වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




 “හුදු සටනක් නිරූපණයෙන් පමණක් ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගත නොහැකියි”

 “හුදු සටනක් නිරූපණයෙන් පමණක් ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගත නොහැකියි”

සටන් අධ්‍යක්ෂ ඔසඳ සමන් බණ්ඩාර

මෙරට ටෙලි හෝ සිනමා නිර්මාණයන්හී අන්තර්ගත වූ සටන ඊට ගම්‍ය වූත්, අතිශය ග්‍රාමීය වූත් මෙන්ම බොහෝ විට එකී කෘතියේ රිද්මය ඉක්මවා යන්නාවූත් එකකි. ඉන් එහා ගිය "වික්‍රමාන්විත සටන" යම් ටෙලි හෝ රිදී තිරයේ නිර්මාණයකට අන්තර්ගත වූයේ නම් ඒ ඉතා විරල අවස්ථාවකදී වන නමුත්, ඒ සෑම අවස්ථාවකදීම පාහේ ස්වාභාවිකත්වය අතිශෝක්තියේ සීමාවෙන් ඔබ්බට ගමන් කරවීමට නිර්මාණකරුවන් දැරූ වෑයමේදී එකී ජවනිකා ප්‍රේක්ෂකයාට ආගන්තුක වීම සාධාරණය. මෙම අන්ත ද්විත්වයෙන්ම මිදී යම් කෘතියක ඊට සමපාත වන්නා වූ පරිදි එහි සංකල්පයට බද්ධ වූ මෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය ජවනිකාවෙන් ජවනිකාවට රඳවා තබාගනිමින්, සටනේ වූ කෘත්‍රිම බව සඟවාලමින් වඩාත් ස්වාභාවික ලෙස උද්වේගතර එකිනෙකට වෙනස් රූප රාමු හරහා සටන් රිද්මය හුදු ප්‍රේක්ෂකයා තුළ ත්‍රාසය, භීතිය, කුතුහලය මෙන්ම විමතිය ජනිත කරවන්නට සමත් වන්නේ නම් ඒ නිර්මාණකරුවන් අතළොස්සකට පමණි. ඔසඳ සමන් බණ්ඩාර යනු අපට හමු වූ එවැනි දක්ෂතාවලින් පිරිපුන් විරල ගණයේ තරුණ සටන් අධ්‍යක්ෂවරයෙකි.

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔසඳ පාසල් සමයේදීම සටන් කලාවට යොමු වූවෙකි. තම මෑණියන්ගේ සහ සොහොයුරියන් දෙදෙනාගේ අතදීම මත වැඩිදුර සටන් කලාව ප්‍රගුණ කළ ඔහු මේ වන විට වුෂූ සටන් කලාව පිළිබඳ ප්‍රවීණයෙකි. එමෙන්ම වුෂූ සම්මේලනයේ ජාතික පුහුණුකරු ද වේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා වසර 4 ක කාලයක් මුළුල්ලේ සටන් කලාව පුහුණු කළ අයෙකි. මාල දිවයිනේ පොලීසිය (SWAT) සඳහා සටන් කලාව පුහුණුව පිළිබඳ උපදේශකවරයා ද ඔහු වෙයි. එසේම චීනයේ හුවංශි ප්‍රාන්තයේ වුෂූ සටන් ශිල්පය වැඩිදුර හැදෑරූ අයෙකි. සටන් කලාව පිළිබඳ හැදෑරීම, පුහුණුව, පරිචය, ශිල්පීය ඥානය තුළ ඔහුගේ දක්ෂතාව අද්විතීයය. එලෙසම ලෝක සිනමාව පිළිබඳ නිරතුරුව ඔහු යාවත්කාලීනය. විශ්ව සිනමා තාක්ෂණය, නිර්මාණකරණයේ මෙන්ම සටන් ශිල්ප උපක්‍රම පිළිබඳ ඔහුට ඇත්තේ පෘථුල අවබෝධයකි.

අධ්‍යාපනය, ශිල්පය පිළිබඳ දනුම හා අවබෝධය තුළ පවත්නා දැඩි විශ්වාසය සමඟ ඔහු සාරංග මෙන්ඩිස් විසින් නිර්මාණය කළ 'ගිනි අවි සහ ගිනි කෙළි' ටෙලි වෘත්තාන්තයේ සටන් අධ්‍යක්ෂවරයා විය. එලෙසම එකී නිර්මාණය මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සටන් ස්වරූපය අතිශය වෙනස් මගකට යොමු කරලීමට සමත් වූවක් ද විය.

නිර්මාණකරණයේදී සෑම විටකදිම ඔසඳ සමන් බණ්ඩාර යනු උග්‍ර ස්වාධීන සටන් අධ්‍යක්ෂවරයෙකි. සටන නිර්මාණයට අදාලව හා ඊට අනුගත වන පරිදි ඔහු විසින් මෙහෙයවයි. එහිදි අධ්‍යක්ෂවරයා අබිබවා නොයෑමට ඔහු වගබලා ගන්නවා සේම පිටපත අධ්‍යයනයෙන් අනතුරුව ඊට වඩාත් උචිත වන පරිදි ඔහු විසින් සටන් නිර්මාණය සිදු කරනු ලබයි. සෑම අවස්ථාවකදීම තර්කනය යථාරූපී කරවීමට ද ඔහු සමතෙකි. ක්‍රියාදාම සහ සටන් නළුවන් තුළ පවතින බටහිර පන්නයට බර ශිල්පීය හැඩතල මතුකරලීමට ද ඔසඳට ඇත්තේ නොමඳ හැකියාවකි. ඔහු දායක වන නිර්මාණයන් හි එකී ලක්ෂණය මනාව විද්‍යාමානය. නිර්මාණය සඳහා සියලුම නළු නිළියන්ට අවශ්‍ය ශිිල්පීය දැනුම මෙන්ම පුහුණුව කෙටිකාලීනව හෝ ලබා දී ඔහු හෝ ඇය පළමුව තමා සෑහීමට පත්වන පරිදි මෙහෙයවීමට ඔසඳ වෙහෙසෙන්නෙකි.

ඒ අනුව සම්ප්‍රදායික සටනින් ඔබ්බට ගමන්කර වඩාත් නිර්මාණශීලී උද්වේගතර බටහිර ආරේ සිනමා හා ටෙලි සටන් සම්ප්‍රදායක් ක්ෂේත්‍රයට හඳුන්වාදීමට ඔහුට හැකියාව ලැබී ඇත. ප්‍රදීප් ධර්මදාසගේ 'අයිස්ක්‍රීම්' ඔසඳගේ සිනමා ආගමනය වනවා සේම, ප්‍රියන්ත කොළඹගේ ගේ 'දේදුනු ආකාසේ', දේවින්ද කෝන්ගහගේ ගේ 'ගිනි වැසි පුර' සුජීව යක්දෙහිගේ ගේ 'සුපර්ණා', කසුන් පතිරණගේ 'නයිට් රයිඩර්', සංජිව සංකල්පගේ 'යම රජ සිරි' යන නිර්මාණ ඔසඳගේ නිර්මාණශීලී සටන් අධ්‍යක්ෂණයෙන් හැඩගැන් වී ඇත.

මෙරට සිනමා කර්මාන්තය තුළ සිනමා සටන් කලාව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය වපසරිය සැකසීම පිළිබඳ ඔසඳ සැමවිටම අවධියෙන් සිටින්නෙකි. අව්‍යාජව තම වෘත්තීයට අවංකව නිර්මාණකරණයේ යෙදීම ඔහු බොහෝ සෙයින් අගය කරයි. ඒ සඳහා නිෂ්පාදකවරුන් රැකගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඔහු ධනාත්මක අදහස් දරන්නෙකි. මේ සියල්ල මත නිර්මාණකරණයේ තත්ත්වය ඉහළ නැංවීම කාලීන අවශ්‍යතාවක් බව ඔහු සඳහන් කරයි.

සටන් අධ්‍යක්ෂණයේදී තමන්ට මෙහෙයවීමට ලැබෙන නළු නිළි පිරිසගේ දක්ෂතා පිළිබඳ විමසිලිමත් වෙමින් හා ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙමින් අදාල නිර්මාණයේ අන්තර්ගත සටන පිළිබඳ සටන් අධ්‍යක්ෂවරයාගේ චිත්ත රූපය සිනමා හෝ ටෙලි වෘත්තාන්තයට වඩාත් ගම්‍ය වන මට්ටමින් ස්වාභාවිකව නිර්මාණය කර ඊට බද්ධවීම සැම විටම ඔහු අනුගමනය කරන පිළිවෙතයි. ඒ සඳහා මිශ්‍ර ශිල්ප ක්‍රම බහුලව භාවිත කිරීම ඔහුගේ විලාසයයි.

දේශීය ටෙලි හා සිනමාවේ සටන් කලාව සඳහා එහි ප්‍රගමනයට වඩාත් උචිත බටහිර ආරේ මුහුණුවරක් ලබා දෙමින්, සටන් නිර්මාණ නව මානයකට යොමුකර පුංචි තිරයේ මෙන්ම ගැලරියේ සිට බැල්කනිය දක්වා වූ විවිධ රස වින්දන මට්ටමේ සුවහසක් ප්‍රේක්ෂක සමූහයා තුළ මවිතය දනවන සුළු නිර්මාණකරණයේ ඉදිරි ගමනක එක්තරා හිනිපෙතක දී නියත වශයෙන් ඔසඳ සමන් බණ්ඩාර යන ප්‍රවීණ සටන් අධ්‍යක්ෂවරයා නැවත අප හමුවනු ඇත.