වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීතය මගේ ජීවිතයේ වැදගත්ම අංගයයි

සංගීතය මගේ ජීවිතයේ වැදගත්ම අංගයයි

ඉන්ජිනේරුවකු වූ සංගීත විශාරද චිත්‍රාල් පණ්ඩිත

කලා ක්ෂේත්‍රයෙන් බැහැර වෙනත් ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වය ලද්දෝ ද කලා ක්ෂේත්‍රයේ ද දස්කම් දක්වන අවස්ථා දකින්නට ලැබේ. කලාවට ඇති ළෙංගතුකම නිසාම ඔවුන්ගේ දායකත්වය නිරන්තරයෙන් කලාව සමඟින් බැඳී තිබීමද පුදුමයක් නොවේ.

මේ ලෙසින් සංගීත රසයෙන් සුවහසක් සිත් සතන් සනසාලන අය අතරේ චිත්‍රාල් පණ්ඩිත සුවිශේෂි චරිතයකි. වාද්‍ය විශාරද චිත්‍රාල් පණ්ඩිත වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ශිෂ්‍යෙයකුව සිටියදී වාද්‍ය විශාරද උපාධිය ලද පළමු වැන්නා වන්නේ ද ඔහුයි. වෘත්තියෙන් ඉංජිනේරුවකු වුව ද චිත්‍රාල් ශාස්ත්‍රීය සංගීතයේ උන්නතිය වෙනුවෙන් කැපවන කලාකරුවකු ලෙසින්ද හඳුන්වාදිය හැකියි. චිත්‍රාල් සංගීත ලොවට පියවර තැබූයේ වයස අවුරුදු අටවන විට පියාගෙන් තෑගි ලද වයලීනයද සමඟිනි. ඒ පිළිබඳ සොඳුරු මතකය ඔහු සිහිපත් කළේ මෙලෙසිනි.

" මගේ අටවැනි උපන්දිනයට තාත්තා මට වයලීනයක් තෑගි කළා. අපේ තාත්තා වින්සන්ට් පණ්ඩිත ඒ කාලයේ ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා. මගේ ගුරුතුමා වුණු ආචාර්ය පණ්ඩිත් සෝමසිරි ඉලේසිංහත් ඒ කාලයේ ගුවන්විදුලියේ සේවය කළා. තාත්තාගේ ඒ දැනුවත්කම අනුව මට ඉලේසිංහ ගුරුතුමා යටතේ සංගීතය ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. හරියටම මම සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තේ මගේ අටවැනි උපන්දිනය දවසේදීමයි. "

සංගීතයට යොමු වීම අධ්‍යාපනයට බාධා වේවි කියලා චෝදනා එහෙම ආවේ නැතිද?

මගේ අම්මා සුධර්මා පණ්ඩිත, බෞද්ධ සංස්කෘතිය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්. අම්මායි තාත්තායි දෙන්නාම මා සතු සංගීත හැකියාව හඳුනා ගන්න ඇති. ඔවුන් එහෙම චෝදනාවක් නම් කවදාවත් මට කළේ නැහැ. පොඩි කාලයේ පටන්ම සංගීතය යි අධ්‍යාපන කටයුතුයි සමබරව කරගෙන යන්න මම පුරුදු පුහුණු වුණා. සංගීත කටයුතු නිසා කවදාවත් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වුණේ නැහැ. අධ්‍යාපන කටයුතු නිසා සංගීතය අතහැරියේත් නැහැ.

පාසලේදී විෂයක් විදියටත් සංගීතය හදාරන්න ඇති?

මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. 1975 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවේ පළමුවැනියා වුණෙත් මම. පාසලේදී සංගීතය නම් විෂයක් විදියට හදාරලා නැහැ. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ ගණිත විෂය ධාරාව යටතේයි. ගණිත අංශය සහ සංගීතය කියන්නේ එකිනෙකට වෙනස් වූ විෂයන් දෙකක් නමුත් සංගීතය අධ්‍යාපන කටයුතුවලට උදව්වක් මිස බාධකයක් නෙවෙයි. බාහිර ක්‍රියාකාරකම් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කියලා බොහෝ දෙනෙක් හිතුවත් සංගීත කටයුතුවලින් කවදාවක් එහෙම බාධා වෙන්නේ නැහැ. ඒ තුළින් අපේ හිත සන්සුන් කරගන්න ලොකු උපකාරයක් කරනවා.

මම සංගීතය පිළිබදව ඉගෙනීම් කළේ බාහිරව තමයි. ඒ වුණත් පාසලේ සංගීත අංශයේ විවිධ වැඩසටහන්වලට දායක වුණා. 1975 වසරේදී ආනන්ද විද්‍යාලයේ සංගීත කවය පිහිටුවා ප්‍රථම සභාපති වුණෙත් මම. වර්තමානය දක්වාම එය ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වීම ගැන ලොකු සතුටක් හිතේ තියෙනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදීත් සංගීත කටයුතු කෙරෙහි ඔබ දැක් වූ ඇල්ම විශේෂයි?

මට ගණිත අංශයෙන් මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. විශ්වවිද්‍යාලයේදීත් සංගීත අංශයේ විවිධ අවස්ථා සඳහා මම සහභාගි වුණා. එහිදී ප්‍රථමවරට රාගධාරි සංගීත ප්‍රසංගයක් පවත්වන්නත් මම කටයුතු කළා. සාමාන්‍යෙයන් ගීත ගායනා කරන ප්‍රසංග සුලබ වුණත් රාගධාරි සංගීත ප්‍රසංග පැවැත්වෙන්නේ නැහැ. මම මුල්වරට රාගධාරි සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළාම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් එය ඉතාම ආදරයෙන් වැළඳ ගත්තා. ප්‍රතිචාර ඉහළින්ම ලැබුණා. මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද වසර හතර තුළම ඒ ප්‍රසංගය පවත්වන්න මට අවස්ථාව ලැබීමත් විශේෂයි. 1981 වසරේදී වාද්‍ය විශාරද උපාධිය සම්පූර්ණ කළෙත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපන ලබමින් සිටියදීයි.

එදා අවුරුදු අටේදී ආරම්භ කළ ශාස්ත්‍රීය සංගීතය සමඟ ඔබේ ගනුදෙනුව වර්තමානයේදීත් නවතා දමා නැහැ?

එදා පාසල් අධ්‍යාපනය ලද කාලයේදීත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදීත් සංගීතය සමබරව කරගෙන එන්න මට හැකියාව ලැබුණා. අදටත් එහි වෙනසක් නැහැ. ව්‍යාපාරික කටයුතු සමඟින් සංගීත කටයුතු සමබරව කරගෙන යන්න මට හැකිවෙලා තියෙනවා. ඉංජිනේරුවෙක් විදියට සංගීත අංශයෙනුත් ඉහළටම යන්න හැකිවීම පිළිබඳ පෞද්ගලිකව විශාල තෘප්තියක් වගේම මා දන්න හඳුනන අයගෙන් ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි.

වර්තමානයේදී නම් මාපියන් අධ්‍යාපන කටයුතුවලට බාධා වේවි යැයි කියා දරුවන් මේ වැනි දේ මඟින් ඈත් කරන බවක් පේනවා?

මෙහි දෙපැත්තක් තියෙනවා. වෙනත් වෘත්තියන නියැළෙමින් සංගීතය හැදෑරිම සහ වෘත්තීය වශයෙන් සංගීතයට යොමු වන අයත් සිටිනවා. මම වෙනත් වෘත්තියක නියැළෙමින් ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවත් වෘත්තීය මට්ටමෙන් ඉදිරිපත් කිරීමට තරම් ඉහළටම එහි හැදැරීම් කළා.

අපේ රටේ සංගීත අංශයෙන් ඉදිරියට යන්න අවස්ථා තිබුණත් ශාස්ත්‍රීය සංගීත අංශයෙන් එහි යම් දුර්වල තත්ත්වයක් තමයි පෙනෙන්නේ. ඒ නිසා දරුවන් මේ මාර්ගය තෝරා ගන්නවාට මවුපියන් බිය වෙනවා ඇති. ආචාර්යවරයෙක් වෙන්න. එහෙමත් නැත්නම් කලායතනයක් ආරම්භ කර ඉගැන්වීමට යොමු වුණත් ප්‍රසංග පවත්වන්න අවස්ථා ඇත්තේ නැහැ. ඉන්දියාවේදී මේ තත්ත්වය වෙනස්. ශාස්ත්‍රීය සංගීත ශිල්පියෙකුට එය ජීවත් වෙන්න හොඳ මාර්ගයක්.

ඔබේ අත්දැකීම අනුව කාර්යබහුල ජීවිතයට සංගීත කටයුතුවලින් ලැබෙන්නේ කුමනාකරයේ බලපෑමක්ද?

සංගීතය මගේ ජීවිතයේ ඉතාම වැදගත් අංශයක් ලෙසින් මම සලකනවා. අද බොහෝ දෙනෙකුට ව්‍යාපාරික කටයුතු වගේම රාජකාරී කටයුතු සමඟින් ආතිතය කියන දේ නිතැතින්ම උරුම වෙන දෙයක් බවට පත් වෙලා. කාර්යබහුල ජීවිතයේදී අප ලබන මේ ආතතිය සංගීතය මඟින් බොහෝ දුරකට සමනය කරගන්න හැකි වන බව මම කියන්නේ අත්දැකිමෙන්. ඒ වගේම සංගීතය කියන්නේ මිනිස් සිත සුවපත් කරන අනර්ඝ ඖෂධයක්. වෙනත් ක්ෂේත්‍රයක අතිශය කාර්යබහුල වූ අයට තම මනස සැහැල්ලු කර ගන්නට මියුරු සංගීත රටා උපකාරී වෙනවා. මමත් එය අත්විඳී දෙයක්. මානසික ආතතිය දුරු කිරීමේ පුදුමාකාර බලයක් ශාස්ත්‍රීය සංගීතය සතුයි.

ඔබ විසින් පවත්වන 'සංගීතාභිමාන' උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග මාලාව ශාස්ත්‍රීය සංගීතයට ඇලුම් කරන්නන්ට අපූරු තිළියක් ?

'සංගීතාභිමාන' උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයේ ආරම්භය සනිටුහන් කළේ වසර 2000 දීයි. එදා සිට මේ දක්වා ප්‍රසංග එකොළහක් මම සංවිධානය කළා. ලයනල් වෙන්ඩිට්හිදී එකොළොස් වැනි ප්‍රසංගය පැවැත් වූයේ 2015 වසරේදීයි. ඊට පෙරත් මම ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග පවත්වා තිබෙනවා. අසූව දශකයේදී ආරාධිතයන් වෙනුවෙන් ප්‍රසංගයක් පැවැත්වූවා. 2003 - 2004 කාලවල සිට මේ සඳහා ප්‍රවීණ ඉන්දියානු ශිල්පීන්ගේද සහාය මට ලැබුණා. ඉන්දියාවේදීත් ගුරුතුමාටයි මටයි සංගීත ප්‍රසංගයක් පවත්වන්න අවස්ථාව උදා වුණා. දූර්දරශන් නාලිකාවේ එය විකාශය කළා.

මම මෙම සංගීත ප්‍රසංගය ආරම්භ කළේ ලාභ උපයන පරමාර්ථයෙන් නම් නෙවෙයි. ශාස්ත්‍රීය සංගීතය රසය විඳීන්නට සැළැස්වීම මගේ අරමුණයි. මම එය පවත්වන්නේ ප්‍රවේශ පත්‍ර පවා ඉදිපත් කරන්නේ නැතුවයි. මේ වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ මවිසින් පවත්වාගෙන යනු ලබන promec(Project Management and Engineering Consultants) ඉංජිනේරු සමාගමයි. විවිධ ක්ෂේත්‍රයන්හි නියැළි සිටින ශාස්ත්‍රීය සංගීත රසය විඳීන්නට ප්‍රිය රසවතුන් රැසක් මෙය නරඹන්න පැමිණෙනවා.

මෑතකදී අපට 'සංගීතාභිමාන' ප්‍රසංගයක රස විඳීන්න අවස්ථාවක් උදා වෙන්නේ නැති ද?

2019 වසරේදී යළිත් ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එයටත් විශේෂ හේතුවක් තියෙනවා. 2019 වසරේදී මගේ ගුරුතුමා ආචාර්ය සෝමසිරි ඉලේසිංහ ගුරු පියාණන්ට වයස අවුරුදු අසූවක් සපිරෙනවා. එය නිමිතිකර ගෙන ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනවා.

සංගීත ක්ෂේත්‍රයෙන් විශේෂ යමක් කරන්න අදහසකුත් ඇති?

ශාස්ත්‍රීය සංගීතය දෙස අවධානය යොමු කළොත් අපේ රට තුළ ඒ ඔස්සේ බිහි කරන්නේ ගුරුවරුන් පමණයි. ඒ අංශයෙන් නිර්මාණකරුවන් බිහිවෙනවා අඩුයි. ඔවුන්ට ප්‍රසංග නොමැති වීම හේතුවක්. ඔවුන්ට තම හැකියා ඉදිරිපත් කරන්න අවස්ථා ලැබෙන්නේ නැති තරම්. මමත් ප්‍රසංග ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ, එවැනි කලාකරුවන්ට අවස්ථාව ලබාදීමටයි. ලංකාවේදී ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් නරඹන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. එක වරක් අපි සමස්තලංකා මට්ටමෙන් ජයග්‍රහණය කළ අයගෙන් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ගේ හැකියාව ඉදිරිපත් කරන්නත් අවස්ථාවක් ලබා දුන්නා. අපේ රටේ තව තවත් ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග ඇති කර නිර්මාණකරුවන්ට හොඳ ගෙවීමක් කරමින් ස්ථාවර තත්ත්වයක් ඇති කළ යුතුය යන්න තමයි මගේ අදහස.