වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

නන්දා - ලතා - සුජාතා

ගීත කලාවේ ගෙවුණු අඩ සියවසක කාලය තුළ ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය දිග්විජය කරමින් නන්දා - ලතා - සුජාතා අග්‍රගණ්‍ය ශිල්පිණියන් අර්ථාන්විත වූ ද, හැඟුම්බර වූ ද, මධුර මනෝහරර ගීතාවලියක් දැයට දායාද කළෝය. ඔබේ ගී රස වෙනුවෙන් අපේ ගෞරවය පිරිනමමු.

සුනිල් විජේසිංහ

ඕවිටිගල

මතුගම

***********************************

ආදර්ශවත් ගුරුවරයා

මෑතක සිට නිර්මාණය කෙරෙන සිනමා සහ ටෙලි නිර්මාණවල මත් ද්‍රව්‍ය භාවිතය ගැඹුරින්ම රූගතකර තිබෙන බව පෙනෙනවා. මත් උවදුර රටින් තුරන් කිරීමේ ප්‍රයත්නයක යෙදිය යුතු කාලයකදී මත් ද්‍රව්‍ය භාවිත දසුන් අවමකරමින් නිර්මාණ බිහි කළ නොහැකිද? සිනමා නිර්මාණයක් ජනතාවට ආදර්ශවත් ගුරුවරයෙක් විය යුතුයි. එය පැරණි සිනමාවෙන් ඉටු වූ බව මගේ විශ්වාසය යි.

කේ. ඩී. කරුණාරත්න

නැදිමාල

දෙහිවල

***********************************

හත්පණ නැවතත් නරඹමු

වර්තමාන දරුවන් වෙනුවෙන් වික්‍රම සෙනෙවිරත්න රඟ පෑ 'හත්පණ' ටෙලි නාට්‍ය කතා මාලාව විකාශය කරන්නේ නම් මැනවි.

මැණිකේ විල්වල

තිලකරත්න විල්වල

තටාකය පාර

කෑගල්ල

***********************************

ත්‍යාගා එන් එඩ්වඩ්ට

ඔබ ගැයූ "සෙනෙහස රන්", "කාංචනා", "බඹර තුඩින් නෙළුම් මලක", "පියවර තබනා", "එදා මෙන්ම අද ඇත අහසේ" වැනි ගීත එක් කොට නිකුත් කළ සෙනෙහස රන් සංයුක්ත තරටියේ ගීත ඉතාම ලස්සනයි. ඔබේ හඬ එදා මෙන්ම අදත් එලෙසමයි.

ජයන්ත අමරතුංග

චන්දන පොකුණ

පොළොන්නරුව

***********************************

සුරාජ් ඔබ අගෙයි

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය කෙරෙන 'හාරකෝටිය' ටෙලි නාට්‍ය සහ ජාතික රූපවාහිනියේ විකාශය වීමට නියමිත 'චුට්ටේ' ටෙලි නාට්‍යයේ මෙතෙක් අප නොදුටු දක්ෂ රංගනයක යෙදෙන සුරාජ් මාපාට මගේ උණුසුම් සුබ පැතුම්.

යු. ජී. පාලිත කුමාරසිංහ

ගඩලා‍දෙණිය

***********************************

සිරි කහවල ඔබට තෙරුවන් සරණ

කලාශිල්පීන්ගේ උපන්දිනය දා උදෑසනින්ම සුබ පතන්නේ ඔබයි. වසර ගණනාවක් පුරා ඔබ ඉටු කරන මහඟු සේවය ඉතාම අගනේය. හදිසි අනතුරකට මුහුණ දී සිටින ඔබට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

ආරි එගොඩවත්ත

දෙමටගොඩ

***********************************

ගීත කෝකිලාවිය ලතා

"මා ගේ මේ රට වාසනා" කියමින් ගී ගැයූ ගීත කෝකිලාවිය ඔබගේ මියුරු හඬ දෙසවන් පිනවන සදා අමරණීයයි. කිසිදා අමතක නොවන මන බඳීනා ගී ගැයූ එදා මෙන්ම අදත් රසවිඳීය හැකිය. ඔබට දීඝායු ලැබේවා.

ශාන්ති බන්ධුනාථ

මහනුවර

***********************************

සතුට විලයි සැපත මලයි

දේවානන්ද වෛද්‍යස්කර නම් පැරණි ගායකයා පිළිබඳ ජාතික රූපවාහිනියෙන් විකාශය කළ වැඩසටහන පිළිබඳ ස්තූතිය පුද කරමි. 'දහසක් සිතුවිලි' චිත්‍රපටයට ගායනා කළ "සතුට විලයි සැපත මලයි" ගීතය ඇතුළු අනෙකුත් ගීත විකාශය කිරීම ගෙන ආවේ සතුටකි. වත්මන් තරුණ පරපුර පැරණි ගායක ගායිකාවන්ගේ අර්ථවත් සුභාවිත ගීත නොදන්නා කාලයක මෙම වැඩසටහන විකාශය කිරීම අගනේය.

දිනේෂ් ගුණසේකර

නූපේ

මාතර

***********************************

ගෞරවනීය සිහි කැඳවුම

හරසුන් වදන් තෙපළන නිවේදක - නිවේදිකාවන් බිහි වී ඇති යුගයක අපට සිහි වෙන්නේ අතීතයේ සිටි ලලිත් එස්. මෛත්‍රිපාල, සිරිල් රාජපක්ෂ, චන්ද්‍රා වයමන්, තේවිස් ගුරුගේ වැනි ක්ෂේත්‍රයේ දැවැන්තයින්ය. සැමදා ඔවුන් ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය.

රේචල් සෝවිස්

සොයිසාවත්ත

වැලිසර

රාගම

***********************************

යුග මෙහෙවරක් කළ ගී තරු

හෙළ ගීත සාහිත්‍ය තුළ සුවිශේෂි ගී ආරක් රසික දෙසවනට යොමු කරමින් යුග මෙහෙවරක් ඉටු කළ ඉන්ද්‍රාණි සේනාරත්න, මල්ලිකා කහවිට, සුජාතා අත්නායක, සුසිලා ඕපාත, ශ්‍රීමති තිලකරත්න, ස්වර්ණලතා කවීශ්වර, පුෂ්පාරාණි ආරියරත්න, නිමලා අතපත්තු, මිනෝදරත්නම්, ශිරෝමි ප්‍රනාන්දු රසික ආදරය දිනාගත් ගායන ශිල්පිනියන්ය. එදා අප මෙම ශිල්පිනියන්ගේ ගීත අප පිනවූ නමුත් අද වන විට මෙම ශිල්පීනියන්ගේ ගීත විකාශය නොවීම කනගාටුවට කරුණකි.
 

එච් ඉන්ද්‍රපාල

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේන

***********************************

සිව් ක්ෂේත්‍රයන්හි දස්කම් පෑ කලාකරුවා

පරිවර්තකයකු, ගුරුවරයකු, පිටපත් රචකයකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු, නළුවෙකු වැනි භුමිකා කිහිපයකම සාර්ථක වූ කලාකරුවෙක් ලෙස බන්ධුල විතානගේ සුවිශේෂි වේ. 1965 වසරේ පටන් පුරා දශක පහකට ආසන්න කාලයක් සිංහල වේදිකාව, ගුවන්විදුලිය, සිනමාව සහ රූපවාහිනිය යන සිව්ක්ෂේත්‍රයන්හි දස්කම් පෑ කලාකරුවෙකි. මෙලෙස ජයගත් කලාකරුවන් ඉතාම විරළය. බන්ධුල විතානගේ විරළ කලාකරුවකු වන්නේ ඒ අරුතිනි. එතුමා අපෙන් වෙන් වූයේ, 2014 සැප්තැම්බර් පළමු වැනිදාය.
 

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව

***********************************

උදාරි වර්ණකුලසූරියට

ඔබේ රංගන හැකියාව පුංචි තිරය ඔස්සේ විකාශය කෙරෙන 'පිනි' ටෙලි නාට්‍යයෙන් නැවතත් දැක ගන්න ලැබීම සතුටක්.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකන්ඩිය

***********************************

කුරුං ගුරුං ඔබට දීර්ඝායුෂ

කෝපි කඩේ කුරුං ගුරුං කේ. ඒ. පියකරු රංගන ශිල්පියාගේ අසනීප තත්ත්වය ඉක්මනින් සුවපත් වේවා ප්‍රාර්ථනා කරමු. ඔබට දීර්ඝායුෂ.

ඉඹුල්ගොඩ අබේසිංහ

ශ්‍රියාණි ජයසිංහ

අලව්ව

***********************************

විනූට සුබ පැතුම්

'තරුමලී' ටෙලි නාට්‍යයේ මලිති ලෙස දුටු විනූ උදානි සිරිවර්ධන 'ආයෙමත් ආදරෙන්' (රශ්මි), 'රතු පිච්ච' (මායා, නිකිණි) හි කළ රංගනයන් ද විශේෂයි. 'දෙව්ළියේ' ටෙලි නාට්‍යයේ රංගනයත් අගයමි. ඔබට සුබ පැතුම්.

බී. පී. ගම්මුදලි

මාලිගාතැන්න

කඩුගන්නාව

***********************************

හොඳම රංගනය

රන්ජන් රාමනායක රඟ පෑ සිනමා නිර්මාණ අතරින් හොඳම චිත්‍රපටය 'යකඩ පිහාටු' බව මගේ අදහසයි.

ගාමිණි මහවෙලගේ

පිළියන්දල

***********************************

මාධනීට උපහාර

මේ උපහාරය 'පැහැසරා' ටෙලි සිතුවමෙහි අම්මාගේ භූමිකාව නිරූපණය කරන මාධනී මල්වත්තටයි. කොතෙකුත් බාධක හැල හැප්පීම් මැද ගුරු ගෞරවයත් රැකෙන ලෙසින් පියකරු දියණියන් තිදෙනෙකුගේ මවක් ලෙසට උත්තරීතර මව්පදවිය නිරූපණය කරන ඔබට අපගේ උපහාරය.

එස්. ඒ ප්‍රේමලතා

රුක්ගහතොටුපල

බණ්ඩාරගම

***********************************

සිරි කහවලට ඉක්මන් සුවය

හදිසි අනතුරකට ලක්වී ප්‍රථිකාර ලබන සිරි කහවල සහෘදයාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

අතුල රම්‍යසිරි

පානදුර

***********************************

පිනි

ජනප්‍රිය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා සමඟින් මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ ආදරවන්ත ටෙලි නිර්මාණයක් නැරඹීමේ භාග්‍ය අපට ලැබී තිබේ. ගැටකපන්නෙකු සහ සූදුවට ඇබ්බැහි වුණු පියෙකු වටා ගෙතුණු එහි සුරාජ් මාපා, උදාරි වර්ණකුලසූරිය, ගයාත්‍රි ඩයස්, නිරෝෂන් විජේසූරිය, ප්‍රියන්ත සහ ශිරෝමිකා ඇතුළු නළු නිළියන්ගේ දායකත්වයට ස්තුතියි. තීක්ෂණ අනුරාධගේ සංගීත අධ්‍යක්ෂණය අප කුල්මත් කරයි. අපි පිනි වැටෙනු තෙක් බලා සිටිමු.

ක්ලෝඩ් ද ලිවේරා

නාලිනී ද ලිවේරා

මීගමුව

***********************************

වසන්ති චතුරාණි රංගනය එපා වෙලා ද?

වසන්ති චතුරාණි ඔබ සිනමා නිර්මාණවල දකින්නට නැත්තේ ඇයි? රඟපෑම එපා වෙලාද? නැවතත් අලුත් චිත්‍රපටයකින් දකින්න ආසයි. පුංචි තිරයේ නිර්මාණයක් සමඟින් පැමිණෙන්න ආරාධනා.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල