍රහණය සමරයි. සුදු පාලකයන්ගේ නීති රීති හේතුවෙන් සිය ජාතිකයන් වෙත එල්ල වන අභියෝග වටහා ගන්නා මිතුරන්ගේ ප්‍රධාන මාතෘකාව වන්නේ වගකිවයුතු, කළු ජාතික ජනප්‍රිය චරිත වන තමන් විසින් සිය ජනතාවගේ අයිතිවාසිකම් සහ සමානාත්මතාවය දිනා ගන්නේ කෙසේද යන්නයි.

නව ආරක චිත්‍රපටයක් වන මෙහි නිෂ්පාදනය ජේස් වු කාදර් ඇතුළු තිදෙනෙකුගේ වන අතර, කිංස්ලි බෙන් අඩිර්, එලි ගෝ, ඇල්දිස් හෝජ් සහ ලෙස්ලි ඔදම් විසින් මෙහි චරිත නිරූපණය කරති. 2020 දෙසැම්බර් 25 වැනිදා සිට ලොව පුරා තිරගත වුණු මෙම චිත්‍රපටය විනාඩි 110 ක කාලයක් පුරා දිවෙන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 16 ක පිරිවැයකින් තනා නිම කර ඇත. විචාරකයන්ගේ ඉහළ පැසසුමට ලක් වූ මෙම චිත්‍රපටය රොට්න් ටෝමැටෝස් අඩවියේ විචාරකයන් 256 ක ගෙන් සියයට 98 ක් අනුමත කර ඇති අතර, ලකුණු 8.2/10 ක් ලබා ඇත. එහි පොදු විචාරය පවසන ආකාරයට මෙම චිත්‍රපටයෙන් අධ්‍යකවරිය ඇයට 'අධ්‍යක්ෂණය' මනාව හැසිරවිය හැකි බව ඔප්පු කර ඇත.