වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ අධ්‍යක්ෂ මාව ඇන්දුවා

ඒ අධ්‍යක්ෂ මාව ඇන්දුවා

රාජාංගනයෙන් රංගනයට එන රොෂාන්

ඔබගේ නම මොකක්ද?

රොෂාන් රාජසිංහ.

රංගනයෙන් ඉදිරියට යන්න තමයි අදහස් කරන්නේ?

ඔව්.

සරසවිය පුවත්පත නිසා රංගන වරම් ලද ඔබ ඒ ගැන මතක් කළොත්?

සරසවිය පුවත්පත සෑම බ්‍රහස්පතින්දාවකම මං ගන්නවා. එහි නිතරම පළවෙනවනෙ රංගනයට අලුත් අය ගන්න දැන්වීම්. මමත් ඒ වගේ එකකට අයැදුම් කළා. මට ඉන් අවස්ථාව ලැබුණා.

මොන නිර්මාණයේද ඔබ හාහාපුරා කියලා රංගනයේ යෙදුණේ?

සුගත් සමරකෝන් මහත්මයාගේ විජය කුවේණි චිත්‍රපටයේ.

ඊට පසුව රංගනයේ යෙදුණ නිර්මාණ පෙළ මතක් කළොත්?

සූරියභානු, බිනරමලී තමයි ටෙලි නාට්‍ය.

එතකොට චිත්‍රපට?

සිරිදළදාගමනය, දැක්කොත් පද්මාවතී, ආලෝකෝ උදපාදි, පරපුර, රජා මමයි, නටන් නැතුව දින්නා.

ඒ අතරින් ඔබ කැපී පෙනෙන චරිතයක් කළේ?

කල්‍යාණ චන්ද්‍රසේකරගේ රජා මමයි චිත්‍රපටයේ.

අනෙක් චිත්‍රපටවලදී ඔබට රංගන හැකියාව ප්‍රකට කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ?

ඇත්තටම ඔව්.

ඔබ කොළඹින් ටිකක් දුර බැහැර අයෙක් නේද?

ඔව්. මගේ ගම රාජාංගනය.

රංගන කටයුතුවල නියැලීමට ඒ දුර බාධාවක් නෙවෙයිද?

මං රඟපාන්න අවස්ථා ලැබුණාම කටුනායක එනවා. එහෙ ඉඳලා තමයි රඟපාන්න යන්නේ.

ඔබ පොහොය නාට්‍යකුත් නිෂ්පාදනය කළා නේද?

ඔව්. මාව ඒ අධ්‍යක්ෂවරයා ඇන්දුවා. නාට්‍යයට වෙච්ච දෙයක් නැහැ. රඟපාන්න තියෙන ආසාවටයි එහෙම කළේ.

ඔබ වෙනත් රැකියාවක් කරන ගමන් නේද රඟපාන්නේ?

රඟපෑම වෘත්තීය කරගන්න අමාරුයි. හරියට සල්ලි ගෙවන්නේ නැහැනෙ අපි වගේ අයට.

කාටද තුති පුදන්න තියෙන්නේ?

පළමුව මගේ බිරිය සහ ළමුන් තිදෙනාට. අධ්‍යක්ෂවරු ගැන මතක් කළොත් අනුර වරාගොඩ, කල්‍යාණ චන්ද්‍රසේකර, අනුර මාධව, චන්දන හේවාපතිරණ යන අයට තුති පුදනවා.