වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




කනගාටුයි ඒත් මේ මගේ අවසාන ප්‍රදර්ශනය යි

කනගාටුයි ඒත් මේ මගේ අවසාන ප්‍රදර්ශනය යි

සිනමා සංරක්ෂක ගෝර්ඩ්න් ද සිල්වා

සිනෙමායා කෞතුකාගාරයේ දැවැන්ත එකතුවක් යළි ප්‍රදර්ශනයට...

ප්‍රදර්ශනය අද සිට දින තුනක්

මමත් නිකන් හිටියේ නෑ. හැදුවා ගෙදරදීම ප්‍රොජෙක්ටරයක්. හැබැයි ඒක ස්ලයිඩ් ප්‍රොජෙක්ටරයක්. ඒ කාලේ මට අවුරුදු 11 ක් තරම් පොඩි වයසේ. මම වීඩියෝ ප්‍රොජෙක්ටරයකුත් ගෙදරදීම හැදුවා. හැබැයි ඒකට කලක් ගියා. එතකොට මට අවුරුදු 16යි.

ඔබ ගෝර්ඩ්න් ද සිල්වා ගේ නම හෝ සිනෙමායා කෞතුකාගාරය ගැන අසා නැතුවා වන්නට පුළුවන. ගෝර්ඩ්න් ද සිල්වා ගේ නමත් සිනෙමායා කටුගෙයත් එකම හූයකින් බැඳී ඇති හෙයින් සිනෙමායා නොමැති ගෝර්ඩ්න් කෙනෙකුත් ගෝර්ඩ්න් නොමැති සිනෙමායා එකකුත් තිබෙන්නට සිටින්නට විදිහක් නැත. ඔබ මේ කටුගෙය නොදන්නා කෙනෙක් නම් එය එතරම් සුවිශේෂී වන්නට බලපෑ මහා පොදු සාධකය දැනගත් විට ඔබේ ඇස් උඩ ඉන්දෙනු නොඅනුමානය. ගෝර්ඩ්න්ව දන්නා බොහෝ දෙනා දන්නේ ඔහු රූපවාහිනි සංස්ථාවේ සිටින ජ්‍යෙෂ්ඨ සජීවිකරණ අධීක්ෂකවරයෙකු, නිර්මාණකරුවෙකු ලෙසටය. කෞතුකාගාරය යනු ‘පාර්ට් ටයිම්’ වැඩක් බවට ඔබට පෙනෙනු ඇත.

ඔහු තම සිනෙමායා කෞතුකාගාරය පොදුවේ විවෘත කළේ 2009 වසරේදීය. ඒ සුමිත්‍රා පීරිස් මැතිණියගේ දෑතිනි. ඒ අනුව කෞතුකාගාරයේ වයස වසර අටකි. නමුත් එහි ඇති එකතුව ඔහු සන්තකයට පත්ව කිසිසේත් වසර 8 ක් විය නොහැකිය. ඒවා කිනම් කාලයක කවුරුන් විසින් භාවිත කළාදැයි ඔහු හමුවන මොහොත වන විටත් මා දැන සිටියේ නැත. එහි පූර්ණ විස්තරයක් මෙහි ලිවිය නොහැකි මුත් නිධාන කතා බොහොමයකින් එකක් දෙකක් මට ලිවිය හැක. ඉතිරිය දැනගැනීමට ඔබට ඔහුගේ ප්‍රදර්ශනයක් නැරඹිය යුතුමය. මා ඔහුගේ කර්තව්‍ය මෙසේ හැඳීන්වීමට කැමැත්තෙමි.

ඔහුට වෘත්තීන් දෙකකි. එකක් රූපවාහිනියේ මාස් පඩි ලබන රස්සාවයි. අනෙක එකතු කිරීමේ රස්සාවයි. බෝතල් පත්තර අබලි ද්‍රව්‍ය එකතු කිරීමත් වෘත්තියක් වූවත් සිනමාව එකතු කිරීම ඇත්තෙන්ම ලාබ නොලබන වෘත්තියකි. ඔහු එකතු කරන්නේ සිනමාවයි. බෝතල් පත්තර කිලෝ ගණනට ගත හැකි මුත් සිනමාව එසේ එකතු කළ නොහැක. ඔහු ඒවා ගොඩ ගැසුවේ නිවසේය. සිනමාව පමණක් නොව ක්ෂේත්‍ර කිහිපයකම එකතුවක් ඔහු සතුව ඇත. මාස් පඩි වෘත්තිය කෙසේ වුවත් මට අනුව ඔහු එකතු කරන්නෙකි. එයින් මා අදහස් කළේ PASSIONATE COLLECTOR යන අදහස හෙවත් එකතුවලට හෘදයාංගම ආශා ඇත්තෙක් යන්නෙනි. එක් අතකින් ඔහු FILM ARCHEOLOGIST කෙනෙක් හෙවත් සිනමා පුරාවිද්‍යාඥයෙකු බවත් කිව හැකිය. නමුත් ඉන් ඔබ්බට ගොස් හෙතෙම MULTI PASSIONATE COLLECTOR හෙවත් බහුකාමී එකතුකරන්නෙක් නොවේ යැයි කිව හැක්කේ කෙසේද?

ඔහුගේ මේ එකතුවෙන් ස්වල්පයක් සැප්තැම්බර් මස 7, 8, 9 යන තෙදින තුළ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී COINS සිනමා උලෙළට සමගාමීව ප්‍රදර්ශනය කෙරේ. එය ඔහුගේ එකතුවෙන් ස්වල්පයක් වූවත් මහාර්ඝ ඉතිහාසයක් ඇති සිනමා එකතුවකි. එමගින් ජනනය කරන සිනමාවේ ඓතිහාසික දැනුම සුළු පටු එකක් නොවෙයි. මේ ඔහු හා මා අතර ඇති වූ සංවාදයයි.

ඔබ කොයින්ස් සිනමා උළෙලට කිසිසේත් අමුත්තෙක් නොවෙයි?

ඇත්තෙන්ම ඔව්. මම කොයින්ස් උලෙළ තුළ ප්‍රදර්ශනයක් කරන දෙවෙනි වතාව මේ. මේ වගේ ප්‍රදර්ශනයක් කරන්න හොඳම අවස්තාවක් තමා මේ උලෙළ.

මම නාභිගත වෙන්නේ කොයින්ස් උලෙළට නෙවෙයි. මට කියන්න මේ වගේ එකතුවක් කරන එකේ අරමුණ මොකක්ද?

එකක් තමයි සිනමාවේ මේ තිබෙන පරණ දේවල් තමා සිනමාවේ අඩිතාලම. සරලවම කියනවනම් මේ තමයි ඉතිහාසය. මේ ඉතිහාසය කියන දේ යුගයෙන් යුගයට රකින්න ඕන දෙයක්. මම මැදිහත් වෙලා ඒ ඉතිහාසයේ ගොඩක් දේවල් සංරක්ෂණය කරගන්න පුළුවන් වුනා. විශේෂයෙන්ම ලෝකයටම පොදු වූ මිලි මීටර් 35 යුගය මට පුළුවන් වුණා ලොකු පරිශ්‍රමයක් දරලා සංරක්ෂණය කරගන්න. ඒ නිසා සම්පුර්ණ ඉතිහාසයක් ඇති එකතුවක් මා සතුයි.

ඇත්තෙන්ම මොනවද ඔබ එකතු කරන්නේ?

විශේෂයෙන් කියන්න ඕනෑ මම එකතු කරලා තිබෙන්නේ සිනමාවේ ඉතිහාසයට සම්බන්ධ දේ පමණක් නෙවෙයි. සිනමාවත් එක්ක එකට බැඳුනු තවත් ක්ෂේත්‍ර කිහිපයක් තියෙනවා. එකක් තමයි නිශ්චල ඡායාරූප. අනෙක ගුවන් විදුලිය අනෙක මුද්‍රණ ශිල්පය ඒ වගේම රූපවාහිනියත් සිනමාව එක්ක බැඳීලා තියෙන්නේ. ඒකට හේතුව තමයි සිනමාව සෙලියුලොයිඩ් පටියත් එක්ක සම්බන්ධ වුනාට සිනමාවේ පෝස්ටරය හා ප්‍රචාරණ විධි වලට ගොඩක් මූලික වුනේ මුද්‍රණ ශිල්පය. ඒ වගේම තමයි ගුවන් විදුලියත්. ප්‍රචාරණයට එයත් හවුල් වුනා. ඒ වගේම ටෙලිවිෂනය සිනමාවේ හැඩයට ගොඩක් බලපෑම් කළා. සිනමාව රූපවාහිනියෙන් පෙන්වනවා දැන්. අනෙක සිනමාවේ මුල් කාලීන දේවල් ඊට පස්සේ ආවේ රූපවාහිනියට. උදාහරණයකට කාටූන් වගේ දේවල්. සියල්ලන්ටමත් වඩා නිශ්චල ඡායාරූපය තමයි හේතු වුනේ සිනමාව බිහිවීමට. කැමරාව සොයා ගත් කෙනාගේ සිට එඩ්වඩ් මේබ්‍රිජ්, තෝමස් අල්වා එඩිසන්, ලුමියර් සහෝදරයන් දක්වා ව්‍යාප්ත වුනේ නිශ්චල ඡායාරූපකරණය. ඒ නිසා මේ එකකට එකක් වෙන් කරලා සිනමාවේ ඉතිහාසය හඳුන්වන එක අසාර්ථකයි.

සිනමාව සම්බන්ධයෙන් ඔබ එකතු කරන්නේ සහ කළේ මොනවාද?

මුල් කාලීන කැමරාවේ සිට ප්‍රක්ෂේපණ යන්ත්‍ර දක්වා සිනමාවේ දේවල් මගේ එකතුවේ තිබෙනවා. ඊට අමතරව එදා මෙදා තුර නිපදවූ ලංකාවේ චිත්‍රපට වල පුවත්පත් ප්‍රචාරණ දැන්වීම් විශාල ප්‍රමාණයක් මා සතුයි. ඇත්තෙන්ම ඉතිහාසයේ දින වකවානු සම්බන්ධයෙන් ඒ තොරතුර ඉතා වැදගත්. ඒ වගේම මම පරිශ්‍රමයක් දරලා බොහෝ ප්‍රචාරණ පෝස්ටර් සංරක්ෂණය කළා. මම සාමාන්‍යයෙන් චිත්‍රපටයක පෝස්ටර් දෙකක් ළඟ තබාගන්නවා. එකක් සංරක්ෂණ ක්‍රියාවලියට ලක් කරන්න. අනෙක මිනිස්සුන්ට බලන්න. ඒ වගේම අත් පත්‍රිකා තිබෙනවානම් ඒවත් ස්ටිකර් තිබෙනවා නම් ඒවත් මම එකතු කරනවා. ගීත ඇතුලත් ග්‍රැමෆෝන් තැටියේ ඉඳල සංයුක්ත තැටිය දක්වාත් සින්දු පොත්, ෂෝ කාර්ඩ් සහ ඇතැම් වස්ත්‍රාභරණත් මම එකතු කරලා තියාගත්තා. සරුංගලය චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා මහත්මයා පැලඳු කන්නාඩි කුට්ටමත් එකමත් එක රටක චිත්‍රපටයේ සනත් ගුණතිලක මහත්මයා දාපු දත් කුට්ටමත් කුස පබා චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනි මහත්මයා දාපු නහයත් මා ළඟ තියෙනවා.

ඔබේ එකතු කිරීමේ ඉතිහාසය ගැන අප දැන් දැනුම්වත්. ඇත්තටම මෙයට බලපෑ ඔබේ පෞද්ගලික ඉතිහාසය මොකක්ද?

අපේ ගෙදර තිබ්බේ පිටකොටුවේ. මහා නගරයක් මැද. පෙනෙන මානයේ තිබ්බේ උසාවි සංකීර්ණය. එහා පැත්තෙන් දවස කාර්යාලය මෙහා පැත්තෙන් CIC සමාගම ඉස්සරහින් තිබ්බේ අපේ තාත්තගේ මුද්‍රණාලය. අපි පවුලක් හැටියට සිනමාව රස විඳීන්න ඉතාම උනන්දුයි. සිංහල චිත්‍රපට බලන්න අපි ගියේ අම්මා එක්ක. තාත්තා සිංහල චිත්‍රපට බලන්නේ නෑ. ඔහු යන්නේ ඉංග්‍රීසි චිත්‍රපට බලන්න. අපි මාරුවෙන් මාරුවට සති අන්තයේ සිංහල, ඉංග්‍රීසි චිත්‍රපට බැලුවා. මේ දේ තමයි මගේ මේ කුහුල වැඩි කරන්න හේතු වුණේ. මේ ආසාව වැඩි කරන්න මට දේවල් ඉගෙන ගන්න තාත්තාගෙන් වුණු බලපෑම ඇති විශාලයි. ඉස්කෝලේ යන කාලේ මට දකින්න ලැබුණා තොරොම්බල් බඩුවක්. ඒකේ තිබුණේ පළිඟු කෑල්ලක් අස්සෙන් බලන්න පුලුවන් විදිහට තිබුණු පින්තූරයක්. තොරොම්බල් කාරයෝ ඇවිත් ඒවා අපේ ඉස්කෝලේ ඉස්සරහ විකුණනවා. මම කළේ ඒක ගෙදර අරන් ගිහින් පළිඟු කෑල්ලට ලයිට් එකක් ගහපු එක. ඒක ප්‍රොජෙක්ටරයක් වුණා නිකන්ම. මට ඊට පස්සේ ලොකු කුහුලක් ඇති වුනා මේ දේවල් අත්හදා බලන්න.

ඊට පස්සේ ඔබ මොනවද කළේ?

මමත් නිකන් හිටියේ නෑ. හැදුවා ගෙදරදීම ප්‍රොජෙක්ටරයක්. හැබැයි ඒක ස්ලයිඩ් ප්‍රොජෙක්ටරයක්. ඒ කාලේ මට අවුරුදු 11 ක් තරම් පොඩි වයසේ. මම වීඩියෝ ප්‍රොජෙක්ටරයකුත් ගෙදරදීම හැදුවා. හැබැයි ඒකට කලක් ගියා. එතකොට මට අවුරුදු 16යි. මේ වෙද්දී මට මම කරපු දේවල් එක්ක මුද්‍රණ ශිල්පය, ඡායාරූපකරණය වගේ දේවල් වලට ඉතා උනන්දුවෙන් හිටියේ. ඒ නිසා මට උවමනා වුණා පොඩි කාටූන් චිත්‍රපටයක් හදන්න. මම කැමරාවක් හැසිරෙව්වා. මගේ මිත්‍රයා මනුබන්දු විද්‍යාපති තමයි චිත්‍ර ඇන්දේ. නමුත් එය ඒක පාරටම සාර්ථක වුනේ නැහැ. මේ අතර තමයි මගේ මිත්‍රයා අයේෂ්මන්ත හෙට්ටිආරච්චිත් එක්ක ඔහුගේ බාප්පව මුණගැහෙන්න ගියේ. මට උවමනා වුණේ හොඳ කැමරාවක් ඉල්ලගන්න කාටුන් වැඩේට. ඔහු තමයි කොටුවේ ෆොටෝ ෆෝකස් ආයතනයේ හිමිකරු ජි. හෙට්ටිආරච්චි මහත්මයා. ඔහු මට ලෝබ නැතුව බයක් සැකක් නැතුව විකුණන්න තිබ්බ අලුත් මිලි මීටර් 8 කැමරාවක් දුන්නා. ඔහු කිව්ව එකම දේ තමයි කඩන්න බිඳීන්නේ නැතුව ගෙනත් දෙන්න කියපු ඒක විතරයි. ඔහු එදා මාව විශ්වාස කරලා ඒ දේ නොකෙරුවනන් මං හිතන්නේ නැහැ අද මම මෙහෙම දෙයක් කරන්න ධෛර්යමත් වේවි කියලා. මම එතුමගෙනුත් බොහෝ දේ ඉගෙන ගත්තා.

ඊට පස්සේ ඔබ ගියා රූපවාහිනියට?

නැහැ. මම කාටුන් හදන වැඩේ අතහැරියේ නෑ. ඒ අතරේ තමයි මට ආරංචිය එන්නේ ලංකාවේ පළමුවැනි කාටුන් චිත්‍රපටිය හදන්න යනවා කියලා. මම අවස්තාවක් ඉල්ලුවා ඒකට වැඩ කරන්න. නමුත් අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒත් පස්සේ කලෙක මට ගිවන්ත අර්ථසාද් මහත්මයා මුණගැහෙනවා. මම ඔහුගෙන් දේවල් ඉගෙන ගන්නවා. ඊට පස්සේ තමයි රූපවාහිනියේ සජීවිකරණ අංශයට මාව රෙකමදාරු වෙන්නේ. 1983 මාර්තු පළමුවෙනිදා තමයි මම එහෙට යන්නේ. ඊට පස්සේ මම සජිවිකරණය ඉගෙන ගන්න පිටරට යනවා. මම තමයි අදටත් පිටරට ගිහින් සජිවිකරණය ඉගෙන ගත්ත ලංකාවේ පළමුවැන්නා. ඉතින් අදටත් මම ජාතික රූපවාහිනියේ වැඩ.

ඔබ තනි පුද්ගලයෙක් හැටියට මෙච්චර ඉතිහාසයක් එකතු කළේ කොහොමද?

ඇත්තටම මම මේ දේ ඒක පාර කළා නෙවෙයි. මේ දේවල් එකතු කළේ මම පොඩි කාලේ ඉඳන්මයි. අදටත් මේ දේවල් මට එකතු වෙන විදි කිහිපයක් තිබෙනවා. අංක එක තමයි යම් තැනක භාණ්ඩයක් ඇති බවට මට එන ඔත්තුව. අංක දෙක තමයි භාණ්ඩයක් තිබෙන බව දැනගෙන ඒ වෙනුවෙන් මට මිත්‍රයන් මුදල් දීම. අංක තුන ක්ෂේත්‍රයේ ඉන්න අය මට භාණ්ඩ නොමිලයේ දීම. අංක හතර තමයි මම විසින්ම ඒවා හොයාගෙන මුදල් දී ගැනීම. ඔය ක්‍රම වලට තමයි මට භාණ්ඩ ලැබුණේ. පී. යූ. ඩී පෙරේරා මහත්මයා තමයි ප්‍රථම වතාවට මට භාණ්ඩ ලබා දුන්නේ. ඒ වගේම ජි. ඩි. එල් පෙරේරා මහත්මයත් මට භාණ්ඩ ගොඩක් දුන්නා. එහෙම මට භාණ්ඩ දුන්න පිරිස අති විශාලයි. අදටත් මට මේ දේවල් ගන්න මුදල් වියදම් කරන මිත්‍රයෝ දෙන්නෙක් ඉන්නවා. මට ඔවුන්ගේ නම් කියන්න විදිහක් නෑ ඔවුන් එයට අකමැති නිසා.

ඔබ ලෝකයේ වෙනත් රටවල් වල මෙවැනි කෞතුකාගාරවලට ගිහින් තිබෙනවද?

ඔව්. චීනයේ ජාතික කෞතුකාගාරය මේ කටයුත්ත හොඳට කරනවා. ඩුබායිවල තිබෙනවා අද වෙනකන් යාවත්කාලින කරපු ඉතා හොඳ කෞතුකාගාරයක්. ඒ වගේම ඉන්දියාවේ බැංගලෝරයේ තිබෙන විස්වසරියා කෞතුකාගාරයත් හොඳ එකක්.

ඔබ සූදානම් නැතිද ඔබ ඔය එකතු කරපු සම්පත යෝජිත සිනමා සංරක්ෂණාගාරයට භාර දෙන්න?

මම සූදානම්. ඒත් ගැටලුව වෙලා තිබෙන්නේ ඒ ව්‍යාපෘතිය සිද්ද වෙන්නේ ජාතික ලේඛනාරක්ෂකගාරයත් සමඟ නිසා එතන මේ වගේ වගේ ලොකු ව්‍යාපෘතියක් කරන්න බැරි වීම. ඒත් මිට කලින් මම සූදානම් වුණා මගේ ඉඩමේ වෙනම ගොඩනැගිල්ලක් හදලා මේක ගෙනියන්න. මොකද මගේ නිවසින් 3/4ක් ම වෙන් වුනේ මේවා තැන්පත් කරන්න. ඒත් නීති අණපනත්වලින් මගේ ඉඩමට බාධයි.

හොඳයි. මෙවර ප්‍රදර්ශනය ඔබ නම් කරන්නේ ‘නික්ම යන්නට පෙර’ කියලා.

ඔව්. අපි මේවා කවදා හෝ දාල යනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් මටත් සිද්ද වෙනවා කවදා හෝ මේවා අතහරින්න. මම මේ දේවල් බලාගත්තේ මගේ දරුවෝ වගේ. ඒ නිසා නික්ම යන්නට පෙර මම මේවා වතාවක් පෙන්වනවා පදනම් ආයතනයේදී. බොහෝ දුරට මේක මගේ අන්තිම ප්‍රදර්ශනය වේවි. ඉන් පස්සේ මම වෙනම විදිහේ ප්‍රදර්ශනයක් කරනවා ගිනස් වාර්තා පොතට යන.