මහ වනය මැද හැදී වැඩුණු කුඩා දරුවකුගේ කතාව

අපට සැදුණු අපේ ලෝකය
පෙබරවාරි 4, 2021

 

ව්‍යාපාර ලොව ජය කෙහෙළි නැංවූ තරුණ ව්‍යාපාරිකයෙකි. නම තේජස් බස්නායකය. එන්න එන්නම ඔහුගේ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් විය. ඒ ඔහුගේ නොපසුබට උත්සහාය නිසාය. එකී තත්ත්වය මත ඔහුට ප්‍රතිවාදීන්ද වැඩි විය. ඔහුට ඊර්ෂ්‍යා කරන සමීපතමයෝ පවා සිටියහ. මේ බව තේජස් හොඳීන් දැන සිටියේය. එහෙත් ඔහු පිළිබඳ වැඩිය මායිම් නොකොට දියුණුව කරා යන මාවතේ පියනැංගේය. තේජස් බස්නායක විවාහකයෙකි. ඔහුගේ බිරිය දිනුක්ෂාය. මේ පුංචි කැදැල්ල සුන්දර වූයේ ඔවුන් අතරට තුන්වැනියෙකුගේ පැමිණීමත් සමගිනි. ඒ පුංචි පුතණුවගේ සුරතල් බලමින් තේජස් සහ දිනුක්ෂා සතුටින් කල් ගෙව්වෝය. දිනක් හදිසි ව්‍යාපාර කටයුත්තක් හේතුවෙන් තේජස්ට කොළඹින් පිට යන්නට සිදුවන්නේය. ඒ ගමනට සිය පවුලම කැටුව යන්න ඔහු තීරණය කරන්නේ ව්‍යාපාර කටයුත්ත නිමා කොට ඉතිරි කාලය පවුලේ චාරිකාවක් බවට පෙරළා ගැනීමේ අටියෙනි. ඔවුන් එදා උදෑසන ගමනාරම්භ කරන්නේ පොළොන්නරුව බලා පිටත් වන්නටය. දිගු දුරක් සාමාන්‍ය පරිදි ගමන් ගන්නා ඔවුන්ගේ වාහනය දෙසට ලොකු ට්‍රක් රථයක් එනු බවට දකින්නේ හබරණ කැලෑ කැලෑ ආසන්නයේදීය. එනපොට හොඳ නැති බව දැන දැනගන්නා තේජස් ඒ දැවැන්ත ට්‍රක් රථයෙන්, තමන්ගේ වාහනය සිටින පවුලේ සියලු දෙනා බේරා ගැනීමේ අරමුණ ඇතිව ක්ෂණයකින් අනිත් පැත්තට වාහනය හරවන්නෙ දෙවතාවක් නොසිතාය.

තරමක් වේගයෙන් ගමන් කළ තේජස්ගේ වාහනය අනපේක්ෂිත අන්දමින් එක් පෙදෙසකට හැරවූ බැවින් එය ද පාලනයකින් තොරව පල්ලමකට පෙරළෙයි. තේජස් දිනුක්ෂා සහ අවුරුදු දෙකක් පමණ වයස වයසැති කුඩා පුතා වාහනයෙන් පිටතට විසි වෙයි. එය රූක්ෂ වෘක්ෂයන්ගෙන් ගහණය වූ ඝන කැලෑවකි. කොටි වලසුන්ගේ රාජධානියකි. තේජස්ට සහ දිනුක්ෂාට මින් ඉදිරියට ජීවත් වීමේ වාසනාව අහිමි වන්නේය. කොටි වලසුන්ගේ ප්‍රහාරයකට ලක්ව අභාග්‍ය සම්පන්න අන්දමින් ඔවුන්ට මෙලොව හැර යන්නට සිදුවෙයි. එහෙත් දරුවාගේ ඉරණම ලියැවී ඇත්තේ වාසනාවන්ත අයුරිනි. මිනිසුන්ට වඩා සතුන්ට උතුම් ගති ගුණාංග ඇති බවට පසක් කරමින් පුංචි එකා වටා කරුණාවන්ත සතුන් රැසක් එක් රොක් වන්නේය. උන් හා සමඟ දිවි ගෙවන්නට ක්‍රමක්‍රමයෙන් දරුවා හුරුවන්නේය. කාලයාගේ ඇවෑමෙන් හොඳීන් වැඩෙන මේ දරුවාට දැන් කැලෑව ගෙදර හා සමානය. ගඩා ගෙඩි කමින් සතා සීපාවා සමඟ ගැටෙමින් ඔහු දිවි ගෙවන්නේ බාහිර ලෝකයත් සමඟ කිසිම සබඳකමක් නැතිවය. ඒ සුන්දර කාල සීමාව නිමා කරමින් නපුරු බලවේගයක් තමා දෙස බලා සිටින වග දරුවාට ඉවෙන් මෙන් වැටහෙන්නට පටන් ගනියි. ඔහු සිතුවා නිවැරදිය. කැලේට කොහෙන්හෝ පැමිණි නපුරු කොටියකු හෝ තමන්ට ඉව අල්ලා සිටින වග ඔහුට පසක් වන්නේය. ඒ බව කැලෑවේ තමන්ගේ මිත්‍ර සතුන්ට ඉඟි කර සිටින්නේ මින් ඉදිරියට ගන්නාවූ ක්‍රියා මාර්ගය කෙසේවේදැයි දැන ගැනීමේ රිසියෙනි. සතුන් එකතු වී දරුවා ළඟම ඇති ගම්මානයකට ඇරල වන්නේ වෙන විකල්පයක් නැතිවූ තැනය. එතැන් පටන් මෙතෙක් කැලෑවේ හැදුණු මේ කැලෑ දරුවා නුහුරු ගම්පියසේ කාලය ගත කරන්නේ කෙසේද.... මේ කතා පුවත තවත් සවිස්තරාත්මකව ඔබට රස විඳීය හැකි වන්නේ පෙබරවාරි මස 14 වැනිදා සිට තිරගත වන අපට සැදුණු අපේ ලෝකය සිනමාපටය නැරඹීමෙනි. එය සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක් වන අතර ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයකි.

 

අපට සැදුණු අපේ ලෝකයේ සිනමාපටයේ නළු නිළියෝ.

මේනක රාජපක්ෂ, නෙහාරා පීරිස්, රජීව් නානයක්කාර, රජිත රොද්‍රිගෝ, ලක්ෂ්මී බෝගොඩ, තිළිණ ලක්මාල්, ප්‍රියා සෙල්වම්, අමන්දි ආදිත්‍යා, කවීතා අංජලී, රාජි මෙන්ඩිස්.

 

කැමරා අධ්‍යක්ෂණය - ජනිත් ගුණසේකර

සහාය අධ්‍යක්ෂණය - ෂෙහාන් තරිඳු, රූපිකා මංගලිකා, චමත් ඉපළවත්ත.

සංස්කරණය - දනාල් තිරංජන

සංගීත අධ්‍යක්ෂණය - නිපුණ පිටිගල ශබ්ද පරිපාලනය - ඩිලාන් ගුණවර්ධන

ගී පද රචනය - සුනිල් ධර්මසිරි, කසුන් කොන්දසිංහ

ගායනය - නිපුන පිටිගල,

ෂහීකා ෂහීත් පිටිගල, හිමාශ් ලක්ෂාන්

අංග රචනය - මෙෂාන් හේවාපන්න නර්තන අධ්‍යක්ෂණය - බිඟුනි නිසංකා

රේඛීය නිෂ්පාදනය - දුලානි බාලසූරිය නිෂ්පාදන කළමනාකරණය - එම්. කේ. සුදාකර්

විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - ප්‍රභාත් පෙරේරා.