වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




සැමවිටම උත්සාහ කළේ ගීතයෙන් ඔබ්බට සංගීතය ගෙනයන්නයි

සැමවිටම උත්සාහ කළේ ගීතයෙන් ඔබ්බට සංගීතය ගෙනයන්නයි

ප්‍රවීණ සංගීතවේදී සරත් වික්‍රම

විශ්ව භාෂාවේ සංකේතය සිය ජීවිතය කරගත් සරත් වික්‍රම වරින්වර සිය අභිමතය පරිදි විවිධ දෑ සිය ආදරණීය රසිකයා හමුවට රැගෙන එයි. මෙවරද ඔහු පෙළ ගැසී සිටින්නේ ඒ වෙනුවෙනි. එනම්, ඔහු විසින් නිර්මාණය කරන ලද සංගීත නිර්මාණ දහයක් රැගත් ‘රිද්ම’ නම් සංගත තැටිය සහ ස්වර පිටපත් දහයක් සහිත කෘති පෙළක් ද ඔබ අතට පත් කිරීමට ය. ඔහුගේ සංගීත දිවියට හතළිස් හතර වසරක් සපිරෙන මොහොතේ මේ සොඳුරු කාර්යය සිදුවන්නේ හෙට දින ය. ඒ මේ මස 06 වැනිදා පස්වරු 04.00ට සුදර්ශි ශාලාවේ දී එළි දැක්වීමට නියමිත කටයුත්ත පිළිබඳ හා සංගත තැටිය පිළිබඳත් සිය අදහස සරත් වික්‍රම කියාපෑවේ මෙලෙසිනි.

ප්‍රවීණ සංගීතඥ සරත් වික්‍රමගේගේ සංගීත දිවියට හතළිස් සතර වසරක් සපිරෙන්නේ ඔහු සංගීතයට පෙම් බැන්ඳ දා සිට නොවේ. කොළොම්පුරවරයට පය ගැසූ දින සිට ය. එතැන් පටන් සිය සිතේ ඇති වූ කැමැත්ත අර්ථවත් කර ගැනීමට මෙහෙය වූ ඔහු අද වන විට ඒ දිගු ගමනේ දිගු දුරක් පැමිණ හමාරය. ඒ පැමිණි ගමන් මඟ සිහිපත් කරමින් අලුත් දෙයක් සමාජගත කිරීමට මෙහෙයවන සරත් වික්‍රම නම් සංගීතවේදියා මෙවර පිරි නමන්නේ වෙනස් ම තිළිණයකි.

ඔබ ඉදිරිපත් කරන අලුත්ම නිර්මාණ කාර්යය කුමක් ද?

අපේ රටේ දේශීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වංශ කතාවේ මුල්වරටයි මේ කටයුත්ත සිදුවන්නේ. ඒ නාමාවලි සංගීතය හා තේමා සංගීතය ඇසුරෙන් මා නිර්මාණය කරන ලද සංගීත නිර්මාණ දහයකුයි සංගත තැටියක් ලෙස රසිකයා අතට පත්වන්නේ. ඒ නිර්මාණ ඇතුළත් ස්වර පිටපත් දහයක් සහිත කෘති දහයක් එළිදැක්වීමත් තවත් සුවිශේෂී කාර්යයක්. ඒ කෘති දහය ඕනෑම රටක ඕනෑම සංගීතයට ආදරය කරන කෙනෙකුට වාදනය කළ හැකි අයුරිනුයි මා ස්වර ප්‍රස්තාර ගත කළේ.

මේ අදහස අපේ රටට අලුත් වුණාට ලෝකයට අලුත් අදහසක් නොවෙයි නේද?

මේ ක්‍රියාත්මක කරන අදහස මා ගනු ලබන්නේ ලෝකයේ සිදු වූ යම් යම් කාරණා හරහායි. ලෝකයේ බිහිවූ හොඳ චිත්‍රපටවල නාමාවලි සංගීතය හා තේමා සංගීතය ඇතුළත් කැසට් පට ඕනෑ තරම් බිහිවී තිබෙන්නේ මීට කාලයකට පෙරයි. එලෙස ඩොක්ටර් ෂිවාගෝ , සවුන්ඩ් ඔෆ් මියුසික් ආදී චිත්‍රපටවල තේමා සංගීතය සහ නාමාවලි සංගීතය කැසට්පට මඟින් ලෝකට ඉදිරිපත් වන්නේ ඒ ඒ සංගීතඥයන්ගේ අදහසක් අනුවයි. පනස් ගණන්වල ලෝකයේ සිදුවුණු මේ සිදුවීම දෙස බලන විට අප ගැන මට දැනෙන්නේ දුකක්. අපේ සිනමාවට වසර හැත්තෑවක කාලයක් ගතවුණත් අපේ සිනමා කෘතිවල සංගීතය එලෙස කොහේ හෝ ස්ථානයක ලියැවිලා නැහැ. ඒවා කොතැනක හෝ සංරක්ෂණය වී නැහැ. විදේශ රටවල දී නම් ඒ ඒ චිත්‍රපටවල සංගීත පිටපත් අවශ්‍ය වූ විටෙක ඕනෑම අයකුට ලබාගත හැකියි. එහෙත් අපේ එවැනි තත්ත්වයක් නිර්මාණය වී නැහැ.

ඔබගේ මේ කාර්යයේ අදහස ඒ කර්තව්‍යය ඉෂ්ට සිද්ධ කිරීම ද?

මේ කාර්යය හරහා මට වුවමනා වුණේ මගේ නිර්මාණවල සංගීතය සංරක්ෂණය කරනවාට වඩා රසිකයාට යළිත් ඇසීමට සැලැස්වීමයි. ඒ වගේම ඒ මඟින් ඔවුන්ගේ බුද්ධියට ඇමතීමටයි. එහිදී චිත්‍රපට තුනක හා ටෙලි නාට්‍ය හතක නාමාවලි හා තේමා ගීත සංගීතය රිද්ම සංගත තැටියට ඇතුළත් කළා. ඒ සියල්ලේ ම ස්වර පිටපත් කෘති පෙළක් ලෙසත් මුද්‍රණය වෙනවා. ඊට අමතරව ගොඩගේ පොත් සමාගමෙන් මේ නිර්මාණවල ස්වර පිටපත් රැගත් රිද්ම 1 හා රිද්ම 2 වශයෙන් කෘති ද්විත්වයකුත් එළිදැක්වීමට නියමිතයි.

ඔබගේ ස්වර පිටපත් ඇතුළත් කෘති 10 සඳහා ඔබ බටහිර සංගීතයේ හඳුන්වාදීමකුත් ඉදිරිපත් කරනවාද?

ඒ කටයුත්ත මා සිදු කළේ ගම්වල සිටින ළමයින් පිළිබඳ සිතලා. ඒ ඔවුන්ට ඉගෙන ගැනීමට පහසුවන ආකාරයෙන්. බටහිර සංගීතයේ මුල් කොටසක් මුල පිටුවට ඇතුළත් කළේ. ඔවුන් ඉගෙන ගන්නේ ස රි ග ම ප ධ නි ස මාර්ගයෙන්. එය කොහොමද මේ සංගීතයට අනුගත වන්නේ කියන ආකාරය මා මේ මුල් පිටුව ඇතුළේ සරලව පවසා තිබෙනවා.

ඔබගේ රිද්ම සංගීත තැටියට ගැනීමට මූලික වුණු නාමාවලි සහ තේමා සංගීත නිර්මාණ මොනවා ද?

ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘අරගලය’ හා ශර්ලි පී. විජේරත්නගේ ‘සමාව’ චිත්‍රපටවල නාමාවලි සංගීතත් සුගත් සමරකෝන්ගේ ‘පටාචාරා’ චිත්‍රපට තේමා සංගීතයත් සිසිල් ෆොන්සේකාගේ ‘පරම්පරා’ ප්‍රියා රණසිංහගේ ‘සමනල වසන්තය’ බර්මි ලයිලි ප්‍රනාන්දුගේ ‘අංගම් මල්දම්’ සුනිල් ශාන්ත අරුණ සිරිගේ ‘සඳ රූ අරුණ’ තේමා සංගීතත් වශයෙන් මා නිර්මාණය කළ නිර්මාණ දහයක ඇතුළත් නාමාවලි සහ තේමා සංගීත නිර්මාණ මා මේ සංගත තැටියට ඇතුළත් කළා.

ගීතය යන මාධ්‍යය පිරිහී ඇති යුගයකයි ඔබ මෙවැනි කර්තව්‍යයකට පිවිසෙන්නේ?

මේ සිනමා හා ටෙලි නිර්මාණවල තේමා හා නාමාවලි සංගීතය නරඹන්නන් අසා ඇති නමුත් ඔවුන්ට තවදුරටත් අසන්නට විදියක් ඇත්තේ නැහැ. මෙලෙස සංගත තැටියක් ලෙස රසිකයන් අතරට පිවිසීමෙන් ඒ නිර්මාණවල සංගීතය රස විඳීමට පමණක් නොවෙයි, ඉගෙන ගන්න අයට, අවශ්‍ය අයට ඒ සංගීතය වාදනය කිරීමටත් අවස්ථාවක් ලැබෙනවා. සංගීතය කියද්දි අපගේ මතකයට නැගෙන්නේ ගීතයයි. අද හැමෝම සිටින්නේ ඒ තැන සිරගතවීලයි. ඒ වගේ කාලයක මා මෙවැනි දෙයක් කිරීමට සිතුවේ ගීතවල වචනවලින් එහාට ගොස් සංගීතය හරහා යමක් කිරීමටයි.

එහෙත් බොහෝදෙනා වර්තමානයේ මේ පිළිබඳ කතාබහට ලක් කරන්නේ නැහැ. මීට පෙර ඒ පිළිබඳ යම් කතාබහක් තිබුණා ද?

හැත්තෑව දශකවල ප්‍රවීණ සංගීතඥ කේමදාස මාස්ටර් වගේ නිර්මාණකරුවකු මේ පිළිබඳ කතාබහ කළා. ඒ වගේම එකල ගීතය හොඳ ස්ථානයක ස්ථාන ගතවීලයි තිබුණේ. එහෙත් අද බොහෝදෙනා ගීතය ගැන අයිතිය කිය කිය, ඒවාට රණ්ඩුවෙමින් සිටිනවා හැර වෙනත් කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මට අවශ්‍යව ඇත්තේ ගීතයට පමණක් කොටු නොවී එතැනින් එහාට ගමන් කිරීමටයි.

සිංහල සංගීතය ලෝකයට අරගෙන යන්නට කළ යුත්තේ කුමක් ද?

මේ කෘති ඔස්සේ ලියා තිබෙන තේමා හා නාමාවලි සංගීත නිර්මාණ මඟින් සිදු වන්නේ ඒවා ජපානයේ වාදක කණ්ඩායමකට ලබා දුන්නත් වාදනය කිරීමට හැකියාව ලැබීමයි. අරාබියේ වාදක මණ්ඩලයකට ලබා දුන්නත් ඔවුන්ටත් මේ තේමා හා නාමාවලි සංගීතය වාදනය කළ හැකියි. ඒ එලෙස වාදනය කළ හැකි වන අයුරින් සියල්ල ම මේ කෘති පෙළේ තිබෙන ස්වර ප්‍රස්තාරයට ඇතුළත් කළා. ස්වර ප්‍රස්තාරය පමණක් නොව හැඟීම පවා ඒ කෘතිවලට ඇතුළත් කළා. එවිට ඒ ඒ අවස්ථාවල දී ඇතිවිය යුත්තේ දුකක් ද? සතුටක් ද? යන්න ලකුණු කිරීම මඟින් අප වාදනය කරන අයුරින්ම අන් අයකුටත් මේ තේමා හා නාමාවලි සංගීතය වාදනය කළ හැකියි. මේ මඟින් මා අදහස් කළේ අපේ සිංහල සංගීතය ලෝකයට රැගෙන යෑමයි. එහි මූලික පියවරයි මා මෙලෙස තැබුවේ.

ගායනය මඟින් එය කළ නොහැකි ද?

ලෝකයේ කිසිවකුත් අපේ භාෂාව දන්නේ නැහැ. ඒ නිසා ගීතයක් ගැයූ පමණින් එය ලෝකයට ගමන් කරන්නේ නැහැ. ඒ නිසා විශ්වයට පිවිසිය හැකි එකම ක්‍රමය වන්නේ සංගීතයයි. සංගීතය හරහා ගමන් කිරීමෙනුයි එය කළ හැක්කේ. ලෝකයේ ඕනෑම සිම්පනි වාදන කණ්ඩායමක් සමඟ මගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට කැමතියි. සිංහල හඬක් තිබෙන ආසියානු නිර්මාණ ඉදිරිපත් කිරීමට මා කැමතියි. විදේශ ගත වී සිටින අපේ අය උනන්දු වුණොත් මේ කටයුත්ත ඉක්මනින්ම කළ හැකියි. එනම් ඒ රටවල සිම්පනි ඔකෙස්ට්‍රා සමඟ කතා කරමින් අපේ ගායක ගායිකාවන් ඒ රටවල ගායක ගායිකාවන් සමඟ, අපේ වාදකයන් ඒ වාදකයන් සමඟ එකට එකතු කරමින් ප්‍රසංග පැවැත්විය හැකියි. ඒ මාර්ගයෙන් අපේ සිංහල සංගීතය ලෝකයට රැගෙන යා හැකියි.

ඉන්දියාවේ මේ තත්ත්වය මීට වඩා වෙනස්. රහුමාන්ගේ සංගීතය ලෝකයට ගිහිනුයි තිබෙන්නේ. අද ඔහුගේ රෝජා චිත්‍රපටයේ තේමා සංගීතය මුළු ලෝකයම වාදනය කරනවා. ඊට අවශ්‍ය පසුබිම ඔහු කොහොම හරි නිර්මාණය කර ගත්තා. එහෙත් අද වන විට අපට එවැනි දෙයක්වත් කර ගැනීමට නොහැකි තත්ත්වයකුයි නිර්මාණය වී තිබෙන්නේ. එවැනි දෙයක් කිරීම තනි කෙනෙකුට නොහැකියි. සියලුදෙනාට ඒකරාශී වීමෙනුයි අපේ සංගීත නිර්මාණ ලෝකයට ගෙන යා හැක්කේ. ඒ වගේම අපේ අය සංගීතය පමණක් රසවිඳීමේ කලාවක් ඇත්තේ නැහැ. එවැනි රස විඳීමේ කලාවකට අපේ අයව පුරුදු පුහුණු කළ යුතුයි.

මේ කටයුත්ත පිටුපස යම් පිරිසක් සැඟව සිටිනවා නේද?

මේ උලෙළේ දී විශ්වවිද්‍යාල සිසුන් හා ආචාර්යවරුන් රැසක් මට බොහෝ උදව් කරනවා. එදිනට වාදන වගේම ගායනා කිහිපයකුත් මගේ රසිකයන්ට අසන්නට ලැබේවි. නීලා වික්‍රමසිංහ ඇතුළු නව පරපුරේ කිහිපදෙනෙකුත් එදිනට ගයාවි.

ඔබ සංගීත නිර්මාණය කර තිබෙන්නේ සිංහල ගීතවලට පමණක් නොවෙයි?

මා කලක් ගුවන්විදුලියේ දමිළ සේවයේ කටයුතු කළා. ඒ වගේම මා සංගීතය නිර්මාණය කළ දමිළ ගීත රැසක් තිබෙනවා. යාපනය වගේ ප්‍රදේශවල ඒ ගීත බොහොම ජනප්‍රියයි. ඔවුන්ට මගේ නම කිව්වොත් අදටත් මා ගැන දන්නවා. අදටත් මා යාපනයේ විවිධ ප්‍රසංග පවත්වනවා. දමිළ ජනතාවත් සමඟ මගේ අපූරු සම්බන්ධයක් තිබෙන බවත් සිහිපත් කළ යුතුයි. මගේ ‘තාල්’ සංගත තැටියේ සංගීත නිර්මාණ පටිගත කරන ලද්දේ ඉන්දියාවේදීයි. ඒ වගේම උතුරු ඉන්දියාවට ගිහින් යමක් කිරීමටත් මගේ සිතේ තිබෙන්නේ දැඩි කැමැත්තක්. ඒ සඳහා මුදල් අවශ්‍යයි.

ලෝකයේ නිර්මාණය වන නිර්මාණවල දී තේමා සංගීතය යොදා ගැනෙන්නේ කෙලෙස ද?

ලෝකයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සිනමා නිර්මාණවල දී සංගීතය නිර්මාණය කරන විදිය පිළිබඳ සාකච්ඡාවලට අපට අන්තර්ජාලය මඟින් සවන්දිය හැකියි. ඒ මඟින් චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කිරීම කියන්නේ කොයිතරම් භාරදූර කාර්යයක් ද යන්න අපට හෙළි වෙනවා. අපේ රටේ නිර්මාණවල දී කළ මුල් කාලයේ ඒ ආකාරයෙන් දීර්ඝ ලෙස පැවතුණු සාකච්ඡාවලින් පසුවයි චිත්‍රපට නිර්මාණවල සංගීතය නිර්මාණය වුණේ. ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක වැනි නිර්මාණකරුවන් කළ එවැනි සාකච්ඡා මා අසා සිටි අවස්ථා තිබුණා. බොහෝ වෙලාවට ලෝකයේ සිනමා නිර්මාණවල දී මුලින්ම නිර්මාණය වන්නේ තේමා සංගීතයයි. ඉන්පසුවයි යම් නිර්මාණයක් රූගත කරනු ලබන්නේ. එහෙත් අපේ රටේ වැඩිපුරම සිදුවන්නේ රූගත කිරීමෙන් පසුව නිර්මාණයේ තේමා සංගීතය නිර්මාණය වීමයි.

ඔබ නාමාවලි හෝ තේමා සංගීතය නිර්මාණය කළ නිර්මාණ පිළිබඳ තිබෙන අත්දැකීම් පෙළ ගැසෙන්නේ කුමන විදියට ද?

අධ්‍යක්ෂ ලලිත් රත්නායකගේ ‘අරුංගල්’ ටෙලි නාට්‍යයේ දී සමහර දර්ශනවල දී සංගීතය නිර්මාණය කළ පසුවයි එහි රූගත කිරීම් සිදු කළේ. ‘අරගලය’ චිත්‍රපටයේ දී නාමාවලි හෝ තේමා සංගීතය නිර්මාණය වූයේත් වෙනස් ම ආකාරයෙන්. එහි නාමාවලි සංගීතයේ දී ඔහු පැවසුවේ සාමය මුලින්ම ගොඩනැඟිය යුතු බවයි. ඊට පසුව සාමයට අරගලයක් මුසු වී එය නැති කර දැමිය යුතු බවත්, එවිට අරගලය ගොඩනැගෙන අතර යළිත් අරගලය නැති කරගෙන සාමය ගොඩනැගෙන අදහස කිව යුතු බවයි අධ්‍යක්ෂවරයා පැවසුවේ. ඒ ආකාරයෙනුයි අරගලය චිත්‍රපටයේ නාමාවලි සංගීතය නිර්මාණය වුණේ.