වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

‘සන්දේශය’ චිත්‍රපටයේ විනාඩි 2 ක් රඟපෑ ජීවරාණි

තම ප්‍රථම චිත්‍රපට රඟපෑම් ජීවිතය විනාඩි 2 කින් ආරම්භ කොට, දෙවන චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් රඟපාමින් සිනමාවේ නම තබා තෙවැනි චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයේ ඉහළටම ගිය නිළියක් ගැන ඔබ අසා තිබෙනවාද? ඒ ජීවරාණි කුරුකුලසූරිය. ජීවරාණි සිනමාවට පිවිසෙන්නේ 1959 වසරේදීය. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘සන්දේශය’ චිත්‍රපටයේ පුංචිම චරිතය රඟපාමිනි. ඒ එකල ලංකාව පාලන කළ පෘතුගීසීන්ට විරුද්ධව, ඔවුන්ගේ බලකොටුවෙන් තුවක්කු සොරකම් කර හා කඳුකරයෙහි වසන රාජදෝහීන්ට උදවු කළ මැණික්කඩවර ගමේ පෑලිස් අප්පුහාමි නම් සිංහල වීර පුරුෂයාගේ හිස ගසා දමා මැරීමේ චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේය. පෑලිස් අප්පුහාමිගේ බිරිඳ ලෙස ශාන්ති ලේඛාත්, දියණිය ලෙස ජීවරාණිත් රඟපෑ දර්ශනය චිත්‍රපටයේ ධාවනය වූයේ විනාඩි දෙකකටත් අඩු කාලයකය. මේ චිත්‍රපටයේ ‘කටේ කිරි සුවඳ යන්නට’ නම් ධර්මදාස වල්්පොල ගැයූ ගීතය ගයමින් තිලකසිරි කරත්තකාරයාගේ චරිතය රඟපෑවේය.

‘මට එතකොට වයස අවුරුදු 17 ක් විතර ඇති. ‘සන්දේශය’ චිත්‍රපටයේ මට රඟපාන්න ආසාවක් තිබුණා. මට වඩා තාත්තා කැමති වුණා. ඒ කාලේ අපි හිටියේ පානදුර සරික්කාමුල්ලේ. අපේ පවුලේ හිතවතෙක් හිටියා අපේ ගෙවල් ගාවම. තිලකසිරි ප්‍රනාන්දු නම් ඔහු ඒ කාලේ ගුවන් විදුලි වාදක මණ්ඩලේ හිටියේ. ගායකයෙක් වශයෙනුත් ප්‍රසිද්ධයි.

‘හොඳ චිත්‍රපටයක ජීවාට සුදුසු චරිතයක් තිබුණොත් කියන්නකෝ තිලකසිරි’යි තාත්තා දවසක් ඔහුට කීවා.

‘ලෙස්ටර් මහත්තයා චිත්‍රපටයක් කරනවා. අපි දෙහිවල ගෙදරට ගිහින් බලමු’ ඔහු යෝජනා කළා.

දා අපි දෙහිවල ඔහුගේ ගෙදරට ගියා. තිලකසිරි මාව හඳුන්වලා දුන්නා.

‘මේ ළමයා පුංචියිනේ’ කැමරා ශිල්පී විලී බ්ලේක් අකමැත්ත පළ කළා.

‘මිස්ටර් පීරිස්, මේ ළමයා ඩික් ඩයස්ගේ ‘මාහෙනේ ඊරියකා’ නාට්‍යයෙත් ලීඩින් රෝල් එක කළා’ තිලකසිරි කිව්වා.

‘හරි, හරි මං ඒ ස්ටේජ් ප්ලේ එක බැලුවා. ඒ නාට්‍යයේ මෙයා ලොකුවට පෙනුණේ’ ලෙස්ටර් මහත්තයා කිව්වා.

ඒ වන විට ‘සන්දේශය’ පටන් අරන් චරිතවලට ඔක්කොම තෝරා ගෙන.

‘තිස්ස අපිට මේ ළමයට දෙන්න අවස්ථාවක් තියෙනවද?’ ඔහු සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියගෙන් ඇසුවා.

‘අපි මෙයාව පෑලිස් අප්පුගෙ දුවට ගම්මු’ තිස්ස කිව්වා. මට තිබුණේ අඬන අවස්ථාවක්. තාත්තාගේ බෙල්ල ගසා දාන කොට මම අම්මාව (ශාන්ති ලේඛා) බදාගෙන අඬනවා. මගේ සිනමා ජීවිතය විනාඩි 2 ක දර්ශනයකින් පටන් ගත්තා.’

ජීවරාණිගේ පියා කුරුකුලසූරිගේ ප්‍රනාන්දුය. මව ජුලියට් ප්‍රනාන්දුය. ඇය පවුලේ වැඩිමලා වූ අතර සෙසු සොහොයුරියන් වූයේ ශිරාණි, ජානකී සහ මැණික්ය. මේ තිදෙනාම චිත්‍රපට නිළියන් වූහ. බාල මල්ලි විවේක්ය. පානදුරේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ඉගෙන ගන්නා කාලයේ ඇයට චිත්‍රපට නිළියක් වීමට සිතුණේ ‘කැලෑහඳ’ චිත්‍රපටයේ රුක්මණී දේවිගේ රඟපෑම් දැකීමෙනි. පාසලේදී ඇය නැටුම්වලට දස්කම් පෑවාය. උඩරට නැටුම් ඉගෙන ගත්තේ ඩබ්ලිව්. සිරිනේලිස් ගුරුන්නාන්සේගෙනි. පාසලේදී නැටුම් ගුරුවරිය වූ නාලනි සමරවීර මහත්මිය යටතේ නර්තනය තවත් දියුණු කර ගත් ජීවා ගායනයට ද කුසලතා දැක් වූවාය. තිලකසිරි ප්‍රනාන්දු වෙතින් ගායනය පුහුණු වූවාය.

කොටහේනේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයට ඇතුළත් වූ ජීවාට පුළුල් ලෙස කලාවට යොමුවීමට අවස්ථාව ලැබුණාය. වජිරා වෙතින් නැටුම් උගත් ඇය තිලකසිරි ප්‍රනාන්දුගේ මාර්ගයෙන් ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට එක් වූවාය. කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර හා එච්. එම් ගුණසේකර මෙහෙය වූ ළමා මණ්ඩපයේ ගායිකාවක් ලෙස ප්‍රතිභාව දැක් වූ ඇය සරල ගී පරික්ෂණයෙන් සමත්ව තිලකසිරි ප්‍රනාන්දු හා ජනප්‍රිය ගීත කිහිපයක් ගැයූහ. ඉන් වඩාත් ජනප්‍රිය වූයේ මේ ගීත දෙක.

‘ගම්මානය කල එළි වූවා - මාලා මනමාලිය වූ දා’

‘නාග ලොවින් ගෙන ආපු බුලත් අත’

‘මගේ පළමුවැනි වේදිකා රඟපෑම වුණේ ඩික් ඩයස් විසින් 1959 වසරේ වේදිකා ගත කළ ‘මාහේන් ඊරි යකා’ නාට්‍යයයි. ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා විසින් ලියපු රහස් පරික්ෂක කතාවක්. මේ නාට්‍යයේ පුහුණුවීම් බලන්න එතුමා ඇවිත් අපට උපදෙස් දුන්නා. මේ නාට්‍යයේ මම රඟපෑවේ ලීලා ලිවේරාගේ චරිතය. රිචඩ් පෙරේරා ලෙස මහින්ද ජේ. පෙරේරාත්, රහස් පරීක්ෂක ජෝන් රණසිංහ ලෙස පී. ඇස්. කොස්තාත්, ආනන්ද ලිවේරා ලෙස මහින්ද ෆොන්සේකාත් රඟපෑවා. 1959 පෙබරවාරි 18 වෙනිදා හැව්ලොක්ටවුන් විද්‍යාලයේ පැවති නාට්‍ය උත්සවයට මේ නාට්‍යය රඟ දැක් වූ විට අගමැති බණ්ඩාරනායක මහතාත්, මැතිනියත්, පුංචි චන්ද්‍රිකා, සුනේත්‍රා හා අනුර බලන්න පැමිණි බව මට මතකයි. එදා නාට්‍ය අවසන් වී බණ්ඩාරනායක මහතා මට සුබ පැතුවා. මැතිනිය ඇයට ලැබුණු මල් කලඹ මට දී සුබපැතුවා.

සන්දේශයේ සුළු චරිතයක් රඟපෑමෙන් පසු සිනමාස්ගේ ‘වීර විජය’ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය රාජ කුමාරිය හැටියට රඟපෑවා. හර්බි සෙනෙවිරත්න, ආනන්ද ජයරත්න, ක්ලැරිස් ද සිල්වා, ලැඩී රණසිංහ, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න වගේ දක්ෂ, ජනප්‍රිය නළු නිළියන් සමඟ මම රගපෑවේ’ ජීවා කියන්නීය.

ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතු දූවේ’ ජීවරාණි රඟපාන කුමාරිගේ චරිතය හා ගාමිණී ෆොන්සේකා රඟපෑ බන්දුගේ චරිතය එක රැයකින් අසීමිත ලෙස ජනප්‍රිය වූහ. මේ චිත්‍රපටයේ රඟපෑමේදී ජීවරාණි අපමණ දුක් වේදනා වින්දාය.

‘රන්මුතු දූවේ අවසාන දර්ශනයේදී කාලිදාස (මේ චරිතය රඟපාන්නේ තිලකසිරි ප්‍රනාන්දු) මාව මූදු වෙරළ අසල ගල් කණුවකට තියලා දම්වැලකින් ගැට ගසා බඳිනවා. ඒ දම්වැල හරිම බරයි. පැය ගණනක් මම හිටියේ හරිම අමාරුවෙන්. අව් රශ්මිය මගේ මූණටම වැටිලා. මූණට මුදු රැලි වදිනවා. මුහුදු වතුර මගෙ නාහෙන් ගිහින් කටින් පිට වෙනවා. කට ලුණු රහයි. මේ විදිහට පැය කීයක් නම් හිටිය ද? දර්ශනය අවසන් වන විට මගේ පිට පැත්තේ පදාසයක්ම තුවාල වෙලා’ ජීවරාණි එදා ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල පහළ මුහුදු වෙරළේ රූපගත කළ අසීරු දර්ශනය විස්තර කළාය.

‘රන්මුතු දූව‘ තිරගත කිරීමෙන් පසු ‘ගාමිණී හා ජීවරාණි’ යුවළ ජනප්‍රියත්වයේ ඉහළට නැගුණි. මේ දෙදෙනා කොතරම් ජනප්‍රිය වූවා ද කිවහොත් මේ දෙදෙනා ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට නැරැඹීමට ජනතාව පුල පුලා බලා සිටියහ. එය ගාමිණී - ජීවරාණි යුගය විය. ගාමිණී හා ජීවරාණි යුවළ විවාහ වේ යැයි ප්‍රේක්ෂකයෝ බලා සිටියහ. ගාමිණීගේ බිරිඳ සුමිත්‍රා මීට බොහෝ කලකට එපිට මා හා පැවසුවේ එදා පේ‍්‍රක්ෂකයින් බහුල ලෙස ප්‍රතිචාර දැක් වූ බවය. ‘ගාමිණී අයියේ ඔයාට ගැළපෙන්නේ ජීවා අක්කා’ යයි තැපැල්පත් සිය ගණනක් ගාමිණීගේ දෙහිවල නිවසට ලැබුණ බව ද සුමිත්‍රා කීවාය.

මේ පිළිබඳව සිළුමිණ මාධ්‍යවේදිනි අරුණි මුතුමාලි වරක් ජීවරාණිගෙන් ඇසූ ප්‍රශ්නයකට මෙසේ පිළිතුරු දී ඇත. (2014 සැප්තැම්බර් 21 රසඳුන)

‘ගාමිණී ගැන හැඟීමක් ඇති වුණා ද කියන එකට ‘ඔව්’ කියන්නත් බැහැ ‘නැහැ’ කියන්නත් බැහැ.’

ජීවරාණි මේ දිනවල පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරය. ඇය 1968 දොස්තර ලංකා විජේසේන හා විවාහ වී විදේශ ගත වූවාය. ඔවුනට දියණියන් තිදෙනෙකි. සංජීවනී පෝෂණවේදිනියකි. සේනානි හා ලංකාංගනී වෛද්‍යවරුන්ය. ජීවරාණි රඟපාන චිත්‍රපටයක ගීතයක් ගැයීමට සිනමාවට පැමිණි කාලයේ සිටම සිහින මැව්වාය. එය ඉටු වුණේ ‘හතර කේන්දරය’ චිත්‍රපටය තුළිනි. නාරද දිසාසේකර සමඟ නාරදගේ සංගීතයට කරුණාරත්න අබේසේකරයන් ලියූ ‘ලස්සන සැම දේ මොහොතක සුව දේ’ ගීතය ගායනා කළාය. ‘නාමල් වසන්තේ’ නමින් ඇය ගී ගැයූ ගීත කැසට්පටයක් ද නිකුත් විය.

ජීවරාණි රඟපෑ චිත්‍රපට මෙසේය. අදට වැඩිය හෙට හොඳයි - උඩරට මැණිකේ - දීපශිඛා - කළ කළ දේ පළ පළ දේ - සසරක හැටි - සුජාගේ රහස - යටගිය දවස - සාරවිට - සැනසුම කොතැනද - දෙලොවක් අතර - කපටිකම - ඔබ දුටු දා - සැනසිලි සුවය - හතර කේන්දරේ - සොරුන්ගෙත් සොරු - ඉපදුණේ ඇයි - ඔක්කොම හරි - සිඟිති සුරතල් - බයිසිකල් හොරා - ඉඳුනිල - සෙනෙහස - බඩුත් එක්ක හොරු - සුමුදු භාර්යා - ගොපලු හඬ - ශීලා - අඥඪදජචපදචබඪධද, - සීතාදේවි. තම සැමියා වූ වෛද්‍ය ලංකා සමඟ ‘ශීලා’ චිත්‍රපටයේ ද ඇය රඟපෑවාය. තමා රඟපෑ චිත්‍රපට කිහිපයක අමතක නොවෙන අවස්ථා ඇය වරක් අපට විස්තර කර ඇත.

‘රොබින් තම්පෝගේ ‘සැනසිලි සුවය’ චිත්‍රපටයේ එක දර්ශනයක් මම දුම්රියට පැනලා දිවිනසා ගන්න ගිය දර්ශනයක් තිබුණා. මේ දර්ශනය රූපගත කළේ දැදුරුඔය පාලම අසලදී. ඈත දුම්රියක් මා ඉදිරියට එනවා. අධ්‍යක්ෂක කිව්වා ඉදිරියට දුවන්න ගාමිණී ඇවිත් ඔයාව බේර ගනී කියලා. ඒක ශීඝ්‍රගාමී දුම්රියක්. මම ඉස්සරහට දුවගෙන යනවා. ගාමිණී මාව බේර ගන්න හැදුවට ආවේ නැහැ. මට පුදුමයි. පුදුමයට වඩා කේන්තියි. ආපහු හැරෙන්නත් බැහැ. රේල් පාරෙන් අනිත් පැත්තක පනින්නත් බැහැ. කැමරාව ධාවනය වෙනවා. දැන් කෝච්චිය අත ළඟ. මගේ පපුව ගැහෙනවා. මම වට පිට බල බලා ඉදිරියට ගියා. ගාමිණී අහලකවක් නැහැ. මගේ කකුල් දෙක වෙව්ලනවා. මෙන්න හිටි ගමන් ගාමිණී එතැනට කඩා වැදිලා මාව බේර ගත්තා.

‘ඔයා හරි එක්කෙනා තමයි, තව පොඩ්ඩෙන් මම මැරෙනවා’ මම කිව්වා.

‘මම ජීව එහෙම කළේ ඒ දර්ශනය තාත්විකව කැමරා ගත කරන්න’ ගාමිණී එහෙම කියලා හිනා වුණා.

‘හොඳ තාත්විකකම, තව පොඩ්ඩෙන් මගේ කෙල්ල ඉවරයි’ මගේ අම්මා කිව්වේ තරහෙන්.

තව සිද්ධියක් මට මතකයි. මේ කියන චිත්‍රපටයට මුලින් දාල තිබුණු නම ‘කුරුලු ජෝඩුව‘. පස්සේ ‘ගොපළු හඬ’ වුණා. අපි දඹුල්ලේ දේවහූව පැත්තේ ගං ඉවුරක එහා ටෝනි රණසිංහ ‘මගේ නාමලී බැඳි ආදරේ’ ගීතය ගයමින් ඉන්නවා. මම ගීතයට වසඟ වෙලා පාරුවකින් ඒ දෙසට එනවා. කැමරා ශිල්පියා හා සහාය ශිල්පීන් තව පාරුවක මගේ පිටුපසින් එනවා. එක පාරටම කැමරාව එක්ක කාර්මික පිරිස වතුරට වැටුණා. එතැන පිරිස 10 කට වැඩියි. ඇතැම් අය කෑ ගසමින් මගේ බෝට්ටුවේ එල්ලුණා. දැන් මගේ බෝට්ටුව පැද්දෙනවා. තෙරක් පතරක් නැති මහා ජල කඳ මහ රකුසෙකු වගේ මා පැත්තට එනවා. මා කෑගැසුවා. පාරුව පෙරලුණොත් මායි අර මිනිස්සුයි වැව මැද ගිලෙනවා. මේ සිද්ධිය දැකලා තව බෝට්ටුවක් අපිව බේර ගත්තා. මම ගොඩට ඇවිත් ගොඩක් වෙලා ඇඬුවා.’

ජීවරාණි ජනප්‍රිය නිළිය ලෙස සරසවි සම්මාන(1966, 1967) ස්වර්ණ සංඛ (1966) ලබා ‘සසරක හැටි’, ‘සෙනෙහස’ චිත්‍රපට සඳහා විශේෂ කුසලාත සම්මාන ලබා ඇත.

ජීවරාණි ශ්‍රී ලංකාවට පැමිණි පසු පදිංචිව සිටින්නේ 13/1 ඒ, රෝයල් පාක්, රාජගිරිය නිවසේය.