වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනය පිළිබඳ මා තුළ ඇති දැඩි විශ්වාසය සම්භාව්‍ය නිර්මාණයක් වෙත යම් දිනෙක මා රැගෙන යාවි

රංගනය පිළිබඳ මා තුළ ඇති දැඩි විශ්වාසය සම්භාව්‍ය නිර්මාණයක් වෙත යම් දිනෙක මා රැගෙන යාවි

රංගන ශිල්පිනී අනෝජා වීරසේකර

මෑතකාලීනව රූපවාහිනී නාලිකාවල විකාශය වන ප්‍රහසනය අන්තර්ගත ටෙලි නාට්‍ය අතර 'මෙඩි සිනා' යනු තාත්වික සම්ප්‍රදාය අබිබවා අර්ධ ශෛලිගත රංගනය දෙසට නැඹුරු රංගන විලාසයක් රැගත් හාස්‍යය දනවන ටෙලි නිර්මාණයකි. එවන් නිර්මාණයක රංගනයේ නියැළෙමින් පිටපත් රචකයාගේ සන්තානයේ නිර්මිත චරිතයක් අධ්‍යක්ෂකගේ මෙයෙවීමට යටත්ව ප්‍රේක්ෂකයා වෙත සාර්ථකව සම්ප්‍රේෂණය කළ හැකි වනුයේ එකී චරිතය හා රංගන විලාසයන් නිසි ආකාරව අධ්‍යයනයක් තුළින්ම පමණකි. එහි එන 'මිසිස් නාරම්පනාව' චරිතය ද එලෙස පණගැන්වුණු ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ මේ දිනවල අතිශය ජනප්‍රිය චරිතයකි.

එහි ස්වභාවය නිසි අයුරු අධ්‍යයනයකින් 'මෙඩි සිනා' දිවෙන රංගන විලාසය මත පදනම්ව ඊට අදාළ රංගනය ඉරියව් හා අභිනය සියුම්ව මුසු කරමින් 'මිසිස් නාරම්පනාව' නම් වූ චරිතයේ ජීවත් වෙමින්, ප්‍රේක්ෂක හදවත් තුළ ඇය ජීවමාන කරවන ප්‍රහසන රංගනයක නියැළෙන ඇය නමින් අනෝජා විරසේකර වන්නීය.

මේ වනවිට ජයප්‍රකාශ් ශිවගුරුනාදන්, සුරංජන් විජේනාම සහ ප්‍රසන්න ඉත්තෑපාන යන අධ්‍යක්ෂවරුන් තිදෙනාගේම මඟ පෙන්වීම යටතේ ඇය එම චරිතයට පණ පොවා ඇත. පසුගිය දිනෙක සරසවියට පැමිණි ඇය 'මෙඩි සිනා' පිළිබඳ කතාබහේදී රංග ශිල්පිනී පියුමි බොතේජු සහ එහි නිෂ්පාදිකා ඇන්ජෙලා කුරුප්පු මහත්මිය කෘතවේදීව සිහිපත් කළාය.

කුඩා අවධියේ පටන් රංගනයට, නර්තනයට ඇලුම් කළ අනෝජා, රැජිනි සෙල්වනායගම් සහ කාලිංග ඔබේවංශ යන ප්‍රවීණ නර්තන ශිල්පීන් යටතේ නර්තනය ප්‍රගුණ කළාය. අධ්‍යාපනය ලද මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් වේදිකාවෙන් ඔබ්බට ද සිය හපන්කම් විදහා දැක්වූයේ සමස්ත ලංකා මට්ටමින් හොඳම නිළිය හා නර්ථන සම්මාන ද හිමි කර ගනිමිනි. වර්තමානය වන විට ඇය වේදිකාව, ගුවන් විදුලිය, පුංචි තිරය මෙන්ම සිනමාව ද සිය රංගන ප්‍රතිභාව සඳහා තෝතැන්නක් කරගෙන හමාරය.

පාසල් වියේදීම සුමිත්‍රා පීරිස්ගේ 'ගැහැනු ළමයි' ටෙලි වෘත්තාන්තයේ චරිතයක් සඳහා දායක වීමට ඇය වරම් ලැබුව් 1992 වසරේදීය. ඉන් අනතුරුව රංගනයෙන් මඳක් ඈත් වූ ඇය නැවත රංගනයට පිවිසෙන්නේ සත් අවුරුදු විරාමයකින් අනතුරුවයි. ඒ චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ 'කිරි පබළු විල' ටෙලි නාට්‍යය තුළිනි. 'එක ගෙයි මිනිස්සු', 'පාන් බට්ටා', 'තරු පිරි අහස', 'සිතට වහල්වීම', 'මිලා', 'බෝධි', 'සකිසඳ සුවාරිස්' යන පුංචි තිරයේ ජනප්‍රිය නිර්මාණ අනෝජා සිය රංනයෙන් දායක වූ ටෙලි නිර්මාණයන් අතර වේ.

ලුවී වැන්ඩර්ස්ට්‍රාටන් අධ්‍යක්ෂණය කළ 'බෝනික්කා' සහ නලින් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ 'රේන්බෝ' ඇය රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණයන්ය. චන්ද්‍රරත්න මාපිටිගමගේ 'උයනට මල් ගේන්න', 'ප්‍රීති ඇන්ඩ් ජෝයි' සහ රවී චන්ද්‍රසිරිගේ 'ගෝත්‍රා' යන නිර්මාණ ඉදිරියේදී තිරගතවීමට නියමිත ඇය රඟපෑ සිනමා නිර්මාණයන් වේ.

තවද මේ වන විට වැඩ නිම වෙමින් පවතින රවි චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ 'රාක්ෂා' සහ 'සේදවී' ඇයගේ රංගනයෙන් හැඩවුණු වෙනස් තේමාවන් රැගත් සිනමා නිර්මාණ ද්විත්වයකි.

අනෝජා විරසේකර පුංචි තිරයට හා සිනමාවට පමණක් සීමා වුණු ශිල්පිනියක් නොවේ. ඇය සතු හැකියාවන් සහ කුසලතා තුළින් ඇය ගුවන් විදුලිය හා වේදිකාව වෙත ද අවතීර්ණය වී හමාරය. අතලොස්සක් වූ හඬ නළු නිළි පිරිස අතර ඇය ඉතා ජනප්‍රිය චරිතයකි. 'දෝනි', 'MELODY OF LOVE'  'මේ ආදරයයි' යන අතිශය ජනප්‍රිය නිර්මාණ සඳහා ඇය සිය හඬ මුසු කර තිබේ.

සිරස ගුවන් විදුලියෙන් විකාශය වන 'ආදරෙයි අහස තරම්, ' හතේ කනිසම' මෙන්ම දෙරණ ගුවන් විදුලියෙන් විකාශය වන 'වීර දුටුගැමුණු' ඇයගේ ගුවන් විදුලි රංගනයන් මුසු වූ නිර්මාණයන්ය.

ඒ හැරුණු විට ජනප්‍රිය වේදිකා නාට්‍ය නිර්මාණ කිපයක්ම ඇයගේ රංගනයෙන් හැඩ ගැන්වීමට ද ඇය සමත් වී තිබේ. ඒ අතර සැන්ඩෝ හැරිස්ගේ 'ට්‍රැෆික් සාජන්ට්', දමයන්ති ෆොන්සේකාගේ 'ගාස්තුව කීයද', ජනිත් කංකානම්ගේ 'සඳයි මගේ අම්මා' මෙන්ම 'පදුමානවක ජාතකය', 'පුන්තිලා' යන නිර්මාණ විශේෂිතය.

මෙකී සියළු ක්ෂේත්‍රයන්හි සිය රංගන හැකියාව ප්‍රකට කරමින් තම පුද්ගලිකත්වයට හානිදායක නොවන පරිදි තවදුරටත් වෘත්තීය මට්ටමෙන් රංගනයේ නියැලීමට බලාපොරොත්තුවෙන් පසු වන ඇය ක්ෂේත්‍රය තුළ වර්තමානයේ පවතින ගැටලු හමුවේ වුව ද නිර්මාණ එළිදැක්වීම පිළිබඳ සිය සතුට පලකළාය.

අමෝජා දෙදරු මවකි. මොන යම් කාර්යබහුල තත්ත්වයක් හමුවේ වුව ද, සිය පවුල සහ දරුවන් දෙදෙනා වෙනුවෙන් ඇය තම යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරන්නියකි. රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ මේ දක්වා පැමිණීමට ඇයගේ මෑණියන් ඇය වෙත ලබාදෙන ශක්තිය, බැතියෙන් යුතුව සඳහන් කළාය.

තම රංගන හැකියාව පිළිබඳ අනෝජා තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි. ක්ෂේත්‍රය තුළ මෙතෙක් ලද අත්දැකීම් ගුරුහරුකම් අභ්‍යාස හා පුහුණුව මත ඕනෑම චරිතයකට අනුගතවීමට ඇයට ඇත්තේ අනූන හැකියාවකි. ඒ අනුව සිල් මෑණියකගේ චරිතයක් නිරූපණයට ඇය පෙරුම් පුරන්නීය.

මේ දක්වා සිය රංගන ප්‍රතිභාව සුවහසක් ශ්‍රාවක, ප්‍රේක්ෂක සමූහයා වෙත ගෙන හැර දැක්වීමට අත හිත දුන් සියලුම අධ්‍යක්ෂවරුන්, සහය අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, සහෝදර රංගන ශිල්පී, ශිල්පිනියන් මෙන්ම ඇයගේ රංගනය රසවිඳි ශ්‍රාවක ප්‍රේක්ෂක සියලුදෙනා වෙත නිර්ලෝභීව ඈ කෘතවේදීත්වය පලකළාය.

ප්‍රශස්ත,සම්භාව්‍ය නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වීම අනෝජාගේ සිහිනයකි. තවමත් යොවුන් වියේ රංගන ශිල්පිනියක් වන ඇයට, සිය හැකියාවන්ගේ හිනි පෙතට නැග පරණත භාවපූර්ණ රංගන හැකියාවන් පුබුදාලමින් සම්භාව්‍ය නිර්මාණ අතරට එක්වීමට වරම් ලැබේවායි යන්න අපගේ පැතුමයි!