වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




මුන් පත්තර කියවන්නේ නැතුව ඇති
අද පළමු පියවර තබමු

මුන් පත්තර කියවන්නේ නැතුව ඇති

‘ඔච්චර ඉක්මනින් දුවන්න එපා.‘

සෙනග අතරින් රිංගා ගෙන ඉදිරියට ඉක්මන් ගමනින් යන විනෝද් ගේ අතින් අල්ලා ගත් බිනරි කෑ ගෑවාය. ඇය එසේ කෑ ගෑවේ බැරිම තැනය. මිනිත්තු ගණනකින් බස් රියක් නොආවොත් බොරැල්ල හංදියට මේ වෙලාවට මිනිස්සු පිරෙන්නේ ඊස් මීස් නැති ගාණටය.බැරි වෙලාවත් නගරයේ විදුලි පහන් එළි සියල්ල එකවර නිවී ගියොත් ළඟ ඉන්න එකා සොයා ගන්නවා බොරුය. ඇය වඩාත්ම බය වුණේ ඒකටය.මෙතුවක් වෙලා ඉක්මන් ගමනින් ගිය විනෝද් සිය ගමන බාල කළේය.ඔවුන් ගමන් කළේ මිනිසුන් අතරින් රිංගමිනි.ඇඟේ හැප්පුණ ඇතැමෙක් ඔවුන් දෙස බැලුවේ කෝපයෙනි.සියල්ලන්ගේ හිස් කොක් කරක් සේ ඉස්සී තිබිණ.ඒ බස් රියක් එනු ඇතැයි බලමිනි.ලොකු පහන් දල්වා ආ ලොරියක් ද දුර පලාතකින් පැමිණි පාසල් සවාරියක බස් රියක් ද මිනිසුන්ගේ අපේක්ෂාවෙන් දල්වා උඩ යවා බිඳ දමා තිබීම ඔවුන් නොසන්සුන් කරන්නට තරම්ය.කාටත් වුවමනා හදිස්සියෙන් ගෛදරට යන්නටය.මේ වෙලාවට ආසනයක් සොයා ගන්නවාට වඩා පහසුවෙන් ලොතරැයියක මුල් දිනුම ලබා ගත හැක.විනෝද් හා බිනරි එකිනෙකා පෙරළා ගෙන ඉදිරියට ඇදෙන්නේ ඔවුන් අතරිනි.බොරැල්ල හංදියෙන් ලහිලහියේ බැස ගත් දෙදෙනාටම බස්රියක යන්නට වුවමනාවක් නොවීය. ගෙදර යන්නට හදිස්සියක් ද නොවීය.විනෝද් සිටියේ නොසන්සුන් මනසකිනි. විනොද් ට ඩොං යන හැටි බිනරි ට පුරුදුය.වෙනදා නම් එයට විහිළු කරන ඇය අද කිසිත් නොකියා සිටියාය.

සිද්ධිය වුණේ පැය භාගයකට පෙරය. තැන බොරුල්ලේ සිට හැතැප්ම තුනකට ඈත මරදානේ දීය . මරදාන හන්දියේ එල්ෆින්ස්ටන් සිනමා හල අසලය. විනෝද් බිනරිත් එක්ක සිනමා හලට පැමිණියේ එහි තිර ගත වූ චිත්‍රපට උලළ බලන්නට ය. ලැබුණු ප්‍රචාරයේ ප්‍රතිඵලය නිසා සිනමාහල අසල හිතුවාට වඩා සෙනගකි.බහුතරයක් චිත්‍රපටය නරඹන්නට නොවේ ප්‍රංශ චිත්‍රපට වල ඇතැයි සිතෙන සරාගී දර්ශන නරඹන්නටය. විනෝද් ගේ තර්කය එහෙමය.

‘මේ ඉන්න එවුන් වැඩි දෙනෙක් සිනමාව දන්නවා ද?

ඔහු ඇගෙන් ඇසුවේ එහෙමය. බිනරි කිසිත් කියන්නට ගියේ නැත.සෙනග වැඩි වන්නට කලින් සිනමාහලට යා යුතුව තිබිණ.එසේ නොවූයේ තමා නිසාය. ගෙදරින් එන්නට ඇයට වෙලාවක් ගත විය.ඇය එනතුරු ඔහු බොරැල්ල හංදියේ බලා සිටියේය.

සිනමාහලේ පොරකන සෙනග අතරින් අති විශේෂ කිහිප දෙනක්ම පෝලිම පැන යනු දුටු විනෝද් ට යකා නැංගේය.

ඔහු සිනමා හලේ ගේට්ටුව අසලට ළං විය.

‘ඒ අය කොහොමද ඇතුළට ගියේ?

විනෝද් ප්‍රශ්න කළේ දබරැඟිල්ල දිගු කරමිනි.

‘ඉන්විටේෂන්

පිළිතුරු ලැබිණ.එහි ස්වරයේ තිබුණේ එය විමසන්නට තරම්වත් තමා නොවැදගත් එකෙකැයි යන හැඟීම බැව් විනෝද්ට වැටහිණ. චිත්‍රපටය බලන්නට පොර කනවා විනා කිසිවකුට හෝ තමන්ට සහායට එන්නට වුවමනාවක් නැති හැටි.

පසු බාන්නට විනෝද් කැමැති වූයේ නැත.ඔහු උත්සවයේ සංවිධායකු බැව් විනෝද්ට වැටහිණ.ඒ ඔහු කර පැලඳී හඳුනාගැනීම් පත නිසාය.ඔහු බහින් බස් වන්නට ගියේය.

“ඒ අයට යන්ඩ යි.අපි වේලෙන්ඩයි‘

ඔහු කෑගෑවේය.සිනමාහලේ හවුස් ෆුල් පුවරුව එල්ලුණේ එවිටය. එවර නම් බලාපොරොත්තු බිඳ ගත් රැස් වෙමින් සිටි සෙනග හූ කියන්නට වන්හ.විනොද් ගේ හිතට හයියක් ආවේ එවිටය.ඔහු ගේ රතු කට්ට පැන එමින් තිබිණ. මේ තමන්ගේ හඬ නිසා අවදි වූ මිනිසුන්ය.

‘ඕයි මේ ෆිල්ම්ස් බලන්න ඕන අපි වගේ මිනිස්සු.අපටයි ඔය සිනමාවේ වැදගත්කම තියෙන්නේ‘

සංවිධායකයා සහ විනෝද් අතර ආරවුලට තවත් සංවිධායකයන් ද එළියේ සිටි ප්‍රේක්ෂකයන් ද පැටලුණේ එයින් පසුවය.ටික වේලාවකින් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු ද එහි ළඟා වූයේ කිසිවකුගේ පණිවිඩයක් නිසා විය යුතුය.

පොලිස් නිලධාරියා කාරුණිකව ගැටලුව විසඳන්නට තැත් කළේය.

‘අපි නාට්‍ය කරන කොල්ලෝ.අපටයි මේව බලන්න ඕන“

විනෝද් කෑ ගෑවේ පරාජය බාර ගන්නට නොහැකි වූ නිසාය.සංවිධායකයන් විසින් තමා කවුරුදුයි විමසූ කළ ඔහුට යකා නැංගේය.

පසුගිය දවස් කිහිපයේම තමා රඟපෑ නාට්‍යයක් වේදිකා ගත වූයේය.පත්තර වල ඒ ගැන පළ විය.

‘මුන් පත්තර කියවන්නේ නැතුව ඇති.පොලිස් කාරයෝ පත්තර කියවනවායැ’

ඔහුට කලකිරීමක් ඇති විය. මුලින් තමා වටා සිටි පිරිවර අපේක්ෂා භංගත්වයෙන් යුතුව වෙනත් සිනමා හලකට හෝ වෙනත් ගමනකට යන්නට සැරසෙමින් සිටිති.

තමා අසලම ගැවසුන බිනරි ගැටෙුමට මැදි වූ ඔහුගේ අතින් ඇද්දේ ආපසු යන්නටය.

‘දැන් ෆිල්ම් එක පටක් ගෙනත් ඇති. හවුස්ෆුල් බෝඩ් එක දැම්මේ’

මංගල භේරි වාදනයක් ද ඇසිණ.

කවුරු හරි තානාපති කෙනෙක් හෝ ඇමතියෙක් වෙන්නැති.ඇමතියෝ දන්න පික්චර්. ඌටයි උගේ ඇම්බැට්ටයන්ටයි සීට් වෙන් කරල ඇති. ඕකුන් බාගෙට පික්චර් බලලා යනවා.අන්තිමට අපට සීට් නැති වෙන්නේ.ඕගනයිසර්ලා නම් ප්‍රංශෙට ට්‍රිප් එකක් දාගනියි.නැත්නම් උන් දන්න බම්බුවේ පික්චර්ස්’

සිතට නැගුණ වචන එළියට දාන්නට විනෝද් ට කල්වේලා නැතිවූයේ.තවත් පොල්ස් නිළධාරියකු වාහනයෙන් බැස ගත් විටය.ඔහුගේ උරහිසේ තරු දෙකකි.ඉනේ පිස්තෝලයකි

එතැන සිටි නිලධාරියා සැලියුට් එකක් ගැසුවේය.

‘මෙතන මොකද?

ඔහු විමසුවේය.විනෝද් කතා කරන්නට ගියත් එයට පෙර එතැන සිටි පොලිස් නිලධාරියා උත්තර දුන්නේය.කාරණය කෙටියෙනි.සීට් නැත.

“එහෙම නම් ඉතින් මොනවා කරන්න ද?

මෙතන මිනිස්ටර්ස්ලා ඉන්නවා.ඩිප්ලොමැට් කට්ටිය ඉන්නවා.මල්ලි මෙතන කලබල කරන්න බෑ‘

එය ඉල්ලීමක් නොව අණ කිරිමකි.බිනරි පසු බා ගියාය.ඔහු කැඳවා යා යුතුය.ඔහු ටද ඇගේ ඉල්ලීමට ඉඩ දීම ඇඟට ගුණ බව සිතින.මෙබඳු දේ නිසා පොලිසියෙන් කෑ රස තවමත් හිතේ කොණක විය.

ඔවුන් බොරැල්ලට ආවේ එහෙමය.හොඳ වේලාවට ඒ වන විට බොරැල්ලට එන බස් රියක් එතැනට පැමිණියේය.

සෙනග අතරින් ගිය විනෝද් අසල ඇති අවන්හලකට ගොඩ වූයේය.

පළතුරු එකක් බීමට තිබේනම් කදිමය.බිනරි අදහස ගිල ගත්තාය.අතේ ඇති මුදල එයට ප්‍රමාණවත් නොවේ.

‘ටී දෙකක්’

විනොද් දැනටමත් ඇණවුම් කර ඇත.

විනොද් .උසයි සුදුයි.කෙට්ටුයි.යාන්තම් වැඩෙමින් එන දැළි රැවුල ගැටවර වියේ සීමා වන් පෙන්වයි. බිනරි ගේ නිවස තිබුණේ විනෝද් ලා ගේ ගෙවල් කිට්ටුවය.බිනරි විනොද්ට වඩා අවරුදු දෙකක් බාලය.බිනරි දැක්කොත් දෙපාරක් ආපසු බලන්නට සිතෙන තරම්ය.දෙන්නා දන්නා හඳුනන්නේ පුංචි කාලයේ සිටය.විනොද් රඟපාන්නට ආසා කළේ කුඩා කාලයේ සිටය.ඔහු පාසලේ නාට්‍යය වල ද රඟපෑවේය.ඔහුට ප්‍රසිද්ධ නාට්‍යයක රඟපාන්නට ඉඩ කඩ ලැබුණේ පසුගිය කාලයේය.ඒ සම්මුඛ සාකච්ඡාවකින් පසුවය.එය ජීවත් වන්නට මදිය.ගෙදරින් ද බර බෙර්ය.බිනරි ට කීයක් හෝ හොයා ගන්නට බැරි කමක් නැත.ඇගේ තාත්තා පිටකොටුවේ වෙළඳාමකය.අම්මා ගෙන් කීයක් හෝ ඉල්ලා ගන්නට ඇයට හැකිය.එයත් ලොකු ගාණක් නොවේ.

‘මට අයිඩියා එකක් ආවා‘

එකවරම විනෝද් පැවසුවේය. කිරි කෝප්පයේ සුදු පෙණ ඔහුගේ දෙතොල පාට කර තිබිණ.බිනරි විනෝද් දෙස බැලුවේ ඔහුගේ බස අසන්නටය.

ලබන සතියේ -

විනෝද් ගේ ඊළග වෑයම