වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




විමලවීර පවුලට එක් වු මාන්නප්පෙරුම පවුලේ දුඹුරු ඇස් ඇති ‘වනමල’ පරවෙයි
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

විමලවීර පවුලට එක් වු මාන්නප්පෙරුම පවුලේ දුඹුරු ඇස් ඇති ‘වනමල’ පරවෙයි

'ඈත පිටිසර - මහ කැලෑවක

ගහක අතුකොළ රිකිලි දාලා

තරුණ වයසට එළඹ ඒ ගස

නටන්නට වනි ඔමරි පාලා . . .'

සිල්වියා නම් නව යොවුන් වියේ තරුණිය තම විනී නම් සොහොයුරා සමඟ හිඟාකමින් මේ විරුදුව ගායනා කළාය. මේ දර්ශනය එන්නේ 1959 වසරේ පෙබරවාරි 04 වෙනිදා තිරගත වූ සිරිසේන විමලවීරයන්ගේ 'මා ආලය කළ තරුණිය' චිත්‍රපටයේය. මේ චිත්‍රපටයෙන් සිල්වියාගේ ප්‍රධාන චරිතයට විමලවීරයන් නවක නිළියක් සිනමාවට හඳුන්වා දෙයි. ඇය කුමාරි මානෙල් මාන්නප්පෙරුමය. ඇය එතැන් සිට චිත්‍රපට පහක පමණ රඟපා ඇත්තේය.

කුමාරි මානෙල් පසුගිය අගෝස්තු 16 වෙනිදා ජීවිතයෙන් සමු ගන්නා විට ඇය 77 වන විය පසු කරමින් සිටියාය.

කුමාරි මානෙල් 1940 සැප්තැම්බර් 16 වෙනිදා උපත ලැබූවේ කොළඹදීය. කොළඹ වුල්වැන්දාල් බාලිකා විද්‍යාලයේ මූලික ඉගෙනුම ලැබූ ඇය පසුව ගෝතමී බාලිකා විද්‍යාලයට ඇතුළත් වූවාය. තම පියා වූ එඩ්වින් මාන්නප්පෙරුම දුම්රිය ස්ථානාධිපතිවරයකු වූ නිසා අට දෙනෙකුගෙන් යුතු පවුලට ලංකාවේ විවිධ පළාත්වලට යාමට සිදු විය. එයින් දරුවන්ගේ පාසල් ද මාරු කිරීමට සිදු වූහ. එඩ්වින් හා ඇඩ්ලින් මාන්නප්පෙරුම යුවළට සිටි කිංස්ලි,හයසින්ත්, මානෙල්, රාණි, මහින්ද, කාන්ති, රාජා, ආනන්ද ආදී දරුවන් අතර කුමාරි මනෙල් පවුලේ තුන්වැන්නා වූවාය.

කුමාරි මානෙල්ගේ වැඩිමහල් සොහොයුරිය හයසින්ත් මාලිනී අප සමඟ පැවසුවේ කුමාරි ගෝතමී විද්‍යාලයට ඉගෙනීමට යන කාලයේ සිටම කලාවට ඇලුම් කළ බවය. ඇයට පාසලේ විවිධ ප්‍රසංගයකදී විලාසිතා තරඟයකින් මුල් තැන හිමි වුවාය.

'මට මතකයි, ගෝතමී විද්‍යාලයේ මමත් නංගිත් ඉගෙන ගන්නා කාලේ කලාවට ලැදි ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් හිටියා. ශ්‍රියාණි අමරසේන අපේ සමකාලීන මිතුරියක්. මගේ පන්තියේ හිටියා රොබින් ප්‍රනාන්දුගේ බිරිය වයලට්. 1956 අවුරුද්ද අපට අමතක නොවන්නේ එම අවුරුද්්දේ මැයි 18 වෙනි සිකුරාදා මමත්, මානෙල් නංගිත්, අම්මත් කොළඹ රීගල් සිනමා ශාලාවේ දීපශිඛා සම්මාන උලෙළ බලන්න ගිය දවස.

අපේ මාමා කෙනෙක් 'ලංකාදීප' කාර්යාලයේ වැඩ කළා. බර්ටි පීරිස් කියන මාමා ප්‍රකට නර්තන ශිල්පී සුනෙත් ගෝකුලගේ වැඩිමහල් සහෝදරයෙක්. දවසක් බර්ටි මාමා අපේ ගෙදර ඇවිත් ඇහැව්වා.

'රීගල් එකේ චිත්‍රපට උලෙළක් තියනවා දීපශිඛා කියලා. ඔයගොල්ල කැමැති නං මට පාස් ගෙනත් දෙන්න පුළුවන්' කියලා.

'අනේ මාමෙ අපි ආසයි නළු නිළියොත් බලාගන්න පුළුවන්. අපේ සමරු පොත්වලට අත්සන් ගන්නත් පුළුවන්. අපි එන්නම්' කියලා කුමාරි මානෙල් නංගි පැනලා කිව්වා.

එදා අපි දිපශිඛා චිත්‍රපට උලෙළ බලල හොඳම නිළිය වූ රුක්මණී දේවිගේ, ස්ටැන්ලි පෙරේරා, හර්බට් එම්. සෙනෙවිරත්න, ෆ්ලොරිඩා ජයලත්, ප්‍රේම් ජයන්ත් ආදීන්ගේ අත්සන් අපේ සමරු පොතට එකතු කරගත්තා.

'අනේ අක්කේ සුදු මාමා . . . අර ඉන්නේ . . . අපි යමු එයාටත් කියලා අත්සනක් ගන්න' කුමාරි මානෙල් මට කිව්වා.

අපි ඒ කාලේ ප්‍රදර්ශනය කරපු 'පොඩි පුතා' චිත්‍රපටයේ සුදු මාමා ලෙස රඟපෑ සිරිසේන විමලවීරගේ රඟපෑමට නංගි හරියට ආසා කළා. පොඩි පුතා චිත්‍රපටයේ අවසාන දර්ශනයේ සිරිසේන විමලවීර මිය යන දර්ශනය බලලා නංගි ඇඬුවා මට හොඳට මතකයි. අපි දෙන්නා විවේක කාලේ සිරිසේන විමලවීර මාස්ටර් ගාවට ගිහින් සමරු පොත් අත්සන් කළා. අත්සන් කරන ගමන් මාස්ටර් අපේ පාසල් තොරතුරු, ගෙදර දොර ගැන අහලා නංගිගේ ඇස් දෙක දිහා ටිකක් වෙලා බලන් හිටියා. හයසින්ත් එදා සිද්ධිය මට විස්තර කළාය. ඇය ගාව එදා විමලවීර මාස්ටර් 1956. 05. 18 දින අත්සන් කළ සමරු පොත තවමත් සුරුකිව ඇත.

කුමාරි මානෙල්ට තිබුණේ දුඹුරු පැහැති දීප්තිමත් ඇස් දෙකකි. එය අනික් තරුණියන්ට වඩා පාසලේත් කැපී පෙනී ඇත. 'අර දුඹුරු පාට ඇස් තියෙන ළමයා' පාසල් වේදිකාවේ කැපී පෙනුණි.

දීපශිඛා සම්මාන උලෙළට පසු දින මැයි 19 වැනිදා ලංකාදීප පත්‍රයේ මුල් පිටුවේ තිබුණේ පාසල් දැරියන් දෙදෙනෙක් විමලවිර මාස්ටර්ගෙන් සමරු පොත්වලට අත්සන් ලබාගන්නා ඡායාරූපයකි. එහි සිටි යුවතියන් වූයේ කුමාරි මානෙල් හා හයසින්ත්ය.

'මේ පින්තුරය ගැන ගෝතමී විද්‍යාලයේ හැමෝම කතා කළා. ගුරු මණ්ඩලයේ ඇතැමුන් එය බරපතළ වරදක් ලෙස විදුහල්පති ප්‍රේමරත්න මහත්මියට පැමිණිළි කළා. අපි දෙන්නා විදුහල්පතිනිය එන්න කිව්වා. පින්තූරය ගන්න බව අපි හාන්කවිසියක් දන්නේ නෑ කියලා කිව්වා. විදුල්පතිනිය අපට අවවාද කොට පන්තියට යන්න කිව්වා.

තවත් දින පහක් ගත වුණා. අපේ ගෙදර සිරිසේන විමලවීර මාස්ටර්ගේ දියණියක වූ සෝමා විමලවීර ආවේය. ඒ කාලේ අපි හිටියේ දෙමටගොඩ දුම්රිය ස්ථානාධිපති නිල නිවසේ.

'මම විමලවීර මාස්ටර්ගේ දුව. තාත්තා චිත්‍රපටයක් කරනවා 'මා ආලය කළ තරුණිය' කියලා. ඒකේ ප්‍රධාන චරිතයට අර බ්‍රවුන් ඇස් තියෙන දුවව ගන්න තාත්තා තීරණ කරලා. අපි උපරිම ආරක්ෂාව දෙනවා. එයාට රඟපාන්න වෙන්නේ ආනන්ද වීරකෝන්, අරුණ ශාන්ති එක්ක'.

කුමාරි නංගි එක පයින් රඟපෑමට සතුටු වුණා. මුලදී අම්මයි තාත්තයි විරුද්ධ වුණා. නංගිගේ කැමැත්තට ඉඩ ලැබුණා. ඔය විදියටයි කුමාරි මානෙල් සිනමාවට එක් වුණේ' හයසින්ත් කීවාය.

කුමාරි මානෙල් ගැන ලියන විට විමලවීර පවුල ගැන කතා නොකරම බැරි ලෙස බැඳී ඇත. මාන්නප්පෙරුම පවුල ගැන පැහැදුණු විමලවීර මාස්ටර් තම වැඩිමහල් පුතු දයා විමලවීර මාන්නප්පෙරුම පවුලේ හයසින්ත් හා විවාහවීමට යෝජනා කළේය. එයට අනුමැතිය ලැබිණ.

'විමලවීර මාස්ටර් මට තාත්තා කෙනෙක් වුණා. දයා ඒ කාලේ ඉගෙනීමට දක්ෂයි. කොලොන්නාවේ ටෙරන්ස් එන්. ද සිල්වා පාසැලේත්, මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයෙත්් ඉගෙන ගත් දයා පන්තියේ පළමුවැනියා වුණාම විමලවීර මාස්ටර් රික්ෂීවක් පිරෙන්න හාල් මුට්ටයක් පටවලා 'පුතේ උඹ ඉගෙන ගන්න එකා. මේ මුට්ටෙ තියෙන හාල් උයලා උඹම කාපන්' කියනවා. ඒ විතරක් නෙවෙයි මරදානේ ජෝන් බ්‍රදර්ස් එකට එක්කන් ගිහිල්ලා සූට් 12 ක් අරන් දෙනවා. විමලවීර මාස්ටර් කියන, මම 'තාත්තා' කියලා ආදරෙන් කතා කරන මේ මනුස්සයා කරුණාවන්ත උතුම් කෙනෙක්. අපි විවාහ වෙන කොට ගෙයක් අරං දීලා ගෙට හැම බඩුවක්ම අරං දුන්නා' හයසින්ත් කීවාය.

දක්ෂ කැමරා ශිල්පියකු වූ දයා විමලවීර තම පියාගේ නවජීවන චිත්‍රාගාරයේදී කැමරා ශිල්පය ඉගෙන පසුව චිත්‍රපට කිහිපයක කැමරා අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත. හරි පුදුමයි, ඉවසන දනා, සිකුරුලියා, තෝට්ටකාරි, පරසතුරෝ, මාතෘභූමි, වැදිබිම, මිරිඟුව, අනුහස, යළි ඉපදේ, හරිම බඩු තුනක් චිත්‍රපටවල කැමරාව මෙහෙය වූ ඔහු මුලින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය 'විදුරු ගෙවල්'ය. ජීවන කඳුළු, පහයි හතළිස් පහ, මිහිඳුම් සිහින, දෙව් දුව, මේජර් සර්, චායා, රජ දරුවෝ, සුජාතා, බඹසර බිසව්, සීතල ගිනි කඳු, රණහංසි යන චිත්‍රපට ද දයා අධ්‍යක්ෂණය කළේය.

දයාගේ මල්ලි උපසේන විමලවීරය. ඔහු විවාහ වූයේ දයාගේ බිරිඳ වූ හයසින්ත්ගේ සොහොයුරිය කුමාරි මානෙල් සමඟය. මේ නිසා විමලවීර පවුල හා මාන්නප්පෙරුම පවුල අත්‍යන්තයෙන් බැඳී පවතී. කුමාරි මානෙල් 'මා ආලය කළ තරුණිය' චිත්‍රපටයෙන් පසු විමලවීර මාස්ටර්ගේ 'වනමල' (1960), වීදුරු ගෙවල් (1972) දෙව්දුව (1986) චායා (1993) සීතල ගිනි කඳු (2002) චිත්‍රපටවල රඟපෑවාය. ඇගේ සැමියා උපසේන විමලවීර චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකි. වැදිබිම, පටාචාරා, සැපත සොයා, ඉවසන දනා, මාතෘභුමි, වීදුරු ගෙවල්, මිරිඟුව, යළි ඉපදේ, පර සතුරෝ, දෙව්දුව, බඹසර බිසව්, සීතල ගිනි කඳු, රණහංසි චිත්‍රපට සංස්කරණය කළ ඔහු වීදුරු ගෙවල් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විය.

කුමාරි මානෙල් මෙන්ම ඇගේ සැමියා උපසේනද සිංහල සිනමාවේ මුල් යුගයේ ළමා නළුවෙකි. සිය පියා අධ්‍යක්ෂණය කළ සීදේවි, සරදියෙල්, සිරකරුවා චිත්‍රපටවල ඔහු රඟපා ඇත.

දයා හා හයසින්ත්, උපසේන හා මානෙල් මට සමීපව ඇසුරු කිරීමට ලැබෙන්නේ 1969 වසරේ ඔවුන් 'වීදුරු ගෙවල්' චිත්‍රපටය අරඹන කාලයේ සිටය. 'කලා' සංස්කාරක ආරියරත්න කහවිට විසින් මට දයා හා උපසේන හඳුන්වා දෙන ලදී. අප කෙතරම් සමීපව ඇසුරු කළා ද යත් වීදුරු ගෙවල් චිත්‍රපටයේ නාමාවලිය ඇඳීමට ද ඔවුන් මට භාර දෙන ලදි. අපි සහෝදරත්වයෙන් ඇසුරු කළෙමු. දයා හා අපගේ මිත්‍ර කණ්ඩායමට සේනාධීර රූපසිංහ, ආනන්ද හේවගේ, ඇන්ටන් අල්විස්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ හා මා ද එක්ව ගත කල අමරණීය අවස්ථා මට අමතක නොවේ.

ස්වභාවයෙන් දයා හා උපසේන විමලවීර සොහොයුරන් ප්‍රතිපත්තිගරුක සිනමා ශිල්පීන් දෙදෙනෙකි. ඔවුන් චිත්‍රපට හඹා ගෙන නොගිය අතර තමුන් ්වෙතට පැමිණ ගෞරවාන්විතව භාර දෙන චිත්‍රපට සඳහා පමණක් භාර ගිනිති. කුමාරි මානෙල් ද මේ ප්‍රතිපත්තිය මත පිහිටා සිටි නිසා ඇය රඟපෑවේ චිත්‍රපට අල්පයක පමණි. කුමාරිගේ සොහොයුරිය හයසින්ත් රඟපෑමට නැඹුරු නොවුණ ද තම සැමියා වු දයාට හැම සහායක්ම දුන්නාය. කුමාරිට සවිත්‍රි චේතනා සහ ගයත්‍රි කාංචනා නමින් දියණියන් දෙදෙනෙක් සිටිති.

හයසින්ත් හා මනෙල් තම මාමණ්ඩිය වූ සිරිසේන විමලවීරයන්ට දක්වන්නේ ්දෙවැනි පියෙකු ලෙස ගෞරවාදරයකි. මේ දෙදෙනා කටපුරා 'තාත්තා' යයි ිවිමලවීර මාස්ටර් අමතති.

'එහෙම රත්තරං මනුස්සයෙක් මට හමුවෙලා නැහැ. චිත්‍රපටයක වැඩ කරද්දී හැමෝටම උපරිමව සංග්‍රහ කළා. දානයක් දුන්නත් අඩුම වශයෙන් 100 කටවත් ආරාධනා කරනවා. අපි හැම වසරකම අගෝස්තු 24 වෙනිදා බෝගහවත්ත ආරණ්‍යයට එතුමා සිහි කරලා දානයක් දෙනවා. එතුමා මිය ගියේ 1963 අගෝස්තු 24. ඔහු ජීවතුන් අතර සිටියදී සෙල්ලහේවා නම් ජ්‍යෙතිෂවේදියා 1963 අගෝස්තු මස මිය යන බව කල් තියා කියා තිබුණා. ඔහු වැනි උතුම් කෙනෙකු අපට කිසිදා හමු නොවෙනු ඇති' හයසින්ත් කීවාය.